You are currently viewing ධනවතුන් සඳහා සමාජවාදය: වැරදි ආර්ථිකයේ ඵල විපාක

ධනවතුන් සඳහා සමාජවාදය: වැරදි ආර්ථිකයේ ඵල විපාක

බොහෝ ධනවත් රටවල අසමානතාවය ඉහළ යමින් පවතී. කලක් තිස්සේ ම එය සිදු විය. බොහෝ දෙනකු එය ප‍්‍රශ්නයක් ව ඇතැයි සිතති. තවත් අය ඒ ගැන අපට කළ හැකි දෙයක් නැතැයි සිතති. ඒ සියල්ලටත් වඩා ගෝලීයකරණය සහ නව තාක්ෂණය බෙහෙවින් වටිනා කුසලතා හෝ හැකියාවන් ඇති අයට ඉමහත් ප්‍රතිලාභ ලබා ගත හැකි ආර්ථිකයක් නිර්මාණය කර ඇතැයි යන තර්කයන් ද පවති. අසමානතාවය අනිවාර්ය ය. බදු අය කිරීමෙන් ආදායම් නැවත බෙදා හැරීමට ගන්නා උත්සාහය අසාර්ථක වන්නේ ගෝලීය සුපිරි පංතියට සිය ධනය බදු සහන ලබා දෙන රටවල පහසුවෙන් සඟවා තැබිය හැකි නිසා ය. වැඩි කරන බදු බර ධනපතියන්ට දැනෙන විට එය ධනය ඉපිදවීමට බාධාවක් වීමෙන් අවසානයේ දී අප වඩාත් දුප්පත් විය හැකිය. 

මෙම තර්කවල හොඳ නරක කුමත් වුවත් පුදුම සහගත වන්නේ ඒවා වැඩි වන අසමානතාවය අනිවාර්ය නොවන බවත් ආණ්ඩුවේ නොයෙකුත් ප‍්‍රතිපත්තිවලින් ඒවා අඩු කළ හැකි බවත් දැක්වෙන දළ වශයෙන් 1945 සිට 1980 දක්වා පැවති ආර්ථික සම්මතයට සම්පූර්ණයෙන්ම පටහැණි වීමය. වැඩි දුරටත් එම ප්‍රතිපත්ති සාර්ථක වු බවක් දක්නට ලැබිණ. 1940 ගණන්වල සිට 1970 ගණන් වන තෙක් බොහෝ රටවල අසමානතාවය පහත වැටෙමින් තිබිණ. අද දක්නට ලැබෙන අසමානතාවයට බෙහෙවින් හේතු වන්නේ 1980 ගණන්වල සිට ඇති වූ වෙනස්කම් ය. 

1980 සිට 2016 වන තෙක් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ඉහළම සියයට එකට මුළු ආදායමෙන් හිමි වන කොටස දෙගුණයටත් වඩා වැඩි විය. උද්ධමනය සැලකිල්ලට ගැනීමෙන් පසුව එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පහළ සියයට 90 ඉපැයීම් පසුගිය වසර 25 තුළ ඉහළ ගියේ නැති තරම් ය. වඩාත් සරලව වසර 50කට පෙර එක්සත් ජනපදයේ ප‍්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) සාමාන්‍ය සේවකයෙකු මෙන් 20 ගුණයක ආධායමක් හිමි කර ගත්තේය. අද ප‍්‍රධාන විධායක නිලධාරියකු 354 ගුණයක් හිමි කර ගනී.

වැඩි වන අසමානතාවය ගෝලීයකරණය වූ අපේ ආර්ථිකයේ අනිවාර්යයකි යන තර්කයට එරෙහිව ප‍්‍රබල විරෝධතාවයක් ඇත. 1980 සිට සමහර රටවල (එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය) අසමානතාවයේ විශාල වැඩිවීම් තිබුණ අතර තවත් සමහර රටවල ( කැනඩාව, ජපානය සහ ඉතාලිය) පැවතියේ වඩාත් අඩු ප‍්‍රමාණයේ වැඩි වීමකි. ඊට වෙනස්ව තවත් සමහර රටවල ( ප‍්‍රංශය, බෙල්ජියම සහ හන්ගේරියාව ) අසමානතාවය නොවෙනස්ව හෝ පහත වැටෙමින් පැවතිණ. ඒ අනුව අසමාතාවය වැඩිවීම අනිවාර්යයක් නොවේ. රටක් තුළ අසමානතාවයේ ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම දීර්ඝ කාලීන ගෝලීය ආර්ථික බලවේගයන්ගෙන් තීරණය නොවන බව පෙන්නුම් කරන්නේ ධනවත් රටවල් සියල්ල පුළුල් වශයෙන් එකම ආර්ථික බලවේගවලට මුහුණ දුන් නමුත් අසමානතාවයේ ව්‍යාප්තිය වෙනස් වීමෙනි.

Ronald Reagan and Margaret Thatcher in 1988. [Photograph: Reuters]

මෙම ඉහළ යන අසමානතාවයට ඉදිරිපත් කෙරෙන සුපුරුදු දේශපාලන පැහැදිලි කිරීම වන්නේ රොනල්ඩ් රීගන් ගේ සහ මාග‍්‍රට් තැචර් ගේ මැතිවරණ ජයග්‍රහණ තුළින් නිදහස් වෙළඳ පොළට හිතකර ප්‍රධාන ප්‍රවාහයේ ආර්ථික සහ දේශපාලන චින්තනය සුවිශාල ලෙස ව්‍යාප්තවීමය. යථාර්ථය එය බැවින් බැහැර කළ නොහැකිය. වර්ධනය වූ ආර්ථිකයන්ගෙන් 1945 සිට අසමානතාවය එක්සත් ජනපදයේ විශාලතම ලෙස වැඩි වූ අතර 1980 සිට එම ප‍්‍රවනතාවය එක්සත් රාජධානියේ දක්නට ලැබිණ. 

