You are currently viewing අප ගාසාව හරදා යන්නේ නෑ..”ගාසාවෙන් ලිපියක්”

අප ගාසාව හරදා යන්නේ නෑ..”ගාසාවෙන් ලිපියක්”

මට ඔබ සමඟින් සැක්‍රමෙන්ටෝ හි රැඳී සිටීමට අවශ්‍ය සෑම දෙයක්ම ඔබ කර ඇති බව පැවසෙන ඔබේ ලිපිය දැන් මා වෙත ලැබී තියෙනවා. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයට මාව පිළිගෙන ඇති බවට දැක්වෙන පුවත ද මා වෙත ලැබී තියෙනවා. මගේ මිත්‍රයා, සෑම දෙයකටම මම ඔබට ස්තූතිවන්ත විය යුතුයි. නමුත්, මේ පුවත මම ඔබට පවසන විට ඔබට එය අමුතු දෙයක් ලෙස පෙනෙනවා ඇති. – ඒ ගැන කිසිදු සැකයක් ඇති කරගන්න එපා, මට කිසිඳු පැකිලීමක් කොහෙත්ම දැනෙන්නේ නෑ, ඇත්ත වශයෙන්ම මම දැන් තරම් පැහැදිලිව දේවල් කලින් දැක නොමැති බව මම ඉතා තදින් විශ්වාස කරනවා. නෑ මගේ මිත්‍රයා, මම මගේ අදහස වෙනස් කළා. ඔබ ලියා ඇති පරිදි “හරිතභාවය, ජලය සහ සොඳුරු මුහුණු ඇති දේශයට” මම ඔබ පසුපසින් එන්නේ නෑ. නැහැ, මම මෙහිම නවතිනවා, යළි කිසිදු දිනෙක මම මෙය හැර යන්නේ නෑ.

Ghassan Kanafani

මුස්තාෆා, අපේ ජීවිත දිගටම එකම ගමනක නොයෙදෙන එක ගැන මට ඇත්තටම ඇත්තේ කණගාටුවක්. මොකද, එකට යන බවට වූ අපගේ දිවුරුම සහ “අපි පොහොසත් වෙමු!” යනුවෙන් අපි කෑ ගැසූ ආකාරය ගැන ඔබ මට මතක් කරන හැටි මට ඇහෙනවා. නමුත් මට කරන්න දෙයක් නෑ මිත්‍රයා. ඔව් මට තාම මතකයි මම කයිරෝ ගුවන් තොටුපලේ හෝල් එකේ හිටගෙන ඔබේ අත තද කරගෙන වියරු මෝටරය දිහා බලාගෙනම හිටපු දවස. ඒ මොහොතේ කන පැලෙන මෝටරය සමඟ සියල්ල නියමිත වේලාවට අනුව කරකැවෙමින් තිබුණා, ඔබේ නිහඬ රවුම් මුහුණ සහිතව ඔබ මා ඉදිරිපිට සිටගෙන සිටියා.

මුහුණේ කුඩා රැලි හැරෙන්නට ඔබේ මුහුණ වෙනදාට වඩා වෙනස් උණේ නෑ. ගාසාවේ ෂාජියාහි හැදී වැඩෙන කාලයේ තිබුණා වගේමයි. අපි එකට හැදී වැඩුණා, එකිනෙකා සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන, අවසානය දක්වා එකට ගමන් කිරීමට පොරොන්දු වුණා. ඒත්….

“..ගුවන් යානය ගුවන් ගත වීමට තව පැය කාලක කාලයක් තියෙනවා. ඔහොම හිස් අභ්‍යවකාශය දිහා බලන් ඉන්න එපා. මේ අහන්න..! ඔයා ලබන අවුරුද්දේ කුවේට් යනවා, ඔයාට ගාසාවෙන් ගිහිල්ලා කැලිෆෝනියාවේ ගිහින් ආපහු පැලවෙන්න අවශ්‍ය වෙන තරමට ඔයාගේ පඩිය ඉතිරි කරගන්න ඔයාට පුලුවන් වේවි. අපි එකට පටන් ගත්තා, අපි එකට ඉදිරියට යන්න ඕනේ.. “

