You are currently viewing මාලිමා ආණ්ඩුව දෙමළ ජනතාවගේ පොරොන්දු ඉටුකරයිද..?

මාලිමා ආණ්ඩුව දෙමළ ජනතාවගේ පොරොන්දු ඉටුකරයිද..?

මේ ගෙවීයන්නේ නොවැම්බර් මාසයයි. මේ මාසය හදුන්වන්නේ මළවුන්ගේ මාසය ලෙසයි. ක්‍රිස්තු ධර්මයට අනුව එසේ වුවත් දේශපාලන භාවිතයේදි මළවුන්ගේ මාසය ලෙස හදුන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ විරු සැමරුමත් දෙමළ ජනතාවගේ මහාවීර දින සැමරුමත් මේ මාසයට යෙදී තිබීම නිසාවෙනි. ඒ අනුව JVPය සෑම වසරකම ඉල්මහ විරු සැමරුම පැවැත්වුයේ යු එන් පී ය විසින් මරාදමනු ලැබු  රෝහණ විජේවීර ප්‍රමුඛ තම සාමාජිකයින් සිහිපත් කරමිනි. ඒ සෑම අවස්ථාවකම සපතවූයේ JVP ආණ්ඩුවකින් ඒ මරාදැමූ  සියලුදෙනාට සාධාරණය ඉටුකරන බවටයි. ඔවුන් බලයට පත්වී වසර දෙකක් පසුවන මේ මොහොතේ සිහි කල යුත්තේ තම සගයන් මරාදමනු ලැබුයේ ත්‍රස්ත විරෝධී පනත මගින් යන්නය. මියගිය නායකයා වන  විජේවීර ප්‍රමුඛ සගයන් සිහිපත් කරන මේ මොහොත වන විට තිබු පනතටත් වඩා දරුනු පනතක් ගෙන එමින් මාලිමා ආණ්ඩුව උපහාර දක්‌වමින් සිටී.   මාලිමා ආණ්ඩුව හිටපු ධනපති පාලකයන්ටත් වඩා විසකුරු ආණ්ඩුවක් බවට පත්ව තිබේ.

උතුරේ දෙමළ ජනතාවත් මළවුන් සැමරීම සියලු බාධක මධ්‍යයේ වුවද සිදුකරනු ලබයි. ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වී වසර කිහිපයක් ගතව ඇත.   දෙමළ ජනතාවට මෙම ආණ්ඩුව පොරොන්දුවු කිසිවක් සිදුවි නොමැත.

රටේ ජනතාව විශාල බලාපොරොත්තු රාශියක් තබාගෙනයි මේ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාව දැඩි විශ්වාසයකින් සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුවෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදා දෙන බවටයි. මාලිමා ආණ්ඩුවෙන්   උතුරේ ජනතාව බලාපොරොත්තුවු ආකාරයේ කිසිදෙයක් ලැබි නැතැයි ඔවුන් දැන්  මැසිවිලි නැගිමට පටන්ගෙන තිබේ. උතුරේ මංමාවත් හැදිමෙන් ගොඩනැගිලි හැදිම තුලින් ජනාධිපතිවරයා යාපනයට යැමෙන් පමණක් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නැතිබව අමුතුවෙන් කිවයුතු නොවේ. වෙනත් ආණ්ඩු කල පරිදි සුපුරුදු ලෙසම බාධක ඇතුව හෝ නැතුව මළවුන් සැමරීමකින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු නොලැබෙන බව පසක්ව ඇත.

උතුරට මෙන්ම දකුණටද මේ ආණ්ඩුව කළදෙයක් නොමැත. දිනපතා ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ මුසා බස්වලින් ජනතාවගේ ප්‍රශ්න අමතක කල නොහැක. යුද්ධයේ කොටස්කරුවන් ලෙස  බන්ධනාගාරවල  දේශපාලන සිරකරුවන් තවමත් සිටී.  එවැනිම අතුරුදහන්වු පිරිස්වලට යුක්තිය ඉල්ලා මහපාරේ සටන් කරන ජනතාවටද සාධාරණය ඉටුකරන බවට ජනාධිපති අනුර කුමාර පොරොන්දු විය. අද ඒ පොරොන්දු පසෙකලා ඒ සියල්ල අමතක කර සිල්ලර දේවල් ජනතාවට ලබාදි ඔවුන්ගේ ප්‍රශ්න අමතක කිරිමට ජාජබය උත්සාහයක යෙදෙමින් සිටි. දෙමළ ජනතාවගේ කැකෑරෙන ප්‍රශ්න අමතක කිරිමට එම ජනතාවගේ තරුණ ප්‍රජාව ආකර්ශණය කරගැනිමට ලොකු උත්සාහයක යෙදෙන බව පෙන්.