මහා දේශපාලන පරිණාමයක බලය සිත් ගන්නා සුළුය. එහෙත් එය සම්පූර්ණ පැහැදිලි කිරීමක් විය නොහැකිය. එය වඩාත්ම ඉහළ සිට පහළට එන්නකි. එය දේශපාලකයන් සහ අනෙකුත් ප‍්‍රභූන් අපට අපට ලබා දෙන දේය. වැඩි වන අසමානතාවය පිළිබඳ අදහස කාටත් ගැලපෙන මිථ්‍යාවක හැඩය ගනී. වෙනත් අවස්ථා ගැන සිතීම වළක්වාලන්නකි. අපගේ මැතිවරණ තේරීම් සහ දෛනික ජීවිතයේ තීරණ හරහා අප වැඩිවන අසමානතාවයට සහාය පළ කර ඇත. නැතිනම් අඩුම වශයෙන් අනුමත කර ඇත. පැහැදිලිවම ඒ ගැන දැන සිටි බව අපි පිළිගනිමු. එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ කරන ලද සමීක්ෂණවලින් අසමානතාවයේ දැනට පවතින මට්ටම සහ එය මෑතක දී කොපමණ වැඩි වූයේ ද යන්න අප අඩුවෙන් තක්සේරු කරන බව දිගින් දිගටම පෙන්වයි. නොදැනුවත්කම සම්පූර්ණයෙන්ම නිදහසට කරුණක් නොවේ. ඒ ආකල්පවල වෙනසක් ද හෙළි වන නිසාය. විශේෂයෙන්ම ඔබ වැරදි පැත්තේ නොවන්නේ නම් වැඩිවන අසමානතාවය වැඩි පිළිගැනීමට- අඩුම අවශයෙන් අඩුවෙන් නොපිළිගැනීමට- ලක්ව ඇත.  

අපගේ ආකල්ප අනිවාර්යෙන්ම ඊට විරුද්ධ නොවන්නේ නම් අසමානතාවය අනාගතයේ දී පහත නොවැටෙනු ඇත. තවත් කරුණුවලට අමතරව ජනතාව වෙළඳ පොළ හරහා උපයා ගන්නේ ඔවුන්ට ලැබිය යුතු ප‍්‍රමාණයම නොවන බවත්, ඔවුන් බදු ගෙවීමෙන් අදහස් වන්නේ ඔවුන්ට නියම වශයෙන් හිමි විය යුතු දෙයක් අයුතු ලෙස ලබා ගැනීමක් නොවන බවත් අප පිළිගත යුතුය.

අසමානතාවය අඩු කිරීමට මෑත වසරවල වැඩි ප්‍රයත්නයක් නො ගැනීමට හේතු වූ මූලික කරුණක් වන්නේ වාසනාව පිළිබඳ සාධකය අප අඩුවෙන් සැලකිල්ලට ගත් නිසා ය. ඔබ දැඩි උත්සාහයක් ගන්නේ නම් සියලූ අරමුණු සාක්ෂාත් කර ගත හැකියැයි දෙමාපියෝ දරුවන්ට උගන්වති. මෙය මුසාවකි. එහෙත් ඒ සඳහා හොඳ හේතුවක් ඇත. ඒ ඔබ උපරිම උත්සාහය නොගන්නේනම් බොහෝ අරමුණු නිසැකයෙන්ම සාක්ෂාත් කර ගැනීමට නොහැකි වනු ඇත. 

මගේ සාර්ථකත්වයට හේතු වූ වාසනාව නොසලකා හැරීමෙන් මට මා ගැනම උදම් විය හැකි අතර සාර්ථකත්වය හා බැඳුණු ප්‍රතිලාභ මට ලැබිය යුතු ඒවා යැයි සතුටට පත් විය හැකිය. ඉහළ ආදායම් ලබන්නන් එම ආදායම ඔවුන්ට හිමියැයි සිතන්නේ ඔවුන් කෙතරම් වෙහෙස මහන්සියෙන් වැඩ කෙළේ ද සහ සාර්ථකත්වය අත් කර ගැනීමට කෙතරම් බාධක ජය ගැනීමට වූයේ ද යන්න ගැන ඔවුන් පැහැදිලිව දැනුවත් නිසාය.

එහෙත් මෙය සෑම තැනකම සත්‍යය නොවේ. ඔබට හිමි විය යුතු දේ ලැබී ඇතැයි යන අදහසට ඇති පිළිගැනීම රටින් රටට වෙනස් වේ. ඇත්තෙන්ම මෙවැනි විශ්වාස වඩාත් ප්‍රබලව ඇත්තේ එම අදහසට ප්‍රතිවිරුද්ධ වූ සාක්ෂි වඩාත් ප‍්‍රබලව පවතින රටවල ය. මෙය පැහැදිලි කරන්නේ කෙසේ ද?

ආදායම් ලැබීමේ ප‍්‍රධාන සාධකය වාසනාව යන්නත් දුප්පතුන් ඉන් ගොඩ ඒමට නොහැකිව දරිද්‍රතාවය තුළම සිර වී ඇත යන්නත් විශ්වාස කරන සංඛ්‍යාව එක්සත් ජනපදයේ වැසියන් හා සසඳන විට යුරෝපීයන්ගේ සංඛ්‍යාව දෙගුණයටත් වඩා වැඩි බව ආකල්ප පිළිබඳ කරන ලද සමීක්ෂණයන්ගෙන් නිරතුරුම පෙන්නුම් කරයි. ඒ ආකාරයටම දුප්පතුන් කම්මැලියන් බවත් වෙහෙස මහන්සිවී වැඩ කිරීමෙන් දීර්ඝ කාලීනව වඩාත් උසස් ජීවිතයක් අත්කර ගත හැකි බවත් විශ්වාස කරන යුරෝපියන්ගේ සංඛ්‍යාව ඇමරිකාවේ මෙන් දෙගුණයක් බව ද එම සමීක්ෂණවලින් පෙන්නුම් කරයි.

