‘කිඹුලා කෑවත් කමක් නැහැ. කොහිල ගාලෙ ඇදගෙන යන එක තමයි උහුලන්න බැරි’ යනුවෙන් ජන වහරේ කියමනක් ඇත. රාජ්‍ය ඇමතින් 34ක් පත් කර තවත් ඇමතින් දුසිම් ගණනාවක් පත් කිරීමට සූදානම් වන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලුතින්ම පත් කළ ඇමතීන්ට අරපරිස්සමින් මුදල් වියදම් කරන්නැයි කීමත් එවැනිය. රටට අවශ්‍ය ඉන්ධන ඖෂධ ඇතුළු දහසක් දේ මිලදී ගැනීමට අතේ සතේ නැතිව ලොව පුරා හිඟමනේ යන මෙම රජය ඇමතින්ගෙන් රට ස්වයංපෝෂිත කිරීමට පියවර ගැනීම රනිල් ගේ බල ව්‍යාපෘතියට ගැලපෙන නමුත් එහි බර උසුලන්නේ එදාවේල නැතිව දුකින් තැවෙන ජනතාවයි. කප්පම් කා හිර බත් බුදීමට නියමිත ඇමැත්තන්ටනම් එය බරක් නොවේ.
ආණ්ඩු බලය පවත්වා ගැනීමට ඕනෑම දෙයක් කිරීම රනිල් වික්‍රමසිංහට පමණක් සීමා වූ ව්‍යාධියක් නොවේ. පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්තෙන් බලයේ සිටින සහ බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බොහෝ දෙනෙක් මෙම රෝගයෙන් පෙළෙති. ඒ හැම දෙනා ම ජනාධිපති හෝ අගමැති තනතුරට පත්විමට ඕනෑම කැප කිරීමකට සූදානම් ය. රනිල් මහා බැංකු මංකොල්ලයකට සම්බන්ධයැයි පාර්ලිමේන්තුවේ වහළ දෙදරා යන තරම් වේගයෙන් බෙරිහන් දුන් දිනේෂ් ගුණවර්ධනට ඒ පුද්ගලයා යටතේ අගමැති තනතුර දැරීමට කිසිදු ලැජ්ජාවක් නැත. ෆේල් වූ ගෝඨාභයගෙන් ඇමති තනතුරක් ලබා ගැනීමට හරීන් ප්‍රනාන්දුට හිරිකිතයක් නැත. මෙම වට්ටෝරුව පිටු ගණනාවක් පුරා විහිදෙන නමුත් ඒ සියල්ල සඳහන් කිරීම අනවශ්‍ය ය. පරමාධිපති බලය හිමි ජනතාව ගේ මතකය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් නැත.
දේශප්‍රේමී සිනාවකින් සහ ජාත්‍යාලය නම් කඩතුරාවෙන් විලි වසා ගත් මෙම බොහෝ දෙනකු දේශපාලනයට පිවිසෙන්නේ බලය ලබා ගැනීමේ ඒකායන බලාපොරොත්තුවෙනි. බලය හිමි වන්නේ නම් පක්ෂ පාට තඹ දොයිතුවක් තරම් හෝ ගණන් ගන්නේ නැත. බලය ලබා ගැනීමට ඇතැම් දේශප්‍රේමී නායකයන් ප්රභාකරන්ට පවා අල්ලස් දීමට සූදානම් වූ බව ජනතාවගේ සිත් සතන් තුළ තවමත් සජීවී ව පවතී. එවැනි දේ දූෂණ මර්දන ඒකකයට හෝ අල්ලස් හෝ දූෂණ කොමිසමට පහසුවෙන් අමතක කළ හැකි වුවද ඒවා නිතර මතු වන්නේ දියේ ඔබා තැබීමට තැත් කරන රබර් බෝලයක් මෙනි. මෙම කපටි දේශපාලකයන්ට ඒවා යටපත් කළ හැකි වන්නේ ඊටත් වඩා වැඩි වංචා හෝ දූෂණ තුළිනි. මහා බැංකු මංකොල්ලයට වඩා සීනි වංචාවේ රුපියල් ශත ගණන වැඩිය. සමහර විට තවමත් හෙළි නොවු වංචා සහ දූෂණ මේ සියල්ලට වඩා වැඩි විය හැකිය. ඒ සියලු වංචා සහ දූෂණවල එකතුව මහා භාණ්ඩාගාරය හිස්වීමට සමාන ය.
