You are currently viewing නුඹ

නුඹ

මානව සමාජය තුල ප්‍රේමයට වෙන්ව ඇත්තේ උත්තරීතර ස්ථානයකි. එය බැඳීමක් පමණක් නොව උත්තරීතර හැඟීමකි. එම හැඟීම මානවයන් අතර මෙන්ම සත්ව ලෝකය තුලද දක්නට ලැබීමම එහි ඇති ආශ්චර්යමත් බව තීව්ර කරන්නකි. මානව සමාජයෙහි දූ දරු – මා පිය, සොහොයුරු-සොහොයුරු, ස්ත්‍රී-පුරුෂ, ගුරු-සිසු ආදී නොයෙක් කණ්ඩායම් අතර ඇතිවන මෙම ආදරණීය හැඟීම කෙබඳුදැයි මැනිය හැකි ඒකකයක් නොමැත. ඒ බැඳීම් ඒ තරමටම බලවත්ය. ඒ අතරිනුත් පෙම්වතුන් හා පෙම්වතියන් අතර ඇතිවන බැඳීම් කෙතරම් සොඳුරුදැ යි ඔබත් මමත් හොඳාකාරවම දන්නා කරුණකි. සාංසාරික පැතුම් ඔස්සේ පෙම්වතුන් හා පෙම්වතියන් ලෙස හමුවුන ද විවාහය නමැති ගමනාන්තය දක්වා එක්ව ගමන් කිරීමට වාසනාවන්ත වන්නේ සුළු පිරිසකි. බොහෝ දෙනෙක් එම සුන්දර සිහිනය සඵල කර ගත නොහැකිව පරාජයට පත් වෙති. එසේ තමන් සමග ආදරයෙන් එක්ව පැමිණ සමාජයීය, සංස්කෘතික හෝ සාම්ප්‍රදායික වැනි බාහිර බලපෑම් හේතුවෙන් අතරමග දී වෙන් වන්නට සිදු වුවද පරාජිත පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳ මතක අප සිත් පත්ලේ තැන්පත් වෙමින් වරින් වර හද පිරිමදිමින් සදාකල් පවතිනු ඇත. පෘථග්ජනයන් වූ අපට මරණ මංචකයේ දී පවා එම මතකයන් අවදි නොවේ යැයි පැවසිය හැක්කේ කාටද.  තම පාර්ශ්වයෙන් එල්ල වූ බාධාවන් හේතුකොට ගෙන තමා විසින් අත්හරින ලද පෙම්වතා ගැන  “ නුඹ “ පද්‍ය පන්තිය මගින් උපෙකලා අතුකෝරළ කිවිඳිය අපට පෙන්වා දෙන්නීය.

උපෙකලා අතුකෝරළ නූතන කිවිඳියන් අතර කැපී පෙනෙන කිවිඳිය කි. ඇයගේ පළමු කාව්‍ය සංග්‍රහය “ පරතරය “ නමින් 2012 දී එලිදක්වන අතර, තෙවැනි කාව්‍ය සංග්‍රහය “ සෘතු අග ශේෂ පත් “ නමින් 2020 දී එලිදක්වන්නී ය. “ නුඹ “ පද්‍ය පන්තිය ඇතුලත් දෙවන කාව්‍ය සංග්‍රහය වන    “ සංක්‍රාන්තියක සැණකෙළි “ ඇය සහෘදයාට පිළිගන්වන්නේ 2015 දී ය. ඇය කාව්‍ය නිර්මාණ මාවතට පිලිපන්නා පමණි. නමුත් මෙම නිර්මාණ මාවතෙ හි ඈ යන දුර කෙතෙක්දැයි සිතාගත නොහැකි වන තරමටම ඇයගේ මෙම කාව්‍ය නිර්මාණ අඩංගු ග්‍රන්ථ ත්‍රිත්වය සහෘදයා අතර කතා බහට ලක්වී ඇත.

නුවරින් නුවර යසත් ඉසුරත් උපයන

හදකින් හදට ජීවිතය අයදින

පොහොසත්ම සිඟන්නා නුඹ

2021_Aug_You_2

පද්‍ය පන්තිය ආරම්භයේදී ම උත්ප්‍රාසය යොදා ගැනීමෙන් කිවිඳිය අර්ථමය අලංකාරයක් ඊට ආරෝපණය කරන්නීය. වාච්‍යාර්ථය ඉක්මවා ගිය ව්‍යංගයෙන් කථිකාවිය අමතන්නේ යාචකයකුට නොව, සිය පරාජිත පෙම්වතාටය. ඔහු අයදින්නේ ජීවිතය යි. ඔහු ප්‍රේමයට සිය ප්‍රාණය සමාන කරන්නෙකි. ඔහු තමාට ආදරය කලේ එසේය. තමන් විසින් ඔහුව අත් හැරීම මගින් ඔහුට අහිමි වූයේ ඔහුගේ ජීවිතය යි. ඔහු ඉතාමත් ප්‍රේමාන්විතය. ඉදින් ඔහුගේ දිවියට ප්‍රේමය ඇවැසිමය. එසේ ජීවිතය නම් ප්‍රේමය අයදින ඔහු ප්‍රේමයෙහි මහා පොහොසතකු බව එනම් පෙරලා ප්‍රේම කිරීමෙහි මහා පොහොසතකු බව කථිකාවිය පවසන්නීය.