එහෙත් ඇත්තෙන්ම එක්සත් ජනපදයේත් යුරෝපයේත් දුප්පත්තු ( පහළම සියයට 20 ) බොහෝ දුරට සමාන පැය ගණනක් වැඩ කරති. ආර්ථික අවස්ථා සහ පරම්පරාවෙන් පරම්පරාවට ඉහල යෑමේ සංචලතාවය යුරෝපයට වඩා එක්සත් ජනපදයේ සීමිත ය. එක්සත් ජනපදයේ පරම්පරාවෙන් පරම්පරාවට ඉහළට යැමේ සංචලතාවය පිළිබඳ සංඛ්‍යාලේඛන උසින් වැඩි දෙමාපියන්ගේ දරුවන් ද උසින් වැඩිවන ආකාරයට දුප්පත් දෙමාපියන්ගේ දරුවන් ද දුප්පතුන් විය හැකිය. එක්සත් ජනපදයේ බොහෝ දෙනා මෙය නොදන්නා බව බොහෝ සමීක්ෂණවලින් පෙන්නුම් කරයි. සමාජ සංචලතාවය පිළිබඳ බලාපොරොත්තුව නිරන්තරයෙන් ම අධි-ශුභවාදීය.

සාමාන්‍යයෙන් යුරෝපීය රටවල ධනය බෙදීයාමේ බදු ක‍්‍රම සහ දුප්පතුන්ට ප‍්‍රතිලාභ හිමිවන සුභ සාධන නිසා අසමානතාවය, බදු සහ සුබසාධන ක්‍රම ගණන් ගත් විට එක්සත් ජනපදයට වඩා අඩුය. බොහෝ දෙනා මෙම තත්වය එක්සත් ජනපද සහ යුරෝපීය සමාජයන් ගේ වෙනස් සමාජ අගයන් හැඩ ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස දකිති. එහෙත් හේතු-ඵලවාදයෙන් දැක්වෙන්නේ වෙනස් දෙයකි. ඔබට ලැබෙන්නේ ඔබට හිමි දේය යන විශ්වාසය අසමානතාවය නිසා වඩාත් ශක්තිමත් වේ.

මිනිසුන්ට අභිප‍්‍රාය වූ විශ්වාස රඳා පවතින බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති. ඔවුන්ගේ මානසික අවශ්‍යතාවයට ගැලපෙන නිසා එම විශ්වාස ග‍්‍රහණය කර ගනී. සුබසාධන ප්‍රතිලාභ හීන වීමත් බදු අය කිරීමෙන් පසු අසමානතාවය ඉහළ මට්ටමක පවතින නිසාත් මේ දිනවල එක්සත් ජනපදයේ දුප්පතෙකු වීම අතිශය දුෂ්කර තත්වයකි. එම නිසා ඇමරිකානුවන් තුළ ඔබට ලැබී ඇත්තේ හිමි දේය සහ හිමි දේ ලැබෙන්නේ ය යන විශ්වාසය යුරෝපීය ජනතාවට වඩා වැඩිය. මෙම විශ්වාසයන් වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් දුප්පත්  කමෙන් මිදිය හැකිය යන අභිප්‍රාය ඔබත් ඔබගේ දරුවන් තුළත් ඇති කිරීමට ඉතාමත් ප‍්‍රබල භූමිකාවක් ඉටු කරයි. මෙම විශ්වාසය නිසා මහ පාරේ සිඟාකන නිවසක් නැති පුද්ගලයෙකු නො සලකා සිටීමෙන් ඇති වන චිත්ත පීඩාව සමනය කර ගැනීමට ඉවහල් වනු ඇත.

මෙය එක්සත් ජනපදයට සීමා වූ කරුණක් නොවේ. බි‍්‍රතාන්‍යය සාපේක්ෂ වශයෙන් ඉහළ අසමානතාවයක් සහ අඩු ආර්ථික සහ සමාජ සංචලතාවයක් ඇති යුරෝපයෙන් වෙන් වූ රටකි. මෙහිදී එහි මෑත ඉතිහාසය හේතුව සහ ඵලය සම්බන්ධතාවයට ගැලපේ. 1979 මාග‍්‍රට් තැචර් තේරීපත් වීමෙන් පසුව අසමානතාවය කැපී පෙනෙන ආකාරයෙන් වැඩි විය. අසමානතාවය වැඩි වූ විට බි‍්‍රතාන්‍ය ආකල්ප ද වෙනස් විය. පුළුල් සුභසාධන ප‍්‍රතිලාභ දුප්පතුන් කම්මැලියන් බවට පත් කරන්නේයැයි ද, කුසලතා පූර්ණ මිනිසුන් දිරි ගැන්වීමට ඉහළ වැටුප් අත්‍යවශ්‍යයැයිද බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක් විය. කෙසේ වුවත් අන්තර් පරම්පරා සංචලතාවය පහත වැටිණ. බි‍්‍රතාන්‍ය වැසියෙකුගේ අද ආදායම ඔහුගේ දෙමාපියන් ලැබූ ආදායමට බෙහෙවින් සමානය.

ඇමරිකානු සිහිනය සහ සෑම කෙනෙකුටම ධනවතෙකු වීමේ අවස්ථාවක් පවතී යන කතන්දරය සත්‍යයක් වූයේ නම් ඉහළ අසමානතාවය සමග අන්තර් පරම්පරා සංචලතාවය ද ඉහළ යා යුතුය. ඒ වෙනුවට පවතින්නේ වෙනස් තත්වයවකි. ජනතාව ඉහළ අසමානතාවය සමග පොර බදන්නේ එය සාධාරණ ක‍්‍රමයකි යන හැඟිමෙනි. අසමානතාවය හේතු යුක්ති කරනුයේ සමාජය තුළ විශාල අසමානතාවයක් පවතින නිසාය. එමනිසා අසමානතාවයක් පවතින නිසාම එය දිගටම පවත්වා ගැනීමට පෙළඹවීමක් ද පවතී. ඊට එරෙහිව විරෝධය පෑම වෙනුවට ඊට අනුගත වීමට උත්සාහ දරති. කොමියුනිස්ට් ප්‍රකාශනය බැහැර කොට ධනවත් වීමේ කෙටි උපාය මාර්ග සොයා යති. 

