You are currently viewing ජාතික ලැයිස්තුවෙන් පිටත කෙනෙකු මංත‍්‍රී ධුරයකට පත් කිරීමට අයිතියක් ලැබෙන්නේ කෙසේද?

ජාතික ලැයිස්තුවෙන් පිටත කෙනෙකු මංත‍්‍රී ධුරයකට පත් කිරීමට අයිතියක් ලැබෙන්නේ කෙසේද?

සුප්‍රකට කැසිනෝ ශාලා හිමියෙකු මෙන්ම විශාල සමාගම් ගණනාවකම ප්‍රධාන කොටස්කරුවෙකු වන ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා තවත් පුද්ගලයන් කීප දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් ගණනාවක් ම පසුගිය දා කරුණු නොදක්වාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) අනුව්‍යවස්ථාව අනුව අධිකරණයෙන් ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ අධිකරණ බලය නිසා අධිකරණයේ තීන්දු ජනතාවට දැක ගැනීමට ද අයිතියක් ඇත. කෙසේ වුවත් සමහර අවස්ථාවල හේතු නොදක්වා සමහර අයැදුම් පත් ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිපාදන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව සැලකිල්ලට ගත යුතුය.

2022July11[1]_dhammika__minister

මීට පෙර ජාතික ලැයිස්තුවේ මංත‍්‍රී ධුරවල ඇතිවන පුරප්පාඩු සඳහා මහා මැතිවරණයේ දී මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කළ ලැයිස්තුවේ ඇතුළත් නොවන පුද්ගලයෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නම් කිරීම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කළ ද අධිකරණය එය පිළිගත්තේ නැත. බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කළ ද ඔහුගේ නමත් මැතිවරණ කොමසාරිස් ප්‍රකාශයට පත් කළ ලැයිස්තුවේ තිබුණේ නැත. නැවත වරක් එම කාරණය මුල් කර ගෙන අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අදහස් වන්නේ පුරවැසියන් මෙන්ම ඡන්දදායකයන් වශයෙන් මෙම කාරණයේ ඇති වැදගත්කමයි.

ඉහතින් සඳහන් කළ පෙත්සම්කරුවන්ගේ මෙවර ඉල්ලීම වූයේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක දී තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කොට ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුවෙන් පිටත කෙනෙකුට මංත‍්‍රී ධුරයක් ලබා දීම නීති විරෝධී යැයි ප්‍රකාශයක් ලබා ගැනීම ය. ඒ එවැනි ප්‍රකාශයක ඇති මහජන වැදගත්කම නිසා ය.

මේ පිළිබඳ ව නීතිය පිළිබඳ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය පසුගිය 2022 ජුලි 03 ඉරිදා අයිලන්ඩ් පුවත් පතට ලිපියක් සපයමින් ඡන්දදායකයන්ගේ අවධානයට ලක් විය යුතු වැදගත් කරුණු කීපයක් මතු කළාය. ඇයගේ මූලික ඉදිරිපත් කිරීම වූයේ ඉහතින් සඳහන් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයෙන් ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ අධිකරණ බලය නිසා ඒ පිළිබඳ ව සාකච්ඡා කිරීම පුරවැසියන්ගේ අයිතියක් බවය.

සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව මංත‍්‍රීවරුන්  29ක් පත් කර ගැනීමට ප්‍රතිපාදන සකස් වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1988 දී ගෙන එන ලද 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ය. එම සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ මුළු මංත‍්‍රි සංඛ්‍යාව වූ 225න් 196ක් ඡන්ද කොට්ඨාශ අනුව තෝරා ගත යුතු අතර ඉතිරි 29 පත් කළ යුතු වන්නේ ජාතික ලැයිස්තුවෙනි. විවාදයට ලක්ව ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් මංත‍්‍රීවරටයකු පත් කිරීම සම්බන්ධයෙනි. බොහෝ දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවේ නම සඳහන් නොවන අය එම පුරප්පාඩු සඳහා යෝජනා කිරීම ය.

