You are currently viewing ඉතිහාසයෙන් පාඩම් (අනාගත සටන්කරුවන්ගේ අවධානයට)

ඉතිහාසයෙන් පාඩම් (අනාගත සටන්කරුවන්ගේ අවධානයට)

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සංසිද්ධියක් වූ 2022 ජුලි 09 වැනි දින ජන නැගිටීම සහ එය ජයග්‍රහණ සේ ම පරාජයන්ද අත් කර දුන් අන්දම තේරුම් ගැනීම බලය වෙනුවෙන් සටන් වදින කාටත් ප‍්‍රයෝජනවත් වන්නේය.

ඒ දැවැන්ත ජනනැගිටීම සුනාමියක් සේ අවුත් එක් දිනක් ඇතුළත බැස ගියේය. ජනනැගිටීමට බියෙන් ගෝඨාභය ජනාධිපතිවරයා පළා ගිය අතර එසේ පළායමින් ඔහු පත් කළා යයි කියන වැඩබලන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනපති ලෙස පත් කරනු ලැබීය. දැන් ඔහු හමුදා පොලීසි මෙහෙයවමින් අරගලයේ ක්‍රියාකාරීන් වූ තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින් සිටී. වැඩබලන ජනාධිපති ලෙස අරගලය ගැන කතාකළ ඔහු කීවේ අරගලයේ සාමකාමී උද්ඝෝෂකයන් ද ත්‍රස්තවාදීන් ද සිටින බවයි. දැන් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අරගලයේ ක්‍රියාකාරීන්ට විරුද්ධව පාවිච්චි කරයි. 

ජුලි 09 ජන නැගිටීම පැන නැගුනේ ගෝල්ෆේස් අරගලයෙනි. ගෝල්ෆේස් අරගලය පැන නගින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් වූ දා සිට රට තුළ පැන නැගුණු වැඩවර්ජන, පෙළපාලි සහ පාරවල්වල කෙරුණු උද්ඝෝෂණ ඔස්සේය. එහෙයින් සිදුවූයේ කුමක්ද යන්න සාකච්ඡාවට ගන්නා විට ඒ සිද්ධි දාමය සිහිපත් කර ගැනීම අත්‍යවශ්‍යය.

ගෝඨාභය පාලන කාලය තුළ පළමු වෘත්තීය අරගලය දියත් කෙරුනේ ගුරුවරුන් විසිනි. මාස තුනකට ආසන්න කාලයක් දියත් වූ එම සටන දැවැන්ත පෙළපාලි සහ පිකටින් උද්ඝෝෂණවලින් සමන්විත වූ අතර අවසානයේදී ගුරු ඉල්ලීම ලබාදීමට කැබිනට් මණ්ඩලයට සිදුවිය. මර්දනකාරී පාලකයකු ලෙස වරම් ලබා සිටි ගොඨාභයගේ එම ප්‍රතිරූපය ගුරු සටනින් බිඳ වැටුණු අතර තුනෙන් දෙකක බලයක් සහිත රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව සටන් වදින්නට ජනතාවට උත්තේජනය සැපයුනේ එම ගුරු අරගලයෙනි. ගෝඨාභය පාලනයට විරුද්ධව ඊළඟ සටන ඇරඹෙන්නේ ඈත ගම්දනව්වල ගොවිබිම්වලිනි. හදිසියේ රසායනික පොහොර තහනම් කර කාබනික පොහොරවලින් වගාකිරීමේ අමන තීන්දුව තනිකරම ගෝඨභයගේ උද්ධච්චකම ප්‍රදර්ශනය කළ එකක් වූවා පමණක් නොව එයින් වී වගාවට පමණක් නොව තේ වගාවට පවා බරපතල හානි සිදු විය. එම තීරණයට විරුද්ධව ගොවීහු රටපුරා පාරට බැස සටන් කරන්නට වූහ.

ගුරු සටන පිළිබඳව ද ගොවි උද්ඝෝෂණ සම්බන්ධවද ආණ්ඩුවේ ඇමතිවරු කීවේ ඒවා මෙහෙයවන්නේ ජවිපෙ බවය.

