පහත දැක්වෙන්නේ Justus Seuferle විසින් Social Europe වෙබ් අඩවියේ 2026 නොවැම්බර් 16 දින පළ වූ ලිපිය ඇසුරින් සකස් කළ, සිංහල අනුවර්තනයකි.
1. ප්රජාතන්ත්රවාදය පිළිබඳ අපගේ වැරදි අවබෝධය
අද ලෝකයේ ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන විට අප බොහෝ විට සිහිපත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නිදහස් මැතිවරණ, පාර්ලිමේන්තුව, අධිකරණය සහ නීතියේ ආධිපත්‍යය වැනි දේවල්ය. මේ සියල්ල ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයකට අත්‍යවශ්‍ය ආයතනික හා නීතිමය පදනම් බවට සැකයක් නැත. එහෙත් මෙහිදී අපට මඟහැරෙන මූලික ප්‍රශ්නයක් තිබේ. එනම්, සැබෑ බලය ඇත්තේ කා අතේද? යන්නයි.
දේශපාලන විද්‍යාව තුළ මේ සම්බන්ධයෙන් වැදගත් සංකල්ප තුනක් දැකිය හැකිය. පළමුව, Polity යනු රාජ්‍යයක ව්‍යවස්ථාමය හා ආයතනික ව්‍යුහයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුව, අධිකරණය සහ මැතිවරණ ක්‍රමය ඊට අයත් වේ. දෙවනුව, Politics යනු සමාජය තුළ බලය, බලපෑම සහ දේශපාලන තීරණ ගැනීමේ අයිතිය වෙනුවෙන් සිදුවන අරගලයයි. තුන්වනුව, Policy යනු එම දේශපාලන බල අරගලවල ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සහ තීරණයන්ය.
නූතන ලිබරල් ප්රජාතන්ත්රවාදී චින්තනය තුළ අප වැඩි අවධානයක් යොමු කරන්නේ පළමු කරුණටය. එනම්, ප්රජාතන්ත්රවාදය යනු දැනටමත් ස්ථාපිත වූ ආයතනික ක්‍රමයක් ලෙස සැලකීම ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබේ නම්, මැතිවරණ පැවැත්වේ නම්, පාර්ලිමේන්තුවක් සහ අධිකරණයක් ක්‍රියාත්මක වේ නම්, රට ප්රජාතන්ත්රවාදී යැයි අපි සිතමු. එහෙත් ලේඛනවල සඳහන් වන අයිතිවාසිකම් සහ සැබෑ ජීවිතයේ ජනතාව භුක්ති විඳින බලය අතර විශාල පරතරයක් පවතිනු දැකිය හැකිය.
පසුගිය වසර කිහිපය තුළ ලෝකයේ සිදුවීම් අපට පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ රාජ්‍ය ආයතන කෙරෙහි තබන අධික විශ්වාසය කෙතරම් සීමිතද යන්නයි. ඇමරිකානු නව කතිපයාධිකාරයේ බලය, ඉහළ යන ආදායම් හා ධන විෂමතාව, වැටුප් සහ සංගත ලාභ අතර පුළුල් වන පරතරය, ජනතා විරෝධය නොතකා යුද්ධවලට යොමුවීම සහ බලවත් ප්‍රභූ කණ්ඩායම්වල අභ්‍යන්තර සම්බන්ධතා හෙළිදරව් වීම වැනි සිදුවීම් මඟින් පෙන්වන්නේ බටහිර ප්රජාතන්ත්රවාදී ආයතන පවා සංවිධානාත්මක බලවත් සුළුතරයේ අවශ්‍යතා මඟින් හැඩගැස්විය හැකි බවයි. එබැවින් වැදගත් වන්නේ ප්රජාතන්ත්රවාදය නමින් හඳුන්වන ආයතන පවතින්නේද යන්න පමණක් නොවේ. එම ආයතන සැබවින්ම සේවය කරන්නේ කා වෙනුවෙන්ද යන්නයි.
