You are currently viewing ගුරු සහ ගොවි සටන්වලින් උගත් පාඩම්..

ගුරු සහ ගොවි සටන්වලින් උගත් පාඩම්..

ගුරු විදුහල්පතිවරු පාරට බැස්සෝය

ගුරු සහ ගොවි සටන් ඉදිරියේ ආණ්ඩුව පසු බැස්සේය. ඒ සමග ම සමාජයේ දේශපාලන උද්යෝගය වේගයෙන් ඉහළ ගියේය. එය තවදුරටත් තීව්‍ර කිරීමට අතිරේක හේතුවක් වූයේ ඉන්දියාවේ ගොවි සටන ඉදිරියේ නරේන්ද්‍ර මොදි ආණ්ඩුව ද පසු බැසීමයි.

මෙම සටන්වලින් ප්‍රත්‍යක්ෂ වූයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජනතා අභිලාෂ ඉටු කරවා ගැනීම සඳහා ජනතාව පාරට බැස මහජන නියෝජිතයන්ට සහ රජයට බලපෑම් කිරීම අත්‍යවශ්‍ය බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක යහපැවැත්ම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් වේ. ඒ අර්ථයෙන් ගුරු සහ ගොවි සටන් වනාහී එවැනි සම්ප්‍රදායකට මුලපිරීමක් පමණි.

ගුරුවරු සහ ගොවීහු පමණක් නොව අතිශයින් පීඩිත වතු කම්කරුවෝ ද පසුගිය සමයේ පාරට බැස්සෝය. එහෙත් ඔවුන්ට තවමත් රුපියල් 1000ක දිනක වැටුප දිනා ගැනීමට නොහැකි වී ඇත. ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වී සිටින කාන්තාවෝ ද පොළොන්නරුවේ දී පාරට බැස්සෝය. එහෙත් ඔවුන්ට ද පේන තෙක් මානයක විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී ඇත.

ගොවීහු පාරට බැස්සෝය

මෙයින් පෙනී යන්නේ ජනතා සටන් ජයග්‍රහණය කිරීම සඳහා පාරට බැසීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ජනතා සටනක් ජයග්‍රහණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙනත් දේ මොනවා ද? ගුරු සහ ගොවි අරගල දෙස බැලූ විට පෙනී යන්නේ එවායේ සාර්ථකත්වයට ප්‍රධාන සාධක 4ක් බලපෑ බවයි. එම සාධක මෙසේය.

වතු කම්කරුවෝ ද පාරට බැස්සෝය
  • ඉල්ලීම් සාධාරණ වීම හා ඒ බැව් පෙනෙන්නට තිබීම.
  • සටන් කරන සංවිධාන අතර සමගිය.
  • සටනට ලැබෙන බහුජන සහයෝගය.
  • අවස්ථානුකූලව නිවැරදි සටන් උපක්‍රම තෝරා ගැනීම.

ඉල්ලීම් සාධාරණ වීම හා ඒ බැව් පෙනෙන්නට තිබීම

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම සාධාරණ වූවා පමණක් නොව ඒ බැව් පෙනෙන්ට ද තිබුණි. ඔවුන්ට ලැබෙන වැටුප නින්දාසහගත යැයි සමාජ මතයක් ගොඩනැගුණි. එ නිසා ඔවුන්ට කිසියම් වැටුප් වැඩි වීමක් දිනා ගත හැකි විය.

එහෙත් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ සුබෝදිනී කමිටුව මගින් නිර්දේශිත වැටුපය. එම ඉල්ලීම දිනා ගැනීමට නොහැකි විය. එම ඉල්ලීම හෝ එවැනි ආකර්ශනීය වැටුපක් ඉල්ලීම සාධාරණීකරණය කළ යුතු විය. ඒ සඳහා ඉගැන්වීම යනු වෛද්‍ය, නීතීඥ, ඉංජිනේරු වැනි වෘත්තියක් බව පළමුවෙන් ම තහවුරු කළ යුතුව තිබුණි. දෙවනුව එවැනි වෘත්තියක තිබිය යුතු අවම අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ඔවුන්ට තිබෙන බව ද තහවුරු කළ යුතුව තිබුණි. ගුණාත්මක අධ්‍යාපනයක් උදෙසා ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීයමය තත්ත්වය පිළිගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව වෙසෙසින් අවධාරණය කළ යුතුව තිබුණි.