වසර 30ට වැඩි කාලයක් යුද්ධයකට මැදිව සිටි ජනතාවකට තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවු ජනතාවකට යුද්ධය අවසන්වී වසර 19කට ආසන්නවී තිබියදිත් ඔවුන්ගේ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම පවති නම් එම ජනතාව ඊලග පියවර තබන්නේ කෙසේද යන්න සිතාගැනිමටවත් නොහැකි වනු ඇත . හැමදාම දෙමළ ජනතාව රවටා ඡන්ද ලබා ගැනිමට පෙළඹුනු පාලකයන්ට අනාගත තරුණ පරපුරේ ගමන්මග මීට වඩා දරුණු බව තේරුම් ගැනිමට තවත් කාලයක් අවශ්‍ය නොවනු ඇත්තේ  උතුරේ ජනතාව ඉතිහාසයක් පුරා ජිවිතවලින් වන්දිගෙවා තිබිමෙනි. ඔවුන් දැන් බලාපොරොත්තු වන්නේ සිංහල පාලකයන් දුන් පොරොන්දු ඉටුකරන ආකාරයයි. ජාජබ ගැන  උතුරේ ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන අනුර කුමාර ජනාධිපතිවරයා බලයට පත්කලේ නැවත වටයකින් රැවටිමට නොවේ. නමුත් අදවන විට පෙනියන දෙයක් නම් ජාජබද මේ රටේ ජාතික ප්‍රශ්නය සිංහල බෞද්ධ ජනමනසින් බැහැරව විසදීමට කිසිදු උත්සාහයක් නොගන්නා බවයි. මේ ආණ්ඩුවද පෙර ආණ්ඩු මෙන් ජාතිවාදය කරපින්නාගත් සිංහල බෞද්ධ මානසිකත්වයෙන් යුත් ධනපති ආණ්ඩුවකි. එවැනි පාලකයන්ගෙන් උතුරේ ජනතාවට සාධාරණ විසදුමක් ලබාදිමට මේ පාලකයන් කිසිසේත් ක්‍රියාකරන්නේ නැති බව තේරුම් ගැනිමට තවත් කාලයක් බලාසිටිමට අවශ්‍ය නොවනු ඇත.

රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් ජාත්‍යන්තරය මුලාවේ දමමින් IMF වන්දනාව හොදින් කරන කීකරු පාලකයකු බවට අනුර කුමාර පත්ව ඇත. මේ රටේ මෙතෙක් බලයේ සිටි කිසිදු පාලකයකුට කල නොහැකිවු අයුරින් ධනපති ක්‍රමය ක්‍රියාත්මක කරමින් පවති. ඇමරිකාව ප්‍රමුඛ බටහිරටත් ඉන්දියාව හා චීනය ප්‍රමුඛ ආසියානු බලවතුන්ටත් රිසිසේ හැසිරෙන ආණ්ඩුවක් ලෙස මෙම ආණ්ඩුව කටයුතු කරමින් තිබේ. මෙතෙක් කල් බලයේ සිටි ආණ්ඩු ජිනිවා මානව හිමිකම් සමුලු‍‍වට මුහුණදුන් ආකාරයට වඩා වෙනස් ක්‍රමයකින් ජාත්‍යන්තරයත් දෙමළ ජනතාවත් ඇන්දවිමට කටයුතු කරමින් සිටී. එයින් පෙනි යන්නේ යුද්ධය අවසන්වි වසර ගණනාවක් ගත වුවත් තවමත් යුද්ධයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරිමට ජිනිවා ප්‍රමුඛ ධනපති ආයතනත් පීඩිත ජනතාවගේ නාමයෙන් බලයට පැමිනි ආණ්ඩුවත් ලෝකයාම අන්දවා ඇති ආකාරයයි. මේ රටේ දෙමළ ජනතාවට සාධාරන දේශපාලන විසදුමක් ලබගත හැකිවන්නේ පිඩිත ජනතාව ප්‍රමුඛ කම්කරු ආණ්ඩුවක් බලයට පත්වුවොත් පමණි. ඒ සදහා ලගාවිමට නම් උතුර දකුණ මෙන්ම කදුකරය ප්‍රමුඛ  පීඩිත ජනතාව මේ ධනපති පාලකයන්ගේ මංමුලාවෙන් ගැලවිය යුතුය. එයට විසදුම් ලබාගත් හැකි වන්නේ ජාතිවාදයෙන් තොර උතුර දකුණ ඒකාබද්ධ වු පීඩිත ජනතාවගේ  මාවතක් වටා ඒකරාශීවු ජනබලයක් තුලින් පමනි. ඒ සදහා කම්කරු පන්තිය ප්‍රමුඛ  බලවේග සමග අත්වැල් බැදගැනිමට අධිශ්ඨානයක් එළඹෙන මහාවීර සැමරුම් දිනය සනිටුහන් කරගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply