You are currently viewing දියනියක් අපූරු හීනයක් දැකලා..

දියනියක් අපූරු හීනයක් දැකලා..

පියා:

අද අපේ දුව වෙනදා වගේ රෑට කෑවේ නෑ නේද? අපි දෙන්නා අඩුවෙන් කන බොන බව දුවට දැනිලා වත් ද?

මව:

ඔව්, මාත් දැක්කා. මම කිව්වා තව ටිකක් බෙදා ගන්න කියලා. දුව අමුතු විදියට මා දිහා බලා ඉඳලා පිඟාන හෝදල තියල ඇඳට ගියා.

පසුදා උදේ...

පියා:

අද මොකද වෙනදාටත් වඩා උදෙන් නැගිටලා, ලොකු සතුටකින් වගේ, තනියම හිනා වෙන්නේ?

දියනිය සිනා සිසී පියා දෙස බලා සිටී…

පියා:

ඇයි අපට කියන්න බැරි දෙයක් රස විඳිනවා ද?

දුව:

ඊයේ රෑ මාර හීනයක් දැක්කා තාත්තේ!

පියා:

ඒක අපට කියන්න බැරි තරම් මාර හීනයක් ද?

දුව:

ගොල් ෆේස් යන අපේ සෙට් එකේ කෙල්ලෙක් කිව්වා, ‘අපි මෙතන තව කොච්චර හිටියත් පාර්ලිමේන්තුවේ එවුන්ට හොඳ සිහිය පහළ වෙන පාටක් නෑ. බ්රේක් නැති බස් එකක් වගේ රට ප්‍රපාතයට යන එක නවතින්නෙත් නෑ. දැන් කොළඹ හිටියා ඇති, අපි වෙනසකටත් එක්ක යාපනේ යමු කියලා..’

පියා:

ඉතිං, ඉතිං?

දුව:

එතන හිටිය හැමෝගෙම ඇස් දිලිසුනා. හැමෝම තොරතොංචියක් නැතිව කතා කරන්න පටන් ගත්තා.

පියා:

ඉතිං, ඊට පස්සේ මොකද වුණේ?

දුව:

ඊ ළඟ සති අන්තයේ කොච්චියෙන් යාපනේ ගියා. කොච්චිය පිරෙන්න කෙල්ලෝ- කොල්ලෝ ඇවිත් හිටියා.

පියා:

ඉතිං ඔයත් ගියා ද?

දුව:

නැත්තං. ඒකනේ මෙච්චර ජොලියක්!

පියා:

දෙමළ කතාකරන්න වත් දන්නේ නැතිව කොහොම ද යාපනේ යන්න සම්බන්ධකම් හදා ගත්තේ?

දුව:

ඒක නං දන්නේ නැ. එහේට ගියාම තමයි තේරුනේ, ඒක වෙනම ලෝකයක්. කතා-බහ, කෑම-බීම, ගෙවල්-දොරවල්, සිරිත්-විරිත්, ඉඳුම්-හිටුම්, බඩු-භාණ්ඩ, යාන-වාහන, ගහ-කොල, දිය-ගොඩ හැම දේම වෙනස්.

පියා:

ඉතිං, ඉතිං?

දුව:

යාපනේ මිනිස්සුන්ගේ ආදය, කරුණාව දැක්කම ඔක්කොම අමතක වුණා. කිසිම සැකක් බයක් නැතිව අපව පිළි ගත්තා. අපට සලකපු හැටි දැක්කම පුදුම හිතුනා. භාෂාවත් අමතක වුණා. ඒ මිනිස්සු කියන කරන දේවල් තේරුම් ගන්න භාෂාවක් ඕනෑ වුණේ නැහැ. ඒ හැම දේ ම අපට දැනුණා. ඒ අත්දැකීම නම් ජීවිතේ කවමදාකවත් අමතක වෙන්නේ නෑ. මැරුණත් අමතක වෙනනේ නෑ තාත්තේ!

පියා:

එහේ දීත් උද්ඝෝෂණ කළා ද?