වසර කීපයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුනේ නායකයෝ රාජපක්ෂ පවුල් පාලනයේ දූෂණ වංචා පාර්ලිමේන්තුව තුළත් පිටතත් හෙළිදරව් කරමින්  සිටියහ. විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු විවාදවලින් ඔබ්බට නොයන තත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය 2022 මාර්තු 23 දින 40000කට අධික පිරිසක් සහභාගිවූ පෙළපාලියක් සහ රැලියක් නුගේගොඩ නගරයේ පවත්වා ගෝඨාභය සහ රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් පන්නා දමන බව ප්‍රකාශයට පත්කළේය. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය විසින් සංවිධානය කෙරෙන උද්ඝෝෂණ රටේ විවිධ නගරවල පැවැත්විණ. එ් අතර ඉන්ධන හිගය, ගෑස් හිගය, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය හිගය බෙහෙත් හිගය සහ ආහාර ද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම නිසා කොළඹ නගරයේත් වෙනත් ප‍්‍රධාන නගරවලත් මධ්‍යම පන්තික ජනයා ද පාරවල නිහඬ විරෝධයන් පවත්වන්නට වූහ. මිරිහාන ප‍්‍රදේශයේ පැවති එවැනි උද්ඝෝෂණයකින් පසු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස ඉදිරියට රැස් වූ විශාල පිරිසක් විරෝධතාවක නිරත වූ අතර කුමන්ත්‍රණකාරී ලෙස පොලිස් බස් රථයකට ගිනි තැබීමක්ද සිදුවිය. එම විරෝධතාව සහ කඩාකප්පල්කාරී ක්‍රියා මෙහෙයවන ලද්දේ ජවිපෙ විසින් යයි ආණ්ඩුවේ ඇමතිවරයකු වූ ප්‍රසන්න රණතුංග මාධ්‍ය සාකච්ඡාවක කීවේය.

වසර ගණනාවක් තිස්සේ දේශපාලනඥන් කෙරෙහි ජනතාව තුළ වූයේ අප්‍රසාදයකි. පාර්ලිමේන්තුව යනු මහජන මුදල් කා දමමින් නිකරුනේ කාලය කා දමන තැනක්ය යන්න පොදු පිළිගැනීමක් බවට පත්ව තිබිණ. මේ තත්වය තුළ විශේෂයෙන් තරුණ තරුණියන් තුළ දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාසයක් නැති තත්වයක් ගොඩනැගී පැවතිණ. පාර්ලිමේන්තුවේ 225 ම එපා යන සටන් පාඨය සාමාන්‍ය ජනයා අතර ජනප්‍රිය වූයේ ඒ අනුවය.

‘ගෝඨාභය ඉවත්වෙනු’ යන සටන්පාඨය සහිතව ඉන්ධන, ගෑස්, කිරිපිටි, බෙහෙත් ආදිය හිඟ වීමට සහ බඩුමිල ඉහලයාමට විරෝධය පාමින් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල, විශ්වවිද්‍යාල ආචාර්යවරු සේම නීතිඥයන් ද ආදී වශයෙන් සෑම ක්ෂේත‍්‍රයකම සේවක සහ වෘත්තීය පිරිස් පාරට බටහ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය විසින් කැඳවන ලද ශිෂ්‍ය පිරිස් නිරන්තර පෙළපාලිවල නිරත වූහ. රටේ සෑම තැනකම ගෝඨා ඉවත්වෙනු යන සටන්පාඨය ඇසෙමින් තිබිණ. සමහර ඇමතිවරු ඉල්ලා අස්වෙන්නට පටන් ගත්හ.

නිර්පාක්ෂික අරගලය

ගෝල්ෆේස් ‘නිර්පාක්ෂික අරගලය’ ඇරඹෙන්නේ එසේ රට පැසෙන තෙල්කටාරමක් සේ උණුුසුම් ව පැවති පරිසරයක් තුළය. එය විදේශයන්හි සහ මෙරට තුළ තාක්ෂණික දැනුම සහිත තරුණයන් අන්තර්ජාලය යොදාගෙන කැඳවන ලද පිරිසකගෙන් ආරම්භ විය. ඉහත කී පරිදි පාර්ලිමේන්තුව කෙරෙහිත් එහි නියෝජනය වන ප‍්‍රධාන පක්ෂ කෙරෙහිත් පැවති ජනතා කලකිරීම නිසා ගෝල්ෆේස්හි ඇරඹෙන්නේ නිර්පාක්ෂික අරගලයක්ය යන්න සමාජයේ විශේෂයෙන් තරුණ පිරිස්වල ආකර්ෂණය දිනා ගන්නට සමත්විය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන දොරටුව අවහිර කරමින් දිවා ? සටන්පාඨ හඩ නගන තරුණ තරුණියන් වටා රොක්වන පිරිස ඉතා ඉක්මනින් වර්ධනය විය. අරගලය නිර්පාක්ෂික වීම සහ එය අත්නොහැර පවත්වාගෙන යාම අරගලයේ ආකර්ෂණීය සුවිශේෂ ලක්ෂණ විය. එය මර්දනය කරන්නට ආණ්ඩුව ඉදිරිපත් නොවන බව පෙනෙන විට සමාජයේ විවිධ කොටස් ගෝල්පේස් පිටියට එන්නට පටන් ගත් අතර සමහර ව්‍යාපාරිකයන් සහ සමාගම් විසින් එහි රැස්වන අයට ආහාරපාන ලබාදීම පමණක් නොව තාවකාලික වැසිකිළි සපයාදීමටද ඉදිරිපත් විය.