රනිල් වික්‍රමසිංහ අනුශාසනා කරන ආකාරයට අරපරෙස්සමින් වියදම් කරන්නේ නම් රට බංකොළොත් වන්නේ කෙසේද යන්න විමසා බැලීමට කාලය පැමිණ තිබේ. එසේ විමසිය යුත්තේ වෙන කිසිවක් නිසා නොව රටේ බහුතරයක් කුසට අහරක් නැතිව සාගින්නේ මිය යන තත්වයක් වර්ධනය වෙමින් පවතින නිසාය. ලෝක ආහාර සංවිධානය සඳහන් කරන ආකාරයට සෑම පස් දෙනකුගෙන් හතර දෙනකු ම පණ නළ රැක ගන්නේ දිනකට ආහාර වේලක් හෝ දෙකක් ගැනීමෙනි. මන්ද පෝෂණය අතින් ලොව හයවැනි තැනට පත්ව ඇත්තේ සකල සිරින් පිරි ලංකාවයි. මන්ද පෝෂණ දර්ශකයේ දකුණු ආසියාවේ දෙවන තැනට ලංකාව පත් කිරීමේ ගෞරවය ද මෙම පාලකයන්ට හිමි විය යුතුය.
අධිරාජ්‍යවාදි පාලනය යටතේ දකුණු ආසියාවේ ඉහළම තැනක සිටි ලංකාව වසර හැත්තෑ හතරක් ඇතුළත ලොව දිළිඳුම රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම භාර ගන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක පැවසූ ආකාරයට ඔහු උපදින විට ලංකාවට දෙවන ලෝක යුද්ධයෙන් හෙම්බත්ව සිටි බ්‍රිතාන්‍යයට පවා ණය දීමට හැකියාවක් තිබිණ. එවැනි තත්වයක සිට හිඟමනේ යන තත්වයට රට පත්කිරීමට ඔහු ද වගකිව යුතු බව පමණක් පවසන්නේ නැත.
එහෙත් ජනතාව එහි පලවිපාක දරා ගත යුතු ය. ආහාර ඖෂධ ඉන්ධන පමණක් නොව ජීවන මාර්ග අහිමිවීමෙන් පීඩාවට පත් වන්නේ පාලකයන් නොවේ. රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාවෙන් අඩක් අනවශ්‍ය බව පැවසුවේ ද රාජ්‍ය පරිපාලනය යි. මුදල් නොමැතිකම නිසා ඉදිරි වසරේ දී මැති ඇමතින් හැර වෙනත් කිසිවෙකු රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව පවසන්නේ ද බලධාරීන් ය.
අරගලයක් අවශ්‍ය වන්නේ ජනතාවට කොඩි විනයක් වූ මෙම පාලන ක්‍රමය වෙනස් කිරීමට ය. එවැනි උත්සාහයන් පාලකයන් විසින් ත්‍රස්තවාදී ලෙස හංවඩු ගැසීමේ තේරුමක් ද ඇත. දැනට සියලු වරප්‍රසාද භුක්ති විඳින අයට ඒවා අහිමි කිරීම රාජ්‍ය බලයේ සියලු පල ප්‍රයෝජන භුක්ති විඳින අයට ත්රස්තවාදයක් විය හැකිය. එම තත්වය වෙනස් වුවහොත් ජනතාවගෙන් කොල්ල කෑ සියලු සම්පත් ඒවායේ නිසි උරුමකරුවන්ට ආපසු ලබා දීම ඔවුන්ගේ දැක්ම අනුව ත්රස්තවාදයකි. යුද්ධය පැවති සමයේ අවි ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම දේශපාලන පලි ගැනීමකි. මුදල් වංචා කිරීම පිළිබඳ ව විමර්ශනය කොට වාර්තා කිරීමට පසුගිය යහ පාලන රජයෙන් පත් කළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමේ කොට්ඨාශයද හැඳින් වූයේ දේශපාලකයන් දඩයම් කිරීමේ උත්සාහයක් සේය. අපරාධ නඩු ගණනාවක චූදිතයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ වහාම එම විමර්ශන කටයුතු කළ නිලධාරීන් දඩයම් කිරීම ඇරඹුවේ ය. දැන් රනිල් වික්‍රමසිංහ කරන්නේ ද එවැන්නකි.
වෙනස් කළ යුත්තේ මෙම අශ්ලීල තත්වය යි. එහෙත් ඊට දේශපාලකයන්ගේ කිසිම සූදානමක් නැති බව පසුගිය දා රාජ්‍ය ඇමතින් දුසිම් ගණනාවක් පත් කිරීමෙන් තහවුරු වේ.