ඒ සඳහා ඔවුන්ට ශක්තිමත් පදනමක් තිබුණි. ඒ ගුරුවරයාගේ තත්ත්වය පිළිබඳ යුනෙස්කෝ නිර්දේශ මාලාවයි. එම නිර්දේශ අනුව ඉගැන්වීම යනු වෘත්තියකි. අධ්‍යාපනය පිළිබඳ සියලු තීරණ ගත යුත්තේ රජය, ගුරු සංගම් සමග සාකච්ඡා කර එකඟතාවයෙන් යුතුවය. වෙසෙසින් ම යුනෙස්කෝ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය උදෙසාය. එහෙත් ගුරු සංගම් ඒ ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. එ නිසා ඔවුන්ට  අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට හේතුවන පරිදි ආකර්ශනීය වැටුපක් දිනා ගැනීමේ අවස්ථාව අහිමි විය. විශ්විවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කළ දින 100 සටනේ ඉල්ලීම් යුනෙස්කෝ නිර්දේශවලට අනුකූල වූ බව මෙහි ලා සැලකිය යුතුය.

ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවෝ ද පාරට බැස්සෝය

සටන් කරන සංවිධාන අතර සමගිය

ගුරු සහ විදුහල්පති සංගම් සමගිය ගොඩනැගී තිබුණි. එහෙත් එක මධ්‍යස්ථානයක් ලෙස නොව දෙකක් ලෙසය. එකක් ස්ටාලින්-මහින්ද කණ්ඩායම ලෙසත්, අනෙක උලපනේ සුමංගල කණ්ඩායම ලෙසත් ප්‍රසිද්ධ විය. මෙම කණ්ඩායම් දෙකේ ම ඉල්ලීම් හා ක්‍රියාමාර්ග බොහෝ දුරට සමාන හා සමාන්තර වූයෙන් අසමගිය ප්‍රදර්ශනය වූයේ නැත.

එහෙත් රජය පාසල් විවෘත කීරීමට තීරණය කිරීමත් සමග ම අසමගිය ප්‍රදර්ශනය විය. පළමුව උලපනේ සුමංගල කණ්ඩායම අඛණ්ඩ වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කළේය. දෙවනුව ස්ටාලින්-මහින්ද කණ්ඩයාම පළමු දින දෙක පමණක් වැඩවර්ජනය කර, ඉන් පසු පාසල් ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන අතර, අඛණ්ඩව සටන ඉදිරියට ගෙන යන බව ප්‍රකාශයට පත් කළේය. එවිට උලපනේ සුමංගල කණ්ඩායමට ඔවුන්ගේ අඛණ්ඩ වැඩවර්ජන තීරණය අතහැර දැමීමට සිදු විය. ඉන් පසු ඔවුන් පොලිස් බාධා කිරීම් මධ්‍යයේ ජනාධිපති කාර්යාලය අභියස සත්‍යග්‍රහයක් පවත්වා ගෙන ගියේය. ඒ අනුව කණ්ඩායම් දෙකේ සටන් ක්‍රියමාර්ග යළිත් සමාන්තර තත්ත්වයට පත් විය. එ නිසා සටන පිලිපැනීමට ලක් වීමෙන් වැළකී ගියේය.

එක් අවස්ථාවක දී උලපනේ සුමංගල කණ්ඩායම වෙත මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් යවා ගුරු විදුල්පති සටන නැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කළේය. එම අවස්ථාවේ ආණ්ඩුවේ උපාය ව්‍යර්ථ කිරීමට ස්ටාලින්-මහින්ද කණ්ඩායම සමත් විය. එයින් උරණ වූ හාමුදුරුවෝ ගුරු විදුහල්පතිවරු වැඩට නොගියොත් වැටුප් නතර කරනු ඇතැයි වදාළ සේක.

ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් පූර්ණ වශයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ගුරු සංගම් සමගිය අත්‍යවශ්‍ය වේ. ගුරු සටන් ඉතිහාසය පුරා උගත් පාඩම එයයි. එහි තීරණාත්මක වැදගත්කම දකින කිහිප දෙනකු කණ්ඩායම් දෙකේ ම දක්නට ලැබීම සාධනීය ලක්ෂණයකි.