අරගලය පැවති  කාලය තුළ එහි එක් එක් චරිත ඉස්මතු වෙමින් යට යමින් සහ බලහත්කාරයෙන් ඉවතට තල්ලුකෙරෙමින් පැවතුන ද එකම සටන්පාඨය වූයේ ‘ගෝටා ගෝ හෝම්’ ය. අරගල භූමිය නම් කෙරුනේ ද ‘ගෝටාගෝගම’ නමිනි. ගෝඨා ඉවත් වුවහොත් ඊළඟට එම ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම තබා එවැනි ප‍්‍රශ්නයක් පැන නගින බව වරින්වර මාධ්‍ය ඔස්සේ නායකයින් යයි පෙනුනු කිසිවකුවත් සිතා බලා තිබුණු බවක් නොපෙනිණ. 

දේශපාලන පක්ෂවල මැදිහත්වීම එය ආරම්භ කළ පිරිස් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද වාමාංශික පක්ෂවලට සහ වෘත්තීය සමිතිවලටත් නීතිඥ සංගමය වැනි සංවිධානවලටත් මෙය මගහැර සිටිය නොහැකි විය. වාමාංශික පක්ෂවල තරුණ සංවිධාන සහ විවිධ සංවිධාන ගෝල්ෆේස් පිටියේ තැනින් තැන කූඩාරම් ඉදිකර ගනිමින් කඳවුරු බැදගන්නට පටන් ගත් අතර නිර්මාණශීලී තරුණ පිරිස් විසින් එම භූමිය සංස්කෘතික බිමක් බවට පත් කෙරිණ. එ් අනුව ප‍්‍රසංග වේදිකා, පුස්තකාල, මිනි තියටර්, චිත‍්‍රාගාර ආදියද ඉදිවූ අතර මහජන සරසවිය නමින් සාකච්ඡා මණ්ඩපයක් ද ආරම්භ කෙරිණ. අරගලයට ඉදිරි දැක්මක් සපයා ගැනීමේ විභවයක් පෙන්නුම් කළ එම සාකච්ඡා මණ්ඩපය අරගලයේ නායත්වයේ සිටි අයගේ උනන්දුවක් එ් කෙරෙහි නොතිබීම නිසාදෝ ආගන්තුක එකක් ලෙස කෙටිකලක් පැවතී අහෝසි වී ගියේය. 

විවිධ ආගමික කොටස්ද කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් අතර සංඝයා වහන්සේලා එහි වැඩමකළේ සිය ගණනිනි. කතෝලික පියතුමන් ලා සේම කන්‍යාසොයුරියන්ද විශේෂ සහභාගිත්වයක් ලබා දුන්හ. එ් අතර මුස්ලිම් ආගමික නායකයන්ගේ මෙන් ම සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ ද සහභාගිත්වය කැපී පෙණින. අරගලය නිර්පාක්ෂික පමණක් නොව නිර්ආගමික ලෙසද හැඳින්වින. එ් අතර මහා පරිමාණයෙන් මහා සංඝයාට දානය පිරිනැමීම්වලින් පටන්ගෙන සංඝයා වහන්සේලා අරගල භූමිය තුළ වස් වැසීම ද ඇරඹුණු අතර උතුරේ යුද්ධයෙන් අත් පා අහිමි වූ හමුදා සෙබළුන් සහිත ‘රණවිරු කුටියක්’ ද ඉදිවී තිබිණ. කිසිම සමාජ ක්‍රියාකාරියෙකුට අරගලය නොසලකා සිටිය නොහැකි තත්වයකි නිර්මාණය වූයේ. දිවයිනේ ප්‍රධාන කලාකරුවෝ සහ විවිධ සංස්කෘතික ක්‍රියාධරයෝ එහි පැමිණ ගී ගැයීම ඇතුළු නොයෙකුත් සංස්කෘතික ක්‍රියාකාරකම්වල නිරත වූහ. කලක් යන විට එය අරගල බිමකට වඩා සංස්කෘතික තෝතැන්නක් ලෙස පෙනෙන්නට පටන් ගත්තේය. ‘ගෝල්පේස් නොගියොත් වැඩක් නෑ’ කියන අදහසක් සමාජයේ ගොඩනැගිණ.  ඕනෑම කෙනෙකුට එහි පැමිණ තමන් කැමති දෙයක් කළ හැකි ‘ප්‍රජාතන්ත්‍රවාදයක්’ තිබුණු බැවින් ආණ්ඩුවේ සේ ම ආරක්ෂක හමුදාවල ඔත්තු කරුවන් ද කිසිදු සමාජ අරමුණක් නැති ලූම්පන් පිරිස් ද  එහි  ගැවසුණු බව පසුව ඔප්පු විය. 

