You are currently viewing “රට රකින අපේ විරුවා” ගෝඨාභය රාජපක්ෂ ආගමන ය..

“රට රකින අපේ විරුවා” ගෝඨාභය රාජපක්ෂ ආගමන ය..

“..විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ..
අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ..
ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ..
ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ…”

මේ තමයි මේ රටේ ජනතාව මිලියන ගණනින් 2020 මහ මැතිවරණයට කලින් වැළඳ ගත්, මුව අග රැඳුණු ගීතය.

දැන් නම් රටේ හැම තැනින් ම ඇහෙන්නේ ලොක්කත්, ලොක්කගෙ පාලනයත් ෆේල් කියා ය. ඒත් එදා ඒ ගීතයට හිමිවුන ප්‍රසාදය අද දවසේ මැන බලන්නට මිණුම් දණ්ඩක් වේ නම් “රට රකින අපේ විරුවා” ඇත්තට ම ෆේල් ද? යන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම අපහසු නොවේ.

චිරප්‍රසිද්ධ දේශපාලන පවුලක්!

ගෝඨාභය දේශපාලන චරිතයකට වඩා ජනතාව අතර පුචලිත වුනේ 30 අවුරුද්දක් පුරා වූ දෙමළ ජනතාවගේ  අරගලය, දකුණේ ජනතාවගෙන් බහුතරය හඳුන්වන 30 අවුරුදු යුද්ධය පරාජය කිරීමට මුල් වූ ප්‍රමුඛයෙක් ලෙසට ය.

ගොඨාභය නන්දසේන රාජපක්ෂ නියෝජනය කර රාජපක්ෂ පවුල ලංකාවේ චිර ප්‍රසිද්ධ දේශපාලන පවුලකි. ඩී. ඒ, රාජපක්ෂ පියාණන් වන අතර චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පවුලේ සෙසු දේශපාලන අංකුරයන් වේ.

1971 වසරේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳී දෙවන ලුතිනන්වරයෙකු, ලුතිනන් වරයෙකු ලෙස වසර විස්සක සේවා කාලයක් සපුරා ඇත. 1992 වසරේදී හමුදා සේවයෙන් ඉල්ලා අස්වී සංක්‍රමණිකයෙකු ලෙස අමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබේ.

2005 වසරේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමට ගොඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබින. මීට අමතරව පසු කාලීන ව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමේ අවස්ථාවට ද හිමිකම් ලැබීය.

මහින්ද රාජපක්ෂ අවස්ථා දෙකක් ජනාධිපතිධුරය හෙබවීමෙන් පසු ව්‍යවස්ථාව වෙනස් කරමින් 77 ජේ ආර් ව්‍යවස්ථාව මගින් දෙවරකට පමණක් සීමා කර තිබූ ජනාධිපතිධුරය හෙබවීමේ අවස්ථාව 18 ව්‍යවස්ථාව මගින් එම සීමාවන් ඉවත් කරන ලදී.

ගෝඨාභය නන්දසේන රාජපක්ෂ කරළියට ඒම

එසේ ඉවත් කරමින් මීළඟ ජනාධිපතිවරණය සඳහා නියමිත කාලයට වසර දෙකකට පෙර 2015 ජනවාරි 8 වන දින පවත්වන්නට කටයුතු කරන ලදී. මහින්ද රාජපක්ෂගේ තුන් වන වරටත් ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට පත්වීමේ සිහිනය බොඳ කරමින් එම ජනාධිපතිවරණයෙන් රනිල් – මෛත්‍රී හවුල ජයගෙන මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ හයවෙනි විධායක ජනාධිපති ලෙස පත්විය.

අපේ කථානායකයා, ගෝඨාභය නන්දසේන රාජපක්ෂ කරළියට එන්නේ මෙතැන් සිට ය.

මහින්ද රාජපක්ෂයන්ගේ  පරාජයෙන් පසු  ශ්‍රීලනිප නායකත්වය හා එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේනට ම පැවරූ මහින්ද රාජපක්ෂට දේශපාලන වශයෙන් නිහඬව සිටින්නට හැකි වූයේ කෙටි කාලයකි. ඒ මහින්දවාදී පක්ෂ හා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ වී ගොඩනඟන ලද “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” නිසාවෙනි.