ඒ මොහොතේ මම වේගයෙන් චලනය වන ඔබේ දෙතොල් දෙස බලා සිටියා. කොමාවක් හෝ නැවතීමක් නැතිව සෑමවිටම ඔබ කතා කරන ආකාරය එයයි. නමුත් ඔබේ ගුවන් ගමන ගැන ඔබ සිටියේ පූර්ණ සන්තෝසයකින් නොවන බව මට යම් අපැහැදිලි ආකාරයකින් දැනුණා. ඔබට ඒ සඳහා හොඳ හේතු තුනක් ඉදිරිපත් කළ නොහැකිවයි ඔබ සිටියේ. මමත් මේ වියෝගයෙන් පීඩා වින්දා, නමුත් පැහැදිලිම සිතුවිල්ල වූයේ: ඇයි අපි මේ ගාසාව අතහැර පලා නොයන්නේ? ඇයි අපි නොයන්නේ? කෙසේ වෙතත්, ඔබේ තත්වය හොඳ වීමට පටන් ගෙන තිබුණා. කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට කොන්ත්‍රාත්තුවක් නොදුන්නත් ඔබට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුණා. මා සිටි දුක් ගැහැට තුළ ඔබ මට කුඩා ප්‍රමාණයෙන් මුදල් එව්වා. මා ඒවා අගෞරවයක් ලෙස සලකනු ඇතැයි ඔබ බිය වූ බැවින් මම ඒවා ණය ලෙස සලකනු දකින්නයි ඔබට අවශ්‍ය වූණේ, ඔබ මගේ පවුලේ තත්වය හොඳින් දැන සිටියා. පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ පාසල් වලින් මා ලද මගේ සොච්චම් වැටුප මගේ මව, මගේ සහෝදරයාගේ වැන්දඹුව සහ ඇගේ දරුවන් හතර දෙනා නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන බව ඔබ දැන සිටියා.

“..හොඳට අහගන්න.. හැමදාම… හැම පැයකම… හැම මිනිත්තුවකම මට ලියන්න..! ගුවන් යානය දැන් පිටත් වෙනවා. සමුගනිමු..! එහෙම නැතිනම්, නැවත අපි හමුවන තුරු..!”

ඔබේ සීතල තොල් වලින් මගේ කම්මුල පිරිමැද, ඔබ ඔබේ මුහුණ මගෙන් ඉවතට හරවා ගුවන් යානය දෙසට යොමු කළා, ඔබ නැවත මා දෙස හැරී බැලූ විට මා දුටුවේ ඔබේ කඳුළුයි.

පස්සේ කාලේ කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට කොන්ත්‍රාත්තුවක් දුන්නා. මගේ ජීවිතය විස්තරාත්මකව ගෙවී ගිය ආකාරය ඔබට නැවත නැවත කියන්න ඕනේ නෑ. හැම දෙයක් ගැනම මම ඔබට නිතරම ලිව්වා. මගේ ජීවිතේ කුඩා බෙල්ලෙක් වගේ, පීඩාකාරී හුදකලාව තුළ අතරමංව, රාත්‍රියේ ආරම්භය වැනි අඳුරු අනාගතයක් සමඟ කෙමෙන් කෙමෙන් පොරබඳමින්, කුණු වූ දින චර්යාවකට හසු ව, කාලයත් සමඟ සටන් කරමින් ඇලෙන සුළු, රික්තක ගතියකින් යුතුව පැවතුණා. හැම දෙයක්ම උණුසුම් හා ඇලෙන සුළු වුණා. මගේ මුළු ජීවිතේම ඔහේ ගලාගෙන ගියේ මාසය අවසානය සඳහා වූ ආශාවකින්.

ඒ වසරේ මැද භාගයේදී, යුදෙව්වන් විසින් සභාහි මධ්‍යම දිස්ත්‍රික්කයට බෝම්බ හෙළා අපේ ගාසාවට ප්‍රහාර එල්ල කළා. “අපේ ගාසාව” බෝම්බ සහ ගිනිදැල් වලින් පහර ලැබුවා. එම සිදුවීම මගේ දින චර්යාවේ යම් වෙනසක් සිදු කරන්න ඇති, ඒත් මට එහි අවධානය යොමු කිරීමට කිසිත් තිබුණෙ නෑ. මම පිටත්වෙන්නයි හිටියේ. මට පිටුපසින් මේ ගාසා තීරය අතහැරලා කැලිෆෝනියාවට ගිහිං, දිගු කාලයක් දුක් විඳි මම වෙනුවෙන් එහේ ජීවත් වෙන්න බලාගෙනයි මම හිටියේ. මම ගාසාවටත් එහි මිනිස්සුන්ටත් වෛර කළා. විනාශයට ඇද දමා තිබූ නගරයේ හැම දෙයක්ම අසනීප මිනිහෙක් අළු පාටින් පින්තාරු කරපු අසාර්ථක පින්තූර මට මතක් කළා. ඔව්, මම මගේ මවට වගේම මගේ සහෝදරයාගේ වැන්දඹුවට සහ ඇගේ දරුවන්ට ජීවත් වීමට සොච්චම් මුදලක් යවනවා, ඒත්, අවුරුදු හතක් තිස්සේ මගේ නාස්පුඬු පුරවන පරාධීන හැඟුම් සමුදායෙන් බොහෝ ඈත නිල්වන් කැලිෆෝනියාවෙ දි මම මගේ මේ අන්තිම බැඳීමෙනුත් නිදහස් වෙනවා. මේ අඛණ්ඩ ගිලීයාමේ මගේ ඛේදවාචකය සාධාරණීකරණය කරන්න මගේ සහෝදරයාගේ දරුවන්, ඔවුන්ගේ මව සහ මගේ මව කෙරෙහි මට ඇති අනුකම්පාව මට කිසිදා ප්‍රමාණවත් වෙන්නේ නැතිවෙයි. මම දැනටමත් ඉන්නවට වඩා තවත් පහළට මේ අනුකම්පාව විසින් මාව ඇද නොදැමිය යුතුයි. මම පලා යා යුතුයි.