විශේෂයෙන් නිර්පාක්ෂික අරගලය යන්නට මාධ්‍යවලින් ලැබුණු ප්‍රචාරය නිසා රටේ පැවති වෙනත් සටන් අභිබවා ගෝල්පේස් අරගලය ඉස්මතු විය. ‘සිරස’  තම නිවේදකයකු එහි පදිංචි කරවා විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය. මෙතෙක් රටේ පැවති ආණ්ඩු විරෝධී කිසිම සටනකට එවැනි මාධ්‍ය ප්‍රචාරයක් ලැබී නැත. රට ගැන කැක්කුමක් ඇති දිවිනොතකා සටන් වදින්නට සූදානම් වූ ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිණියන් එම මාධ්‍ය ප්‍රචාරණය ඔස්සේ රටට හැඳින ගත හැකිවිය.

ගාල්ල, නුවර, අනුරාධපුරය ඇතුළු නගර ගණනාවක ‘ගෝටාගෝගම’ ශාඛා සමහර විදේශ රටවලද ක්‍රියාත්මක වන්නට විය. මේ නිසා රටේ තැනින් තැන ස්වාධීනව කෙරුණු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දෙවන තැනකට වැටිණ. එකම සටන ගෝල්පේස් බවට පත්විය. 

මේ ජනප්‍රසාදය නිසා අරගලයේ ඉදිරි දැක්ම කුමක්ද යන්නට සැලකිල්ලක් නොලැබිණ. යම් පිරිස් එවැනි සංවාදයක් ගොඩනගන්නට උත්සාහ කළ ද දේශපාලනය වැඩක් නෑ කියන මතය ප්‍රබල වූ නිසා එම උත්සාහයන් පලදැරුවේ නැත. තීන්දු ගන්නේ කවුද මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන්නේ කවුද යන්න ගැනවත් තීන්දුවක් නොතිබුණු බව පෙනිණ. අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම’ යනුවෙන් පුද්ගලයකුගේ වයස අපහාසයට ලක්කෙරෙන වචනයකින් නම් කෙරුනේ එ් තත්වය තුළය. සාමාන්‍යයෙන් ජන අරගලවල වර්ණය වූ රතු වෙනුවට කළු වර්ණය එහි ක්‍රියාකාරීන් විසින් තෝරාගෙන තිබුණ ද ගෝල්ෆේස් අරගල බිමට පැමිණි බහුතර පිරිස් අත ලෙළදුන්නේ සිංහ කොඩිය යයි පොදු වහරේ හැඳින්වෙන ජාතික කොඩියයි. සුළු වෙළෙන්දෝ එහි ජාතික කොඩි අලෙවි කරන්නට ද පටන්ගත්හ. 

ගෝඨාගේ පසුබැසීම සහ පළායාම

හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ සහ බිරිඳ අයෝමා, බෑන්ග්කෝක් ගුවන්තොටුපළෙන් පිටතදී..

ගෝඨාභය පසුබසින්නට පටන් ගත්තේය. කිසිසේත් වෙනස් නොකරමියි කියමින් සිටි රසායනික පොහොර තහනම තමා අතින් සිදුවූ වරදක් බව ඔහු ජාතිය අමතමින් පිළිගත්තේය. මහින්ද හැර රාජපක්ෂ පවුලෙන් ඇමතිකම් දරමින් සිටි අනෙක් අය ඒ ඇමතිකම්වලින් ඉවත් කළේය. අන්තිමේදී මහින්දට අගමැතිකමින් ඉල්ලා අස්වෙන්නට කීවේය. එ් සියල්ල අරගලයේ ජයග්‍රහණ විය. අරගලය ‘ගෝටා ගෝ හෝම්’ සමග අඛණ්ඩව පැවතිණ.

