You are currently viewing අධිභාරය ඉවත් කර ගැනීමෙන් පමණක් සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු විසඳෙන්නේ නැත..

අධිභාරය ඉවත් කර ගැනීමෙන් පමණක් සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු විසඳෙන්නේ නැත..

පසුගිය අයවැයෙන් යෝජනා කළ සියයට 25ක අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් විශ්‍රාම දීමනා අරමුදල්වලින් අය කර නොගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම ඒ ආකාරයෙන් ම ඉටු වුවහොත් මහත් අස්වැසිල්ලකි. එසේ නොවුයේ නම් තවත් රොෂාන් චානකලා සිය දහස් ගණනක ගේ ජීවිත අහිමි වීමට ඉඩ තිබිණ.

මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශයත් සමග සේවක අර්ථසාධක අරමුදල ගැන තිබු උනන්දුව පහවී යන්නේ නම් එය ද ඛේදවාචකයකි. ඒ අර්ථසාධක අරමුදලෙන් දැනටමත් අය කර ගන්නා බදු ගැන සංවාදය යටපත් වීම නිසා ය.

2021feb18[1]_EPF_in_dan

1958 අංක 15 සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ අරමුදලක් පිහිටුවීමේ මූලික අරමුණ වූයේ විශ්‍රාම වැටුපක් නැතිව විශ්‍රාම යන ශ්‍රමිකයන් ගේ ඉදිරි සුභ සාධනය යි. විශ්‍රාමිකයන්ගේ ඉදිරි ජීවිත කාලය සැලසුම් කර ගැනීම සඳහා කිසියම් මුදලක් එක වරම ලබා දීම සඳහා ය. ඒ සඳහා සේවකයාගේ වැටුපෙන් මෙන් ම සේව්‍යයාගෙන් ද දායක මුදලක් අය කර ගන්නා ලදී. එහි භාරකාරත්වය පැවරුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ය. මෙහි දී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ එම දායක මුදලට සේවකයාගේ වැටුපෙන් ප්‍රතිශතයක් කපා ගන්නා අතර සේව්‍යයාගෙන් ද ප්‍රතිශතයක් අය කර ගැනීම ය. සේව්‍යයා තම දායක මුදල තම වැටුප් බිලෙන් පිරිවැයක් සේ දක්වන නිසා ඔහු එම කොටස සඳහා ආදායම් බදු ගෙවිය යුතු නැත. එම මුදල නිෂ්පාදන පිරිවැයේ ම කොටසකි. නැතිනම් සේවකයා වෙනුවෙන් වැය කරන වැටුප් ප්‍රමාණයේ ම කොටසකි.

මහළු  වයසට පත් වන ජනතාව රැක බලා ගැනීම රජයේ වගකීමක් වන නිසා මෙම අරමුදල එක්තරා ආකාරයෙන් රජයෙන් ලබා දිය යුතු සහනය සේවකයාගෙන් ම එක් රැස් කර ආපසු ගෙවීමකි. රජයට එය ඇත්තෙන්ම සහනයකි.

රජයට සහනයක් වන මෙම අරමුදලෙන් ආයෝජනය කිරීම සඳහා අවම පොලියකට ලබා මුදල් දෙන නමුත් ඉන් බදු අය කිරීම පරිස්සමට තිබු දේ ඈලියාවට යෑමකි. එසේ වූයේ අරමුදලේ දායක මුදලින් වාර්ෂිකව සියයට දහයක බදු මුදලක් අය කිරීම නිසා ය. සාමාන්‍යයෙන් බදු මුදලක් අය කරන්නේ එම ආයතනයේ හෝ පුද්ගලයාගේ උපයා ගන්නා ආදායමෙන් වුවද මෙම සියයට දහය අය කර ගන්නේ ආදායමෙන් නොව දායක මුදලෙනි. එනම් සේවක වැටුපෙන් කපා ගන්නා මුදලෙනි. මෙම අනුපාතය 2018 දී සියයට 14 දක්වා වැඩි කෙරිණ.

2018 දී මෙසේ බදු වශයෙන් අය කර ගත් මුදල රුපියල් බිලියන 40ක් වූ අතර, එය සම්පූර්ණ බදු ආදායමෙන් සියයට 20ක් තරම් ඉහළ ප්‍රමාණයකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරෙකු වූ ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා පෙන්වා දෙන ආකාරයට 2020 දී අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් දශ ලක්ෂ 19ක් සිටි අතර බදු වශයෙන් අය කර ගත් මුදල ඉන් සෑම සාමාජිකයෙකුගෙන්ම රුපියල් 2060 ක ප‍්‍රමාණයකි.

විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් රජයෙන් ලබා දිය යුතු සේවා සහ පහසුකම්වලින් මිදීම සඳහා සේවකයන්ගේම දායකත්වයෙන් පිහිටුවන ලද අරමුදලකින් මෙසේ බදු අය කිරීම සාධාරණ ද යන ප‍්‍රශ්නය නැගිය යුතුය. සියයට 25 අධිභාරය ඉවත් කර ගැනීම නිසාම මෙම අසාධාරණය නිවැරදි වන්නේ නැත.

මෙහි අසාධාරණත්වය වඩාත් කැපී පෙනෙන්නේ වෙනත් අංශවලට ලබා දී ඇති සහන නිසා ය. රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වු වහාම වැට් සහ උපයන විට ගෙවීම බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ගත් තීරණය නිසා රුපියල් බිලියන 650ත් 680ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රජයට අහිමි විය. වෙනත් ආකාරයෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හතරක් අහිමි වීමකි. අධිභාර බද්ද පැන වූයේ නම් අය කර ගත හැකි වන්නේ ජාතික නිෂ්පාදිතයෙන් සියයට දශම පහක මුදලකි. එතෙක් රැස් කර ගනිමින් සිටි සියයට 4ක බදු මුදල වෙනුවට විශ්‍රාමිකයන්ගේ සුභ සාධනය සඳහා වූ මුදලෙන් සියයට දශම පහක මුදලක් අය කර ගැනීමකි. ඉන් පැහැදිලි වන්නේ කෙසේ හෝ මුදල් රැස් කර ගැනීම විනා ප්‍රතිපත්තියක් අනුව බදුඅය කිරීමක් මෙම ආණ්ඩුවට නැතිකමය.

අනිත් අතට මෙම අරමුදල එහි සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට ආයෝජනය කිරීමේ වගකීම පැවරී ඇති මූල්‍ය මණ්ඩලය ද ක්‍රියා කර ඇත්තේ ඒ අරමුණෙන් ම නොවේ. මේ බව හොඳින්ම දක්වා ඇත්තේ 2015 රජයේ බැඳුම්කර අලෙවි කිරීමේ දී සිදු වූයේයැයි කියන අක්‍රමිකතා සහ දූෂණ ගැන සෙවීමට පත් කළ කණ්ඩායමේ වොහාරික විගණන වාර්තාවෙනි. ඒ අනුව 2003 ජනවාරි සිට 2015 පෙබරවාරි දක්වා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවත්වන ලද වෙන්දේසිවලට අරමුදල සහභාගි වී අඩු පොලී අනුපාතයක් ලැබීම නිසා අරමුදලට සිදුව ඇති පාඩුව රු.දශලක්ෂ 256.37කි. විමර්ශනය කර ඇති 2007 ජනවාරි සිට 2015 පෙබරවාරි දක්වා ද්වීතීය වෙළඳ පොළ ගනුදෙනුවලට සහභාගිවීමෙන් අරමුදලට ඇති වූ පාඩුව රු. දශ ලක්ෂ 8716.48 කි.

2021feb18[1]_EPF

රාජ්‍ය බැඳුම්කර අලෙවි කිරීමේ දී ප‍්‍රමුඛත්වය අරමුදලට ලබා දිය යුතු වුවත් එසේ නොකිරීම නිසා සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර මිලදී ගෙන ඇත්තේ ද්වීතීය වෙළඳ පොළෙන් ය. ද්වීතීය වෙළඳ පොළෙන් මිලදී ගැනීම නිසා වැඩි ලාභයක් අත්වන්නේ බැඳුම්කර පළමුවෙන් ලබා ගත් බැංකු සහ ආයතනවලට ය. එවැනි අවස්ථා ගණනාවක්ම වොහාරික වාර්තාවේ දක්වා ඇත. එවැනි ගනුදෙනුවලින් අරමුදලට සිදුව ඇති පාඩුව ද වොහාරික ගිණුම් වාර්තාවේ සඳහන්ව ඇත. 

මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීමේ වගකීම ඇති පෙර කාර්යාලය ( Front Office ) ක්‍රියා කර ඇති ආකාරය ද වොහාරික විගණන වාර්තාවේ විවේචනයට ලක් වූ කාරණයකි. එහි සඳහන් වන ආකාරයට විගණනය කළ අවස්ථා 100කින් 18කදීම පෙර කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ට බලය පවරා ඇති දශ ලක්ෂ සියයේ සීමාව ඉක්මවා ආයෝජනය කර ඇත. එසේ ගනුදෙනු කිරීමෙන් අවස්ථා 177 කදී ද්වීතීය වෙළඳ පොළෙන් බැඳුම්කර මිලදී ගැනීම නිසා සේවක අර්ථ සාධක අරමුදලට සිදුව ඇති පාඩුව රුපියල් දශ ලක්ෂ 620.81කි.   