අසමානතාවය වැඩි වැඩියෙන් අසමානතාවය ඇති කරවයි. ඉහළම සියයට එක වඩාත් ධනවත්වෙත්ම ඔවුන්ට තව තවත් ධනය ඉපැයීම සඳහා දිරිගැන්වීම් වැඩි කර ගැනීමට තව තවත් හැකියාව සැලසේ. ඔවුහු ඡන්ද ව්‍යාපාරයට අරමුදල් සැපයීමේ සිට කිසියම් නීති සහ නියමයක් වෙනස් කිරීමට බලපෑම් කිරීම දක්වා දේශපාලනය කෙරේ වඩ වඩාත් බලපෑම් යොදවති. එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන්ට ප‍්‍රයෝජනවත් එහෙත් ආකාර්යක්ෂම සහ නාස්තිකාර ප‍්‍රතිපත්ති මාලාවකි. වාමාංශික විවේචකයන් එය හඳුන්වන්නේ ‘‘ධනවතුන් සඳහා සමාජවාදය’’ යනුවෙනි. ප‍්‍රකෝටිපති ආයෝජකයෙකු වන වොරන් බුෆෙට් පවා ඊට එකඟවන බව පෙනේ. ‘‘පසුගිය වසර 20ක කාලයේ දී පංති අරගලයක් පැවති අතර ඉන් මගේ පංතිය ජය ගෙන ඇත.’’ ඔහු වරක් පැවසුවේය.

බදු අය කිරීම සම්බන්ධයෙන් මෙම කි‍්‍රයාවලිය වඩාත් කොල්ලකාරී ය. ආදායම් බදු අඩු කිරීමෙන් ඉහළ ආදායම් ලබන්නන්ට තම ආදායම් බදු තවත් අඩු කිරීමට දේශපාලකයන් පොළඹවා ගැනීම සඳහා වැඩියෙන් යෙදවීමට අතිරේක මුදල් හිමි වේ. බදු අය කිරීම් අඩු කළ විට ඉහළ ආදායම් ලබන්නන්ට තම වැටුප් ඉහළ නංවා ගැනීමට වැඩි පෙළඹවීමක් වන්නේ බදු ගෙවීමෙන් පසු ශේෂවන ලාභය වැඩිවන නිසාය.

1979 සිට සංවර්ධනය වූ රටවල් සියල්ලේම පාහේ ආදායම් බදු අනුපාතයේ කපා හැරීම් සිදු වුවද ඉන් ප‍්‍රමුඛස්ථානයට පත් වන්නේ එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියයි. තැචර් 1979 දී එක්සත් රාජධානියේ ඉහළ ආදායම් බදු අනුපාතය සියයට 83 සිට සියයට 60 දක්වාද ඉන් පසුව 1988 දී එය තවදුරටත් සියයට 40 දක්වා ද අඩු කළාය. රීගන් එක්සත් ජනපදයේ ඉහළ බදු අනුපාතය 1981 දී පැවති සියයට 70 සිට 1986 දී සියයට 28 දක්වා අඩු කෙළේය. මෙම අනුපාත අද මීට වඩා මදක් වැඩි වුවද – එක්සත් ජනපදයේ සියයට37ක් සහ එක්සත් රාජධානියේ සියයට 45ක් – ඒවා පශ්චාත් දෙවන ලෝක යුද සමයේ පැවති තත්වයට වඩා බෙහෙවින් අඩුය. පශ්චාත් දෙවන ලෝක යුද සමයේ එක්සත් ජනපදයේ ඉහළ බදු අනුපාතය සියයට 75ක් වූ අතර එක්සත් රාජධානියේ බදු අනුපාතය ඊටත් වඩා වැඩිය.

මිල්ටන් ෆී‍්‍රඞ්මාන්ගේ මූල්‍යවාදී සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල සමහර ලක්ෂණ වැනි ආර්ථික ප‍්‍රතිපත්තියේ රීගන්- තැචර් විප්ලවයේ සමහර ලක්ෂණ ඉන් පසුව අත්හැර දමන ලදී. එහෙත් ක්ෂුද්‍ර ආර්ථිකයෙන් මතු වූ මූලික අදහසට අද පුළුල් පිළිගැනීමක් පවතින අතර එය පොදු හැඟීම බවට පත්ව ඇත. එනම් බදු නිසා විශේෂයෙන්ම ආදායම් බදු පැනවීමෙන් වැඩ කිරීමට ඇති පෙළඹවීම, ආර්ථික කටයුතු  අධෛර්යමත් කරන්නේය යන්නය.

මෙම මතවාදි තර්කනයෙන් කවරෙක් කුමක් හිමි කර ගන්නේ ද යන්න පිළිබඳ ව පැවති නිමක් නැතිව බදු ප‍්‍රතිපත්තිය ගැන වූ ජනතා විවාදය සියලූ දෙනාටම දීප්තිමත් සමෘද්ධිමත් අනාගතයක පොරොන්දුවක් දක්වා පරිණාමය විය. මෙම තර්කයේ ‘‘සියලූ දෙනාට’’ යන කොටස විවාදාත්මකය. තව දුරටත් ජයග්‍රාහකයන් සහ පරාජිතයන් නැත. සියලූ දෙනාම ජයග‍්‍රාහකයන් ය. මූලික අදහස අත පිස්නා කඩදාසියක පිටුපස සටහන් කිරීමට තරම් සරලය.

1974 දෙසැම්බර් මාස එක් සැන්දෑවක ආචීර්ණමතවාදී උද්යෝගීමත්   තරුණ කණ්ඩායමක් රාත‍්‍රී ආහාරය සඳහා වොෂින්ටන් නගරයේ ටු කොන්ටිනෙන්ට්ටල් ආපන ශාලාවේ දී එක් වූහ. චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යඥ ආතර් ලැෆර් (එවකට ජනාධිපති ජෙරල්ඞ් ෆෝඞ්ගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි)  ඩොනල්ඞ් රුම්ස්ෆෙල්ඩ් සහ (එවකට රුම්ස්ෆෙල්ඩ් ගේ නියෝජ්‍ය සහ කලින් යේල් හි ලැෆර්ගේ පාසල් මිතුරෙකු  වූ) ඩික් චේනි එම කණ්ඩායමට අයත් වූහ.