2. රාජ්‍යය යනු බල අරගලයෙන් නිදහස් වූ ස්ථාවර ව්‍යුහයක් නොවේ
ප්රජාතන්ත්රවාදී හෝ අධිකාරීවාදී හෝ වේවා, රාජ්‍යයක් යනු සමාජයේ සියලු බලවේගවලට ඉහළින් පවතින පරිපූර්ණ සහ ස්ථාවර පාලන ව්‍යුහයක් නොවේ. එය සමාජය සංවිධානය කිරීමට දරන උත්සාහයකි. එම උත්සාහය කිසිවිටෙකත් සම්පූර්ණ හෝ පරිපූර්ණ නොවේ. ඒ සමඟම රාජ්‍ය බලයට අමතරව වෙනත් බල කේන්ද්‍ර ද සමාජය තුළ ක්‍රියාත්මක වේ.
උදාහරණයක් ලෙස, විශාල සමාගම්, මූල්‍ය ආයතන, ධනවත් ව්‍යාපාරිකයන්, මාධ්‍ය හිමිකරුවන් සහ දේශපාලන බලවතුන් අතර පවතින සම්බන්ධතා සලකා බලන්න. ඔවුන්ට රාජ්‍යයේ නිල බලය නොතිබිය හැකිය. එහෙත් ඔවුන් සතු ආර්ථික සම්පත්, දේශපාලන සම්බන්ධතා සහ මාධ්‍ය බලපෑම මඟින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකිය. එය කුඩා පරිමාණයෙන් ගත්විට බදු පැහැර හැරීමක් විය හැකිය. විශාල පරිමාණයෙන් එය තමන්ගේ ආර්ථික හා දේශපාලන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි රාජ්‍ය තීරණ හැඩගැස්වීමේ ක්‍රියාවලියක් විය හැකිය.
ධනවත් සහ දේශපාලන සම්බන්ධතා සහිත පුද්ගලයන් තමන්ගේ වාසියට රාජ්‍ය පාලන ව්‍යුහය වෙනස් කිරීමට උත්සාහ කිරීම ඉතිහාසය පුරාම පැවති දෙයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් එම බල අරගලය අවසන් වන්නේ නැත. මෙහිදී නූතන සමාජයේ ප්‍රබල සංකේතයක් බවට පත්ව ඇති ප්රකෝටිපතියාගේ භූමිකාව වැදගත් වේ.
ප්‍රකෝටිපතියෙකු යනු හුදෙක් විශාල ධනයක් හිමි පුද්ගලයෙකු පමණක් නොවේ. ඔහු සතු ආර්ථික බලය නිසා මහජන ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන්ටත් වඩා විශාල දේශපාලන බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයෙකි. ඒ අනුව ඔහු සමාජය සංවිධානය කිරීමේ තවත් උත්සාහයක යෙදෙන බලවත් නියෝජිතයෙකි. එය “ප්රජාතන්ත්රවාදී රාජ්‍යයේ” සමාජය හැඩගැස්වීමේ බලයට තරග කරන වෙනත් බල ව්‍යුහයකි.
3. ඇමරිකාව: ධනය සහ දේශපාලන බලය අතර විවාහය
අද මේ තත්ත්වය වඩාත් පැහැදිලිව දැකිය හැක්කේ ඇමරිකා එක්සත් ජනපදය තුළය. එහි ප්‍රධාන සමාගම් කිහිපයක් සතු අතිවිශාල ආර්ථික බලය, මැතිවරණ ව්‍යාපාර සඳහා පෞද්ගලික මුදල් යෙදවීම සහ මාධ්‍ය හා සංස්කෘතික ක්ෂේත්රයන් කෙරෙහි ධනවත් පුද්ගලයන් දරන බලපෑම ප්රජාතන්ත්රවාදයේ ස්වභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි. රුපට් මර්ඩොක් සහ ඉලොන් මස්ක් වැනි පුද්ගලයන්ගේ මාධ්‍ය හා සන්නිවේදන බලය මෙහිදී උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙහි ප්‍රධාන ගැටලුව වන්නේ ධනය තිබීම පමණක් නොවේ. එම ධනය දේශපාලන බලයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාවයි.
විශාල සමාගම්වලට මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් කළ හැකිය. මාධ්‍ය ආයතනවලට මහජන අදහස් හැඩගැස්විය හැකිය. ධනවත් පුද්ගලයන්ට දේශපාලන නායකයන් සමඟ සෘජු සම්බන්ධතා ගොඩනඟා ගත හැකිය. මේ අතර සාමාන්‍ය ජනතාව බොහෝ විට සංවිධානය නොවූ, විසිරී ගිය සහ එකිනෙකාගෙන් වෙන් වූ කණ්ඩායම් ලෙස පවතී.