වොහාරික විගණනයෙන් මතු කර ඇති තවත් කරුණක් වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවන් (Custodian )  ලෙස සේවය කළ නිලධාරීන් හෙළි කළ නොහැකි ආකාරයට වත්කම් උපයා ඇති ආකාරයයි. එම වාර්තාව අනුමානය කරන ආකාරයට මෙම වත්කම් උපයා ඇත්තේ සේවා අර්ථසාධක අරමුදල පිළිබඳ සංවේදී තොරතුරු සුරැකුම් පත්වල ආයෝජනය කරන පුද්ගලයන්ට සහ සමාගම්වලට ලබා දීමෙනි. එවැනි පුද්ගලයන් කීප දෙනකු වාර්තාවෙන් නම් කර ඇත.

ඉන් පැහැදිලි වන්නේ ප්‍රතිපත්ති තීරණ ගැනීමෙන් පමණක් නොව සාමාන්‍ය ක්‍රියා පටිපාටිය තුළින් ද අරමුදලට හානිදායක ලෙස විවිධ මට්ටම්වල නිලධාරීන් කටයුතු කර තිබීම ය.

මේ සියලු අකටයුතුවල අවසාන ප්‍රතිඵලය වන්නේ වසර අවසානයේ දී එක් එක් සාමාජිකයාගේ තැන්පතුවලට ලැබෙන පොලී අනුපාතය සොච්චමක්වීම ය. එම වංචා සහ අකටයුතුවලින් පාඩු ලබන්නේ එහි සාමාජිකයන් ය. 

එමනිසා සේවක අර්ථ සාධක අරමුදලෙන් අධිභාරයක් අය කර ගැනීමට එරෙහිව නැගී සිටි වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ අධිභාරය අය නොකරන බවට දී ඇති පොරොන්දුවත් සමග නිහඬ වීම සැබෑ ප්‍රශ්නය මග හැරීමකි.

ඇත්තෙන්ම වොහාරික විගණන වාර්තාව නිකුත් වීමත් සමග බොහෝ අය උනන්දු වූයේ එහි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු ගැන පමණි. සුරැකුම් පත් නිකුත් කිරීමේ දී සිදුව ඇති පාඩුවටත් වැඩි පාඩුවක් සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනයේ දී සිදුව ඇති බව කිසිවෙකුගේ සැලකිල්ලට යොමු වූයේ නැත.

අප කලින් සඳහන් කළ ආකාරයට විශ්‍රාම වැටුපක් නැති සේවකයන්ගේ අභිවෘද්ධිය සඳහා පිහිටුවන ලද මෙම අරමුදල් අයථා ආකාරයෙන් ආයෝජනය කිරීමෙන් සහ ඉන් බදු අය කිරීමෙන් එහි සාමාජිකයන්ට වන පාඩුවට පවතින තත්වය අනුව වගකිව යුතු කිසිවෙකු නැත. එහි ප්‍රධාන වගකීම පැවරී ඇති ආණ්ඩුවට වුවත් ආණ්ඩුව එය යොදා ගෙන ඇත්තේ බදු අය කර ගැනීමේ තවත් මූලාශ්‍රයක් වශයෙන් පමණි. එම බදු මුදල් අය කර ගැනීමේ දී පවා ආදායම් උපදවන වෙනත් ආයතනවලට වෙනස් ආකාරයෙන් ආණ්ඩුව ක්‍රියා කර ඇත. දැනටත් පනවා ඇති සියයට 14 බද්ද එවැන්නකි.

මෙම තත්වය වෙනස් කළ හැකි වන්නේ අරමුදලේ සාමාජිකයන්ගේ නියෝජනයක් අරමුදල් ආයෝජනය කිරීමේ දී සහ එහි පරිපාලනයේ දී ඇතුළත් කර ගැනීමෙනි. අරමුදල් ආයෝජනය මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයෙන් නිසි ආකාරයට සිදු නොවන බව වොහාරික විගණනයෙන් මනාව පෙන්වා දී ඇත. සේවක නියෝජනයක් සහිත මණ්ඩලයක් පත් කිරීමට අධිභාරය පැනවීමට එරෙහිව නැගී සිටි ආකාරයේ උද්ඝෝෂණයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයකි. අරමුදලේ ක්‍රියාකාරිත්වය අධීක්ෂණයට එහි සාමාජිකයන්ට අවස්ථාවක් ලැබෙන්නේත්, ගනුදෙනු පිළිබඳ විනිවිද භාවයක් ඇති වන්නේත් එවැනි ක්‍රියා මාර්ගයකින් පමණි.  

Print Friendly, PDF & Email

Leave a Reply