You are currently viewing අල්ලේ පැළවන බොරුවෙන් උපන් රාජ්‍ය ප්‍රතිපත්තිය..

අල්ලේ පැළවන බොරුවෙන් උපන් රාජ්‍ය ප්‍රතිපත්තිය..

අල්ලේ පැළවන බොරු යනුවෙන් ජන වහරේ හැඳින්වෙන්නේ කිසිම ආකාරයකින් විශ්වාස කළ නොහැකි කට ට ආ පලියට කියන බොරුවලටය. එවැනි බොරු කීමෙන් කිසිවෙකු රැවටෙන්නේ හෝ රැවටීමට හැකි වන්නේ නැත. සාමාන්‍ය මිනිසුන් කියන බොරු එසේ වුවද රටේ පාලකයන් කියන බොරු එසේ වන්නේ නැත. අල්ලේ පැළවන බොරු රජයේ ඉහළම තැන්වල අය නිතර නිතර කියන විට සත්‍යයක් සේ පෙනී නොගියත් එය එසේ යැයි පිළි ගැනීමට සිදු වනු ඇත. රටේ පාලකයන් වන ඔවුන් කියන්නේ බොරු බව හොඳින් පැහැදිලි නමුත් ජනතාවට කළ හැකි දෙයක් නැති නිසා බොරුව සත්‍යය සේ පිළිගැනීමට සිදුව ඇත.

පාර්ලිමේන්තුවෙන් පත් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන බොරුත් එසේය. ඔහු කියන්නේ බොරු බව රජයේ සෙසු බලධාරීන් දන්නා නමුත් කළ හැකි වෙනත් දෙයක් නැති නිසා ඔවුහු ද එම බොරුවම වමාරති. ජනතාවද එය බොරුවක් දන්නා නමුත් කළ හැකි වෙනත් දෙයක් නැති නිසා බොරුවටම යට වේ.

රටේ පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව පළාත් පාලන මැතිවරණය පවත්වා පසුගිය මාර්තු මාසය මැද වන විට නව පළාත් පාලන ආයතන ස්ථාපිත කළ යුතුය. එහෙත් ඒ නීතියේ සඳහන් ආකාරයට ඡන්ද විමසීම් පැවැත්වීම ඔහුටත් ඔහුගේ ආධාරකය වන පොදුජන පෙරමුණටත් අවාසි නිසා මැතිවරණය නොපැවැත්වීමට ඔහුට අවශ්‍ය විය. මැතිවරණ කොමිසම තම වගකීම අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නාම යෝජනා කැඳවා ඡන්දය පැවැත්වීමට දින නියම කළ නිසා ආණ්ඩුවට නිත්‍යානුකූලව වෙනත් විකල්ප තිබුණේ නැත. රජයේ වාර්ෂික අයවැය ප්‍රතිපාදනවලින් ඡන්ද විමසීම සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර තිබුණ නිසා එය අනිවර්යෙන්ම සිදු විය යුතු දෙයක් බවට සමාජයේ පිළිගැනීමක් තිබිණ.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සඳහා ගත හැකි එක පියවරක් වූයේ එම නීතිය සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීමෙනි. එය කළ නොහැකිනම් තවත් මාර්ගයක් වූයේ ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කිරීම නිම වන තෙක් පමා කිරීමය. එය ද වලංගු තර්කයක් නොවුයේ සීමා නිර්ණය කිරීම අනුව ඡන්ද විමසීම ඉදිරියට පැවැත්වෙන ඡන්ද සඳහා විනා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා බලපෑමක් නොවන බවට අදහස් මතු වීමය. අනෙක් අතට සිමා නිර්ණය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් නම් එය නිම කිරීම සඳහා ප්‍රමාණවත් කාලක් තිබුණි. සීමා නිර්ණය කිරීමේ කොමිසම පත් කොට වසර තුනකට අධික කාලයක් ගත විය.

ඡන්දය නොපැවැත්වීමට යොදා ගැනීමට තිබුණු තවත් ප්‍රබල සාධකයක් වූයේ මුදල් නොමැතිකම ය. විදෙස් රටවලින් සහ ආයතනවලින් ලබා ගත් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් භාවය ප්‍රකාශ කර ඇති නිසා මෙය හොඳ තර්කයකි. ඉන්ධන ගෙන්වා ගැනිමට හෝ රජයේ සේවකයන්ගේ පඩි ගෙවා ගැනිමට නොහැකි තත්වයක් පවතින බව අමුතුවෙන් පැවසීම අවශ්‍ය නොවේ. මුදල් නොමැතිකම සැම තැනකම දැකිය හැකි තත්වයකි.

