You are currently viewing ගෙදර තියෙන මුව හමට තඩි බාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය..

ගෙදර තියෙන මුව හමට තඩි බාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය..

බෙහෙවින් ප්‍රමාද වී පැවැත් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසු ගිය සතියේ සාර්ථකව අවසන් කළ බව විභාග කොමසාරිස් රූපවාහිනී මාධ්‍යය ඔස්සේ ආඩම්බරයෙන් ප්‍රකාශ කෙළේය. මෙතෙක් දෙමාපියන්ටත් විභාගයට මුහුණ දුන් සිසු සිසුවියන්ටත් සාර්ථක අසාර්ථක භාවය යනු විභාගයෙන් සමත්වීම හෝ අසමත්වීම ය. විභාග කොමසාරිස්ගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ විභාගය පැවැත්වීම පවා අරගලයක් බවට පත්ව තිබීම ය. ශත වර්ෂයකටත් අධික කාලයේ සිට පවත්වන ප්‍රසිද්ධ විභාගයක් පවා දැන් නිසි ප්‍රමිතියට අනුව හැල හැප්පීමක් නැතිව පැවැත්වීම පවා අභියෝගයකි. එමනිසා සමහර විභාග මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව පවා යෙදවීමට සිදුව ඇත. ඇත්තෙන්ම මෙම තත්වය සාමාන්‍ය පෙළ විභාගයේ සාර්ථක අසාර්ථක භාවයට වඩා රටේත් අධ්‍යාපනයේත් පිරිහීම සනිටුහන් කිරීමකි.

විභාගය අවසන් වු දිනයේ නුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් කණ්ඩායමක් එම විභාග මධ්‍යස්ථානයේම විභායට පෙනී සිටි තවත් සිසුවෙකුට පහර දීම ද විභාගය පැවැත්වීමටත් වඩා අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථක භාවයට කදිම නිදසුනකි. මේ පිළිබඳව උත්තරීතර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් සිසුන් විනය ගරුක නොවීම ගැන දෙමාපියන් ද වගකිව යුතුයැයි පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළ ආකාරයට ළමයා පාසලේ ගත කරන්නේ පැය පහක් වැනි සුළු කාලයකි. ඉතිරි කාලය නිවසේ ගත කරන නිසා දෙමාපියන් ළමයින්ගේ හැසිරීම ගැන වැඩි වගකීමක් භාර ගත යුතුය.

මෙහිදී අධ්‍යාපන ඇමති ළමයින් ටියුෂන් පංතිවල ගත කරන කාලය සැලකිල්ලට ගෙන නැත්තේ ඇයිද යන්න පැහැදිලි නැත. ඇත්තෙන්ම පහේ ශිෂ්‍යත්වය ඇතුළත්ව ප්‍රසිද්ධ විභාගවලට පෙනී සිටින ළමයින් පාසලේ ගත කරන කාලයම හෝ ඊටත් වැඩි කාලයක් ගත කරන්නේ ටියුෂන් පංතිවලය. එමනිසා ළමයින් දෙමාපියන්ගේ අවධානයට ලක් නොවි ගත කරන කාලය ගණනය කිරීමේ දී ටියුෂන් පංතිවල සහ ඒවාට යෑමට ඒමට ගත කරන කාලයත් සැලකිල්ලට ගත යුතුය.

