හම්බන්තොට වරායට පැමිණීම ප්‍රමාද කරන්නැයි ආණ්ඩුවෙන් කළ ඉල්ලීම නොසලකා චීනයට අයත් යුවාන් වොන්ග් 5 නෞකාව පැමිණෙන බව පසුගිය බදාදා (10) ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ සිරස්තලයෙන් වාර්තා කර තිබිණ. පළමුවෙන්ම ස්වෛරී ස්වාධීන රටක්යැයි හඳුන්වා ගන්නා ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීමක් නොසලකා වෙනත් රටකට අයත් නෞකාවකට පැමිණිය හැකිද යන්න පුරවැසියන් මතු කළ යුතු ප්රශ්නයකි. ආණ්ඩුවේ ඉල්ලමක් හෝ දැනුම් දීමක් නොතකා වෙනත් රටක් අපේ රටට ඇතුළුවීම බරපතළ කාරණයකි. උතුරේ එල්ටිටීඊ යුද්ධය සමයේ ඉන්දියානු ගුවන් හමුදාව අපගේ ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළුව පරිප්පු හෙළීම එවැනි අවස්ථාවකි. ප්‍රකාශයට පත්ව ඇති ආකාරයට චීන නැව පැමිණෙන්නේ පරිප්පු හෙළීමට නොව පරිප්පු ඇතුළත් ආහාර සහ වතුර වැනි සැපයුම් ලබා ගැනීමට ය. කෙසේ වුවත් මෙය ලංකාවට නැවත වරක් පරිප්පු කෑමට සිදුවන අවස්ථාවක් බව පැහැදිලි ය.
පරිප්පු කෑමට වඩා වැදගත් වන්නේ චීනයට අයත් සාගර ගවේෂණ සහ පරීක්ෂණ නැවක් වන යුවාන් වොන්ග් 5 ආහාර සහ සැපයුම් ලබා ගැනීමට පැමිණීම වළක්වන ලෙස අසල්වැසි ප්‍රබලයා වන ඉන්දියාවෙන් කර ඇති ඉල්ලීමෙන් මතු කරන දේශපාලන ගැටලු ය. ආර්ථික වශයෙන් බංකොළොත් භාවය ප්‍රකාශ කර ඇති ලංකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට විදේශ විනිමය සොයා ගත නොහැකි වු විට සහනයක් වූයේ ඉන්දියාවෙන් ණයට ඉන්ධන සැපයීමට ඉදිරිපත් වීම ය. ණයට හෝ ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවක ඉන්දියාව අපගේ ගැලවුම්කරුවෙකු වශයෙන් ඉදිරිපත්වීම ද සැලකිල්ලට ගත යුතුය. එක්සත් ජනපදයේ සම්බාධකවලට ලක් කර තිබු රුසියානු බොර තෙල් වට්ටම් සහිතව ලබා ගත් ඉන්දියානු සමාගම් පිරි පහදු කළ එම තෙල් අපට ණයට විකිණීම වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. වැදගත් වන්නේ ඉන්දියානු තෙල් සැපයුම නොවන්නට අපගේ චිදුලි බල නිපයුම සහ ප්‍රවාහනය කඩා වැටී ආර්ථිකය සහ ජන ජීවිතය වඩාත් අසරණ තත්වයට පත්වීමට තිබූ අවකාශය යි.