දිවා ? සටන අත්නොහැර පවත්වාගෙන යාමෙන් සහ මැයි 09 වැනි දින මහින්ද රාජපක්ෂගේ කැඳවීමෙන් අරලියගහ මන්දිරයට එක්වූ මැර පිරිස එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ද නැවත කුටි ඉදිකර ගනිමින් සටන පවත්වාගෙන යාමෙන් අරගලයේ නියුතු පිරිස පෙන්නුම් කළේ ප්‍රශංසනීය ධෛර්යයක් සහ කැපවීමකි. මේ අතර අරගලයේ පිරිස් අතරම වාද විවාද බහින්බස්වීම් පමණක් නොව තුවාල සහිතව රෝහල් ගත වන තරමේ දරුණු ගැටුම් ද සිදු වූ බවද අමතක නොකළ යුතු වේ. (මැයි 9)

‘ආදරයේ අරගලයට දේශපාලනය එපා’ යයි අරගලයේ නියුතු පිරිස් කීවද පාලක පක්ෂය එය තම දේශපාලන බලයට විරුද්ධ බරපත, දේශපාලන සටනක් ලෙස තේරුම් ගෙන සිටි බව රාජපක්ෂ මැරයන් විසින් මැයි 09 වැනිදින අරගල භූමියට එල්ල කළ මැර ප්‍රහාරයෙන් සේ ම අද මේ මොහොතේ රනිල්-රාජපක්ෂ ආණ්ඩුව විසින් දියත් කර ඇති සැලසුම් සහගත අත්අඩංගුවට ගැනීම්වලින් පෙනේ.

ගොල්ෆේස් අරගල බිමට පොහොට්ටු මැරයන් විසින් පහරදීමට විරෝධය පැම ප‍්‍රචණ්ඩත්වයට හැරීම කිසිවෙකුට වළක්වා ගත නොහැකිවිය. පොහොට්ටු මන්ත‍්‍රීවරුන් කෙරෙහි එ් එ් ප‍්‍රදේශවල ජනයා තුළ පැවති කෝපය නිවාස ගිනිතැබීම්වලින් ප්‍රකාශයට පත්විය. එම ක්‍රියාවන්ට ගෝල්ෆේස් අරගලයේ සම්බන්ධයක් නැතත් ආණ්ඩුව අරගලය තලා දැමීමට එය පසුව උපයෝගී කර ගත්තේය. 

ජුලි 09 ජන නැගිටීම

ගෝල්පේස් අරගලබිම සහ ජූලි 09 ජන නැගිටීම එකක් හැටියට නොව එකට යාවුණු එහෙත් එකිනෙකට වෙනස් වූ දෙකක් හැටියට තේරුම් ගත යුතුය. ගෝල්පේස් අරගලය පැවති කාලය තුළ මහා වැඩවර්ජනයක් කැඳවා ගැනීමට සමහර වෘත්තීය සමිති උත්සාහ කළ ද එය ක‍්‍රියාවට නැගිය නොහැකි විය.  (වර්තමානයේ වෘත්තීය සමති ක්ෂේත්‍රයේ ගැටලු ගැන වෙනම සාකච්ඡා කළ යුතු වේ.)