ඔබ මේ හැඟීම් ගැන දන්නවා මුස්තාෆා මොකද ඔබ මේවා ඇත්තටම අත් විඳලා තියෙන නිසා. පිටව යාමට අප තුළ ඇති උද්වේගය මොට කරවන සුළු, ගාසාව සමඟ අපට ඇති මේ අසහකාරී බැඳීම කුමක්ද ? මෙයට පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට හැකි වන පරිදි අපි මේ ගැටළුව විශ්ලේෂණය නොකළේ ඇයි? ඇයි අපි මේ පරාජය එහි තුවාල සමඟින් අපට පිටුපසින් අතහැර අපිට ගැඹුරු අස්වැසිල්ලක් දෙන දීප්තිමත් අනාගතයක් කරා නොගියේ? ඇයි…? අපි හරියටම දැනගෙන හිටියේ නැහැ.

ජුනි මාසයේ නිවාඩුවට මගේ සියලු දේ එක්රැස් කරගෙන, ජීවිතේට සුන්දර දීපතිමත් අර්ථයක් දෙන ඒ කුඩා දේවල් වෙත නික්මයාමේ ආශාවෙන්, ගමන් ආරම්භ කරන විට, මස් මඩුවකින් ඉවතට විසි කරනු ලදුව, මුහුදු රැල්ල මඟින් ඇලෙනසුළු වැල්ල මතට ගසාගෙන ආ දුර්වර්ණ ගොළුබෙලි කවචයක අභ්‍යන්තර රේඛා වගේ වැහිලා තියෙන ඒ පරණ පුරුදු ගාසාව මම දැක්කා. පිම්බුණ බැල්කනි සහිත පටු වීදි පැවති ගාසාවට වඩා වෙනස් මේ ගාසාව බියකරු සිහිනයක් දකින්නෙකුගේ මනසේ ඇති භයංකර බවටත් එහා ගිය තත්ත්වයක් මනසේ ඇති කළා.. මේ ගාසාව! නමුත් වසන්තය විසින් කඳුකරයට කුඩා කඳුකර එළු රංචු ඇදගන්නවා වගේ මනුස්සයෙක්ව ඔහුගේ පවුලට, ඔහුගේ නිවසට, ඔහුගේ මතකයන් වෙතට ඇද ගන්න අපැහැදිලි හේතු මොනවාද? මම දන්නේ නැහැ. මම දන්නේ එදා උදේ අපේ ගෙදරදි මම අම්මා ළඟට ගියා කියන එක විතරයි. මම එනකොට මගේ මියගිය සහෝදරයාගේ බිරිඳ එහිදී මාව මුණගැහිලා තුවාල ලබා ගාසා රෝහලේ නවත්වලා ඉන්න ඇගේ දියණිය නාඩියා බලාපොරොත්තුවෙන් ඉන්න පරිදි එදා හවස ඈව බලන්න යන්න මම කැමතිද කියලා මගෙන් අඬමින් ඇහුවා. ඔයා දන්නවා නේද මගේ අයියගේ දහතුන් හැවිරිදි ලස්සන දුව නාඩියාව?