සටනට ලැබෙන බහුජන සහයෝගය

ගුරු විදුහල්පති සටන බොහෝ දුරට බහුජන අරගලයක ස්වරූපය ගත්තේය. කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ ස්ටාලින් ඇතුළු පිරිස අමානුෂික හා අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම හා  බලහත්කාරයෙන්  නිරෝධායනය කිරීම නිසා ඔවුන්ට පුළුල් බහුජන සහයෝගය පළ විය. උතුරේ සමාජ දේශපාලන ක්‍රියාකාරීන් ස්ටාලින් ඇතුළු පිරිසට ඇඳුම් ආදිය රැගෙන විත් සහයෝගය පළ කළේය. වැඩි දවසක් නොගොස් ඔවුන් නිදහස් කිරීමට ආණ්ඩුවට සිදු විය.

එතැන් සිට නිරෝධායන නීති නොතකා යළිත් ගුරු විදුහල්පතිවරු නොබියව පාරට බසින්නට පටන් ගත්හ. ස්ටාලින්-මහින්ද කණ්ඩායම දිගින් දිගටම විවිධ වෘත්තීය සමිති සමගත්, කලාකරුවන් ඇතුළු විවිධ ජන කොටස් සමගත් සාකච්ඡා කරමින් බහුජන සහයෝගය දිනා ගැනීමට උත්සුක වූහ. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධ සංවිධානවලට ද පැමිණිලි කළේය.

ක්‍රමයෙන් විවිධ තරාතිම්වල පුද්ගලයෝ සහ සංවිධාන, සමාජ මධ්‍ය ඔස්සේ සහාය පළ කිරීමට පටන් ගත්හ.  විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට පාරට බැස සහයෝගය පළ කළහ. තවත් වෘත්තීය සමිති ගණනාවක් මාධ්‍ය සාකච්ඡා තබා සහයෝගය පළ කළහ. පිකටිං කළහ. කලාකරුවෝ  විවිධාකාරයෙන් තම සහයෝගය පළ කළහ. දෙමාපියන් පාරට බැස පිකට් කිරීමෙන් සහයෝගය පළ කිරීම සුවිශේෂ බලපෑමක් සනිටුහන් කළේය. මේ අනුව ගුරු විදුහල්පති සටනට සැලකිය යුතු බහුජන සහයෝගයක් ලැබුණු බව පැහැදිලිව පෙනේ.

පොලීසියෙන් ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම නිසා මෙම සටනට එරෙහිව ජනතා විරෝධයක් ප්‍රබල ලෙස ගොඩනැගීමට ආණ්ඩුව අසමත් විය. එසේ කිරීමට ආණ්ඩුව දැරූ සෑම උත්සාහයක්ම පාරා වලල්ලක් විය. දෙමාපියන්ගේ සහයෝගිතා පිකටිං උද්ඝෝෂණයට මාවනැල්ලේ ප්‍රාදේශීය දේශපාලකයකු කඩාවැදීම එවැනි එක සිද්ධියකි. ඔහු අත්අඩංගුවට ගන්නා තුරු ගුරු විදුහල්පතිවරු දහස් ගණනක් පාරට බැස පොලීසිටය බලපෑම් කළහ. එමගින් ආණ්ඩුවට ඇති කළ දේශපාලන බලපෑම සුළුපටු නොවේ. ගුරු විදුහල්පති සටනට පුළුල් බහුජන සහයෝගයක් ගොඩනැගී නොතිබුණේ නම්; එවැනි සටනක් එතරම් පහසුවෙන් ජය ගත හැකි වේ යැයි කිසි සේත් සිතිය නොහැකිය.

අවස්ථානුකූලව නිවැරදි සටන් උපක්‍රම තෝරා ගැනීම

ගුරු විදුහල්පතිවරුන්ට ජීවත් වීම දුෂ්කර වන විට වැටුප් වැඩි කරවා ගැනීම සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය තීව්‍ර විය. ඒ අනුව ගුරු හා විදුහල්පති සංගම් එ්කාබද්ධව උද්ඝෝෂණ දියත් කිරීමට පටන් ගත්තේය. කෝවිඩ් වසංගතය නිසා එම උද්ඝෝෂණ නතර විය. ඒ අතර සෞඛ්‍ය නීති ඉදිරියට දමා උද්ඝෝෂණ වළක්වා අධ්‍යාපනය මිලිටරිකරණය කැරෙන කොතලාවල පනත සම්මත කර ගැනීමට ආණ්ඩුව සැරසුනේය. ඒ අවස්ථාවේ ලංකා ගුරු සංගමයේ ස්ටාලින් ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක් දියත් කළේය. එහි දී අමානුෂික හා අනීතික ලෙස අත් අඩංගුවට ගත් ජෝෂප් ස්ටාලින් ඇතුළු උද්ඝෝෂකයින් උසාවියෙන් ඇප නියම කර තිබිය දීත්, සෞඛ්‍ය නීති දඩමීමා කර ගෙන මුලතිව් නිරෝධාන මධ්‍යස්ථානයේ රැඳවුම් බාරයේ තබා ගත්තේය.