මහා මැතිවරණයකට අපේක්ෂකයන් ඉදිරිපත් කරන පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පාර්ලිමේන්තු කොට්ඨාශ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවට  අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලද 14 වැනි සංශෝධනයේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ වෙන් කරන ලද ආසන 29 සඳහා ද නාම යෝජනා ඉදිරිපත් කළ යුතුය. එම නාම ලේඛනය ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් කොට්ඨාශ සඳහා ඉදිරිපත් කළ ලැයිස්තුව මෙන් ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත. ජාතික ලැයිස්තුව නමින් (ඇත්ත වශයෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම ආසන හැඳින්වෙන්නේ බෙදා වෙන් කළ ආසන යනුවෙනි.) හැඳින්වෙන ලේඛනයට නම් ඇතුළත් කිරීමට සුදුසුකම් වන්නේ ද මැතිවරණයට ඉදිරිපත්වීමට තිබිය යුතු සුදුසුකම් ය. ඉන් අදහස් වන්නේ ජාතික ලැයිස්තුවට නම ඇතුළත් අයකුට මංත‍්‍රී ධුරයකට පත් කිරීමට සුදුසුකම් අනුව කිසිම බාධාවක් නොතිබිය යුතුය යන්නයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) අනුව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තුවෙන් මංත‍්‍රී තනතුරකට නම් කිරීමට හැකි වන්නේ එම ලැයිස්තුවේ නම සඳහන් අයෙකු හෝ කොට්ඨාශ ආසනයකට තරග කොට පරාජයකට පත් අපේක්ෂකයෙකුට පමණි. ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූයේ නැති වුවද රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කිරීම අභියෝග කළ නොහැකි වන්නේ ඔහු කොට්ඨාශ අනුව තරග කළ ලැයිස්තුවට ඇතුළත් වන නිසා ය. මෙහි දී මතුවන්නේ සදාචාරමය ප්‍රශ්නයක් විනා නෛතික ප්‍රශ්නයක් නොවේ. මහා මැතිවරණයක දී ඡන්දදායකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීම දේශපාලන ආචාර ධර්මවලට කෙතරම් ගැලපෙන්නේ ද යන්න සැලකිල්ලට ගැනීම පක්ෂයේ ලේකම්වරයා  සතු යුතුකමකි.    

පසුගිය දා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් අභියෝගයට ලක් කෙළේ ජාතික ලැයිස්තුවේ නම නැති සහ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවු පිටස්තරයෙකු වූ ධම්මික පෙරේරාගේ පත්වීම ය.

මහාචාර්ය සාවිත‍්‍රි ගුණසේකර මහත්මිය පෙන්වා දෙන ආකාරයට 99 (අ) අනුව්‍යවස්ථාව අනුව දක්වා ඇති ක්‍රියා පටිපාටිය වන්නේ ජාතික ලැයිස්තුවේ මංත‍්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති විට පක්ෂයේ ලේකම්ට හෝ ස්වාධීන කණ්ඩායමේ ලේකම්ට එම ලැයිස්තුවෙන් පුද්ගලයෙකු නම් තරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැන් විය යුතු ය. එහි සඳහන් වචන අනුව එම ලැයිස්තුවෙන් පිටත පුද්ගලයෙකු නම් කිරීමට අවස්ථාවක් නැත. මහාචාර්යවරිය පෙන්වා දෙන ආකාරයට එම ලැයිතුවෙන් පිටතින් පුද්ගලයකු පත් කරන්නේ නම් රාජ්‍ය සේවකයකු වන මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව ඡන්දදායකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමට හැකිය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරන පාර්ලිමේන්තුවෙන් ක්‍රියාත්මක වන නිසා ජනතාවගේ කැමැත්ත නොවිමසූ පුද්ගලයෙකු ව්‍යවස්ථාදායකයට පත් කිරීම එම අයිතිය කඩ කිරීමකි.

ගැටලුව මතු වන්නේ 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතයෙන් පසුව 1981 මැතිවරණ පනතේ 64 වගන්තිය සංශෝධනය කිරීමත් සමග ය. එම පනතට සංශෝධන වශයෙන් ඇතුළත් කරන ලද 64(5 වැනි වගන්තිය අනුව 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දෙන ලද ජාතික ලැයිස්තුවේ මංත‍්‍රීධුරයන්ට පත් කරන ආකාරය දක්වා ඇත. එම ප්‍රතිපාදනවලින් (එනම් 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සාමාන්‍ය මංත‍්‍රී ධුරයක් හිස් වු විට නම් කිරීමේ ප්‍රතිපාදනවල) කුමක් සඳහන් වුවද 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන ලද විශේෂයෙන් බෙදා වෙන් කරන ලද මංත‍්‍රී ධුර සඳහා නම් කිරීමේ ක්‍රියා පටිපාටියක් දක්වා ඇත.