ජාතික විරෝධතා දිනයක් ගැන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සාකච්ඡා කරමින් සිටියදීය ගෝල්පේස් අරගල බිමෙන් ජූලි 09 වැනිදාට කොළඹට එන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණේ. එ් අනුව වෘත්තීය සමිති කිහිපයක් එම කැඳවීමට සහාය දෙන්නට තින්දු කළහ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළුව විවිධ සංවිධාන එදින කොළඹට පිරිස් කැඳවීමට කටයුතු කළහ. එහෙත් එය එක මධ්‍යස්ථානයකින් කෙරුණු සංවිධිත කැඳවීමක් නොවීය. මෙහි ඉහත විස්තර කර ඇති කැකෑරෙන තෙල් කටාරමක් වන් සමාජ තත්වයක් තුළ සංවිධාන හැටියටත් බහුතරයක් තනි තනිවත් කොළඹට පැමිණි අතර එසේ පැමිණි සංඛ්‍යාව සමහරුන්ගේ ගණන් බැලීම් අනුව ලක්ෂ දහයක් තරම් විය. එසේ පැමිණි පිරිසෙන් කොටසක් ජනාධිපති මන්දිරයටත් තවත් කොටසක් අගමැති නිල නිවස වූ  අරලියගහ මන්දිරයටත් බලෙන් ඇතුළු වූහ. ආරංචිවල හැටියට එ් මොහොතේ ජනාධිපති මන්දිරයේ සිටි ගොඨාභය රාජපක්ෂ නාවුක භටයන්ගේ උදව්වෙන් මුහුදෙන් පළාගොස් ඇත. එසේ පළාගිය ඔහු දවස් හතරකට පසු මතු වූයේ සිංගප්පූරුවෙනි. ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වන බවට ලිපිය එව්වේ එහි සිටය. එ් වන විට අගමැති ලෙස පත්කර සිටි රනිල් වික‍්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කළ බව ගෝඨාභය විසින් තමාට දන්වා අතැයි කතානායකවරයා කීවත් එවැනි දිව්රුම්දීමක් සිදුවී නොතිබිණ.

දැන් ‘ගෝටා ගෝ හෝම්’ වෙනුවට වෙනත් සටන්පාඨයක් අවශ්‍ය විය. එහෙත් ජනයා කොළඹට කැඳවන්නට මුල්වූ ගෝල්පේස් අරගලබිමේ එවැනි සටන්පාඨයක් නොතිබිණ. රාත්‍රිය වන විට බහුතර ජනයා විසිර ගිය අතර අල්ලාගත් මන්දිර ගෝල්පේස් අරගලකරුවන්ට පැවරිණ.

රාජ්‍ය බලය පිළිබඳ ගැටලුව

ගෝඨාභය පලායාම සහ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය නිලවශයෙන් කතානායකවරයා වෙත ලැබීමට දින පහක පමණ කාලයක් ගත වූ අතර එ් කාලය තුළ දේශපාලන පක්ෂ සේම අරගලබිමේ අයට ද සිදුවූයේ පාර්ලිමේන්තුව දෙස බලාගෙන අක්‍රීයව සිටින්නටය. විධායක ජනාධිපතිවරයා ඉවත්වූ පමණින් රාජ්‍ය බලය ජනයා අතට මාරු නොවන බව ඔප්පුකරමින් ඊළඟ වටයේදී ව්‍යවස්ථානුකූල පියවර යයි කියමින් පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන රහස් ඡන්දයකින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කෙරිණ. පාර්ලිමේන්තු ආසනයක් වත් මහජන ඡන්දයෙන් ලබාගන්නට අසමත් වූ එ් වන විට වැඩබලන ජනාධිපති ලෙස පළායන හිටපු ජනාධිපතිවරයා විසින් නම් කර සිටි රනිල් වික‍්‍රමසිංහ, රාජපක්ෂලාගේ පක්ෂය වූ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස පත්විය. මෙය ඉතිහාසයේ හාස්‍යජනක සිදුවීමක් වුව ද එය පන්තියක් අත පැවති රාජ්‍ය බලය එ් පන්තිය විසින්ම නිරුපද්‍රිතව ආරක්ෂා කරගන්නා අන්දම පෙන්වන කදිම නිදසුනක් විය.

හිටපු ජනාධිපතිවරයා එළවා දැම්මේ ගෝල්පේස් අරගලකරුවන් නම් ඊළඟ විධායක ජනාධිපතිවරයා පත්කළේ කවුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවයි. ගෝල්පේස් අරගලය බලය ඉලක්ක කර ගත් අරගලයක් වූයේ නම් ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව අතට බලය මාරුවන්නට ඉඩ නොදී අරගලකරුවන් අතට එය ලබා ගත යුතුව තිබිණ. එය කරන්නට නම් අවසාන විග‍්‍රහයේදී රාජ්‍ය බලය හසුරුවන සන්නද්ධ හමුදා එක්කෝ අරගලය පැත්තට දිනාගත යුතු වෙයි. නැත්නම් එ් සන්නද්ධ බලය ජනතා සන්නද්ධ බලයකින් පරාජය කළ යුතු වෙයි. නැතහොත් ආණ්ඩු බලය මාරු කර ගත හැකි මාර්ගය වන්නේ මැතිවරණයයි. මැතිවරණයකින් ආණ්ඩු බලය ලබා ගත්තද එහි පැවැත්ම තීරණය වන්නේ පන්ති බලය මත බවද අමතක නොකළ යුතුය. එහෙයින් මැතිවරණයක් කරා යන ගමන තුළ ජනතාව ඉලක්කයක් ඇතිව සංවිධානය කිරීම සේ ම මතවාදීව සන්නද්ධ කිරීම ද අත්‍යවශ්‍යය.