දැන් එළඔ ඇත්තේ ප්‍රත්‍යුපකාර දැක්වීමේ අවස්ථාවයි. ඇමරිකා එක්සත් ජනපදය සමග ක්වොඩ් නමින් හැඳින්වෙන ආරක්ෂක හවුලකට පිවිස ඇති ඉන්දියාව චීනය දකින්නේ ප්‍රතිවාදියෙකු සේය. ( Quad නමින් හැඳින්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව ජපානය සහ ඉන්දියාව ඇතුළත් ආරක්ෂක සන්ධානය යි. එම ගිවිසුමේ මූලික අරමුණ චීනයට එරෙහිව ආරක්ෂක කටයුතුවල දී සහයෝගයෙන් සහ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම ය.) හිමාල කඳුකරයේ දේශසීමාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර අවස්ථා කීපයකදීම අවි ගැටුම් ඇති වූ අතර එය තවමත් නොවිසඳී ඇති ගැටලුවකි. මෙම අර්බුදයේ දී ඇමරිකාව සම්පුර්ණයෙන් ම ඉන්දියාව සමග සිටියි. චීනයේ වර්ධනය වන දේශපාලන ආර්ථික මෙන්ම හමුදාමය බලයට අභියෝගයක් වශයෙන් ඉන්දියාව නැගී සිටීම ඇමරිකාවේ ඉන්දු පැසිෆික් සාගර කලාපයේ උපාය මාර්ගික අවශ්‍යතාවය යි.
කලින් නොබැඳි ජාතීන්ගේ ප්‍රධාන පුරුකක් වූ ඉන්දියාව එම ප්‍රතිපත්තිය අතහැර ඇමරිකාව සමග ආරක්ෂක සන්ධාන ඇති කර ගැනීම කලාපයේ අනෙක් රටවලට ද බලපාන පියවරකි. කලාපයේ රටවල් චීනය සමග ඇති කර ගන්නා කුමන හෝ සබඳතාවයක් කෙරේ ඉන්දියාවේ උකුසු ඇස යොමු වන්නේ එම නිසා ය.
ලංකාව ඉන්දියානු උපාය මාර්ගික භූ දේශපාලනයේ කේන්ද්‍රීය ස්ථානයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඉන්දියාව නොබැඳි කඳවුරේ ප්රමුඛස්ථානයක් ගත් සමයේ ජාත්‍යන්තර සබඳතාවල දී දෙරට අතර සම්බන්ධතාවයේ ගැටුමක් තිබුණේ නැත. ඉන්දියාව සෝවියට් දේශය සමග ආරක්ෂක කටයුතුවලදී සමීප සම්බන්ධතාවයක් පවත්වා ගත් නමුත් එය නොබැඳි ප්‍රතිපත්තියට හෝ ලංකාවේ විදේශ සබඳතාවලට බලපෑවේ නැත. නොබැඳි පිළිවෙත මුලික විදේශ ප්‍රතිපත්තිය වූ සමයේ ලංකාව ඇතැම් විට ඉන්දියාවේ උදහසට ලක්වෙන පියවර ගැනීමට පවා පසුබට වූයේ නැත. 1971 බංග්ලාදේශ් නිදහස් සටන පැවති දිනවල එවකට බටහිර පාකිස්ථානය නමින් හැඳින් වූ පාකිස්ථානයේ ගුවන් නැව්වලට ඉන්දියාව හරහා පියාසර කිරීම තහනම් විය. එවිට ලංකාව එම ගුවන් නැව්වලට තම ගුවන් තොටුපළ විවෘත කළාය. එය ඉන්දියාවේ අසතුටට හේතු වුවත් විරෝධයක් පළ වූයේ නැත. එවකට ලංකාවේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවට හානිකර නොවන බවට පිළිගැනීමක් නවදිල්ලියේ තිබිණ.
මෙය වෙනස් වූයේ 1977 දී ජේ ආර් ජයවර්ධන මහතා බලයට පැමිණීමත් සමග ඇමරිකාවට වඩාත් නැඹුරු බවක් දැක්වීමේ ප්රතිපත්තියත් අනුගමනය කිරීම නිසා ය. උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් සඳහා සන්නද්ධ අරගලයක යෙදීමට සැලසුම් කළ කණ්ඩායම්වලට නිල වශයෙන් නොවුවත් ඉන්දියානු සහයෝගය ලැබුණේ මෙවැනි පසුබිමක ය. තිම්පු සාකච්ඡාවල සිට ඉන්දු-ලංකා ගිවිසුම දක්වා ඉතිහාසය නැවත සිහිපත් කළ යුතු නොවේ. වැදගත් වන්නේ ලංකාව ඉන්දියාවේ එළිපත්තේ සිටගත් පූසෙකුගේ තත්වයට පත්විම ය. අපේ රටේ දේශපාලකයන්ගේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති නිසා ලොව පුරා ඩොලර් හිඟමනේ යෑමට සිදුවීමත් සමග තත්වය වඩාත් උග්‍ර විය.