සැනෙකින් සිතක සිනාවක් වී පිපෙන

තමන්ගේ කඳුළවලාවක් කර මුදන

ඉපිලෙනම වැළපෙන්නාය නුඹ

තම පළමු පෙම්වතා අත් හැරි නමුත් ඇයට නිරතුරුවම සිහිවන්නේ ඔහුවමය. තමන්ගේ අතින් ඔහුට සිදු වූයේ වරදක් බව ඇයගේ සිත හොඳාකාරයෙන්ම දනී. එක් කාසියක දෙපැත්ත බඳු පෙම්වතා ද දෙමව්පියන්ද යන තෝරා ගැනීමේ දී ඇයට ගැනීමට සිදුවූයේ දෙමාපිය පැත්තය. නමුත් ඒ පිළිබඳව ඔහු උරණ වූයේ නැත. ඔහුගේ ලෝකය ඔහු ඉදිරියේ කඩා වැටුනා සේ ඔහුට දැනෙන්නට ඇත.  නමුත් මවිසින් මා වෙත චෝදනා කරගන්නා අයුරින්වත් ඔහු මට චෝදනා කලේ නැත. මා පසු පසින් විත් මගෙන් පළි ගැනීමට උත්සාහ දැරුවේ නැත. ඇයගේ සිත දුකෙන් පිරී ඇති ඕනෑම විටක ඔහුගේ මතකය ක්ෂණයකින් ඇගේ සිත ආක්‍රමණය කරන අතර. එවිට වහා ඇයගේ දුක තුනී වී සිත සතුටින් පිරී යයි. මෙම කවියේ පළමු පදය වන “ සැනෙකින් සිතක සිනාවක් වී පිපෙන “ යන්නෙන් එය ගම්‍ය වේ. එනමුදු ඇය නමින් ඔහුගේ සිත සංකාවෙන් පිරී නෙත් කඳුළෙන් බර වන බැව් කථිකාවිය හොඳින් දනී. ඒත් ඒ කඳුළු කෙතරම් බර වැඩි වුනත් ඔහුගේ නෙතින් බිමට වැටෙන්නේ නැත. එම නෙත් වලින් කඳුළක් බිමට වැටුනහොත් එහි නිමිත්ත තමන් යැයි සියල්ලෝම දනිති. එවිට ඔවුන් ගේ දෝෂාරෝපණයට තමන්ට ලක්වීමට සිදුවන බැවින් තමන්ගේ කඳුළු බිමට නොහෙලා සිතේ කැකෑරෙන දුක් සුසුම් මගින් වලාවක් කර මුදාහරින බැව් කථිකාවිය දන්නීය.

සීරුවෙන් සිරකර ළයෙහි උණුහුම

වෑයමෙන් ජීවිතේ ලය මවන

විඳවනම වයන්නාය නුඹ

වයන්නකු නම් තමන්ගේ සතුට කෙසේ වෙතත් අනෙකෙකු ගේ සතුට වෙනුවෙන් කැපවන්නෙකුම ය. තම පරාජිත පෙම්වතා ද එසේමය. තමාගේ ආත්මාර්ථකාමී තීරණයෙන්, විඳින්නට තිබූ ජීවිතය විඳවමින් සුනු විසුණු වූ ඔහුගේ බලාපොරොත්තු නැවතත් ගොඩ නගා ගැනීමට මහත් වෙහෙසක් දරන අයුරු කිවිඳිය ව්‍යංගයෙන් හඟවන්නීය.

පෙම් අමා මී සිඳෙද්දිත් යළි මවන

දිවි බඳුන මදිරාවෙන්ම පුරවන

ආදරණීයම බේබද්දාය නුඹ

ඔහුගේ ආදරණීය බව නැවත නැවතත් ප්‍රකාශ කිරීමකි. තමා දැන් අන් අයකු සමග විවාහ වී සිටිය ද තම පෙම්වතා සමග පෙමින් වෙලී සිටි අවස්ථා ඈ සිහියට නගන්නීය. ඔහුගෙන් ලද මෘදු ස්පර්ශය, දැකීම, ඇසීම, රසය, සුවඳ, වැළඳ ගැනීම්, සිප ගැනීම් ආදී ආලිංගනයෙන් වෙලී සිටි අවස්ථාවල ලද මිහිරි මතක ඈ සිහිපත් කරන්නීය. එයින් ඇයගේ රස නිමිති උද්දීපනය වී රස භාවයන් මතුවී ඈ අමන්දානන්දයට පත්වන්නීය. පෙම් අමා මී සිඳෙද්දිත් යළි මවන ආදරණීයම බේබද්දා යැයි කථිකාවිය පවසන්නේ එම වින්දනයට ඈ ආසා කරන නිසාය.