මා දකින විදියට ගොල්පේස් අරගලයේ තිබුණු ලොකුම දුර්වලකම නම් බලය ගැනීම පිළිබඳ අදහසක් නැතිව ගෝඨා එළවීමේ සටන්පාඨය මතම පමණක් එය පවත්වාගෙන යාමය. මාස තුනක කාලයක් පැවති අරගලය තුළ එවැනි සංවාදයක් හරහා ඉදිරිදැක්මක් සකසා ගන්නට ඉඩකඩ තිබිණ. ප‍්‍රගතිශීලී දේශපාලන නායකත්වයන්ට දොර වැසීම මගින් අවහිර කරගත්තේ එම ඉඩකඩයි.

විධායක ජනාධිපතිවරයා රාජ්‍ය බලය හසුරුවන්නා වුවද ඔහු රාජ්‍ය බලය නොවේ. අවසාන විග‍්‍රහයේදී රාජ්‍ය බලය ක්‍රියාත්මක වන්නේ සන්නද්ධ හමුදා නමැති මෙවලම මතය. ජූලි 09 වැනිදා මහා ජනනැගිටීම මගින් මොහොතකට සන්නද්ධ හමුදා වික්ෂිප්ත කළ නමුත් එ්වා අක්‍රිය කළේ නැත. අණදෙන්නා එනම් විධායක ජනාධිපතිවරයා පළා ගිය පසු ඊළඟ අණදෙන්නකු එනතුරු සන්නද්ධ හමුදා නොසෙල්වී බලා සිටියහ. අණදෙන්නා ආවේ පාර්ලිමේන්තුව හරහාය. ඔහු නීත්‍යනුකූල අණදෙන්නා ලෙස බාරගත් හමුදා පොලීසි වහාම ක්‍රියාත්මක විය. රනිල් වික‍්‍රමසිංහ දිව්රුම් දුන් වහාම අරගලබිමට ම්ලේච්ඡ හමුදා පොලිස් ප්‍රහාරයක් දියත් කෙරුණේ එ් අනුවය. එතැනින් පටන්ගෙන පොලීසිය හා උසාවිය එක්වී පියවරෙන් පියවර අරගල භූමිය සම්පූර්ණයෙන් සුද්ධ කර දැමුවේත් එ් අනුවය. අදත් තැනින් තැන ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය.

බලය ධනපති පන්තිය අතම පවතින බව තහවුරු වන විට අරගලයට හුරේ දමමින් සිටි ධනපති කොටස් සහ ධනේශ්වර පාලනයකට කැමති  පිරිස් ඉන් වහාම ඉවත්වූහ.

දේශපාලන පාඩම

ගෝල්පේස් අරගලය සහ ජූලි 09 ජනනැගිටීම ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ  ඓතිහාසික සංසිද්ධියක් බව අවිවාදිතය. එ සේ ම එය කියාදුන් දේශපාලන පාඩමද ඓතිහාසිකය.

ජුලි 09 ජන නැගිටීම ඉදිරියට ගෙන යා හැකි බව සමහරුන්ගේ මතයයි. රටේ ආර්ථික සහ සමාජ අසහනය මත ඉදිරියේදීද මහා ජන නැගිටීම් සිදුවන්නට පුළුවන් බව ඇත්තකි. එහෙත් එවැන්නක් සිදුවිය හැක්කේ වෙනත් ස්වරූපයකින් මිස ජුලි09 ඉදිරියට යාමක් හැටියට නොවේ. ජූලි 09 පසුබැස ගිය බහුතරය එසේ ගියේ තනි තනි පුද්ගලයන් හැටියටය. මේ සටන වෘත්තීය සමිති මුල්වී කැඳවන ලද්දේ නම් සටන පරාජය වුවද එහි ක්‍රියාකාරීන් පසුබසින්නේ වැඩබිම්වලටය. එහි සංවිධාන ව්‍යුහය තුළ සටනේ අත්දැකීම් අනිවාර්යයෙන් සාකච්ඡාවට ගැනේ. ඒ හරහා ඊළඟ පියවර තීන්දු කෙරේ. කිසිවකු අත්අඩංගුවට ගත්තේ නම්, වෙනත් මර්දනයක් දියත් වූයේ නම් එයට මුහුණ දෙන්නේ වැඩබිමේ සංවිධාන ශක්තියෙන් මිස තනිතනිව නොවේ. ගම්මට්ටමට පැතිරුණු සංවිධාන ජාලයක් සහිත පක්ෂයක් විසින් සටන කැඳවා පසුබසින්නට සිදුවූයේනම් ක්‍රියාකාරීන් ගම්මට්ටමේ තම සංවිධානය හරහා මර්දනයට මුහුණදීමත් ඊළඟ පියවරට සූදානම්වීමත් සිදුවෙයි.