මෑතක ෆෝඞ් සිදු කළ බදු අනුපාත වැඩි කිරීම් සාකච්ඡා කරන අතරතුර 0% බදු අනුපාතයකින් මෙන්ම 100% බදු අනුපාතයකින් කිසිවෙකු වැඩ කිරීමට නොපෙළඹීමෙන් කිසිම බදු ආදායමක් නොලැබෙනු ඇතැයි ලැෆර් තර්ක කෙළේය. එම තර්කය අනුව බදු ආදායම් උපරිම කළ හැකි බදු අනුපාතයක් එම අන්ත දෙක අතර තිබිය යුතුය. තමා එසේ කළාදැයි සිහිපත් කළ නොහැකි වුවත් ලැෆර් අත පිස්නා කඩදාසියක් ගෙන බදු අනුපාත සහ ආදායම් අතර සම්බන්ධතාවය දැක්වෙන වක‍්‍රයක් ඇන්දේය. ඒ ලැෆර් වක්‍රයේ උපතයි. ඒ සමගම ආර්ථිකයේ පහතට කාන්දුවීමේ අදහස ද බිහි විය.

රුම්ස්ෆෙල්ඞ් සහ චේනිගේ සිත් ගත් වැදගත්ම කාරණය වූයේ 100%ට අඩු බදු අනුපාතයකින් බදු ආදායම් වැඩිවන නිසා ආදායම් බදු අනුපාත අඩු කිරීමෙන් පොදුවේ බදු ආදායම් වැඩි කරනු ඇතැයි යන්නය. වෙනත් ආකාරයකට බදු අඩු කිරීමෙන් ජයග‍්‍රාහකයන් විනා පරාජිතයන් ඇති විය නොහැකිය. බදු අඩු කිරීමෙන් ආදායම් ඉහළ යා හැකිය යන තර්කයක් විනා එය සනාථ කිරීමට කිසිම ප‍්‍රත්‍යක්ෂ මූලික සාක්ෂියක් තිබුණේ නැත. බලයට පත්වීමට නියමිතව සිටි රීගන් පාලනයෙන් සේවයේ යොදවා ගත් ආර්ථික විද්‍යඥයන්ට පවා වසර හයකට පසුවත් මෙම අදහස සනාථ කිරීමට කිසියම් සාක්ෂියක් සොයා ගැනීමට වෙහෙසෙන්නට සිදු විය.

මෙම අදහස තම විශේෂඥයන්ගේ උපදෙස් ඉවත දැමූ, සදාකාලික සර්ව සුභවාදියෙකු වූ රීගන්ට මහත් ආකර්ෂණයක් විය. ඉතිහාසඥයෙකු වූ ඩැනියෙල් ටී රොජර්ස් සඳහන් කළ ආකාරයට ‘‘තවත් බදු අඩු කිරීමෙන් මුදා හරින ව්‍යවසායක උනන්දුව නිසා නිසැකයෙන්ම ඔහුගේ විශේෂඥයන් සිතනවාට වඩා වැඩි ආදායම් ලැබෙනු ඇතැයි ඔහු තුළ දැඩි විශ්වාසයක් තිබිණ. (අද සුපුරුදු වී ඇති මෙම ජනප්‍රිය සර්ව සුභවාදය සහ ආර්ථික විශේෂඥයන් නොඉවසීම, ලැෆර් ඩොනල්ඩ්, ට‍්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ උපදේශකයෙකු වීමෙන් පැහැදිලි කළ හැකිය.)  

ආදායම් බදු අඩු කිරීමෙන් බදු ආදායම් ඉහළ යෑමට නම් බදු ගෙවීමෙන් පසු ශේෂ ආදායම මිනිසුන්ට වැඩියෙන් වැඩ කිරීමට පෙළඹවීමක් විය යුතුය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දළ ජාතික නිෂ්පාදිතයේ සහ ආදායමේ වැඩි වීම බදු අනුපාත පහත වැටෙන නමුත් බදු ආදායම් ඉහළ යෑමට ප්‍රමාණවත් විය යුතුය. රීගන් හඳුන්වා දුන් විශාල බදු අඩු කිරීම්වල ප‍්‍රතිඵලය විවාදයට තුඩු දුන් කරුණක් වුවද (ප‍්‍රධාන වශයෙන්ම බදු අඩු කිරීමක් නොවුයේ නම් එක්සත් ජනපද ආර්ථිකය කි‍්‍රයා කරනු ඇත්තේ කෙසේදැයි යන්න පිළිබඳව එකඟතාවයක් නැති නිසා)  පහතට කාන්දුවීමේ ආර්ථිකයට හිතවාදී අය පවා බදු අඩු කිරීම් තුළින් දළ දේශීය නිෂ්පාදිතය කෙරේ ඇති කළ බලපෑම නොසැලකිය යුතු තරම්යැයි පිළිගනිති. නිසැකයෙන්ම බදු අඩු කිරීමෙන් බදු ආදායම් කෙරේ ඇති කළ නිෂේධාත්මක බලපෑම පිරිමැසීමට තරම් නොවේ.

George Osborne, who lowered the UK’s top rate of tax from 50% to 45% in 2013. [Photograph: Matt Cardy/PA]

එහෙත් ලැෆර්ගේ වක‍්‍රයෙන් ආදායම උපරිම කරවන බදු අනුපාතය 0%ත් 100%ත් අතර පවතින බව ආර්ථික විද්‍යඥයන්ට සිහිපත් කරවයි. එම විශ්මිත  සංඛ්‍යාව සොයා ගැනීම වෙනස් කාරණයකි. එය අදටත් විමසිල්ලට ලක්ව ඇති කරුණකි. මේ ගැන සමීක්ෂණය කිරීම වැදගත් වන්නේ ධනවතුන් මත පැනවෙන බදුවලින් අසමානතාවය අඩු කිරීමට ගන්නා උත්සාහය නිෂේධනය කිරීමට නිතරම යොදා ගන්නා නිසාම නොවේ. නිදසුනක් වශයෙන් 2013 දී එක්සත් රාජධානියේ මුදල් ඇමති [Chancellor] ජෝර්ජ් ඔස්බෝර්න් ඉහළම ආදායම් බදු අනුපාතය සියයට 50 සිට සියයට 45 දක්වා අඩු කෙළේ බදු අඩු කිරීමෙන් ආදායමේ කිසියම් ආකාරයක අඩු වීමක් සිදු වුවහොත් එය නොසලකිය යුතු තරම්යැයි ලැෆර් පැවසු ආකාරයට තර්ක කරමිනි. ඔස්බෝර්න් ගේ තර්කය පදනම් වූයේ එක්සත් ජනපදයේ බදු ආදායම් උපරිම කිරීමේ ආදායම් බදු අනුපාතය සියයට 40 පමණ වනු ඇතැයි යන ආර්ථික විශ්ලේෂණය මත පදනම් වීමෙනි.

