You are currently viewing මිතුරන් අතර ප්‍රතිවිරෝධතා ඇති කරන්න එපා !

මිතුරන් අතර ප්‍රතිවිරෝධතා ඇති කරන්න එපා !

ජනතාවට දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ලොකු වෙනසක්  අවශ්‍යව තිබෙන බව පැහැදිලිව දිස් වේ! සිස්ටම් චේන්ජ් එකක් ඕනෑ’යි කියා ඉල්ලන්නේ එය නො වේ ද? ඒ සඳහා ප්‍රභූ පාලක පැලැන්තිය පරාජය කර නිර්ප්‍රභූන් අතට බලය ලබා ගැනීමේ අභිලාෂයෙන් මැතිවරණයක් එන තුරු දැන් ජනතාව බලා සිටිති. මේ වෙනස සිදු කිරීම සඳහා වැඩි ම හැකියාව මාලිමාවට ඇතැයි කියා ජනතාව විශ්වාස කරන බවත් පෙනෙන්නට තිබේ.

බොහෝ විට නිර්ප්‍රභූන් අතට බලය මාරු වීම මාරාන්තික තර්ජනයක් ලෙස ප්‍රභූ පාලක පැලැන්තිය දකින්න පුළුවනි. දැනටමත් එසේ සිතා ක්‍රියා කරන බැව් විද්‍යමාන නොවේ ද? එ නිසා මැතිවරණයක දී මාලිමාවට බලය ලබා ගැනීම ලේසි පහසු දෙයක් විය නොහැකිය. පෙර නොවූ විරූ කුමන්ත්‍රණ, ගැටුම්, ඝාතන සිදු කරන්නට තිබෙන හැකියාව සුළු පටු නො වේ!

එවැනි බාධක ජය ගැනීම සඳහා බහුජන ව්‍යාපාරයක් වැනි මාලිමාවට තනියම හැකියාවක් තිබේ ද? නිසැකව ම නැත! මැතිවරණ සටනක දී මැරවරයන්ට කොන්ත්‍රාත් බාර දෙනු ලැබේ. ඊට මුහුණ දීම සඳහා කවර ගැටළු තිබුණත් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක සහයෝගය ජනතාවට අත්‍යවශ්‍ය වේ. නොසිතූ විරූ ලෙස වාර්ගික හෝ ආගමික හෝ ගැටුම් අවුළුවන්න දැනටමත් වලිකමින් සිටීයි. එ නිසා සුළුතර ජනවර්ග නියෝජනය කරන පක්ෂවල සහයෝගයත් ජනතාවට අත්‍යවශ්‍ය වේ.

ප්‍රභූ පාලක පැලැන්තියේ සියලු කුමන්ත්‍රණ පරාජය කර ඔවුන් මැතිවරණයකින් පරාජය කරන්නට පුළුවන් වූණා කියා මොහොතකට සිතුවොත්? එවිට සාමකාමී ලෙස බලය පවරා දුන්නේ නැති නම් කුමක් විය හැකි ද? එවැනි තත්ත්වයක් ඇති වුව හොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ජන අරගලවලට මුල් තැන දෙන පක්ෂවල සහයෝගයත් ජනතාවට අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, දිගින් දිගට ම මැතිවරණ කල් දැමුව හොත් මෙකී සියලු පක්ෂවල අන්‍යයෝන්‍ය සහයෝගය ජනතාවට නැතිවම බැරි වේ.

අපේ රටේ ප්‍රභූ පාලක පැලැන්තියෙන් නිර්ප්‍රභූන්ට බලය මාරු වීමක්, ඉන්දියාව සහ ඇමරිකාව දකින්නේ කෙසේ ද? අඩු තරමින් ඔවුන්ගේ විරුද්ධත්වයක් නැති නම්, අවසාන මොහොතේ බල මාරුව බොහෝ දුරට සාමකාමී ව සිදු වන්නට ඉඩ තිබේ. 2015 ජනාධිපතිවරණයේ දී පවා සාමකාමී ලෙස බලය මාරු කර ගැනීම සිදු වුණු ආකාරය ගැන තිබෙන ආරංචි එතරම් හොඳ නැහැ නො වේ ද?

ඉදිරි මැතිවරණයක දී මාලිමාව හෝ මාලිමාව සමග හැදෙන සන්ධානයක් හෝ බලය ලබා ගෙන, ජනතාවට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එක සඳහා අත්තිවාරම හෝ දමයි ද? බරපතළ බේදීම්වලට තුඩු දී ඇති ජනවාර්ගික ගැටළුව, අධ්‍යාපන අර්බුදය, ජාතික බදු ප්‍රතිපත්තිය හා සමාජාරක්ෂණය වැනි අති මූලික ප්‍රශ්න, පුළුල් බහුජන සහයෝගය ඇතිව විසඳයි ද? ඒ සඳහා නැතිව ම බැරි සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය වැනි නවීන දැනුම අත්හදා බලන්න ඔවුන් සූදානම් ද? එසේ වුයේ නැති නම් විය හැක්කේ කුමක් ද? ඊ ළඟ ජනතා රැල්ල හිට්ලර් කෙනෙකු බිහි වීමෙන් අවසන් වෙන්නටත් බැරි කමක් නැහැ නො වේ ද? ඒ ගැන දැන් සිට ම වෙන ම කතා කළ යුතුය! අනිවාර්යයෙන් ම කතා කළ යුතුය !

එහෙත් මේ මොහොතේ ප්‍රමුඛ දේශපාලන කටයුත්ත වන්නේ ජනතා අභිලාෂවලට අනුකූලව මැතිවරණයකින් ප්‍රභූ පාලක පැලැන්තිය පරාජය කිරීමයි. ඒ ගැන සිතන විට සිස්ටම් චේන්ජ් එකක් ප්‍රාර්ථනා කරන ජනතාව දැන් ජනතා විමුක්ති පෙරමුණට කිව යුත්තේ කුමක් ද? උතුර, නැගෙනහිර සහ කඳුකරයේ සුළුතර ජනවර්ග නියෝජනය කරන පක්ෂවලට කිව යුත්තේ කුමක් ද? පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ජන අරගලවලට මුල් තැන දෙන පක්ෂවලට කිව යුත්තේ කුමක් ද? ඔවුන් සියලු දෙනාට ම කිව යුත්තේ එක ම කතාවක් නො වේ ද?

‘මිතුරන් අතර ප්‍රතිවිරෝධතා ඇති කරන්න එපා’ කියන සුප්‍රකට කියමන නො වේ ද?

Print Friendly, PDF & Email

Leave a Reply