නොබැඳි පිළිවෙත අතහැර ඇමරිකාව ඇතුළත් බටහිර රටවලට සමපාත වූ ඉන්දියාව ඉන්දියන් සාගරයේ සැබෑ උරුමක්කාරයා බවට පත්වීමේ උපාය මාර්ගික අවශ්‍යතාවය එහි විදේශ ප්‍රතිපත්තියේ පදනම කර ගත්තේය. ලංකාව සහ මාලදිවයින ඉන්දියානු භූ දේශපාලනයේ දොරටු පාලකයන් කර ගැනීමේ අවශ්‍යතාවය වඩාත් කැපී පෙනෙන ආකාරයට දිස් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවේ ප්‍රතිපත්තියට ඌනපූරකයක් කර ගැනීමේ උත්සාහය විවෘතවම ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ලංකාව ලොව සෙසු රටවල් සමග පවත්වන සබඳතා ඉන්දියානු අන්වීක්ෂයට ලක්වන්නේ මෙවැනි පසුබිමක ය. ඉන්දියාවේ ප්‍රතිවාදියෙකු වන පකිස්ථානය හා ලංකාව අතර ඇති සබඳතා නොරිස්සන නමුත් හෙළා දකින්නේ නැත. ඊට ප්‍රධාන හේතුව අභියෝගය පහසුවෙන් ජයගත හැකියැයි මතයක් ඉන්දියානු ආරක්ෂක අංශවල පැවතීම ය. මේ දිනවල චීනයේ සිට පැමිණි පාකිස්ථානු යුද නැවක් කොළඹ වරායට පැමිණීම ඉන්දියානු උදහසට ලක් නොවුයේ එම නිසා ය.
ලංකාව විදෙස් ණය උගුලකට හසු කළ ආකාරයටම ආරක්ෂක කටයුතු පිළිබඳව ද උගුලකට හසු කොට ඇත්තේ අපේ රටේ අඳ බාල දේශපාලකයන් ය. බලවත් රටක් වන ඉන්දියාව අසළ පිහිටි ලංකාව වැනි කුඩා රටකට වඩාත්ම ගැලපෙන්නේ නොබැඳි ප්‍රතිපත්තිය යි. ලෝකය දැන් නැවත වරක් බල කඳවුරු දෙකකට බෙදී ඇති නිසා මෙය අනිවාර්ය තත්වයකි. කිසියම් රටක් සමග ආරක්ෂක කටයුතු පිළිබඳව ගිවිසුම් ඇති කර ගැනීමේ දී රටේ ස්වෛරීත්වය තහවුරු වෙන ආකාරය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපේ රටේ විවිධ වර්ණවලට අයත් පාලකයන් ඩොලර්වලට ලොල්ව ඇති කර ගන්නා ගිවිසුම් රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් හානිකරය. අද අප අත්දකින්නේ එම තත්වය යි.
එවැනි අඥාන ප්‍රතිපත්තියට හොඳම නිදසුනක් වන්නේ 2017 දී රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී ඇමරිකාව සමග අත්සන් කළ අක්සා නමින් හැඳින්වෙන රටවල් අතර සේවා ලබා ගැනීමේ ගිවිසුම යි. (Acquisition and Cross Country Services Agreement) පිටු 83කින් යුත් මෙම ගිවිසුම තවමත් ප්‍රකාශයට පත් නොකළ රහස් ලියවිල්ලකි. එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන හෝ එය දැන සිටියේ නැතැයි පැවසුවේය. ඇමරිකානු යුද නැව්වලට ලංකාවේ වරාය පහසුකම් සහ සේවා සැපයීමට අත්සන් කළ මෙම ගිවිසුමට ඉන්දියාවෙන් විරෝධයක් එල්ල වූයේ නැත. ඒ ඉන්දියාව ද ඇමරිකානු යුද හවුලට අයත්වීම නිසා ය. මීට අමතරව එක්සත් ජනපදය සමග අත්සන් කළ සෝෆා (Status of Forces agreement) ගිවිසුම අනුව ලංකාවේ සංචාරය කරන හෝ මෙහෙයුම්වල යෙදෙන ඇමරිකානු භටයන් අපේ රටේ නිතියට යටත් වන්නේ නැත. ඔවුන් සම්බන්ධ අධිකරණ ක්‍රියා මාර්ග ගත හැකි වන්නේ එක්සත් ජනපද අධිකරණයට පමණි.