එම ක්‍රියා පටිපාටිය වන්නේ බෙදා වෙන් කරන ලද මංත‍්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වූ විට පාර්ලිමේන්තු මහ ලේකම් ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාට දැන්විය යුතුය. එවිට මැතිවරණ කොමසාරිස්වරයා අදාල පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලේකම්ට පුරප්පාඩු වූ ධුරයට නමක් ඉදිරිපත් කරන ලෙස දැන්විය යුතුය. ඒ අනුව පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලේකම් ට තම අභිමතාර්ථය අනුව කැමති පුද්ගලයෙකු එම පුරප්පාඩුවට නම් කළ හැකිය. ධම්මික පෙරේරාගේ නම ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයේ මහ ලේකම් යෝජනා කර ඇත්තේ ඒ අනුවය.

2022July11[1]_dhammik_protest
ධම්මික පෙරේරාගේ නිවස අසළ විරෝධතා..

ධම්මික පෙරේරා පත් කිරීම අභියෝගයට ලක් කළ පෙත්සම්කරුවන්ගේ තර්කය වූයේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කර ගන්නා පනතකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් වෙනස් කළ හැකිද යන්නයි. මහාචාර්ය සාවිත‍්‍රි ගුණසේකර මහත්මිය මෙසේ සඳහන් කරයි:

‘‘ එමනිසා මෙම වෙන් කරන ලද ආසනයකට පත් කිරීමේ දී, බැසිල් රාජපක්ෂ හෝ සරත් පොන්සේකා වුවද, වෙන් කළ ආසනයක පුරප්පාඩුවක් පිරවීමේ සුදුසුකම් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සපුරන්නේ නැත. ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම පිළිබඳ විවාදයේ දී 99 (අ) ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බවක් දැකිය හැකිය.’’ 

ඇත්තෙන්ම වෙන් කරන ලද ආසනයක් සඳහා පුද්ගලයෙකු නම් කිරීමේ දී පක්ෂයේ ලේකම්ට සහ මැතිවරණ කොමසාරිස්වරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමේ යුතුකමක් සහ වගකීමක් පැවරෙන බව පැහැදිලි ය.

පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න විමසීමේ ප්‍රතිපාදනයක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති වුවද මහාචාර්යවරිය මතු කරන ප‍්‍රශ්නය වන්නේ පක්ෂයක ලේකම්වරයාට හෝ ලේකම්වරියට 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් වෙන් කළ මංත‍්‍රී ධුර 29 සඳහා තම කැමැත්ත අනුව කිසිවෙකු නම් කිරීමේ අයිතිය හිමි කර ගැනීම ඡන්දදායකයාගේ තේරීමේ අයිතියට බලපෑමක් වන ආකාරයයි. ඇත්තෙන්ම ඡන්දයෙන් පරාජිත වූ පුද්ගලයෙකු නම් කිරීම ද ඡන්දදායකයාගේ තේරීමේ අයිතියට පිටු පෑමකි.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් සාමාන්‍ය නීතිවලින් යටපත් කිරීම වැළැක්වීම ද ව්‍යවස්ථා සංශෝධනයක දී සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන් පාර්ලිමේන්තු මංත‍්‍රීවරයෙකු පත් කිරීමට ඡන්දදායකයන්ට ඇති අයිතිය හෑල්ලූවට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට ද පටහැනි ය. 

එමනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක දී හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී රටේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති සම්මත වූ විට ඒ පිළිබඳ ව විනිශ්චයක් අපේක්ෂාවෙන් මහජනතාවට අධිකරණය වෙත යෑමට ප්‍රතිපාදන ඇතුළත් විය යුතු බව මහාචාර්ය ගුණසේකර මහත්මිය අවධාරණය කරන්නීය. 

Print Friendly, PDF & Email

Leave a Reply