ඉතිහාසයේ ඇමරිකානු Gilded Age හෙවත් රන්වන් යුගය ලෙස හඳුන්වන කාල පරිච්ඡේදයේ ද පැවති තත්ත්වය මෙයට සමාන ය. එම යුගයේ කාර්මික ප්රකෝටිපතියන් සහ මූල්‍ය ප්‍රභූන් අතිවිශාල බලයක් ගොඩනඟාගෙන තිබුණි. අද ද එවැනි බල සංකේන්ද්‍රණයක් නව තාක්ෂණික, මූල්‍ය සහ මාධ්‍ය ආකාරවලින් නැවත මතුවෙමින් පවතී.
දේශපාලන විද්‍යාඥ ඊ. ඊ. ෂැට්ෂ්නයිඩර් (E. E. Schattschneider) මේ පිළිබඳව වැදගත් නිරීක්ෂණයක් ඉදිරිපත් කළේය. ඔහුගේ අදහස අනුව, බහුත්වවාදී ප්රජාතන්ත්රවාදය තුළ සියලු සමාජ කණ්ඩායම්වලට සමාන බලයක් නොමැත. ඔහු එය උපහාසාත්මකව මෙසේ විස්තර කළේය.
“..බහුත්වවාදී ස්වර්ගයේ දෝෂය නම්, එහි ගායන කණ්ඩායම ඉහළ පන්තියේ උච්චාරණයෙන් ගායනා කිරීමයි..”
එහි අර්ථය සරලය. ප්රජාතන්ත්රවාදී සමාජයක විවිධ අදහස් හා කණ්ඩායම් පවතින බව සත්‍යයකි. නමුත් ඒ සියල්ලන්ටම තමන්ගේ හඬ සමාන බලයකින් ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබේ. ධනය සහ සංවිධානාත්මක බලය ඇති පිරිස්වල හඬ බොහෝ විට වඩාත් ප්‍රබල වේ.
4. විමුක්තිය යනු නිවැරදි ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමණක් නොවේ
සමාජ වෙනසක් සඳහා නිවැරදි ඉල්ලීම් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යය. නමුත් ඒවා ඉදිරිපත් කිරීමෙන් පමණක් සමාජ බල සම්බන්ධතා වෙනස් කළ නොහැකිය. සැබෑ විමුක්තිය යනු බලය පිළිබඳ ප්රශ්නයකි. ධනවත් සහ බලවත් පිරිස්වලට එරෙහිව සමාජයේ බහුතර ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කිරීමට සමත් සංවිධානාත්මක බලයක් ගොඩනැගිය යුතුය.
ලිබරල් දේශපාලනය තුළ ඇතැම් විට දක්නට ලැබෙන අදහසක් වන්නේ නිවැරදි වචන, නිවැරදි ඉල්ලීම් සහ නිවැරදි ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් ලෝකය වෙනස් කළ හැකි බවයි. ඩාවෝස්හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදය ඉදිරියේ හෝ පාර්ලිමේන්තුවක් ඉදිරියේ සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් පමණක් බල සම්බන්ධතා වෙනස් නොවේ. අවශ්‍ය වන්නේ එම ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට සමත් සමාජ බලයක් ගොඩනැගීමයි.
5. ප්රජාතන්ත්රවාදය යනු ප්රතිබලයක් ගොඩනැගීමයි
ප්රජාතන්ත්රවාදය යනු බලතල වෙන් කිරීම සහ සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පමණක් නොවේ. එය සමාජයේ බහුතර ජනතාවගේ අවශ්‍යතා අවසානයේ ජයග්‍රහණය කළ හැකි දේශපාලන ක්‍රමයක් ද යන්න විය යුතුය. අවම වශයෙන්, සංවිධානාත්මක සුළුතර කණ්ඩායම් රාජ්‍යය සහ සමාජය තමන්ගේ අවශ්‍යතා අනුව හැඩගැස්වීමට දරන උත්සාහයට වඩා මහජන බහුතරයේ ප්රජාතන්ත්රවාදී බලය ප්‍රබල විය යුතුය.