එහෙත් මෙම උපකල්පනයට පදනම් වන සංඛ්‍යා, එවැනි ගණන් බැලීම්වල නිරතව සිටින බොහෝ ආර්ථික විදද්‍යඥයන් පිළිගන්නා ආකාරයට සැක සහිතය. අඩු බදු අනුපාතයකින්, බදු ගෙවීමෙන් පසු ශේෂ ආදායම වැඩි වන නිසා ඔබ වැඩියෙන් වැඩ කිරීමට පෙළඹෙන්නේය යන පදනමෙන් පටන් ගනිමු. එය බොහෝ දුරට විය හැකි යැයි පෙනෙන නමුත් භාවිතයේ දී එහි ප්‍රතිඵල නො සැලකිය යුතු තරම් ය. ආදායම් බදු පහත වැටෙන විට අප බොහෝ දෙනකුට අවශ්‍ය වුවත් වැඩියෙන් වැඩ කිරීම, කළ නොහැකිය. අතිකාල ලබා ගැනීමට හෝ වැඩ කරන පැය ගණනට ලැබෙන ගෙවීම වැඩි කර ගැනීමට ඇති අවස්ථා සීමිත ය. දැනට වැඩ කරන කාලය තුළ වඩාත් වෙහෙස වී වැඩ කිරීමෙන් වැඩි ගෙවීමක් ලැබෙන්නේ ද නැත. වැඩියෙන් ගෙවීම් ලබා ගැනීමට අවස්ථා ඇති අය පවා වැඩි කාලයක් හෝ වඩාත් වෙහෙස වී වැඩ කරන්නේ ය යන්න නිශ්චිත නැත. බදු ගෙවීමෙන් පසු ලැබෙන ආදායම ඉහළ යාමෙන් අඩු පැය ගණනක් වැඩ කිරීමෙන් කලින් පැවති ආදායම් මට්ටම පවත්වා ගත හැකි නිසා අඩුවෙන් වැඩ කිරීමට තීරණය කරනු ඇත. ඒ අනුව ආදායම් බදු අඩු කිරීමෙන් වැඩියෙන් වැඩ කිරීමට හෝ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යෑමට හේතු වනු ඇතැයි උපකල්පනය කිරීම සාමාන්‍ය දැනුම හෝ ආර්ථික න්‍යාය අනුව පිළිගත නොහැකිය.

ඔස්බෝර්න් ගේ තර්කය තුළ ආර්ථික විද්‍යාඥයන් පවා හොඳින් දැන නොසිටි ගැඹුරු ගැටලු සහගත තත්ත්වයන් පවතී. ඉහළම සියයට එක ආදායම් බදු අඩු කිරීමෙන් වැඩියෙන් ඉපැයීමට දිරි ගැන්වෙනු ඇතැයි සහ ඉහළ ආදායම් ලබන්නන් ගේ ඵලදායි ආර්ථික කි‍්‍රයාකාරකම්වල ඉහළ යෑමක් පෙන්නුම් කරන්නේයැයි බොහෝ විට උපකල්පනය කෙරේ. වෙනත් ආකාරයට බෙදා ගැනීමට ඇති කේක් ගෙඩියේ ප‍්‍රමාණය විශාල වේ. 1980 ගණන්වල බදු අඩු කිරීමෙන් පසුව ප‍්‍රධාන විධායකයන් ( CEO ) හා සමාගම්වල වෙනත් ඉහළ කළමනාකරුවන් සම්බන්ධයෙන් මෙය සත්‍යය නොවන බව සුප‍්‍රකට තෝමස් පිකටි ඇතුළු සමහර ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ වෙනුවට සැබැවින්ම සිදුව ඇත්තේ කොටස්කරුවන්ට අඩුවෙන් ගෙවා තමන්ගේ වැටුප් ඉහළ නැංවීම ය. ඉන් සිදුව ඇත්තේ ආණ්ඩුවට ලාභාංශ මත ගෙවන බදු ප්‍රමාණය වඩාත් අඩු වීමකි. බදු ආදායම් උපරිමයට පත් කෙරෙන ආදායම් බදු අනුපාතය සියයට 83 තරම් ඉහළ මට්ටමක පවතින්නේ යැයි පිකටි සහ ඔහුගේ සගයෝ පෙන්වා දෙති.

ධනවතුන්ගෙන් අය කෙරෙන ආදායම් බදු ප්‍රමාණය අඩු කිරීම සාධාරණීය කිරීමට මුලින්ම යෝජනා කෙළේ ආර්ථික කරුණු මත ය. එහෙත් ලැෆර්ගේ ප්‍රබන්ධය ග්‍රහණය කර ගත්තේ දේශපාලකයන් ය.  ආර්ථික විද්‍යාඥයන්ට ඔහුගේ අදහස සුපුරුදු නො වැදගත් තර්කයකි. නූතන ආර්ථික විද්‍යාවෙන් මෙම බදු අඩු කිරීම්වල යෝග්‍යතාවය සනාථ කෙරෙන න්‍යායක් හෝ සාක්ෂියත් දැක්වෙන්නේ නැත. ඒ දෙකම මේ ගැන සැක උපදවයි. දේශපාලකයන්ට මෙම සත්‍යය මොහොතකට අමතක කළ හැකි නමුත් ධනවතුන් මත ඉහළ ආදායම් බදු පැනවීමට පවතින පුළුල් විරෝධයට පදනම වී ඇත්තේ ආර්ථික විද්‍යාවට බැහැර කරුණු බව පෙන්නුම් කරයි.