එම සිද්ධියේ පැවති අනීතික හා අසාධාරණයට එරෙහිව ජන හඬක් නැගෙන්නට විය. එය ගුරු විදුහල්පති වැටුප් සටන අලුත් වටයකින් පෙරට ගැනීම සඳහා අවස්ථාවක් කර ගැනීමට ස්ටාලින්-මහින්ද කණ්ඩායම සමත් විය. ගුරු විදුහල්පතිවරුන්ට තිබුණු තද බල අවශ්‍යතාවය නිසා ඔවුහු සෞඛ්‍ය නීති කඩා ගෙන පාරට ආහ. එ නිසා අසාධාරණ සෞඛ්‍ය නීති නොතකා කොතලාවල පනතට එරෙහිව පිකටිං කිරීම, ඉතා නිවැරදි සටන් උපක්‍රමයක් තෝරා ගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

ඊ ළඟට ගුරු විදුහල්පතිවරු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැතිවීත්, විභාග අයදුම්පත් ඉදිරිපත් කිරීම හා ඔන්ලයින් ඉගැනීවීම වර්ජනය වර්ජනය කළහ. එය ඔවුන් කෙරෙහි ජනතා විරෝධය ඇවිස්සීමට පාලකයන්ට ලබා දුන් අවස්ථාවක් විය.  එහෙත් කෝවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා තිබුණු නිසාත්, ඔන්ලයින් ඉගැන්වීම සඳහා රජය කිසිදු පහසුකමක් ලබා දී නොතිබුණු නිසාත්, ගුරු විදුහල්පතිවරු කෙරෙහි විශාල ජනතා විරෝධයක් එල්ල වූයේ නැත.

ස්ටාලින්-මහින්ද කණ්ඩායම කොතලාවල පනත ඇතුළු ජනතාවට බලපාන පොදු ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිමින් සටන ඉදිරියට ගෙන ගියේය. එවිට උලපනේ සුමංගල කණ්ඩායම ‘මේක වැටුප් සඳහා කරන සටනක් පමණයි’ යනුවෙන් ප්‍රකාශ කර උද්ඝෝෂණ දියත් කළේය. කණ්ඩායම් දෙක ම දියත් කළ උද්ඝෝෂණවල දී ගුරු විදුහල්පතිවරු බේද නොතකා පාරට බැස්සහ. එ නිසා පොදුවේ ගුරු විදුහල්පති සටනට හානියක් සිදු වූයේ නැත.

පාසල් ආරම්භ කිරීමත් සමග සටන් උපක්‍රම තෝරා ගැනීමේ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණියේය. එම අවස්ථාවේ උලපනේ සුමංගල කණ්ඩායම ගනු ලැබූ අඛණ්ඩ වැඩවර්ජන තීරණය උපක්‍රමික වශයෙන් වැරදිය. මේ දක්වා ගුරු විදුහල්පතිවරු දියත් කර තිබුණේ එක් දින සංකේත වැඩ වර්ජන පමණි. ඇවිදින්ටත් පෙර දුවන්නට පුළුවන් ද? ඊටත් වඩා ලොකු වරද වූයේ, පාරට බැසීමෙන් ආණ්ඩුවට උපරිම බලපෑමක් එල්ල කළ හැකි බවත්, ඒ වන විටත් ගුරු විදුහල්පතිවරුන් පාරට බැස සටන් කිරීමට තරම් ඉදිරියට පැමිණ සිටින බවත් නොදැකීමයි.

ගුරු විදුහල්පතිවරු දිවයින පුරා විසිරී පැතිරී ඇති පිරිසකි. ඔවුන් පාසල් ළමයින් මගින් සියලු පවුල්වලට සමීපව සම්බන්ධ වේ. එබැවින් ඔවුන් පාරට විට කොට එමගින් ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා විශ්වාස මහා පරිමාණයෙන් බිඳ වැටේ. එම දේශපාලන බලපෑමට ඕනෑ ම ආණ්ඩුවක් බිය වේ. ඒ අනුව ස්ටාලින්-මහින්ද කණ්ඩායම පාසල් ළමයින්ට අගතියක් නොවන සේ උද්ඝෝෂණ ක්‍රියාකාරකම් නොකඩවා ඉදිරියට ගෙන යාමට තෝරා ගනු ලැබූ සටන් උපක්‍රමය ඉතා නිවැරදි වන අතර, එය විශිෂ්ටාදර්ශයක් ද වේ.

