You are currently viewing එක්සත් කම්කරු සම්මේලනයේ මහා සභා රැස්වීම..

එක්සත් කම්කරු සම්මේලනයේ මහා සභා රැස්වීම..

ලාංකේය කම්කරු පංති සටන් ව්‍යාපාරයේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන එක්සත් කම්කරු සම්මේලනයේ මහා සභා වාරය 2023.07.08 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වනු ලැබීය. සභා වාරයේ මෙහෙයුම් කටයුතු කල්ප මදුරංග සහෝදරයා විසින් සිදුකරන ලදි.සම්මේලනයේ හිටපු ආරම්භක ක්‍රියාධරයින් වූ ලීනස් ජයතිලක  සහෝදරයා ඇතුලු ප්‍රමුඛ සහෝදරවරුන් සිහිපත් කිරීමෙන් අනතුරුව සභා වාරයේ කටයුතු ඇරඹුණි.

කම්කරු පංතිය විශාල පීඩාකාරිත්වයකට මුහුණ දී සිටින මෙවන් කාල පරිච්ඡේදයක මෙම සම්මේලනය කැඳවීමට හැකිවීම විශේෂ සිදුවීමක් බව සභාව පිළිගනිමින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ භාණ්ඩාගාරික විජේපාල වීරකෝන් සහෝදරයා කියා සිටියේය. මෙම සම්මේලනයේ මෙවැනි සභා වාරයක් පවත්වන්නේ දිගු කාලයකට පසුව බවද ඔහු සඳහන් කළේය.

මෙම සභාවේ විශේෂ ආරාධිත දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය,සමාජවාදී ජනතා සංසදයේ දේශපාලන මණ්ඩල සභික මහාචාර්ය සුමනසිරි ලියනගේ සහෝදරයා විසින් සිදුකරන ලදි.වත්මන් ලෝකයේ ඇති ගැටලුවලට නව ලිබරල්වාදී සැලසුම් යටතේ තවදුරටත්  ඉදිරියට යා හැකිද යන පැනය මතුවී තිබෙන බව සුමනසිරි සහෝදරයා අදහස් දක්වමින් මෙහිදී ප්‍රකාශකර සිටියේය.

මෙම ක්‍රියා මාර්ග යටතේ ඉදිරියට යාමේදී, සමස්ත කම්කරු ජනතාවම පීඩාවට පත්වීමේ ක්‍රියාන්විත දිග හැරෙන බව ඔහු ප්‍රකාශ කළේය.මේ ස්වරූපයට එරෙහිව ලෝකයේ විවිධ රටවල ජනතාව නැගී සිටින අන්දම පැහැදිලි වී ඇතැයි සුමනසිරි සහෝදරයා පෙන්වා දුනි. ගෝල්ෆේස් අරගලයද පවත්නා මෙම ක්‍රමයට අභියෝගාත්මකව නැගී සිටීමක් බව ඔහු කියා සිටියේය.දීර්ඝ සටන් ඉතිහාසයක් ඇති එක්සත් කම්කරු සම්මේලනය1980 ජූලි වර්ජනයේ නියාමක කාර්ය භාරයක් ඉටුකළ සංවිධානය බවද,වර්ථමානයේ වැඩකරන ජනතාව තම බලය සඳහා කරන අරගලයේදී විශාල වගකීමක් මේ සංවිධානය සතුව ඇති බවද සඳහන් කළේය.

එක්සත් කම්කරු සම්මේලනයේ ලේකම් වාර්තාව එහි ප්‍රධාන ලේකම් සුරංජය අමරසිංහ සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලදි. විශේෂ දේශනය පිළිබඳ සභාවේ අදහස් දැක්වීමේදී ලං.වි.ම.පාරිභෝගික සම්බන්ධීකාරක සංගමයේ සභාපති ප්‍රියන්ත වික්‍රමසිංහ සහෝදරයා,ඉදිරියට එමින් තිබෙන කම්කරු අණ පනත්වලින් වැඩකරන ජනතාවට එල්ල වී තිබෙන තර්ජනාත්මක ඇගවීම් පිළිබඳව මීට වඩා අවදියෙන් සිටිය යුතුය යන්න අවධාරණයට ලක් කළේය.