මීට පෙර යුගයක පාසලෙන් ඉගැන් වූ පාඩමක් වූයේ අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන්නයි. ගුරුවරුන් සහ දේශපාලකයන් දෙන අවවාද වලට වඩා වැදගත් වන්නේ ඔවුන්ගෙනුත් සමස්තයක් වශයෙන් සමාජයෙනුත් අනාගත පරපුරට ලබා දෙන ආදර්ශයයි. මෙහි දී පාර්ලිමේන්තුවේ ඇමතීන් සහ මංත්‍රීන් දෙන ආදර්ශය වඩාත් වැදගත් වන්නේ ව්‍යවස්ථා සම්පාදනයෙන් පමණක් නොව චර්යාවෙන් ද මෙම පිරිස ලබා දෙන ආදර්ශය යි. එය අන් සියල්ලට වඩා ප්‍රබල ය. මහජන නියෝජිතයන් වහයෙන් හැඳින්වෙන ඔවුන් සතු බලය මෙන්ම ජනතා පිළිගැනීම සමාජයේ අන් කවරෙකුටත් වඩා බලපෑම් සහිතය. බලයේ සිටින දේශපාලකයන්ට ළමයින් හැඩ ගැසීම භාරව සිටින ගුරුවරයෙකු පවා පාලනය කළ හැකිය. ශික්ෂකයා ඔහුගේ අණට අකීකරු වුවහොත් ස්ථාන මාරුවක් අනිවාර්ය ය. ඇත්තෙන්ම ස්ථාන මාරුව ලබා දිය හැකි අවම දඬුවම යි. ගුරුවරුන් ළමයින් ඉදිරියේ දණ ගැස් වූ දේශපාලකයන් සිටි බවද අපට තවම අමතක නැත.

එමනිසා දේශපාලකයන් ලබා දෙන ආදර්ශය අන් සියල්ලට වඩා තීරණාත්මක ය. සිසුන් පමණක් නොව සමාජයේම පරිහානියට හේතු වී ඇත්තේ දේශපාලකයන් පතුරුවා හරින අනීතික භාවයයි. පාසල් සිසුන් අතර සමහර ගැටුම් ඇති වුවද ඒවා පාලනය කිරීමට හැකියාවක් අතීතයේ ආදර්ශමත් ගුරුවරුන්ට තිබිණ. ඒ වේවැල් කසායෙන් නොව ආදර්ශයෙනි. ළමයින් වෙනුවෙන් කැපවී ආදර්ශමත් සිසුන් බිහි කිරීමට කටයුතු කරන ගුරුවරුන්ට හෝ ගුරුවරියන්ට සිසුන් ගේ විනය ආරක්ෂා කිරීම ගැටලුවක් නොවේ. ගුරුවරයා ගේ හෝ ගුරුවරියගේ කැපවීම ඕනෑම දඩබ්බර ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක හික්මිමට ප්‍රමාණවත් ය. ඒ පිළිබඳව අපගේම පාසල් කාලයෙන් අපමණ නිදසුන් ලබා දිය හැකිය.

අද පවතින තත්වය ඊට හාත්පසින්ම වෙනස් ය.

පාසලේ ශික්ෂකයන් ඇතුළුව සමස්ත සමාජයම පාලනය කරන්නේ දේශපාලකයන් ය. දේශපාලකයන්ගේ බලපෑම ඇත්තේ රටේ නීති සම්පාදනයට පමණක් නොවේ. නීති ක්‍රියාත්මක කිරීමේ දී පවා වැදගත් වන්නේ දේශපාලයන් ය. ඊට අලුත්ම නිදසුන වන්නේ පසුගිය දා පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රටට ඇතුළුවීමේ දී රන් කිලෝග්‍රෑම් තුන හමාරක් සහ ස්මාර්ට් දුරකතන තොගයක් ප්‍රකාශ නොකර ගෙන ඒමේ සිද්ධියයි. කිසියම් හේතුවක් නිසා රේගු නිලධාරීන් ඔහුගේ ගමන් මළු පරික්ෂා කොට රට තුළට හොරෙන් ගෙන ඒමට තැත් කළ භාණ්ඩ සහ ඒවා රැගෙන ආ මංත්‍රී අත් අඩංගුවට ගෙන ඇත. එහි දී ඔහුට රන් තොගයේ වටිනාකම වූ රු. දශලක්ෂ 75 වෙනුවෙන් රු. දශලක්ෂ 7. 5 ක් එනම් වටිනාකමෙන් සියයට දහයක් ගෙවා නිදහස් වීමට හැකි විය. මෙයම ආදර්ශයට ගත් තවත් ගුවන් මගියෙකු රුපියල් දශලක්ෂ 85ක් වටිනා රන් තොගයක් රට තුළට ගෙන ඒමේ දී අත් අඩංගුවට පත් විය. ඔහුට ද දඩයක් නියම විය. ඒ රුපියල් දශලක්ෂ 70කි. එනම් වටිනාකමෙන් සියයට 80කි.

මෙහිදී එකම වරදට දඩුවම් දීමේ දී ක්‍රියා මාර්ග දෙකක් අනුගමනය කර ඇති බවට කිසිදු තර්කයක් නැත. පළමු සිද්ධියේ දී අදාල පුද්ගලයා දේශපාලකයෙකු වීම නිසා අඩු දඩ මුදලකුත් සහ දෙවැනි සිද්ධියේ දී එවැනි බලයක් නැති නිසා වැඩි දඩ මුදලකුත් නියම විය. නීතිය ක්‍රියාත්මක වූයේ දේශපාලන බලපෑම අනුවය. මේ උදාහරණය ඉදිරිපත් කෙළේ එය සතියක් දෙකක් වැනි කාලයක් ඇතුළත සිදු වූ නිසාය.

දේශපාලකයන්ට අදාල නීතිය සාමාන්‍ය ජනතාවට අදාල නීතියට වඩා වෙනස් බව සමාජයේ හැම විටම හැම තැනකම දැකිය හැකිය. මිනීමැරුමකට දඬුවම් නියම වූ පුද්ගලයෙකුට අභියාචනයේ තීරණය ලැබෙන තෙක් පාර්ලිමේන්තුවේ නීති සම්පාදන කටයුතුවලට සහභාගි විය හැකිය. කප්පම් ගත් ඇමතියෙකුට ද එසේමය. මෙහිදි සරලව ඉදිරිපත් කළ හැකි තර්කය වන්නේ අධිකරණයෙන් අවසානාත්මක තීන්දුවක් ලැබෙන තෙක් චෝදනා ලැබ සිටින දේශපාලකයන් නිදොස් හැටියට සැලකීමේ භාවිතාවයි. සාමාන්‍ය පුද්ගලයන් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කිරීමට තරම් වූ වරදක් කළ බව සොයා ගත නොහැකිනම් කිසිසේත් අදාල නොවන නීතියක් යටතේ රඳවා ගත හැකිය. පසුගිය කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්විමේ රැඳවුම් භාරයේ තබා ගත්තේ ඒ ආකාරයනි. 

සාකච්ඡාව හා සංවාදය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පදනම් කණු සේ සැලකිය හැකිය. විවිධ මතවාද පවතින විට බලහත්කාරය නොව සාකච්ඡාවෙන් සංවාදයෙන් පොදු එකඟතාවයකට පැමිණීම ශිෂ්ට සමාජයක ලක්ෂණයකි. නීති සම්පාදනයේ දී මෙය විශේෂයෙන් වැදගත් ය. ඒ පාර්ලිමේන්තුවෙන් සම්මත වන කිසියම් නීතියක් රටේ පුරවැසියන්ට බලපාන නිසා ය. එහෙත් අපේ රටේ ව්‍යවස්ථාදායකයේ වාද විවාද පැවැත්වෙන්නේ කෙසේද යන්න දැන් කතා බහ සජීවීව රූපවාහිනී මගින් විකාශනය වන නිසා පාසල් සිසුන් ඇතුළත් සියලු දෙනාටම නැරඹිය හැකිය. නුවර පාසල් සිසුන් මෙන් පාර්ලිමේන්තු මංත්‍රීවරු විවාදයට ක්‍රිකට් පිති හෝ පොළු ගෙන එන්නේ නැති වුවත් සමහර විට මිරිස් කුඩු රැගෙන එති. වැදගත්ම දේ ඒ ආකාරයෙන් කෙරෙන විවාද සහ පුටු පොළොවේ ගැසීම් රූපවාහිනී නාලිකාවලින් වාර්තා වුවද නඩු පැවරීමක් හෝ නොමැති වීමය. නිතිය ක්‍රියාත්මක නොවීම ය. එය පාසල් සිසුන් ඇතුළත් රටටම ආදර්ශයකි.   

මේ සියල්ලෙන් කියවෙන්නේ එකම කතාවකි. එනම් පොතේ නීති කෙතරම් තිබුණත් රටේ කිසිම නීතියක් ක්‍රියාත්මක නොවන්නේය යන්නයි. නීතියක් නැති විට විනයක් හික්මීමක් පැවතිය නොහැකිය. රටේ වෙනත් පුරවැසියන් මෙන්ම පාසල් සිසුන්ටද බලපාන්නේ මෙම ආදර්ශයයි.

අද සන්නිවේදන මාධ්‍යය වඩාත් දියුණු නිසා මේ තොරතුරු පාසල් සිසුන්ටත් සෙසු අයටත් පහසුවෙන් දැකීමටත් ඇසීමටත් හැකිය. ගැටුම් නිරාකරණය සඳහා බලහත්කාරය යොදා ගැනීම සමාජ භාවිතය නිසා එය ළමා පරපුරෙන් වසං කළ නොහැකිය. ළමයින් හැඩ ගැසීමේ හික්මීමේ විනය ගරුක වීමේ වගකීම දෙමාපියන්ට පමණක් පැවරිය නොහැකිය. සමාජයේ අන් සියලු දෙනා මෙන්ම ළමයින් ද මෙම සන්නිවේදන මාර්ගවලට පිවිසෙන නිසා ඔවුන්ට ලැබෙන ආදර්ශය බලහත්කාරයෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ භාවිතයයි. සමස්තයක් වශයෙන් ජන සමාජයම ප්‍රචණ්ඩ වී ඇත්තේ එම නිසා ය.

මෙම ප්‍රචණ්ඩත්වය සහ බලහත්කාරය සමාජයෙන් තුරන් නොකොට සමාජයක අභිවෘද්ධියක් සිදු නොවනු ඇත. ප්‍රචණ්ඩත්වය පාසලේ දී මෙන්ම මහමගත් කාර්යාලයේ දීත් කම්හලේදීත් නිතර සිදුවන අත්දකින දෙයක් වන නිසාය. හයිය හත්තිය ඇති එකා පමණක් රැකෙන සමාජයක් වන නිසාය. සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය වන්නේ එම නිසාය. දැනට පවතින සිස්ටම් එක අනුව ප්‍රමුඛ වන්නේ බලහත්කාරයයි. සිසුන් දෙපිරිසක් අතර මෙන්ම සමාජයේ පවතින ගැටුම් ද විසඳා ගැනීමට යොදා ගන්නේ කුළු පොළුවලින් මෙන්ම ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සංකේතවත් කරන බලහත්කාරයයි. එය වෙනස් කළ යුතුය.

එමනිසා පාසල් සිසුන්ගේ විනය හික්මීම ගැන කතා කරන සුසිල් ප්‍රේම්ජයන්ත් පළමුවෙන්ම තමා ද සිටින සභා ගර්භයේ තමා ද නියෝජනය කරන දේශපාලන ක්‍රමයේ පවතින අනීතික බව සහ අශිෂ්ටත්වය නිවැරදි කළ යුතුය. එසේ නොවන්නේ නම් මෙම ක්‍රමයෙන් වපුරා ඇති ප්‍රචණ්ඩත්වයෙන් රටම වසා ගන්නා දිනය වැඩි ඈතක නොවේ. 

Print Friendly, PDF & Email

Leave a Reply