You are currently viewing කමකට නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ..

කමකට නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ..

රට පත්ව ඇති අර්බුදකාරී තත්වයට මූලික හේතුව තනි පුද්ගලයෙකුට සියලු බලතල පැවරෙන විධායක ජනාධිපති ක්‍රමය බව පවසමින් ආණ්ඩු පක්ෂයන් ඉවත්ව ස්වාධීන වූ විජේදාස රාජපක්ෂ 22 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින් ඉදිරිපත් කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යෑමට තවත් ඇස් බැන්දුමකි. ගෝටාගෝ ගම අරගලකරුවන්ගේත් රටේ බහුතරයේත් ඉල්ලිම වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ය යන්නයි. මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයෙන් මුදා හැරි දාමරිකයන් කළ විනාශයෙන් පසුව රට පුරාම හටගත් අරගලකාරී තත්වයෙන් කියා පෑවේ ද එම ඉල්ලීම ය. විජේදාස රාජපක්ෂට ඇමතිකමක් හිමි වූයේ ද එම ඉල්ලීම සපුරාලීමට ය. එහෙත් සිදුව ඇත්තේ අපේ රටේ මෙතෙක් සිදු වූ ආකාරයට බලය ලබා ගැනීමට දෙන පොරොන්දු අලූයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමීම ය.

මැයි 9 වැනි දා සිදු වූ අශෝභන සිද්ධියෙන් පසුව ජාතිය අමතා තමා කළ වැරදි කීපයක් පිළිගනිමින් ප‍්‍රකාශයක් කළ ජනාධිපති රාජපක්ෂ ආපසු 19 වැනි සංශෝධනයට ආපසු යෑමට තමා සූදානම්යැයි කීවේය. එමනිසා නැවත වරක් පාර්ලිමේන්තුවට බලය පැවරෙන තත්වයක් නිර්මාණය විය. විජේදාස රාජපක්ෂට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිලිබඳ ඇමති තනතුර හිමි වූයේ ද එම නිසාය. සජබ පක්ෂයේ සිටි පෙරළිකාර මංත්‍රීන් දෙනෙකු ද අගමැති රනිල් වික‍්‍රමසිංහ ගේ ඉල්ලීම පරිදි ඇමති තනතුරු ලබා ගත්තේ ද එවැනි බලාපොරොත්තු ඇතිවය.

එහෙත් සිදුව ඇත්තේ කුමක් ද?

පළමුවෙන්ම ඇමති තනතුර බාර ගත් විජේදාස රාජපක්ෂ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු කළ නොහැකි බව සොයා ගත්තේය. ඔහුගේ නව සොයා ගැනීම අනුව විධායක ජනාධිපතිවරයාගේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුරාම පැතිර ඇති නිසා ව්‍යවස්ථා කීපයක් සංශෝධනය කිරීමෙන් එය වෙනස් කළ නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙන්ම නීතිය පිළිබඳ විශාරදයෙකු වන විජේදාස පළ කරන අදහස් බරපතළ ලෙස සැලකිල්ලට ලක් යුතුය. ඔහුගේ සොයා ගැනීම අනුව කළ හැකි වන්නේ පවතින ක්‍රමයට සුළු සුළු සංශෝධන කීපයක් ඉදිරිපත් කිරීම පමණි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ඒවාය.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විශාරදයෙකු නොවන භාෂාව ගැන ප්‍රමාණවත් දැනුමක් ඇති පුහුදුන් මිනිසෙකුට පවා සිංහල සහ දෙමළ යන දෙබසින්ම ආණ්ඩුව විසින්ම මුද්‍රණය කොට නිකුත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිය විය හැකිය. එහි XXX යනුවෙන් රෝම ඉලක්කමෙන් සඳහන් කර ඇති 12 වැනි පරිච්ඡේදයක් ඇත. එහි මාතෘකාව ව්‍යවස්ථාව- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යන්නයි. එහි (4) අනුව්‍යවස්ථාවේ සඳහන් වනුයේ 1 වැනි සහ 2 වැනි අනුව්‍යවස්ථාව හෝ අනුකූලවන පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම නීත්‍යානුකූල වන්නේය යනුවෙනි. එම අනුව්‍යවස්ථා දෙකින් සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යන දීර්ඝ නාමයෙන් හැඳින් වෙන හෝ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉවත්කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප‍්‍රතියෝජනා කිරීමේ පනතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් නොකළ යුතුය යන්නය.

ඒ අනුව පැහැදිලි සත්‍යය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතක් සංශෝධන වශයෙන් ගෙන ඒම හැර අනෙකුත්  ඕනෑම සංශෝධනයක් කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇති බව යි. එහි ඇති එකම සීමාව එවැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුය යන්න පමණි. විධායක ජනාධිපති ක්‍රමය පවතින්නේ ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නිසා එහි අවශ්‍ය වෙනස්කම් කිරීමට බාධාවක් දැකිය නොහැකිය.