2022Jan26[1]_Mahinda_Gotabhaya
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතා ව එම පක්ෂයේ පක්ෂයේ ජාතික සමුළුවේ දී ප්‍රකාශයට පත් කරන ලදි. -[2019 අගෝස්තු 11]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ විසින් ම කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එම පක්ෂ සමුළුවේ දී ප්‍රකාශයට පත්කරන ලදී.

අපේක්ෂත්වයට අභියෝගය වුනේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ එම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ අපේක්ෂකත්වය අහිමිකර තිබූ බැවිනි. ගෝඨාභය රාජපක්ෂග ද්විත්ව පුරවැසිභාවය සමාජයේ, සමාජ මාධ්‍ය, ප්‍රධාන දහරාවේ බොහෝ මාධ්‍ය, විශේෂයෙන් එවකට රාජ්‍ය මාධ්‍ය හා විරුද්ධවාදීන්ගේ නිරන්තර ප්‍රශ්න කිරීමට ලක් විය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වෙන තෙක් එය අභියෝගයට ලක් කරන්ට සමත් අයෙක් දකින්නට නොවීය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පුරවැසිභාවය ඉවත්කර ගැනීම නිවේදනය කළේ ජනාපතිධූරයට පත්වී තවත් කාලයක් ගතවීමෙන් පසුව ය.

රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව

ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කිරීමත් සමග ගෝඨාභය දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ කමිටුව විසින් දියත් කරන්නට විය. නිර්‍මානශීලි ලෙස ජනතාව වික්ෂිප්ත කරන්නට සමත් වූ ප්‍රචාරක ව්‍යාපාරය මගින් ඒ වනවිටත් රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව දෙදරවන්නට සමත්විය.

යහපාලන ආණ්ඩුව ගෑස් මිල අඩුකිරීම, ඉන්ධන මිල අඩු කිරීම, රජයේ සේවකයන්ට රුපියල් දසදහසකින් වැටුප් වැඩිකිරීම, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තහවුරු කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් ජනතාව තුට්ටුවකට මායිම් නොකරන, ජනතා ව්‍යපාරයක් ගොඩනඟන්නට ගෝඨාභයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය සමත්විය.”පළමුව රට” ප්‍රමුඛ සටන් පාඨය විය. අනු සටන් පාඨය වුනේ “ජාතික ආරක්ෂාව” විය

පැරණි වමේ පක්ෂ සහ තවත් දේශපාලන පක්ෂ නායකයන්, රටත්, ජාතියත් බේරා ගන්නට ඇති අවසන් අවස්ථාව යැයි මොර දෙමින් සමස්ත භික්ෂු සංහතියෙන් බහුතර භික්ෂුවහන්සේලා ද, කතෝලික ප්‍රජාව මුල්කර ගනිමින් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික පූජකයන් ද, නළුවෝ, නිලියෝ, ගායක ගායිකාවන් යැයි කියා ගන්නා කලාකරුවන් ද, බුද්ධිමතුන් ලෙස හඳුන්වා ගත් විද්වතුන්ගෙන් සමන්විත බව කිවූ “වියත්මග” ආදී වශයෙන් මෙකී නොකී සමාජ කුලකයන් ගණනාවක් ප්‍රචාරක යාන්ත්‍රණයේ  කොටස්කරුවන් වූහ.

ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ම සැකසූ සමාජ මාධ්‍ය ජාලය, මහින්දවාදී හා ඒ ආණ්ඩුවල සහයෝගයෙන් ප්‍රකට ධනකුවේරයන් බවට පත්ව සිටින, ඔවුන් සතු විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය සමුහය ද පෙරමුණේ ම විය.

ජඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව නෙරපා හැරීමට එරෙහිව පැවති උද්ඝෝෂණයක් .. [2018 නොවැ. 15, කොළඹ]

මේ සියල්ලටමත් වඩා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම විධායක බලය පාවිච්චි කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස එවකට පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් නියෝජනය කළ, විරුද්ධ පක්ෂයේ නායකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීම ද යහපාලන රජය බිඳ දමන්නට සමත්විය.

අධිකරණම ය මැදිහත්වීම නිසා දින පණස් දෙකක කාලය තුල නැවතත් රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය හිමි වුව ද, යහපාලන ආණ්ඩුවට මෛත්‍රීපාල සිරිසේනයන් සිදු කළ මරණීය තුවාල ගොඨාභය රාජපක්ෂගේ ජයග්‍රණයට පාවාඩ එළීමක් වූවාට සැක නැත.

හත්වන විධායක ජනාධිපති

දේශපාලන අන්ධකාරයේ හැමදාම ගිලෙන ජනතාවට ගෝඨාභය රාජපක්ෂ චරිතය දේශපාලන බිමේ පිළුනු වූ චරිතයක් නොවීය. 2005-2015 මහින්ද රාජපක්ෂ පාලනයේ යටිතලයේ කැපි පෙනෙන චරිතයක් වුවද එතරම් ම සුදු චරිතයක් නොවන බව ඔහුට එරෙහිව එල්ලවූ විවිධාකාරයේ චෝදනා අදටත් සමාජයේ ඉහළ පහළ යමින් තිබේ. ජාත්‍යන්තර පරිමානව ද ඒ එසේය.

ජනාධිපති දිවුරුම් උත්සවය.. [2019 නොවැ.18 , අනුරාධපුරය, රැවන්මැලිසෑ  මළුව]

මේවා ජනතාව පිලිගත් චෝදනා නොවීය. රටේ පැවති අටවන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ 6,924,255 ලබා ගත් අතර ප්‍රතිවාදී අපේක්ෂක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලබාගත්තේ චන්ද 5,564,239 කි. වැඩි ඡන්ද 1,360,016ක් ලබාගෙන බහුතර සිංහල ජනයාගේ සහයෝගයෙන් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා විය.

ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 18 දින උදෑසන අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියස ඇති දුටුගැමුණු පිළිරුව ඉදිරිපිටදී දිවුරුම්දීම සිදු කෙරින. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මුලික වගකීමයි බව සනාථ කරමින්, “ත්‍රස්තවාදයෙන්, පාතාල නායකයන්ගෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසකයන්ගෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය යළිත් ශක්තිමත්කොට ශ්‍රී ලංකාව යළි ගොඩ නගනවා” යැයි ජාතිය අමතා නව ජනාධිපතිවරයා සපතකර සිටියේය.

කොරෝනා වසංගතය

2019 වසරෙ අගභාගයේ චීනයෙන් ප්‍රථම වරට හඳුනාගන්නට ලැබුනු කොවිඩ්-19 වෛරසය ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වන්ට විය. 2020 මාර්තු 11 වන දින ශ්‍රී ලංකාවේ පළමු කෝවිඩ් ආසාධිතයා වාර්‍තා විය.

ජනාධිපතිවරයා ලෙස දිවුරැම් දී හැරෙන්ටවත් අවස්ථාවක් නොදී රට පුරා පැතිරෙන්නට වූ කොවිඩ 19 රටේ අනෙකුත් සමාජ ආර්ථික ප්‍රශ්න අමතක කරන්නට සමත්විය. ආණ්ඩුව කොරෝනා වසංගතය, වසන්තයක් බවට පත්කරගත් බවට විපක්ෂය චෝදනා කරන්නේ ඒ අර්ථයෙන් වියයුතුය. එන්නත් මිලදී ගැනිමි හා ඇන්ටිජන්, පී. සී. ආර්. පරීක්ෂණ උපකරණ ආණ්ඩුවේ ගජමිතුරන්ට සහ සමහර දේපාලකයන්ය කොමිස් ආකරයක් වූ බවට කෙරෙන චෝදනා බැහැර කරන්නට ගෝඨාභයගේ ආණ්ඩුව සමත්වී නැත. ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් කරන්නට හෝ ජනාධිපතිවරයා උනන්දුවූ බවක් වාර්‍තා නොවේ.

විදේශ සංචිත බිඳවැටීම, ඩොලර් අර්බුදය, පොහොර අර්බුදය, රටපුරා බාල ගෑස් බෙදාහැරි බවට සනාථවීම, ගෘහස්ථ ගෑස් ටැංකි පිපිරීම, කිරි පිටි ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය හිඟතාවය එකී මෙකී නොකී විවිධාකාරයේ ජනතාව පෙලන සමාජ ආර්ථික පීඩනයන් ගැන ආණ්ඩුවට කිසිදු පිළිතුරක් නැත.

“රට රකින අපේ විරුවා” කියන හැටනම ලක්ෂයේ ජනතාව ම අපේ “සර් රුත් ෆේල්” කියන්නට ජනතාව පටන්ගෙන තිබෙන්නේ ඒ නිසාය. “හානා හීිය, පානා අඞහැරෙන් දැනේ” කියා අපේ පෞරාණිකයො කියල තියෙන්නේ කටකහනවට නම් නොවේ.

Leave a Reply