ඇමරිකාව වැනි රටක සෞඛ්‍ය සේවාව වැනි මූලික අවශ්‍යතා සපුරාලීමට හෝ ජනතා විරෝධය නොතකා ආක්‍රමණශීලී යුද්ධවලට යොමුවීම වැළැක්වීමට දේශපාලන ක්‍රමය අසමත් වන්නේ නම්, එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා එය පරිපූර්ණ ප්රජාතන්ත්රවාදයක් යැයි කීම අතිශය සරල නිගමනයකි. ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම පිළිබඳවම අද ප්‍රශ්න මතු කළ හැකිය. එහි ප්‍රභූ පන්තියේ බලය ජනතාවගේ බලයට වඩා ඉහළ ගොස් තිබෙනු දැකිය හැකිය.
ඉරානයට ඒරෙහිව දියත් කළ යුද්ධයේදී, ට්‍රම්ප් සමස්ත ශිෂ්ටාචාරයක් විනාශ කරන බවට තර්ජනය කළ අවස්ථාවේදී, ඊට ප්‍රතිචාරය ලෙස රට පුරා මහා වැඩවර්ජනයක් හෝ දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාරයක් මතුවූයේ නැත. ඒ වෙනුවට බොහෝ ප්‍රතිචාර සීමා වූයේ සමාජ මාධ්‍යවල පළ කළ කෝපාවිෂ්ට ප්රකාශවලටය. ඇන්ටන් ජේගර් (Anton Jäger) මෙය හැඳින්වූයේ පශ්චාත් නූතන ගොවි කැරැල්ලක ආකාරයක් ලෙසය. මෙහි අර්ථය වන්නේ ජනතා කෝපය ප්‍රකාශ වුවද, එය දිගුකාලීන සංවිධානාත්මක දේශපාලන බලයක් බවට පරිවර්තනය නොවීමයි.
එබැවින් ප්රජාතන්ත්රවාදය යනු හුදෙක් විරෝධය පළ කිරීම නොවේ. එය විරෝධය සංවිධානය කිරීමත්, එමඟින් බලය ගොඩනැගීමත් පිළිබඳ ක්‍රියාවලියකි.
6. දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නැවත ශක්තිමත් කළ යුතුය
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට නම්, නිල දේශපාලන ආයතන තුළත් ඒවාට පිටතිනුත් ප්රතිබලයක් ගොඩනැගිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ බලවත් ප්‍රභූ කණ්ඩායම්වලට විකල්පයක් ලෙස ක්‍රියා කළ හැකි සමාජ හා දේශපාලන බලවේග ගොඩනැගීමයි. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නැවත ශක්තිමත් කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.
දේශපාලන පක්ෂ හුදෙක් මැතිවරණ කාලයේ ක්‍රියාත්මක වන ප්රචාරක යන්ත්‍ර බවට පත් නොවිය යුතුය. ඒවා ජනතාවගේ සැබෑ අවශ්‍යතා නියෝජනය කරන සහ එම අවශ්‍යතා වෙනුවෙන් සංවිධානාත්මකව ක්‍රියා කරන වාහකයන් බවට පත්විය යුතුය.
එසේම වෘත්තීය සමිති යනු වැටුප් වැඩි කර ගැනීම සඳහා පමණක් පවතින සංවිධාන නොවේ. ඒවා කම්කරු ජනතාවට සාමූහික දේශපාලන බලයක් ලබාදෙන ප්‍රධාන ආයතන වේ. මෙහිදී තවත් කරුණු කිහිපයක් වැදගත් වේ.
- මහා වැඩවර්ජන සහ සාමූහික ක්‍රියාමාර්ග සඳහා ඇති හැකියාව ආරක්ෂා කිරීම.
- දේශපාලන පවුල් පාලනය සහ දිගුකාලීන බල ඒකාධිකාරය සීමා කිරීම.
- නිදහස් සහ බහුත්වවාදී මාධ්‍ය පද්ධතියක් ගොඩනැගීම.
- රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය අතර සමබරතාවයක් ඇති කිරීම.