මෙම ගිවිසුම් අනුව එක්සත් ජනපද යුද නැව්වලට ලංකාවේ වරායන්ට පැමිණීමටත් එම නාවිකයන්ට විවේක ගැනීමටත් ඉඩ පහසුකම් හිමි වේ. එවැනි පහසුකම් චීන නැව්වලට ලබා දීමට ඉන්දියාව විරුද්ධ වන්නේ ඇයි? මෙම නෞකාව ගවේෂණ සහ පර්යේෂණ නැවක් නොව තම මිසයිල තබා ඇති ආරක්ෂක ස්ථාන පිළිබඳ ව ඔත්තු බලන නැවක්යැයි ඉන්දියාව චෝදනා කිරීම නිසා ය. එම චෝදනාව චීනය ප්‍රතික්ෂේප කරයි. යුවාන් වොන්ග් 5 නෞකාවේ සැබෑ කාර්ය කුමක් වුවත් පැහැදිලි සත්‍යය නම් අපට ඉන්දියාව අකමැති කිසිවෙකුට වරාය පහසුකම් ලබා දිය නොහැකි බවය. එය එක්තරා ආකාරයෙන් ඉන්දියාව අකමැති වෙනත් රටවල් සම්බන්ධයෙන් ද පැනවිය හැකි සම්බාධකයකි. දැන් අප ඉන්දියාවේ ආර්ථික අනුග්‍රහය යටතේ ජීවත්වන නිසා ගත හැකි වෙනත් පියවරක් ද නැත.
මෙම ගුරු ගෝල සම්බන්ධතාවය නාවික ගමනා ගමනයට පමණක් සීමා වී නැත. චීන ණය යටතේ වරාය නගරය ඉදි වන විට ඊට හිලවු වශයෙන් කොළඹ වරායේ ජැටියක් ඉන්දියාවට ලබා දිය යුතුය. අඛණ්ඩ තෙල් සැපයුම සහතික කිරීමට ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි ලබා දිය යුතුය. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ ණය ලබා දීම ප්‍රමාද වෙත්ම මෙවැනි ගනුදෙනු තවත් වැඩි විය හැකිය. අවසානයේ දී අපට හිමි වන්නේ දියවන්නා ඔය පාර්ලිමේන්තු සංකීර්ණය පමණක් විය හැකිය. එය නඩත්තු කිරීම ඉන්දියාවට හෝ චීනයට ඵලදායි කාර්යක්යැයි නොසිතන නිසාය.
යුවාන් වොන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණියත් නැතත් ඉන් මතු කරන දේශපාලන සංකීර්ණතා විසඳා ගැනීමේ උපාය මාර්ගයක් සහ දැක්මක් අපේ පාලකයන්ට නැති බව ජනතාවට හොරෙන් ජනතාව වෙනුවෙන් අත්සන් කරන විවිධ ගිවිසුම්වලින් පෙන්නුම් කරයි. මහින්ද රාජපක්ෂ අගමැතිව සිටිය දී පරපුරත් සමග ඉතාලියට ගිය ගමනේ වියදම් විස්තර ලබා දීමට කළ ඉල්ලීමක් ආරක්ෂක හේතු මත කළ නොහැකියැයි පැවසූ පාලකයන් සිටින රටක ජාතික ස්වෛරීත්වය සහ ආරක්ෂාව පාලකයාගේ කැමැත්ත පමණක් බව නැවත තහවුරු කරයි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024