එම නිසා ඡන්ද විමසීම පැවැත්වීමට අයවැය ප්‍රතිපාදනවලින් මුදල් වෙන් කර ඇති නමුත් භාණ්ඩාගාරයේ මුදල් නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට හෝ වෙනත් අවශ්‍යතා සඳහා මුදල් ලබා දිය නොහැකියැයි මුදල් ඇමති වූ රනිල් වික්‍රමසිංහ මෙන්ම භාණ්ඩාගාරයේ ලේකම් ද කීවේය. අයවැයෙන් ඡන්ද විමසීම සඳහා වෙන් කර ඇති මුදල් නිකුත් කිරීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ විට භාණ්ඩාගාරයේ ලේකම් දිව්රා ප්‍රකාශ කෙළේ ද මුදල් නැති කම ය. රජයේ මුද්‍රණාලයේ සේවකයන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට බාධාවක් නැති බව පැවසුව ද මුද්‍රණාලයාධිපතිනිය කීවේ ද මුදල් නැති කම නිසා එය කළ නොහැකි බවය. කෙසේ හෝ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමිමක් හෝ අවලංගු කිරීමක් නැතිවම අහෝසි වී ඇත.

රාජ්‍ය පාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද කියා ඇත්තේ අමූලික බොරුවක් බව ආණ්ඩුවේ තවත් ආයතනයක් පෙන්වා දේ. ඒ වෙන කිසිවෙක් නොව රජයට ආදායම් එකතු කර දෙන දෙපාර්තමේන්තුවයි. එනම් රජයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවයි. පසුගියදා ප්‍රකාශයට පත් කළ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පළමු කාර්තුවේ වාර්තාව අනුව එම කාර්තුවේ රජයේ ආදායම දෙගුණයටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. 2022 වසරේ පළමු කාර්තුවේ බදු ආදායම රු. බිලියන 146.5 ක් වූ අතර 2023 වසරේ පළමු කාර්තුවේ බදු ආදායම රු. බිලියන 316.6 කි. එනම් ආදායමේ සියයට 116ක වැඩි වීමකි. මෙම සංඛ්‍යා ලේඛන ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන අනුව තහවුරු කර ගත් ඒවා බවට සැකයක් තිබිය නොහැකිය.  

එය සත්‍යයක් නම් පසුගිය මාර්තු මාසයේ දී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රු. බිලියන 10ක් ලබා දිය නොහැකි වූයේ මුදල් නොමැතිකම නිසා විය නොහැකිය. මෙම ආදායම් මහා භාණ්ඩාගාරයට සෘජුවම බැර වන නිසා ඡන්දය පැවැත්වීමට මුදල් නැතැයි විෂය භාර ඇමති සහ එහි ලේකම් අධිකරණයට පවසන විට කර ඇත්තේ අධිකරණයත් ජනතාවත් නොමග යැවීමකි. නැතිනම් සාමාන්‍ය වහරේ යෙදෙන ආකාරයට අල්ලේ පැළවෙන බොරු කීමකි. දේශපාලකයන් පමණක් නොව ඔවුන් යටතේ සිටින නිලධාරීන් පවා පාලකයන් වෙනුවෙන් කියන්නේ බොරුය.

අනෙක් අතට සැබැවටම මුදල් හිගකමක් පවතින්නේ නම් වැය කිරීම ද අඩු විය යුතුය. රට බංකොළොත් භාවය ප්‍රකාශ කෙළේ මුදල් නැති කම නිසා ය. එහෙත් යථාර්ථය එසේ නොවේ. 2022 වසරේ මුල් මාස නමය ඇතුළත් රජයේ වියදම අසීමිත ආකාරයෙන් වැඩි වී ඇත. එනම් 2021 වසරේ මුල් මාස නමය හා සසඳන විට වියදම රු. බිලියන 484කින් වැඩි වී රු. ට්‍රිලියන 1.8ක් වී ඇත. ඉන්ධන නොමැතිව ජනතාව දින ගණන් පෝලිම්වල සිටිය දී රෝහල්වල බෙහෙත් නැතිව ජනතාව දුක් විඳිද්දී සහ සමහර අය මියැදෙන විට කීවේ ද මුදල් නොමැති කම ය. සැබැවින්ම මුදල් නොමැති නම් වියදම ද අඩු වි තිබිය යුතුය. එහෙත් මෙම සංඛ්‍යා ලේඛනවලින් කියවෙන්නේ වෙනත් කතාවකි. ඉන්ධන බෙහෙත් හේත් සහ වෙනත් අවශ්‍යතා සඳහා මුදල් නැති වුවත් තවත් සමහර කාර්යන් සඳහා පෙර වසරවලටත් වඩා වියදම් කිරීමට මුදල් තිබී ඇත. මෙපමණ විශාල මුදලක් වැය කර ඇත්තේ 2021 වසරේ ආර්ථිකය සියයට 7.8කින් හැකිළී ගිය තත්වයක් යටතේය.