- මැතිවරණ සඳහා පෞද්ගලික මුදල් යෙදවීම පාලනය කිරීම.
- අධික ධන සංකේන්ද්‍රණය සීමා කිරීම.
මාධ්‍ය පද්ධතිය ධනවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රීඩා පිටියක් බවට පත්විය යුතු නැත. මස්ක් සහ මර්ඩොක් වැනි පුද්ගලයන්ට විශාල මාධ්‍ය බලයක් හිමිවන විට මහජන සංවාදයේ සීමාවන් පවා ඔවුන්ගේ අවශ්‍යතා අනුව හැඩගැස්විය හැකිය. එවිට දේශපාලනය මහජන සාකච්ඡාවක් වෙනුවට ප්‍රදර්ශනයක් බවට පත්වේ.
7. පන්ති අරගලය අමතක කිරීමෙන් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ නොහැකිය
මෙම ක්‍රියාවලිය සඳහා දේශපාලන අධ්‍යාපනය සහ සමාජයේ පවතින ගැටුම් පිළිබඳ අවබෝධය ද අත්‍යවශ්‍ය වේ. ලිබරල් චින්තනයේ වඩාත්ම නොමඟ යවන ප්‍රකාශවලින් එකක් වන්නේ සමාජ පන්ති තවදුරටත් නොපවතින බව පැවසීමයි. එහෙත් ධනය සහ දේපළ හිමිකාරිත්වය, ශ්‍රමය සහ ප්රාග්ධනය අතර ගැටුම, වැටුප් සහ ලාභ අතර පරතරය අදත් සමාජයේ මූලික ප්රතිවිරෝධතා ලෙස පවතී.
නව සමාජ ව්‍යාපාරවලට වැදගත් කාර්යභාරයක් තිබේ. පාරිසරික අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, වාර්ගික සමානාත්මතාව, මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර ඒ අතර වේ. එහෙත් ඒවා පමණක් දිගුකාලීන දේශපාලන බලයක් ගොඩනැගීමට ප්‍රමාණවත් නොවේ. බොහෝ සමාජ ව්‍යාපාර ලිහිල් සංවිධාන ව්‍යුහයන් සහිත, විවිධ දිශාවලට ගමන් කරන සහ ඇතැම් විට තාවකාලික ජනතා හැඟීම් ප්‍රකාශ කරන ව්‍යාපාර බවට පත්වේ. එම නිසා ඒවායේ ශක්තිය දිගුකාලීන සාමූහික බලයක් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය වේ.
මෙහිදී ප්රශ්නය වන්නේ නව සමාජ ව්‍යාපාර ප්‍රතික්ෂේප කිරීම නොවේ. ඒවා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්රජාතන්ත්රවාදී මහජන සංවිධාන සමඟ සම්බන්ධ කරමින් වඩාත් ශක්තිමත් සමාජ ව්‍යුහයක් ගොඩනැගීමයි.
8. පශ්චාත් ප්රජාතන්ත්රවාදයේ අනතුර
බ්‍රිතාන්‍ය දේශපාලන විද්‍යාඥ කොලින් ක්‍රවුච් (Colin Crouch) විසින් ඉදිරිපත් කරන ලද Post-Democracy හෙවත් පශ්චාත් ප්රජාතන්ත්රවාදය පිළිබඳ සංකල්පය මෙහිදී ඉතා වැදගත් වේ.
මෙම සංකල්පයෙන් විස්තර කරන්නේ ප්රජාතන්ත්රවාදයේ නිල ආයතන තවදුරටත් ක්‍රියාත්මක වුවද, එහි සැබෑ දේශපාලන බලය ක්‍රමයෙන් ජනතාවගෙන් ඉවත්ව සුළු ප්‍රභූ කණ්ඩායම් අතට පත්වන තත්ත්වයකි. එවැනි සමාජයක මැතිවරණ පැවැත්වේ. ආණ්ඩු වෙනස් කළ හැකිය. පාර්ලිමේන්තුව සහ අධිකරණය ක්‍රියාත්මක වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද පවතී.