ජුලි 09 ජනනැගිටීම සුනාමියක් සේ පැමිණ සුනාමියක් සේ ම බැසගියේ එයට ඉදිරිදැක්මක් සහිත නායකත්වයක් නොමැති වූ බැවින් බව ජනනැගිටීමේ ආස්වාදයෙන් මුසපත් නොවී තේරුම්ගැනීම අනාගත සටන්කරුවන්ගේ වගකීමකි.

සටන ඉදිරියට ගෙනයාමට ‘ජනසභා’ ගොඩනැගිය යුතු යයි පෙරටුගාමී පක්ෂය යෝජනා කරන බව අපි දනිමු. අරගලයක් ඔස්සේ කවුරු හෝ බලය සඳහා එවැනි විකල්පයක් යෝජනා කිරීම අගය කළ යුතුය.  මේ අදහස එන්නේ රුසියානු විප්ලවයෙන් බව අපට වටහා ගත හැකිය. 1917 ඔක්තෝබරයේ බොල්ෂේවික් පක්ෂයට බලය ගත හැකිවූයේ 1905 පරාජය වූ විප්ලවයෙන් බිහිවූ සෝවියට් සභා සංකල්පය සහ එම සංකල්පය භාවිතයයට නැගුණු ප‍්‍රායෝගික අත්දැකීම්වල දිගුවක් හැටියටය. 1905 මෙන් ම 1917 පෙබරවාරි විප්ලවයේත් ගාමක බලවේගය වූයේ කම්කරුවන්ය. විප්ලවීය ක්‍රියාදාමය ඇරඹෙන්නේ දේශපාලන වැඩවර්ජනවලිනි. සෝවියට් සභා ගොඩනැගෙන්නේ කම්හල්වලය. විප්ලවයට සන්නද්ධ බලය එක්වන්නේ වසර ගණනාවක් පැවති යුද්ධය එපාවී සිටි හමුදාව කම්කරුවන් සමග එක්වීමෙනි. සාමය, ගොවියාට ඉඩම්, සහ පාන් (ආහාර) සටනේ ප්‍රධාන සටන් පාඨ විය.

මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ නොහැකි වුවත් එදා රුසියානු හමුදාවේ සිටි බහුතරය ගොවි ප‍්‍රදේශවලින් බලහත්කාරයෙන් බඳවාගත්, නිසි පුහුණුවක් තොලත්, සපත්තු පවා නැති, නිසි ආහාරවේලක් පවා නොලද පිරිසක් වූහ. ඒ අතින් සලකා බලන විට අද ශ‍්‍රී ලංකාවේ සිටින්නේ දීර්ඝ සිවිල් යුද්ධයක අත්දැකීම් සහිත මනා පුහුණුවක් ලද ඉහල වැටුප් සහ වෙනත්  වරප්‍රසාද සහිත කොටසකි. එවැනි හමුදාවක් වෙනස් නොවෙන්නේ යයි මෙයින් නොකියැවේ. නමුත් අවධාරණය කෙරෙන්නේ ඒ සඳහා පැහැදිලි දේශපාලන නායකත්වයක් සේම සංවිධාන ශක්තියක්ද අවශ්‍ය බවය.

ගෝල්පේස් අරගලය තුළ ගෝඨා ගෝ හෝම් සමග දූෂිතයන් පිරුණු පාර්ලිමේන්තුව විසුරුවා හරිනු වැනි සටන්පාඨ තිබුනේ නම් ප‍්‍රතිපලය බෙහෙවින් වෙනස් එකක් වන්නට ඉඩ තිබුණි. අති දැවැන්ත ජනනැගිටීමක ජවය අපතේ ගියත් අපට වටිනා ඓතිහාසික පාඩමක් ඉතිරිවිය.

Print Friendly, PDF & Email

Leave a Reply