දුව:

ඔව්, ඔව්. යුද්ධ කාලේ ස්වාමිපුරුෂයින් නැති වුණු බිරින්දෑවරු, දරුවන් නැති වුණු අම්මාවරු, අතුරුදන් වූ අයගේ නෑ හිත මිතුරන් ඡායාරූප අතේ තියා ගෙන පාරට එනවා. ගේ-දොර, ඉඩකඩම් අහිමි වුණු මිනිස්සුත් එනවා. කොල්ලො-කෙල්ලෝ සෙට් එකත් එනවා. අපි ඔක්කොම එකතු වෙලා සටන් පාඨ කියල කෑ ගැහැව්වා.

පියා:

මොනවා ද දූලා කියපු සටන්පාඨ?

දුව:

ගෝහෝම්-ගෝඨා, බාර දුන්න-දරුව කෝ, බාර දුන්න- සැමිය කෝ, නීතිය කෝ-යුක්තිය කෝ, බැසිල් බැසිල් බැසිල් බැසිල්-කාපුටු කාක් කාක් කාක්, හොරා කාපු-සල්ලි කෝ, ගෝහෝම්-ගෝඨා ඔය වගේ සටන්පාඨ කිය කියා කෑ ගැහැව්වා. මාරුවෙන් මාරුවට දෙමළෙන්-සිංහලෙන් සටන්පාඨ කියල කෑ ගැහැව්වා. එහෙම උද්ඝෝෂණ කරන කොට සිංහල-දෙමළ දෙගොල්ල අතර තද බැඳීමක් ඇති වෙනවා. දැඩි විශ්වාසයක් ඇති වෙනවා. ඒක වචනවලින් කින්න බැරි ආදරණීය හැඟීමක් තාත්තේ!

පියා:

රෑට නවාතැන් ගතතේ කොහේ ද?

දුව:

අපි කීප දෙනා බැගින් ගෙවල්වලට එක්කර ගෙන ගියා. අපට සැලකුවේ ඒ මිනිසුන්ගේම දරුවන්ට වගේ. කිසිම අඩුපාඩුවක් දැනුනේ නෑ.

පියා:

කී දවසක් යාපනයේ හිටියා ද?

දුව:

සතියක් හිටියා. හැමදාම උද්ඝෝෂණ කළා. දවස් දෙක තුනක් යනකොට යාපනේ උද්ඝෝෂණ ගැන විස්තර විදෙස් මධ්‍යවල පළ වෙන්න පටන් ගත්තා. විශේෂයෙන් උතුර-දකුණ සමගිය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ඉහළින් කතා කළා. ඊට පස්සේ අපේ රටෙත් හැම මාධ්‍යයකම ඒ ගැන තොරතුරු පළ කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික රටේ හැම පැත්තෙන් ම මිනිස්සු පාරට බහින්න පටන් ගත්තා. ඒ සමගම පිටරටවලත් උද්ඝෝෂණ පටන් ගත්තා. ජාති බේද, ආගම් බේද වගේ දේවල් කොහේ ගියා ද දන්නේ නෑ. අන්තිමේ දී රට පුරා පෙළපාළි යන මිනිස්සුන්ගෙන් පාරවල් පිරිලා ඉතිරිලා ගියා.

දියනිය කඳුළු පිරි දිදුලන දෑසින් පියා දෙස බලා සිටී…

පියා:

ඉතිං, ඉතිං, ඊට පස්සේ මොක වුණේ?

දුව:

ගෝඨා ඉල්ලා අස් වුණු බව රෑ ටීවි ප්‍රවෘත්තිවලින් දැක්කා. ඒ එක්කම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවත් කිව්වා. ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයක් එක විට තියන බවත් කිව්වා. එතකොට මුළු රට ම දෙවනත් කර ගෙන රතිඤ්ඤා පත්තු වෙන්න පටන් ගත්තා. එත කොට තමයි මට ඇහැරුනේ.

Leave a Reply