එහෙත් දේශපාලන තීරණ ගැනීමේ සැබෑ බලය ක්‍රමයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ඉවත්ව දේශපාලන සහ ආර්ථික ප්රභූන්ගේ කුඩා කණ්ඩායම් අතට පත්වේ. මැතිවරණ ජනතා අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියකට වඩා මහජන සම්බන්ධතා ප්රචාරක සංදර්ශන බවට පත්වේ. මහජනතාවට තමන් කැමති ආණ්ඩුවක් තෝරා ගැනීමට හැකි වුවත්, ආර්ථිකයේ මූලික බල සම්බන්ධතා සහ රාජ්‍ය ප්රතිපත්තිවල දිශාව වෙනස් කිරීමට ඇති හැකියාව සීමා වේ.
මෙහිදී ප්රජාතන්ත්රවාදය නීත්‍යනුකූලව අහෝසි කිරීමක් සිදු නොවේ. එහෙත් එහි අභ්‍යන්තර හරය හිස් වෙමින් පවතී. මෙය ප්රජාතන්ත්රවාදය පිළිබඳව අද අප මුහුණ දෙන බරපතළම අභියෝගයයි.
9. ශ්‍රී ලංකාවට මෙම විග්‍රහයෙන් ලැබෙන පාඩම්
මෙම අදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්ථය සමඟ සම්බන්ධ කර බැලීම ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත. නිදහස් මැතිවරණ පවත්වයි. පාර්ලිමේන්තුවක්, අධිකරණ පද්ධතියක් සහ රාජ්‍ය ආයතන ගණනාවක් ක්‍රියාත්මක වේ. එහෙත් මෙම ආයතන පැවතීම පමණක් සමාජයේ බලය සාධාරණ ලෙස බෙදී ඇති බවට සාක්ෂියක් නොවේ.
අප විමසා බැලිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ.
පළමුව, ආර්ථික බලය කා අතේද? විශාල ව්‍යාපාරික සමාගම්, මූල්‍ය ආයතන, ඉඩම් හිමිකාරිත්වය සහ ප්රාග්ධනය සංකේන්ද්‍රණය වී ඇති ආකාරය රාජ්‍ය ප්‍රතිපත්තිවලට බලපාන්නේ කෙසේද?
දෙවනුව, කම්කරු ජනතාවට සැබෑ දේශපාලන බලයක් තිබේද? වෘත්තීය සමිති, ගොවි සංවිධාන, ධීවර සංවිධාන සහ අවිධිමත් අංශයේ සේවකයන්ට රටේ ආර්ථික හා දේශපාලන තීරණ ගැනීමේදී කොතරම් බලපෑමක් කළ හැකිද?
තෙවනුව, මහජන මැතිවරණ ජයග්‍රහණයක් ආර්ථික බල සම්බන්ධතා වෙනස් කිරීමට ප්‍රමාණවත්ද? ආණ්ඩුවක් මාරු වීම සහ සමාජයේ බල ව්‍යුහය වෙනස් වීම එකම දෙයක් නොවේ. මැතිවරණයකින් නව දේශපාලන බලවේගයක් බලයට පත්විය හැකිය. එහෙත් ආර්ථික සම්පත්, නිෂ්පාදන මාධ්‍ය, මූල්‍ය බලය සහ මාධ්‍ය බලය පිළිබඳ පැරණි සම්බන්ධතා නොවෙනස්ව පවතින්නේ නම්, සමාජ පරිවර්තනය සීමා විය හැකිය.
සිව්වනුව, ජනතා ව්‍යාපාර සංවිධානාත්මක බලයක් බවට පත්ව තිබේද? ජනතා විරෝධතා සහ අරගල මඟින් පාලකයන් වෙනස් කළ හැකිය. එහෙත් එම අරගලවලින් මතුවන දේශපාලන ශක්තිය දිගුකාලීන ප්රජාතන්ත්රවාදී ආයතන සහ ජනතා පාලන ක්‍රම බවට පරිවර්තනය කළ හැකිද යන්න තවත් වැදගත් ප්රශ්නයකි.
2022 ශ්‍රී ලංකාවේ ජනතා අරගලය මෙම කරුණ පිළිබඳව ගැඹුරු සාකච්ඡාවකට අවස්ථාවක් සපයයි. ජනතා සහභාගිත්වය, දේශපාලන අවදිවීම සහ සාමූහික විරෝධය මඟින් විශාල වෙනසක් ඇති කළ හැකි බව එම අරගලය පෙන්වා දුන්නේය. එහෙත් එම ජනතා ශක්තිය ස්ථාවර ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ බවට පරිවර්තනය කිරීම අභියෝගයකි.