මෙම වෙනස කළ හැකි එකම මාර්ගය දේශපාලන මුල පිරීම ජනතාව අතට ගැනීම පමණි. ගාලු මුවදොර සහ දිවයිනේ වෙනත් තැන්වල හටගත් ජනතා විරෝධය ජනතාව දේශපාලන මුල පිරුම සියතට ගත් අවස්ථාවකි. ක්රමයේ වෙනසක් (සිස්ටම් චේන්ජ්) ද ඔවුන්ගේ ඉලක්කයක් වූවද එය සාර්ථක වූයේ නැත. දූෂිත දේශපාලකයන් පලවා හැරීමට සමත් වුවද දූෂිත දේශපාලනය සහ දේශපාලකයන් නඩත්තු කරන ක්රමයේ වෙනසක් සිදු වූයේ නැත. අලුතින් ඒ තැන්වලට පත් වූ පැරණි රටාවේ දේශපාලකයෝ අඩුවක් නැතිව හොරකම, දූෂණය සහ වංචාව තම පැවැත්මට යොදා ගනිති.
ක්රමයේ වෙනසක් කිරීමට ද නිශ්චිතව ඔප මට්ටම් නොකළ ද පැහැදිලි නිරවුල් අදහසක් අරගලය තුළින්ම බිහිව ඇත. ඒ මහජන සභා පිළිබඳ සංකල්පය යි. එය සංකල්පයක් වන්නේ එහි ස්වරූපය, කාර්ය භාරය සහ වගකීම් පිළිබඳ ව නිශ්චිත අදහසක් තවම ජනතාව අතර පිළිගැනීමකට ලක්ව නැති නිසාය. ඉදිරි අරගලය වන්නේ මහජන සභා පිළිබඳ සංකල්පය ජනගත කිරීම ය. ජන අරගලය, සමාජයේ සියලු කොටස් තමන්ගේම අරගලයක් බවට පත් කර ගත් ආකාරයට මහජන සභා සංකල්පය ද වර්ග, ආගම්, භාෂා භේද නොමැතිව ජන පිළිගැනීමට ලක් කළ යුතුය. ඒ සඳහා යොදා ගත යුතු උපාය මාර්ග සහ ක්‍රියා මාර්ග සකස් කර ගත යුතුය.
මෙහිදී අවධාරණය කළ යුතු වැදගත්ම කාරණය වන්නේ එය බුද්ධිමතුන් හෝ දේශපාලන විශාරදයන් තම පාණ්ඩිත්වය දක්වන අභ්‍යාසයක් නොවිය යුතුය යන්නයි. අපට ආදර්ශයට ගත හැකි එකම නිදර්ශනය අරගලයයි. අරගලයේ ආරම්භය අහම්බෙන් සිදු වුවක් සේ පෙනුන ද දූෂිත පාලනයට සහ පාලකයන්ට එරෙහි විරෝධය විවිධ ජන කොටස් අතර විශේෂයෙන්ම සම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව සිටි තරුණ තරුණියන් අතර කලක සිට පැවතිණ. ඔවුන් තම විරෝධය සහ අනාගතයේ විය යුත්තේ කුමක් ද යන්න ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දිගු කලක් තිස්සේ මතවාද පැතිර වූහ. එකිනෙකා හඳුනා නොගත් ඔවුහු මතවාදී වශයෙන් සම්පූර්ණ එකඟත්වයක් නොවුවත් අවම එකඟත්වයකට අවිඥානිකව එළඹුණහ. එය මතු පිටට පැමිණියේ ද අහඹු ආකාරයට ය. නිහඬව විරෝධය දැක්වීමෙන් ඇරඹුණ විරෝධතාවය ලංකාවම සලිත කළ හඬක් බවට පත් විය. එහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් නීති ප්රතිපාදනයක නැති ආකාරයට විධායක ජනාධිපතිට තනතුරත් රටත් හැර යෑමට සිදු වීම යි.
මහජන සභා පිළිබඳ අරගලය දූෂිත පාලකයන් පලවා හැරීමේ අරගලය කළ ආකාරයෙන්ම සිදු කළ නොහැකි වනු ඇත. ඒ දූෂිතයන් පලවා හැරීමේ අරගලය ඔවුන් නිෂේධනය කිරීමේ අරගලයක් වූ අතර මහජන සභා පිළිබඳ අරගලය අලුත් ම දෙයක් නිර්මාණය කිරීමේ සාධනීය උත්සාහයක් නිසා ය. එමනිසා යොදා ගත යුතු උපාය මාර්ග වෙනස් විය හැකිය. වෙනස් විය යුතුය. ඒ සඳහා අපට බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් රඳවා ගැනීමට සමත් නායකත්වයක් සහ ප්රශස්ත භාවිතයක් අරගලයේ මුල් අදියරෙන් බිහිව ඇත. ඊට අනිවාර්යෙන්ම එකතු විය යුතු බොහෝ දේ ඇත. ඒවා නිර්මාණය කර ගැනීමට හැකියාවක් මෙන්ම වුවමනාවක් ඇති පිරිසක් සිටීම අපට ඇති එකම සම්පත යි. එම සම්පත් රැක ගැනීම සහ ශක්තිමත් කිරීම අපට ඇති එකම විසඳුමයි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024