2009 දී එක්සත් ජනපදයේ ඉහළම ආදායම් බදු අනුපාකය සියයට 50 දක්වා ඉහළ නැංවූ විට (මෙය වසර හතරකට පසු ඔස්බෝර්න් සියයට 45 දක්වා අඩු කෙළේය.) බි‍්‍රතාන්‍යයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු වූ ඇන්ඩ‍්‍රෑ ලොයිඞ් වෙබර් කෙළින්ම මෙසේ කීවේය: ‘‘ කුණාටුවෙන් කැළඹුණ දිය තරණය කිරීමට තරම් නිර්භීත නාවිකයන් වැනි බි‍්‍රතාන්‍යයේ ධනය නිර්මාණය කරන කීප දෙනාගේ අවසාන පැතුම වන්නේ සෝමාලියාවේ මුහුදු මංකොල්ලකරුවන් සිදු කරන ආකාරයේ ප‍්‍රහාර එල්ල නොවේවායි යන්නයි.’’ එක්සත් ජනපදයේ පෞද්ගලික ව්‍යාපාර කොටස් අලෙවි කරන සමාගමක් වන බ්ලැක්ස්ටෝන් හි ප‍්‍රධාන විධායක ස්ටීවන් ෂවාර්ස්මන් විශේෂිත බදු නිදහස් කිරීම් ඉවත් කිරීම ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කිරීමට සමාන කෙළේය.

සුපිරි ධනවතුන්ගේ මෙම කෙඳිරිගෑම් අප අවඥාවෙන් බැහැර කළ හැකි නමුත් ආදායම් බදු යනු ආදායම් උපයන පුද්ගලයාට හිමිවිය යුතු දෙයක් සොරකම් කිරීමකි යන මූලික අදහස බොහෝ දෙනකු නොදැනුවත්ම පිළි ගනිති . එය මතු වන්නේ ඉතාමත් හොඳ තත්වයක දී පවා බදු අය කිරීම පාපයක් නිසා හැකිතාක් දුරට එය අඩු කළ යුතුය යන අදහසිනි. මෙවැනි තත්වයක් යටතේ පිකටි යෝජනා කරන 83%ක බදු අනුපාතය පිළිගත හැකියැයි නොපෙනේ. දේශපාලකයන් ‘බදු ගෙවන්නන්ගේ මුදල් වැය කිරීම’ ගැන කතා කිරීමෙන් සහ ප‍්‍රචාරක කටයුතුවල යෙදෙන්නන් ‘බද්දෙන් නිදහස් දිනයක්’ ගැන කතා කිරීමෙන් බදු අය කිරීම සොරා ගැනිමක් යන අදහස වටා ගෙතුන සමස්ත සංකෘතික පද්ධතියක්ම පවතින බව පෙනේ. මෙවැනි අදහස් දේශපාලන ලෝකයෙන් බැහැරව ද පවතී. බදු ආර්ථික විද්‍යාඥයෝ, ගණකාධිකාරිවරු සහ නීතිඥයෝ ඊනියා ‘‘බදු බර’‘ ගැන කතා කරති.

බදු ගෙවීමට පෙර ආදායම කිසියම් ආකාරයකට ඔබ සතු වූවකි යන්න පැහැදිලි කරුණක් වුවද මුසාවකි. කිසිවිටෙකත් බදු ගෙවීමට පෙර හෝ ඉන් නිදහස් වූ හිමිකම පිළිබඳ අයිතිවාසිකමක් තිබිය නොහැකිය. හිමිකම යනු නෛතික අයිතියකි. නීතිය ක්‍රියාත්මක වීමට පොලිසිය සහ නීති පද්ධතිය ඇතුළත් නොයෙකුත් ආයතන අවශ්‍ය ය. මෙම ආයතන කි‍්‍රයාත්මකවීමට මුදල් ලැබෙන්නේ බදු අය කිරීමෙනි. බදු සහ හිමිකම් අයිතිවාසිකම් ඵලදායි ලෙස නිර්මාණය වන්නේ එකම විට ය. එකක් නැතිව අනෙකට පැවතිය නොහැකිය.

කෙසේ වුවත් රජයේ කාර්ය වන්නේ ( නීති පද්ධතිය, පොලීසිය වැනි ආයතන පවත්වා ගැනීම වැනි)  පුද්ගලික හිමිකම් අයිතිවාසිකම්වලට සහායට පමණක් නම් බදු අය කිරීම් බෙහෙවින් අඩු විය හැකිය. ඊට වඩා වැඩි බදු අයකිරීම සොරකම් කිරීමක් ලෙස දැකිය හැකිය. මෙවැනි අදහසකට පදනම් වන්නේ උපයා ගත් ධනය සහ ඒ අනුව නිර්මාණය වූ හිමිකම් අයිතිවාසිකම්, සම්පූර්ණයෙන්ම පෞද්ගලික වූ වෙළඳ පොළ ආර්ථිකයක, එම අයිතිවාසිකම් පවත්වා ගැනීමට පසුව ඇති වූ සේය. බොහෝ ආර්ථික විද්‍යා පෙළ පොත්වල රාජ්‍යය දැක්වෙන්නේ මේ ආකාරයට වෙළඳ පොලට එකතු කරන ලද්දක් සේය. එය ද මනක්කල්පිතයකි.

නූතන ලෝකයේ සියලු ආර්ථික කටයුතු ආණ්ඩුවේ බලපෑම පිළිබිඹු කරයි. වෙළඳ පොළ අනිවාර්යෙන්ම නිර්වචනය කොට හැඩ ගස්වන්නේ ආණ්ඩුවෙනි. ආණ්ඩුව ඇතිවීමට පෙර උපයා ගත් ධනය යනුවෙන් දෙයක් නැත. මගේ ඉපැයීම අඩ වශයෙන් මගේ අධ්‍යාපනය පිළිබිඹු කරයි. ඊටත් පෙර මගේ උපත හා ඉන් පසු මගේ සෞඛ්‍යය, එවකට පැවති සෞඛ්‍ය ආරක්ෂණය පිළිබිඹු කරයි. සෞඛ්‍ය ආරක්ෂණය සම්පූර්ණයෙන්ම පෞද්ගලික වුවත් එය රඳා පවතින්නේ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන් ගේ අධ්‍යාපනය සහ පවතින ඖෂධ සහ අනෙකුත් තාක්ෂණය මත ය. අනෙක් සියලු භාණ්ඩ සහ සේවා මෙන් මෙය ද රඳා පවතින්නේ ප‍්‍රවාහන ජාල, සන්නිවේදන පද්ධති, බල ශක්ති සැපයුම සහ බුද්ධිමය දේපොළ, කොටස් වෙළඳ පොල වැනි විධිමත් වෙළඳ පොළ වැනි සංකීර්ණ කරුණු ආවරණය වන පුළුල් නෛතික වැඩ පිළිවෙළ සහ ජාතික දේශ සීමාවෙන් ඔබ්බට විහිදෙන අධිකරණ බලය ඇතුළත් සමාජ ආර්ථික යටිතල පහසුකම් මත ය. ලොයිඞ්- වෙබර් සාමිවරයාගේ ධනය රඳා පවතින්නේ ඔහු විසින් රචනය කරන ලද, නිර්මාණය කරන ලද සංගීතය පිළිබඳ බුද්ධිමය දේපොළ අයිතිය කෙතරම් කාලයක් බල පැවැත්වෙන්නේදැයි ආණ්ඩුව ගන්නා තීරණය මතය. අවසාන වශයෙන් ඔබගේ යන්න ආණ්ඩුවේ භූමිකාවෙන් ඔබට අයිතියැයි නියම කළ හෝ බලපෑම් කළ දෙයින් වෙන් කළ නොහැකිය.

බදු අය කිරීම සොරකම් කිරීමකි යන මතය කෙනෙකුගේ සාර්ථකත්වය අතීත පරම්පරා, වත්මන් සහකරුවන් සහ ආණ්ඩුවේ දායකත්වය අමතක කර, සම්පූර්ණයෙන්ම හුදකලා කොට දකින ආත්මාර්ථකාමී ප‍්‍රවනතාවයකි. ආණ්ඩුවේ භූමිකාව අඩුවෙන් තක්සේරු කිරීමෙන් ඔබ දක්ෂ සහ මහන්සි වි වැඩ කරන බවත්, ඔබ ගෙවන අධික බදු බොහෝ විට නාස්තිකාර ආණ්ඩුවකට කරන ගෙවීමක් නිසා ඵලදායි කටයුත්තක් නොවේය යන විශ්වාසයට හේතු වේ. අඩු බදු බරක් ඇති අවම වූ රාජ්‍ය පාලනයක් වඩාත් හොඳ යැයි සිතනු ඇත.   

There’s been class warfare going on for the last 20 years, and my class has won’ … US billionaire Warren Buffett. [Photograph: Kevin Lamarque/Reuters]

මෙම අභියෝගයට එක පිළිතුරක් වන්නේ ධනවතුන් තම රටේ සිට අඩු බදු ක්‍රමයක් පවතින රටකට සංක්‍රමණය වීමයි. ඇත්තෙන්ම ඉතා ටික දෙනකු එසේ කරති. එහෙත් වඩාත් අපේක්ෂා සහගත පිළිතුරක් වොරන් බුෆේ දක්වයි. ‘‘සමාන වූ නිඹුල්ලූන් දෙදෙනෙකු මවු කුස සිටිතැයි සිතන්න. බහිරවයෙක් මෙසේ කියයි. ‘ඔබගෙන් එක් අයෙකු එක්සත් ජනපදයේ උපදිනු ඇත. අනෙකා බංග්ලාදේශයේ උපදිනු ඇත. ඔබ බංග්ලාදේශයේ ඉපදුනහොත් එහි දී බදු ගෙවන්න වෙන්නේ නැහැ. ඔබ එක්සත් ජනපදයේ ඉපදුන හොත් ආදායම් බදු වශයෙන් ගෙවන්නේ සියයට කීයද?.. ‘‘මේවා මා විසින්ම ඉපැයූ දේයැයි කියන අය පවා බංග්ලාදේශයට වඩා එක්සත් ජනපදයේ ඉපදීමට කැමති වනු ඇත.’’ 

ධනවත් රටවල අද දැකිය හැකි අසමානතාවයෙන් වැඩිම ප්‍රමාණයකට හේතු වන්නේ නො වැළැක්විය හැකි වෙළඳ පොළ බලවේග නිසා නොව ආණ්ඩුව ගනු ලබන තීරණ යි. එම තීරණ වෙනස් විය හැකිය. කෙසේ වුවත් අසමානතාවය පාලනය කළ යුතුය. අසමානතාවය අඩු කිරීම ආණ්ඩුවේ සහ පුළුල් සමාජයේ ප‍්‍රතිපත්තිවල අරමුණ බවට පත් කළ යුතුය. අසමානතාවය පිළිබඳ වඩාත් මුල් බැසගත්, වඩාත් මුළාකාරී සහ ආත්මාර්ථකාමී හේතු යුක්ති කිරීම සාදාචාරය විනා ආර්ථිකය නොවේ. ශ්‍රෙෂ්ඨ ආර්ථික විද්‍යඥයෙකු වූ ජෝන් කෙනත් ගල්බ්‍රේත් මෙම ප‍්‍රශ්නය කදිමට සාරාංශ කෙළේය. සාදාචාරමය දර්ශනවාදයේ මිනිසාගේ පැරණිතම හේතු යුක්ති කිරීම යනු..ආත්මාර්ථකාමීත්වය සඳහා වඩාත් උසස් සදාචාරමය හේතු යුක්ති කිරීමක් සොයා යෑමය. එය හැමවිටම අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධී  සහ කිසියම් ප්‍රමාණයකට අමනකම් කීපයක් ද ඇතුළත් වන ප්‍රයත්නයකි. සාඩම්බර ධනවතුන් දුප්පතුන් වෙනුවෙන් චරිත ලක්ෂණ ගොඩ නැගීමේ දී දරිද්‍රතාවයේ වැදගත්කම පෙන්වා දීමට ඉදිරිපත් වනු ඇත.’’

ජොනැතන් ඇල්ඩ‍්‍රඩ් ගේ Licence to be Bad: How Economics Corrupted Us කෘතියෙන් උපුටා ගත් කොටසකි.  

Print Friendly, PDF & Email

Leave a Reply