මග යමින් මග සොයා වෙහෙසෙන

සොරා ගනිමින් සිත බෙදා බිඳලන

මංමුළා වූ මං පහරන්නාය නුඹ

2021_Aug_You_3

ඔහු මහ පොළොවේ පය ගසා ජීවත් වන අයුරු දැන සිටියේය. එකී ඒකාග්‍රතාවය බිඳදමන ලද්දේ ඇය විසිනි. ඔහු නැවත දිවි මගට අවතීර්ණ වී දිවි ගමන යා යුතුව ඇත. ඇය විසින් තෝරා ගත් මාවතෙහි ඇය යා යුතුව තිබේ. නමුත් තවමත් වරින් වර ඇයගේ සිත ඔහු විසින් සොරා ගනු ලබයි. එම හැඟුම් වැළැක්වීම සුළුපටු කර්තව්‍යයක් නොවේ. ඇත්තෙන්ම ආදර හැඟුම් පහල වීමට හුස්මක දුරම අවශ්‍ය වන්නේ නැත. ගව් ගණනක දුරින් සිටියද සැබෑ ආදරවන්තයින් ට හුස්මක දුරින් සිටියා හා සමානය. තම දිවියේ ඕනෑම දුක්බර මොහොතක සැනෙන් සිත සොරකම් කරනු ලැබූව ද නැවත සිත බෙදා බිඳලන්නේය. ඒ තව දුරටත් ඔහු තමන්ට හිමි නොවන බව හැඟීමෙනි. මං පහරන්නකු මංමුළාවන්නට හේතුවක් නැත. එමෙන්ම සොරා ගත් දෙයක් බෙදා බිඳලන්නේ ද නැත. මෙයින් කථිකාවිය ව්‍යංගයෙන් හඟවන්නේ ඔහුගේ මානසික ව්‍යාකූලත්වයයි. මග දැන නිවැරදි මගෙහි යමින් සිටි ඔහුව මෙවන් ව්‍යාකූලත්වයකට ඇද දැමීම පිළිබඳ කථිකාවිය පසුතැවිලි වන්නීය.

සැබැවින්ම කවිය යනු සෘජු ප්‍රකාශ නොව වක්‍රෝක්ති, ව්‍යංගාර්ත වලින් සබැඳි පබැඳුම් විය යුතුය. එය රසවිඳීමෙන් සහෘදයාගේ හැඟුම් උද්දීපනය කිරීමට සමත්විය යුතුය. මෙහි දී කිවිඳිය එම අවශ්‍යතා සපුරාලන්නට සමත් වී සිටින්නීය. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා කර ඇති පද්‍ය පන්තිය සරල බසකින් යුක්තය. පරාජිත පෙම්වතා ගැන වූ භාවමය වේදනාව අනුභූතිය ලෙස සැළකිය හැකිය. භාෂාව යොදාගෙන ඇති ආකාරය නිර්මාණාත්මකය. නිසඳැස් ආකාරනේ පද්‍ය පන්තිය සකස් කර තිබේ.වාච්‍යාර්ථය ඉක්මවා ගිය ව්‍යංගාර්ථ වලින් පද්‍ය පන්තිය සුපෝෂිතය. පොහොසත්ම සිඟන්නා, ඉපිලෙනම වැළපෙන්නා, විඳවනම වයන්නා වැනි විරෝධාලංකාර පද්‍ය පන්තියෙහි අලංකාරය වැඩි කිරීමට සමත්ය. විරහව සූචනය වන පද්‍ය පන්තියේ විප්‍රලම්භ ශෘංගාරය ගැබ්ව ඇත.

දෘෂ්ටිය වශයෙන් මෙම පද්‍ය පන්තිය ඉහළ තලයක පවතී. තරඟකාරී රටාවකට හුරුව හැල්මේ දුවන සමාජයෙහි පෙර පැවැති ආදරණීය හැඟීම් වියැකෙමින් ඇත. මුදල් මතම සියල්ල තීරණය කරන අවධියක සැබෑ ප්‍රේමයට නිසි පිළිගැනීමක් නැත. යාන්ත්‍රික වී ඇති මනස් වලට ඉවසීම, දරාගැනීමේ හැකියාව, සහකම්පනය වැනි මානුෂික ගුණාංග නුහුරුය. නමුත් කිවිඳිය මෙම නිර්මාණය තුලින් තමාගේ සෘජු මැදිහත් වීමෙන් නොවුනත් සිදුවූ වරද තමන් වෙත පවරා ගනිමින් පරාජිත පෙම්වතා දෙස අනුකම්පාවෙන් බලන අයුරු අගය කල යුතුය.පද්‍ය පන්තිය පුරාම මෙම සානුකම්පිත ගුණය ගෙන හැර දක්වමින් සහෘදයා වෙත මානුෂික වින්දනයකට ආරාධනා කරන උපෙකලා අතුකෝරළ කිවිඳියගේ “ නුඹ “ සාර්ථක නිර්මාණයකි.

Print Friendly, PDF & Email

Leave a Reply