මේ කාසියේ එක පැත්තකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව වැටුප් ලබන සියලු දෙනාගෙන්, සමහර අයට දරා ගත නොහැකි ප්‍රමානයෙන් බදු අය කරන්නේ රජයේ බලධාරීන් පවසන ආකාරයට ජනතාවට සහන සැලසීම සඳහා ආදායම් වැඩි කර ගැනීමට ය. එහෙත් රජයට ලබා ගත හැකි වෙනත් ආධායම් මාර්ග සපුරා ගැනීමට දක්වන්නේ පුදුම උදාසීනත්වයකි. නිදසුනක් වශයෙන් ධීවර ජනතාවටත් වෙරළ පරිසරයටත් ඉමහත් විනාශයක් කළ පර්ල් එක්ස්ප්‍රස් නැවෙන් වන්දි මුදල් අය කිරීමට රජයට ජනතාවගෙන් බදු මුදල් අය කර ගැනීමට දක්වන උනන්දුව සහ කාර්යක්ෂමතාවය දක්නට නැත. මෙම සිද්ධිය 2021 මැයි මාසයේ සිදු වුවද 2023 අප්‍රේල් දක්වා හානිය සහ වන්දිය අය කර ගැනීමට නීති ක්‍රියා මාර්ග ගෙන තිබුණේ නැත. මෙම ප්‍රමාදය පිටුපස ඩොලර් දශලක්ෂ 250ක ගනුදෙනුවක් සිදුව ඇතැයි රටේ අධිකරණ ඇමතිම කියා ඇතත් ඒ ගැන මෙතෙක් කිසිම සොයා බැලීමක් නැත. අනිත් කාරණය යෝජිත නීති ක්‍රියා මාර්ගය අනුව යම්හෙයකින් හෝ ලැබෙන මුදල, කරන වියදමට සරිලන්නේ නොමැති බව විවිධ අංශවලින් ප්‍රකාශ වී තිබීමය. ඊට මූලික හේතුව වන්නේ මෙම නඩුව සිද්ධිය වූ ශ්‍රී ලංකාවේ නොව වෙනත් රටක පැවරීමය.

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ

නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොණු කරන නඩුව අනුව වන්දිය ඩොලර් බිලියන 6.2ක් වුවද එම රටවල පවතින නීති ප්‍රතිපාදන අනුව එවැනි මුදලක් ලබා ගැනීමට කිසිදු හැකියාවක් නැත. එක්සත් රාජධානියේ පවතින නීතිය අනුව මෙවැනි හානියකට ලබා දිය හැකි උපරිම වන්දිය පවුන් දශ ලක්ෂ 19.5කි. එය ඩොලර් බිලියන 6.2 කට වඩා බෙහෙවින් අඩු බව තේරුම් ගැනීමට ගණිත විද්‍යා විශාරදයෙකු විය යුතු නොවේ.

මුදල් තිබියදී ඡන්ද විමසීමට මුදල් නැති බව පවසා එය අහොසි කරන තත්වයට පත් කිරීමත් අය කර ගත හැකි මුදල් පවා අය කර ගැනීමට නිසි කලට විධිමත් ආකාරයට පියවර නොගැනීමත් රනිල් ගේ මෙන්ම ඊට පෙර සිටි රජයන්ගේ ද ප්‍රතිපත්තියයි. වඩාත් නිවැරදිව බොරුකීමේ රාජ්‍ය ප්‍රතිපත්තියයි. ව්‍යවස්ථා සම්පාදකයන්යැයි හඳුන්වා ගන්නා අය මෙවැනි බොරුකීමේ ප්‍රතිපත්ති ගැන විමසා නොබලන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව ඔවුන් ජනතා නියෝජිතයන් නොවන නිසාය. බැස යන දියෙන් දෝතක් ගැනීම ඔවුන්ට සෑහේ.

ලංකාවේ ආර්ථිකයත් දේශපාලනයත් ගොඩ ගැනීමටනම් මෙම ක්‍රමය වෙනස් කොට ජනතාවට සෘජුව වගකියන පාලන තන්ත්‍රයක් ඇති කළ යුතුය. එවැනි මුලපිරුමක් නැතිව දූෂණ විරෝධී පනත් කතරම් ගෙන ආවත් ඵලක් නැත. දූෂණයට වංචාවට එරෙහිව නැගෙන මහජන මතය මර්දනය කිරීමට ත්‍රස්තවිරෝධී පනත් ගෙන ඒම විසඳුමක් නොවනු ඇත. ඒ මූලික වශයෙන් ම ත්‍රස්තයන් බවට පත්ව ඇත්තේ පාලකයන්වීම නිසා ය.

Print Friendly, PDF & Email

Leave a Reply