එබැවින් මැතිවරණ ජයග්‍රහණයක් පමණක් නොව, ජනතාවට තමන්ගේ ආර්ථික හා සමාජ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට හැකි වන ආයතන ගොඩනැගීම ද අවශ්‍ය වේ. සේවක සමූපකාර, ප්‍රජා මූලික ආර්ථික ආයතන, ශක්තිමත් වෘත්තීය සමිති, ස්වාධීන ජනතා මාධ්‍ය සහ ප්‍රාදේශීය ප්රජාතන්ත්රවාදී සභා එවැනි විකල්ප අතරට අයත් වේ.
මෙහි අරමුණ විය යුත්තේ රාජ්‍ය බලය පමණක් නොව, සමාජයේ ආර්ථික හා දේශපාලන බලය ද ජනතාව අතර වඩාත් ප්රජාතන්ත්රවාදී ලෙස බෙදාහැරීමයි.
10. ප්රජාතන්ත්රවාදය යනු අවසන් වූ අරගලයක් නොවේ
අවසානයේ අප නැවත පැමිණිය යුත්තේ මෙම මූලික ප්රශ්නය වෙතය. ප්රජාතන්ත්රවාදය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ලියා ඇති වගන්ති කිහිපයක් නොවේ. එය මැතිවරණ දිනයේදී පමණක් ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ද නොවේ. ප්රජාතන්ත්රවාදය යනු සමාජයේ බලය සංවිධානය වී ඇති ආකාරය පිළිබඳ අඛණ්ඩ දේශපාලන අරගලයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය අත්‍යවශ්‍ය වුවත්, ඒවා පමණක් ප්‍රමාණවත් නොවේ. ලිබරල් පාලන ක්‍රමයක් තිබීමෙන් පමණක් සැබෑ ප්රජාතන්ත්රවාදයක් සහතික නොවේ. අවශ්‍ය වන්නේ ප්රජාතන්ත්රවාදී ආයතන ආරක්ෂා කිරීම පමණක් නොව, ඒවා තුළ ජනතාවගේ සාමූහික බලය නිරන්තරයෙන් ශක්තිමත් කිරීමයි. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ස්වාධීන මාධ්‍ය සහ ප්රජාතන්ත්රවාදී මහජන ව්‍යාපාර ඒ සඳහා අවශ්‍ය මූලික ආයතන වේ.
ප්රජාතන්ත්රවාදයේ සැබෑ ශක්තිය මැනිය යුත්තේ එහි ව්‍යවස්ථාව කෙතරම් අලංකාරද යන්නෙන් නොවේ. එහි ජනතාවට තමන්ගේ ජීවිතය, ශ්‍රමය, ආර්ථිකය සහ අනාගතය පිළිබඳ තීරණ ගැනීමට කොතරම් සැබෑ බලයක් තිබේද යන්නෙනි. ප්රජාතන්ත්රවාදය යනු අපට උරුම වූ ලේඛනයක් නොවේ. එය ජනතාව විසින් සංවිධානය කර, ආරක්ෂා කර, අඛණ්ඩව අත්පත් කරගත යුතු සමාජ බලයකි.
[මෙම ලිපිය මුල් ලිපියේ ප්‍රධාන තර්ක හා සංකල්ප පදනම් කරගත් සිංහල අනුවර්තනයකි. ශ්‍රී ලංකාව පිළිබඳ කොටස මුල් ලිපියේ කොටසක් නොව, අප විසින් එක් කරන ලද විශ්ලේෂණයකි.]

–විල්ෆ්රඩ් සිල්වා
- ප්රජාතන්ත්රවාදය සැබෑ සැබෑ බලය ඇත්තේ කා අතේද? - November 25, 2026
- මාලිමා ආණ්ඩුව දෙමළ ජනතාවගේ පොරොන්දු ඉටුකරයිද..? - November 25, 2026
- හරිතබලශක්තිය? හරිතසංක්රාන්තියට නියමපාර.. - November 23, 2026