නිමි භාණ්ඩ,ඇඟලුම් හා රෙදි පිළි සේවක සංගමයේ ලලිතා රංජනී සහෝදරිය අදහස් දක්වමින් අද මතුවී තිබෙන තත්ත්වය යටතේ ඉදිරියේදී ස්වකීය අයිතීන් ඉල්ලීමේ ඉඩ කඩ පූර්ණ වශයෙන්ම වසා දැමීමට නියමිතව ඇතැයි ප්‍රකාශ කළාය.ඒ වෙනුවෙන් වඩා සංවිධානාත්මකව ඉදිරිපත් විය යුතු බවද කියා සිටියාය.

එක්සත් කම්කරු සම්මේලනයේ ව්‍යවස්ථාව සුරංජය අමරසිංහ සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද අතර අවශ්‍ය සංශෝධන ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද ප්‍රකාශ කළේය. මේ අනුව යම් සංශෝධනයන් කිරීමෙන් අනතුරුව එම ව්‍යවස්ථාව පිළිගැනීමේ යෝජනාව නිහාල් අජිත් සහෝදරයා විසින් සිදුකරන ලදුව ලලිතා රංජනී සහෝදරිය විසින් ස්ථිර කරන ලදි.

සම්මේලනයේ නිලධාරීන් පත් කිරීමේදී එහි සභාපතිනිය වශයෙන් ස්වස්තිකා ආරුලිංගම් සහෝදරිය ද,ප්‍රධාන ලේකම් වශයෙන් ජගත් ගුරුසිංහ සහෝදරයා ද යෝජනා ස්ථිරත්වයෙන් පත්කරගන්නා ලදි. සම්මේලනයේ භාණ්ඩාගාරික ලෙස නිහාල් අජිත් සහෝදරයා පත් කෙරුණි. සම්මේලනයේ සංවිධායක ලේකම්  ලෙස විජේපාල වීරකෝන්  සහෝදරයා සභාවේ එකඟත්වයෙන් පත්කර ගන්නා ලදි.

මෙහිදී සම්මේලනයේ නව සභාපතිනිය වශයෙන් පත්වූ ස්වස්තිකා සහෝදරිය ද අදහස් ප්‍රකාශ කළාය.මෙම තනතුරට පත්වීම ගැන සතුටට පත්වන අතර එහි කාර්ය භාරය වගකීමකින් භාරගන්නා බවද ඇය සඳහන් කළාය.අවසන් වශයෙන්,සම්මේලනයේ නව ප්‍රධාන ලේකම්වරයා වන ජගත්  ගුරුසිංහ සහෝදරයා ස්තූති කතාව කරමින් පවත්නා අර්බුදය හමුවේ කම්කරු පංතියට විශාල වගකීමක් ඇති බව සඳහන් කළේය.එම වගකීම නියමාකාරයෙන් ඉටුකිරීමට එක්සත් කම්කරු සම්මේලනය හැටියට මෙහිදී ප්‍රකාශයට පත්කරන බවත් එය සමස්ත ජනතා අරගලයේ කොටසක් ලෙස ඉදිරියට ගෙන යන බවත් කියා සිටියේය.

කම්කරු පංතියේ අයිතීන් දිනෙන් දින බිද වැටෙමින් පවතින අවස්ථාවක එකී අයිතීන් ශක්තිමත්ව ඉදිරියට ගැනීමේ අවශ්‍යතාවය මෙම සම්මේලන රැස්වීමේදී මතුවිය. මෙහිදී තරුණ නායකත්වයක් හා ජවයක් එම ක්‍රියාකාරිත්වයට එක්වීම ද අතිශයින්ම වැදගත් කරුණකි.

සුමනසිරි ලියනගේ සහෝදරයා (සමාජවාදී ජනතා සංසදයේ දේශපාලන මණ්ඩල සභික)
ප්‍රියන්ත වික්‍රමසිංහ සහෝදරයා (ලං.වි.ම. පාරිභෝගික සම්බන්ධීකාරක)
සුරංජය අමරසිංහ සහෝදරයා (ප්‍රධාන ලේකම්, වාණිජ හා කාර්මික සේවක සංගමය)
විජේපාල වීරකෝන් සහෝදරයා (එක්සත් කම්කරු සම්මේලනයේ විධායක ලේකම්)
ස්වස්තිකා ආරුලිංගම්සහෝදරිය (එක්සත් කම්කරු සම්මේලනයේ නව සභාපතිනිය)
ගුරුසිංහ සහෝදරයා (එක්සත් කම්කරු සම්මේලනයේ නව ප්‍රධාන ලේකම්)

Leave a Reply