අනිත් අතට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධන කර ඇත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති බලතල සීමා කළ අතර 20 වැනි සංශෝධනයෙන් එම බලතල නැවත එම තනතුරට පවරා ඇත. ඒ අවස්ථා දෙකේදීම විධායක ජනාධිපති බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුරාම පැතිර ඇති නිසා ඒවා සංශෝධනය කළ නොහැකි බවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැක් වූයේ නැත. එමනිසා විජේදාස රාජපක්ෂගේ මෙම අලූත්ම සොයා නම් ගැනීම කෝඳුරු තෙල් අට පතක් සොයා ගැනීමේ අවශ්‍යතාවයට වෙනස් වන්නේ නැත.

ඇත්තෙන්ම ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොව ගෝඨාභය රාජපක්ෂට සිය නිල කාලය අවසන් වන තෙක් විධායක බලතල රිසි සේ යෙදවීමට තවත් අවස්ථාවක් ලබා දීමකි. අගමැති ඇතුළු ඇමති මණ්ඩලය පත් කිරීම සහ ඉවත් කිරීම විධායක ජනාධිපති සන්තකයේ පවත්වා ගැනීමේ උත්සාහයකි. ආණ්ඩුවේ උසස් තනතුරුවලට පත් කිරීම් නිර්දේශ කිරීමට නැවත වරක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් පත් කිරීමට ප්‍රතිපාදන ඇතුළත් වුවද එහි ස්වාධීනත්වයක් තහවුරු කර නැත. එය ජනාධිපති විසින් කරන පත්වීම්වලට රබර් මුද්‍රාවක් තැබීමේ අවස්ථාවක් පමණි.

ඉදිරිපත් කර ඇති සංශෝධනවල නීතිමය පැතිමාන සාමාන්‍ය ජනතාවට වැදගත් නොවන නමුත් ඉන් ජනතාවගේ ඉල්ලීම් සපිරෙන්නේ ද යන කාරණය වැදගත් ය. ගෝටාගෝ ගම අරගලකරුවන් වඩාත් තීව‍්‍රකර දක්වූ ආකාරයට සහ රටේ පවතින ජන මතයට අනුව අද අප මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන අර්බූදයට මූලික හේතුව වන්නේ දරා ගත නොහැකි ආකාරයේ වංචා සහ දූෂණ ඉහ වහා ගොස් තිබීම ය. පිළිකාවක් ලෙස පැතිර ඇති මෙම ව්‍යාධිය කෙතරම් දුරට පැතිර ඇත්ද යත් සිරිසේන ජනාධිපතිගේ සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානි පවා අල්ලස් ලබා ගන්නා අවස්ථාවක අත් අඩංගුවට පත් විය. එම අල්ලස් ලබා ගැනීමට තැත් කර ඇත්තේ රජයේ දේපොළ විදේශීය ව්‍යාපාරිකයෙකුට විකිණීමේ සූදානමක් පැවතිය දීය.

මෙවැනි සිද්ධීන් සිරිසේන ජනාධිපති සමයට පමණක් සීමා වූවක් සේ ලඝු තළ නොහැකිය. එය රාජ්‍ය පාලනයේ සෑම මට්ටමකම සැම දා ක්‍රියාත්මක වන සාමාන්‍ය තත්වයකි. ඒ ගැන අපමණ නිදසුන් රටේ ජනතාව දනිති.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා ඉල්ලීම බවට පත් වූයේ මෙම දූෂිත වංචා සහගත ක‍්‍රමය වෙනස් කිරීමට ය. විධායක ජනාධිපති බලතල සීමා කිරීමට අවශ්‍ය වන්නේ ඒ තුළින් මෙම දූෂිත ගනුදෙනු පවත්වා ගැනීමට කිසිදු බාධාවක් නැති නිසා ය. ජනාධිපති රටේ පවතින නීතිය හෝ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන නිසාය. අපරාධකරුවන් නීතියේ රැහැනට හසුවීම වැළැක්වීමේ දැනුවත් ක්‍රියා පටිපාටියක් පවතින නිසා ය. කෙටියෙන් නිතිය පක්ෂ පාට නොබලා ක්‍රියාත්මක වීමට අවස්ථාවක් නැතිව නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම නිසා ය.

එමනිසා ව්‍යවස්ථා සංශෝධනයකින් කළ යුතු වැදගත්ම කාර්ය වන්නේ රජය සහ නීතිය පිළිබඳව බිඳ වැටී ඇති ජනතා විශ්වාසය තහවුරු කිරීම ය. ඒ සඳහා ආණ්ඩු පරිපාලනයේ වගවීමක් සහ වගකීමක් පවතින බව පැහැදිලි විය යුතුය. කප්පම් ගැනිම ගැන අධිකරණයෙන් දඩයක් සහ සිර දඬුවමක් නියම වූ පුද්ගලයෙකු අඩුම වශයෙන් ඔහු දරන ඇමති තනතුරෙන් ඉවත් කිරීමට හැකියාවක් හෝ  ඕනැකමක් නැති විධායක ජනාධිපතියෙකුට නීතියේ ආධිපත්‍යය තහවුරු කළ හැකි ද? ඔහුගේ එවැනි අත්නොමතික ක‍්‍රියා අධිකරණයේ ස්වාධිනත්වයට හානියක් නොවන්නේ ද? දූෂණ සහ වංචා විමර්ශනය කරන නිලධාරීන්ට මෙවැනි පියවර වලින් ලබා දෙන පණිවුඩය කුමක් ද? 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ අවම වශයෙන් දූෂණ සහ වංචාවලට ඉඩ සලසන පවතින පාලන ක්‍රමයේ වෙනසක් හදිස්යේම කළ යුතු නිසා ය. ඉන්ධන හිඟය, රෝහල්වල ඖෂධ හිඟය, ආහාර සුරක්ෂිත භාවය තුරන්වීම සහ මන්ද පෝෂණය ජාතික ව්‍යසනයක් මට්ටමට පත්වීමට වගකිව යුත්තේ පසුගිය කාලය මුළුල්ලේම එට පාලනය කළ අයයි. ඔවුන්ට අයථා ආකාරයට මහජන සම්පත් ගසා කෑමට හැකි වූයේ නීතිය ක්‍රියාත්මක නොවු නිසාය. නීතිය ක්‍රියාත්මක නොවුයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ප‍්‍රමුඛ දේශපාලකයන්ට අසීමිත බලයක් ලැබී ඇති නිසා ය.

මීට හොඳම උදාහරණයක් පසුගිය දා පොලිස්පති විසින්ම හෙළිදරවු කෙළේය. මැයි 9 වැනි දා ගාලු මුවදොර ප‍්‍රහාරයෙන් පසුව ආණ්ඩුවේ මැති ඇමතීන්ගේ නිවෙස් සහ දේපොළ හානියට පත් කිරීම වැළැක්වීමට පොලීසියට නොහැකිවීම ගැන දේශපාලකයන් එල්ල කළ චෝදනාවලට පිළිතුරු වශයෙන් රටේ පවතින පොලිස් ස්ථාන සියල්ලේම පාහේ ස්ථානාධිපතීන් පත් කර ඇත්තේ නිසි ක්‍රියා පටිපාටියක් අනුව නොව දේශපාලකයන්ගේ වුවමනාව අනුව යැයි ඔහු පෙන්වා දුන්නේය. එමනිසා පොලීසිය තුළ මනා පාලනයක් පවත්වා ගත නොහැකි ය. වඩාත් සරල ආකාරයෙන් රට තුළ නීතිය සහ සාමය පවත්වා ගැනීමේ වගකීම පැවරී ඇති ආයතනයට එහි කාර්යන් දේශපාලකයන් නිසා ඉටු කිරීමට නොහැකි තත්වයක් පවතින්නේය යන්නයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ එවැනි බාධා ඉවත් කිරීමට ය. එය ජාතික අවශ්‍යතාවයක් පමණක් නොව ජාත්‍යන්තර අවශ්‍යතාවයකි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන පමණක් නොව ණය සහ ආධාර ලබා දීමට සූදානම් රටවලටත් අවශ්‍ය වන්නේ ¥ෂණයෙන් තොර පාලනයකි. නිතිය ක්‍රියාත්මක කරන පාලනයකි. අත්තනොමතික තීරණ ගන්නා පාලන ක‍්‍රමයක් නොව සාධාරණ පාරද්‍රශ්‍ය පාලනයකි. 20 වැනි සංශෝධනයෙන් සිදුව ඇත්තේ පාර්ලිමේන්තුවට සහ ජනතාවට සැබැවින්ම වගකියන පාලනයක් වෙනුවට අත්තනෝමතික ක්‍රමයක් ස්ථාපිත කිරීම ය. එවැනි ක්‍රමයක් ඉවත් කිරීමට හෝ සීමා කිරීමට හෝ නොහැකි ව්‍යවස්ථා සංශෝධනයකින් ජනතා අපේක්ෂා ඵල ගැන්වෙන්නේ නැත. සිදු විය හැක්කේ රටේත් ජනතාවගේත් විනාශය වඩාත් වේගවත් පමණි.      

Print Friendly, PDF & Email

Leave a Reply