You are currently viewing ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් උදෙසා නව මැතිවරණ ක්‍රමයක් – ජනතා නියෝජිතයින් කියන්නේ කුමක්ද ?

ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් උදෙසා නව මැතිවරණ ක්‍රමයක් – ජනතා නියෝජිතයින් කියන්නේ කුමක්ද ?

මැතිවරණ කල් දැමීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිසේත් පෙනී නොසිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.

කරු ජයසූරිය මහතා මේ බව අවධාරණය කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 12 වැනි දා, කොළඹ දී සංවිධානය කළ ‘ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් උදෙසා නව මැතිවරණ ක්‍රමයක්’ මැයෙන් වූ විශේෂ කතිකාවතේදීය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු ප්‍රවීන දේශපාලනඥයින් රැසක් සහභාගී වූ මෙම රැස්වීමේ දී  හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය  මහතාද කතා කළේය.

කරු ජයසූරිය මහතා අවධාරණයෙන් කියා සිටියේ මැතිවරණ කල් දැමීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිසේත් පෙනී නොසිටින බවයි. සියලු මැතිවරණ නියමිත පරිදි පැවැත්විය යුතු බව පැවසූ ජයසූරිය මහතා කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය වෙනස් වී නොමැති බවයි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් විධායක ජනාධිපති ධූරය සම්බන්ධ සිය ස්ථාවරය රටට හෙළි කළ යුතු බව ද ජසූරිය මහතා වැඩි දුරටත් කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් කරු ජයසූරිය මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ‘ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් උදෙසා නව මැතිවරණ ක්‍රමයක්’ මැයෙන් මේ සම්මන්ත්‍රණය සංවිධානය කළේ ජාතික යුතුකමක් වශයෙන්. මේ වන විට නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල උද්යෝගයක් තිබෙනවා. මෙය 90 දශකයේ සිටම පවතින තත්ත්වයක්. 2001 පැවැති එක්සත් ජාතික පෙරමුණු රජය විසින් යෝජනා කළා, මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා විශේෂ කමිටුවක් පත් කළ යුතුයි කියලා. ඒ වගේම ඒ අවස්ථාවේදීම තීරණය කළා තොරතුරු පනතක් අවශ්‍යයි කියලා.

ඒ අනුව අපි යෝජනා කළේ ඒ කමිටුවේ නායකත්වය ආණ්ඩු පක්ෂය විසින් දරනවාට වඩා විපක්ෂය විසින් දැරිය යුතු බවයි. මීට පෙරත් මංගල මුණසිංහ කමිටුව තුළින් එවැනි පූර්වාදර්ශයක් ලබාදී තිබුණා. ඒ නිසා අපි ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ආරාධනා කළා එහි සභාපතීත්වය භාර ගන්නා ලෙස. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් තමයි නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන කමිටුව ක්‍රියාත්මක වුණේ. නමුත් අපිට මේ කමිටුව මගින් සියලු දෙනාට එකඟ විය හැකි මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට නොහැකි වුණා. දැන් වසර 21ක් ගතව තිබෙනවා. මේ අතර පසුගිය වසර තුන තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නව මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපි ආචාර්ය සුජාතා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා.  එම කමිටුව මගින් නව මැතිවරණ ක්‍රමයක් ගැන විවිධ පර්යේෂණණ කළා. ලෝකයේ විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් අපට උදව් කළා. අපි ඔවුන්ගේ අදහස් ලබා ගත්තා. මේ සියලු පාර්ශ්ව වල සහභාගීත්වයෙන් කෙටුම්පත් කළ යෝජනාවලිය තමයි අද ඔබ අතට පත් වන්නේ.

ජනාධිපතිතුමා විසින් පසුගිය දෙසැම්බර් මාසයේ නව මැතිවරණ ක්‍රමයක් ගැන සොයා බැලීමට කමිටුවක් පත් කළා. අපි එම කමිටුවට අපේ යෝජනා ඉදිරිපත් කළා. මෙහිදී වැදගත් කරුණක් අවධාරණය කිරීමට මා කැමතියි. අපි කිසිසේත්ම මැතිවරණ කල් දැමීමට එකඟ වන්නේ නැහැ. නිසි වේලාවට මැතිවරණ පැවැත්විය යුතුයි. ඒ වගේම තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධ තම ස්ථාවරය ඉතාම පැහැදිලිව රටට හෙළි කළ යුතුයි. එපමණක් නොවෙයි, එය අහෝසි කිරීමට සූදානම් නම් ඒක කරන නිශ්චිත දිනයක් රටට හෙළි කළ යුතුයි. ඒ වගේම තමයි අපි කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ඒ ඒ අපේක්ෂකයා දරන ස්ථාවරය දැන ගැනීමට මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා.

ආරාධිතයින්ගේ අදහස් දැක්වීමේ අවස්ථාව උණුසුම් හා උද්වේගාකාර වූ අතර සැලකිය යුතු පිරිසක් නව මැතිවරණ ක්‍රමයක් උදෙසා සිය යෝජනා හෝ අදහස් ඉදිරිපත් කළහ.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ මාදුළුවාවේ සෝහිත හිමියෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට තුන්කල් දක්නා නුවණකින් යුතුව පෙරට ආ යතිවරයෙක්. උන්වහන්සේ එදා එසේ පෙනී සිටියේ  විධායක ජනාධිපති ධූරය නිසා අන් සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට දැඩි බලපෑමක් ඇති වන නිසා බවයි. මේ තත්ත්වය වත්මන් ජනාධිපතිවරයා යටතේ ව්‍යවස්ථා සභාවට අත්ව ඇති ඉරණම තුළින් ද මනාව පැහැදිලි වන බව කී ජී.එල්. පීරිස් මහතා සෝහිත හිමියන් මේ තත්ත්වය මීට බොහෝ කලකට පෙර මනාව දුටු බව ද කීවේය.

මෙහිදී සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයට එල්ල වන බරපතළ චෝදනාවක් නිවැරදි කරමින් අදහස් දැක්වූ ජී.එල්. පීරිස් මහතා, කරු ජයසූරිය මහතා ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විධායක ජනාධිපති ධූරය අහෝසි කරන මෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත් වූ පසුව බව ද එනිසා එම ඉල්ලීම තුළින් ඉදිරි ජනාධිපතිවරණය කල් දැමීමක් සිදුනොවන බව ද පෙන්වා දුන්නේය.

සිය ස්ථාවරය වන්නේ ද නියමිත දිනයේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව යැයි සඳහන් කළ ජී.එල්. පීරිස් මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් මැතිවරණ ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අනිවාර්යයෙන් සිතිය යුතු බව ද පෙන්වා දුන්නේය.

විධායක ජනාධිපති ධූරය පමණක් නොව කවර තනතුර වුව ද තම වාසියට හරවා ගැනීමට තැත් කළ හොත් විනාශයක් සිදුවන බව කී සේනාරත්න මහතා රට මුහුණ දෙන ඛේදවාචකය එය බව ද කීවේය.

“ අපි මෙම මැතිවරණ ක්‍රමයට විරුද්ධ ඇයි ? ඒ මැතිවරණයකට තරඟ කිරීමට යන වියදම අපිට පුද්ගලිකව දරාගත නොහැකි නිසයි. 77 පස්සේ දේශපාලනඥයින් දූෂණයට යොමු වුණේ මේ දැවැන්ත වියදමක් යන මැතිවරණ ක්‍රමය නිසයි. මනාප ක්‍රමය තමයි මේකට හේතුව. ඒ නිසා පළමුවෙන්ම මේ මනාප ක්‍රමය අහෝසි කළ යුතුයි. මනාප ක්‍රමය නැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට අපි යා යූතුයි. එහෙම වුණොත් රටට ආදරේ, වැඩක් කළ හැකි තරුණයින්ට, උගතුන්ට, වෘත්තිකයින්ට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි”

යැයි ද සේනාරත්න මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගයේ මහ ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී, රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කෙටුම්පත් කර ඇති නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන කලාප ක්‍රමය සම්බන්ධ යෝජනාව හොඳ යෝජනාවක් බවයි. නමුත් ජනාධිපතිවරණයක් ආසන්නයේ තබා ගෙන නව මැතිවරණ ක්‍රමයක් ගැන කතා කිරීම ගැටලු සහගත බව ද ඔහු පෙන්වා දුන්නේය. එහිදී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ නව මැතිවරණ ක්‍රමයක් ගැන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

කේවල ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය බවත් සියලු දෙනා සංතෝෂ කළ හැකි පාර්ලිමේන්තුවක් හැදිය නොහැකි බවත් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී සඳහන් කළේය. ඉන්දියාවේ මෙන් සුළුජන නියෝජනය සම්බන්ධ ගැටලුවක් තිබේ නම් ඒ ඒ ආසන වල සුළු ජන නියෝජනය සහතික කිරීම සරලව කළ හැකි බව කී ප්‍රියදර්ශන යාපා මහතා වත්මන් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවත් එ හරහා මැතිවරණ වියදම ද විශාල වශයෙන් අඩු කළ හැකි බවත් පෙන්වා දුන්නේය. අනුර ප්‍රියදර්ශන මහතා වැඩි දුරටත් කියා සිටියේ කේවල ක්‍රමය යටතේ මන්ත්‍රීවරයා නිරන්තරයෙන් අධීක්ෂණයට ලක්වන බවයි. මෙනිසා ඔහු සම්බන්ධයෙන් අදාළ කොට්ඨාශයේ ජනතාවට ඍජු තීරණයක්ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

තමා නියෝජනය කරන තෘණමූල මට්ටමේ ජනතාව පාර්ලිමේන්තුවේ සිටින 225ම තව දුරටත් වැදගත් නොවන බව සිතන බවයි. දිස්ත්‍රික් ක්‍රමය දැඩිව විවේචනය කරමින් බිෂොප්තුමා කියා සිටියේ වත්මන් දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය මගින් ජනතාව සහ මන්ත්‍රීවරයා දුරස්ථ වූ බවයි. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර බරපතළ ගැටුමක් පවතින බව පෙන්වා දෙමින් බිෂොප්තුමා මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර ගැටුමෙන් ජනතාව අතරමංවන බව ද කියා සිටියේය.

මෙම සාකච්ඡාවේදී සුළුජාතික නියෝජනය තහවුරු කිරීම වෙනුවෙන් සිය අදහස් ඉදිරිපත් කළ  සතිෂ් කුමාර් මහතා කියා සිටියේ සුළු ජනතාව ජීවත් වන රත්නපුර, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල (වන්නි දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවටත් මේ බලපෑ හැකියි) බොහෝ විට ප්‍රධාන පක්ෂවලින් සුළු ජනතාව නියෝජනය කරන අපේක්ෂකයින් නම් කළත්, මනාප අනුව ඔවුන් ජයග්‍රහණය නොකරන බවයි. ඒ නිසා අදාළ දිස්ත්‍රික්ක වල සුළු ජන නියෝජනය සහතික කිරීම සඳහා පාර්ලිමේන්තු හෝ පළාත් සභා මැතිවරණයට තරඟ කරන නාමයෝජනා ලැයිස්තුවල සුළු ජාතිකයෙක් නම් කරන්නේ නම්, එම අපේක්ෂක ලැයිස්තුවල පළමු හෝ දෙවැනි තැනට අදාළ සුළු ජාතිකයින්ගේ නම් යෙදිය යුතු බව  ඔහු විසින් පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම එලෙසම තබාගෙන පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු අඩු කිරීමට යෝජනා කිරීම තමාට ගැටලුවක් බවයි. එසේම පළාත් පාලනය දේශපාලනයෙන් වියුක්ත කිරීම කළ නොහැකි දෙයක් බව මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, සුනිල් ජයසේකර මහතා කියා සිටියේ මාදුළුවාවේ සෝහිත හිමියන් විසින් 2013 දී ආරම්භ කළේ හුදු දේශපාලන බලය ලබා ගැනීම සඳහා වන ක්‍රියාවලියක් නොව ජනතාවට පරමාධිපත්‍ය බලය ලැබෙන, ජනතාවගේ සහභාගීත්වය සහිත දේශපාලන ක්‍රමයක් මෙරට තුළ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් බවයි.

ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් හරහා 2020 දී නව මැතිවරණ ක්‍රමයක් උදෙසා සිය යෝජනා රජයට ඉදිරිපත් කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට හැකි වූ බව ද සුනිල් ජයසේකර මහතා මෙහිදී හෙළි කළේය.

“මේ සියල්ල තුළ අපි අපේක්ෂා කළේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට යොමුවන ක්‍රියාවලියක්. අපි යම් යම් අයගේ වුවමනා එපාකම් මත, කොන්ත්‍රාත් මත ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් කියලා ඇතැමුන් චෝදනා කරනවා. අපි ඒ ගැන ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. එසේම අද අපි ඉදිරිපත් කරන මෙම යෝජනාවලිය මේ රටේ යහපත් මැතිවරණ සංස්කෘතියකට පදනම සකසනු ඇතැයි යන විශ්වාසය අප තුළ තිබෙනවා. එය පෝෂණය කිරීමේ වගකීම තිබෙන්නේ මේ රටේ දේශපාලන පක්ෂවලට බවත් මම මෙහිදී සිහිපත් කරනවා”

යැයි ද සුනිල් ජයසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය‍.

Print Friendly, PDF & Email

Leave a Reply