එදා හවස මම ඇපල් රාත්තලක් අරන් නාඩියාව බලන්න රෝහලට ගියා. අම්මයි නෑනායි මගෙන් හංගගෙන ඉන්න, එයාලට කියාගන්න බැරි දෙයක්, මට බලෙන් ඇඟිලි ගහන්න බැරි අමුතු දෙයක් එතන තියෙනවා කියලා මම දැනගෙන හිටියා. සතුටින් ජීවත් වීම කියන්නේ එක්තරා ආකාරයක සමාජ අපගමනයක් යැයි හිතෙන තරමටම පරාජයෙන් හා අවතැන් භාවයෙන් හැදී වැඩුණු ඒ පරම්පරාවටම ආදරය කළ පුරුද්දෙන්ම මම නාඩියාටත් ආදරය කළා

ඒ වෙලාවේ මොකක්ද උනේ? මම දන්නේ නැහැ. මම ඉතා සන්සුන්ව සුදු කාමරයට ඇතුළු වුණා. අසනීප දරුවන්ට මොකක්දෝ සාන්තුවර බවක් තියෙනවා. කුරිරු, වේදනාකාරී තුවාල නිසා දරුවා රෝගාතුර නම් ඒ ගතිය ඊටත් වඩා කොපමණද. විශාල කොට්ටයක් මත ඇගේ හිසකෙස් ඝනව විහිදුවාගෙන නාඩියා ඇගේ ඇඳ මත වැතිර සිටියා. ඇගේ ලොකු ඇස්වල ගැඹුරු නිශ්ශබ්දතාවයක් තිබුණා. ඇගේ ඇස් වල කළු ගෝලවල ගැඹුරේ හැමවිටම දිදුලන කදුළක් තිබුණා. ඇගේ මුහුණ සන්සුන් හා නිශ්චල නමුත් වධ හිංසාවට ලක් වූ ශාන්තුවරයෙකුගේ මුහුණක් මෙන් කීමට බොහෝ දේ ඇති බවක් පෙන්නුම් කළා. නාඩියා තවමත් කුඩා දරුවෙකු වුවත් ඇය දරුවෙකුට වඩා බොහෝ සෙයින් වැඩිමල් බවක් පෙන්නුම් කළා. බොහෝ වැඩිමල් බවක්..

“නාඩියා!”

ඒක කිව්වේ මමමද, එහෙමත් නැත්නම් මගේ පිටිපස්සේ වෙන කවුරුහරි හිටියද කියලා මට කිසිම අදහසක් නැහැ. නමුත් ඇය මා දෙසට ඇගේ දෑස් එසෙව්වා. උණුම උණු තේ කෝප්පේකට වැටුණු සීනි කැටයක් වගේ ඒ දෑස් මාව දියකරලා දැම්මා කියලා මට දැණුනා.

ඇගේ සිහින් මඳහසත් එක්කම මට ඇගේ කටහඬ ඇහුණා. “..මාමා! දැන්ද කුවේට් ඉඳන් ආවෙ..?”

ඇගේ කටහඬ උගුරෙන් බිඳුණා. ඇය තම දෑත් ආධාරයෙන් ඉහළට එසවිලා මගේ දිහාට බෙල්ල දිගු කළා. මම ඇගේ පිට පිරිමැද ඇය අසලින් වාඩි වුණා.

“..නාඩියා! මම ඔයාට කුවේට් වලින් තෑගි ගෙනාවා, තෑගි ගොඩාක්. ඔයා හොඳටම සනීප වෙලා ඔයාගේ ඇඳෙන් නැගිටලා මගේ ගෙදරට ආවම මම ඔයාට ඒවා දෙන්නම්. මම බලාගෙන ඉන්නවා. “ඔයා ඉල්ලපු රතු කලිසම් මම ඔයාට ගෙනාවා. ඔව් මම ඒවා ගත්තා..”

ඒක බොරුවක්, ඒ පීඩාකාරී තත්ත්වය තුළ එහෙම කියවුණත් එහෙම කියන වෙලාවේ, මම පළමු වරට ඇත්ත කතා කරනවා කියලා මට දැනුණා. නාඩියා විදුලි සැරක් වැදුනාක් වගේ වෙව්ලමින් බියකරු නිශ්ශබ්දතාවයකින් හිස පහත් කළා. ඇයගේ කඳුළු වලින් මගේ අතේ පිටුපස තෙත් වෙනවා මට දැනුණා.

“..මොනවා හරි කියන්න නාඩියා! ඔයාට රතු කලිසම් ඕන නැද්ද?..” ඇය ඇගේ බැල්ම මා දෙසට ඔසවා කතා කිරීමට වගේ හැදුවා, නමුත් ඈ දත්මිටි කමින් නැවතුණා. ඈතින් වගේ දැණුනු ඇගේ හඬ මට නැවතත් ඇසුණා.

“මාමා!”

ඇය අත දික්කරලා සුදු පාට පොරවණය ඇගේ ඇඟිලි වලින් ඉහළට එසෙව්වා. එහෙම කරලා ඇගේ කලවා වලට ඉහළින් කපලා තිබුණු ඇගේ කකුල මට පෙන්නුවා.

මගේ මිත්‍රයා… කලව ප්‍රදේශයෙන් කපලා දාලා තිබ්බ නාඩියාගේ කකුල මට කිසිදාක අමතක වෙන්නේ නෑ.. කොහෙත්ම නෑ. ඇගේ මුහුණේ ගති ලක්ෂණවලට සඳහටම බද්ධ වුණ ඒ ශෝකය මට කිසිදා අමතක වෙන්නේ නෑ. මම එදා ගාසාවේ රෝහලෙන් එළියට ගියේ නාඩියාට දෙන්න හිතාගෙන මම ගෙනාපු පවුම් දෙක මගේ අතේ නිහඬ ලැජ්ජාවකින් තද කරගෙන.

දැවෙන හිරු, වීදි ලේ පැහැයෙන් වර්ණගැන්වූවා. ගාසාව අලුත්ම එකක්, මුස්තාෆා! ඔබත් මමත් කවදාවත් මේ වගේ දෙයක් මීට පෙර දැකලා නැහැ. අපි ජීවත් වූ ෂාජියාව ගොඩනංවන්න මුලින්ම තියපු මුල්ගල්වලට තේරුමක් තියෙනවා කියලත් ඒවා එහි තියන්න ඇත්තේ එය පැහැදිලි කරන්න මිස අන් කිසිවක් නිසා නොවන බවත් පෙනෙන්න තිබුණා. මේ ගාසාවේ…, අපි ජීවත් වූ, අවුරුදු හතක් තිස්සේ පරාජයට පත් වෙච්ච හොඳ මිනිස්සු එක්ක අපි ජිවත් වූ මේ ගාසාවේ අලුත් බවක් දැණුනා. එය මට ආරම්භයක් ලෙස පෙණුනා. එය ආරම්භයක් පමණක් යැයි මා සිතුවේ ඇයි කියලා මම දන්නේ නෑ. ආපහු ගෙදර යන අතරමඟදී මම ඇවිදගෙන ගිය ප්‍රධාන වීදිය සෆාද් (ඊශ්‍රායලයේ පිහිටි ශුද්ධ වූ නගරයක්) වෙත දිවෙන දිගුම, දිගු මාර්ගයක ආරම්භයක් පමණක් කියලා මම හිතුවා. මේ ගාසාවේ සෑම දෙයක්ම හැඬීමට පමණක් සීමා නොවූ ශෝකයකින් වෙවුලලා ගිහිල්ලා. ඒක අභියෝගයක්: ඊටත් වඩා ඒක කපා දැමූ පාදය නැවත ලබා ගැනීමක් වැනි දෙයක්!

මම ගාසාවේ වීදි ඇතුළටම ගියා. වීදි ඇස් නිලංකාර කරවන හිරු එළියෙන් පිරිලා තිබුණා. තමන්ගේ කුඩා සහෝදර සහෝදරියන් බෝම්බවලින් සහ ගිනිදැල්වලින් ආරක්ෂා කරගන්න ඔවුන් මතට පැනීමේදී නාඩියාට ඇගේ පාදය අහිමි වූ බව ඔවුන් මට පැවසුවා. නාඩියාට බේරෙන්න තිබුණා, දුවන්න තිබුණා, කකුල බේරගන්න තිබුණා. නමුත් ඇය එහෙම කළේ නෑ.

ඇයි?

නැහැ, මගේ මිත්‍රයා, මම සැක්‍රමෙන්ටෝවට එන්නේ නැහැ, මට කිසිම පසුතැවීමක් නැහැ. නැහැ.., අපි ළමා කාලයේ එකට පටන් ගත් දේ මම අවසන් කරන්නේ නැහැ. ඔබ ගාසාවෙන් පිටව යන විට ඔබට ඇති වුණ මේ අපැහැදිලි හැඟීම, මෙම කුඩා හැඟීම ඔබ තුළ යෝධයෙකු බවට වර්ධනය කරගත යුතුයි. එය පුළුල් කරගත යුතුයි පරාජයේ කැත සුන්බුන් අතර ඔබ, ඔබවම සොයා ගැනීමට ඔබ එය සොයාගත යුතුයි.

මම ඔබ වෙතට එන්නේ නැහැ. නමුත් ඔබ, ආපසු එන්න! ජීවිතය යනු කුමක්ද සහ පැවැත්මේ වටිනාකම යනු කුමක්ද යන්න කලවා මුදුනෙන් කපා දැමූ නාඩියාගේ කකුලෙන් ඉගෙන ගැනීමට නැවත එන්න.

Print Friendly, PDF & Email

Leave a Reply