ගුරු විදුහල්පති සටනට දෙමාපියන් ද එකතු වූයේය

ගුරු විදුහල්පතිවරු පාසල් ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන අතර දෙමාපියන්ගේ සහයෝගීතා පිකටිං උද්ඝෝෂණයක් කැඳවීම ස්ටාලින්-මහින්ද කණ්ඩායම තෝරා ගත් තවත් නිවැරදි සටන් උපක්‍රමයක් වේ. අනතුරුව පැවති විශ්වවිද්‍යාල ප්‍රජාවේ කොන්දේසි විරහිත සහයෝගීතා පිකටිං උද්ඝොෂණයත් සමග ගුරු විදුහල්පති සටන තවදුරටත් බහුජන අගලයක ස්වරූපය ගත්තේය.

මෙසේ නිවැරදි සටන් උපක්‍රම තෝරා ගැනීම නිසා ගුරු විදුහල්පති සටන පසු බැස්ස වීමට ආණ්ඩුවට අවස්ථාවක් නොලැබුණු අතර ආණ්ඩුවට පසු බැසීමට සිදු විය.

උගත් පාඩම්

ගුරු විදුහල්පති සටන තර්කානුකූල අවසානයක් කරා ගෙන යාමට හැකි විය. ඔවුන්ට ලැබුණු වැටුප් වැඩි වීමට වඩා එම සටන මගින් සමාජයට ඉතිරි කළ ආදර්ශය විශාලය. ඒ අතර විශිෂ්ටතම ආදර්ශය වන්නේ ජන බලයෙන් මහජන නියෝජිතයන්ට සහ රජයට බලපෑම් කර, ජනතා අභිලාෂ ඉටු කරවා ගත හැකි බව පෙන්වා දීමයි. දෙවැනි වැදගත් ආදර්ශය වන්නේ ජනතාවට අගතියක් නොවන සේ සටන් උපක්‍රම තෝරා ගැනීමේ වටිනාකම පෙන්වා දීමයි. තෙවැනි ආදර්ශය වන්නේ බහුජන අරගල මාදිලිය ප්‍රවර්ධනය කිරීමයි. සිව්වැනි ආදර්ශය වන්නේ ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය වශයෙන් ද නව නායකයින් බිහි කිරීමයි. පස්වැනි ආදර්ශය වන්නේ ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටින ජනතාව, මානව හා ප්‍රජාතන්ත්‍රීය  අයිතිවාසිකම් උදෙසා ද නැගී සිටීමට පෙළඹෙන බව මාවනැල්ල ආදර්ශයෙන් පෙන්වා දීමයි.

එහෙත් ගුරු විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම කිසි සේත් ජය ගත නොහැකි විය. එයින් පෙනී යන්නේ එම ඉල්ලීම සාධාරණීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් දැනුමක් ඔවුන් සතුව නොතිබුණු බවයි. ඊට අමතරව ගුරු සංගම්, කණ්ඩායම් දෙකක් ලෙස බෙදී සටන් කිරීම ඉතා අවදානම් සහගත තත්ත්වයක් විය. සටන් කිරීම සඳහා ගුරු විදුහල්පතිවරුන් තුළ පැවති දැඩි අවශ්‍යතාවය නොවන්නට, ගුරු සංගම් අසමගිය නිසා, සටන පීලි පැනීමට බෙහෙවින් ඉඩ තිබුණි.

එබැවින් ගුරු සහ ගොවි සටන්වලින් උගත් පාඩම් ඇසුරෙන්  බහුජන අරගල සම්ප්‍රදායයක් ගොඩනගා ගන්නා තුරු, පවතින අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ සාධනීය පරිවර්තනයක් සිදු කිරීමට වෙනත් පහසු කෙටි පාරවල් ඇතැයි සිතිය නොහැකිය. එහෙත් තවමත් බොහෝ දෙනකුට මැතිවරණ දේශපාලන සම්ප්‍රදායයෙන් එළියට ඇවිත් අලුතෙන් සිතන්නට බැරි බව නිරීක්ෂණය වේ.

Print Friendly, PDF & Email

Leave a Reply