You are currently viewing කැනඩාව හුවාවෙයි උරුමක්කාරිය නිදහස් කිරීම චීන ඇමරිකන් සීතල යුද්ධයේ තවත් පිටුවකි.

කැනඩාව හුවාවෙයි උරුමක්කාරිය නිදහස් කිරීම චීන ඇමරිකන් සීතල යුද්ධයේ තවත් පිටුවකි.

ලොව බලවත් රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම බොහෝවිට දේශපාලන ආන්දෝලනයකට හේතු වන කාරණයකි. පසුගිය සතියේ දින 1000කට අධික කාලයක් කැනඩාවේ වැන්කුවර් නගරයේ තමාගේම නිවාසයේ අත් අඩංගුවේ සිටි මෙන්ග් වන්ෂු ඉන් නිදහස් කිරීමට කැනේඩියානු බලධාරීන් තීරණය කිරීම එවැනි සිද්ධියකි. මෙන්ග් ගමන් ගත් ගුවන් යානය වැන්කුවර් ගුවන් තොටුපොළේ නතර කළ අවස්ථාවේ දී කැනඩාවේ ආරක්ෂක අංශ විසින් ඇය අත් අඩංගුවට ගත්තේ එක්සත් ජනපදයේ ඉල්ලීමක් අනුව බව පසුව හෙළි විය. සන්නිවේදන ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන ඉදිරිපත් කිරීම අතින් ලොව ප්‍රමුඛස්ථානයට පත්ව සිටි හුවාවෙයි සමාගමේ නිර්මාතෘ ගේ දියණිය වන ඇය එහි මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානියා ද වූවාය.

එවකට ඇමරිකානු ජනාධිපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති සී ජින්පින් ආර්ජෙන්ටිනාවේ පැවති ජී 20 රැස්වීම අතර තුර දෙරට අතර වෙළඳ සබඳතා යළි ගොඩ නගා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබු අවස්ථාවක මෙම අත් අඩංගුවට ගැනීම බොහෝ නිරීක්ෂකයන්ගේ විමතියට හේතු විය. මෙන්ග් අත් අඩංගුවට ගැනීම ඇමරිකානු එෆ් බී අයි ආයතනයේ ඉල්ලීමක් අනුව සිදු වූ බව ප්‍රකාශ වීමත් සමග චීනයත් කැනඩාවත් අතර සබඳතා පිරිහීමට හේතු විය. චීනය ද ඊට දින කීපයකට පසු බීජිං නගරයේ දී ඔත්තු බැලීමේ චෝදනාව මත කැනේඩියානු ජාතිකයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත්තේය. අවසානයේ දී මෙන්ග් නිදහස් කිරීමට කැනඩාව ගත් තීරණයත් සමග මයිකල් ස්පැවෝර් සහ මයිකල් කොවින් යන කැනේඩියානු ජාතිකයන් දෙදෙනා ද නිදහස් කෙරිණ. මෙම නිදහස් කිරීම් දෙකම එකම වේලාවක සිදු කිරීම ද වැදගත් ය. 

Meng Wanshou, chief financial officer (CFO) of Chinese tech giant Wawei.

සමහර ජනමාධ්‍ය පැහැර ගැනීමක් සේ හැඳින් වූ මෙන්ග් අත් අඩංගුවට ගැනීමට හේතු ලෙස පසුව දැක් වූයේ හුවාවෙයි සමාගම එක්සත් ජනපදය තම කැමැත්ත අනුව ඉරානය කෙරේ පනවා තිබු ආර්ථික සම්බාධක කඩ කිරීමට එච්එස්බීසී ( HSBC ) බැංකුව නොමග යවා ඇත්තේය යන චෝදනාවයි. එම නඩු කටයුතු සඳහා ඇය එක්සත් ජනපදයට උදර්පණය කිරීම සඳහා කැනඩාවේ දීර්ඝ නඩු විභාගයක් පැවති අතර එහි තීන්දුවක් දීමට නියමිතව තිබිණ. නඩු විභාගයේ දී මෙන්ග් වෙනුවෙන් කරුණු දැක් වූ නීතිඥයෝ ඇය කැනඩාවේ බලපවත්වන නීතිය අනුව වරදක් කර නැති බව පෙන්වූහ. අදාල සිද්ධිය කැනඩාවේ භූමි ප්‍රදේශය තුළ සිදු වුවක් නොවන අතර කැනඩාව 2016 දී ඉරානයට එරෙහිව පනවා තිබු සම්බාධක ඉවත් කෙළේය. මේ අනුව උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමට තිබු ඉඩකඩ බෙහෙවින් සීමිත ය.

මේ අතර තුර මෙන්ග් නිදහස් කිරීම පිළිබඳව එක්සත් ජනපදය සහ චීනය අතර රහසිගත සාකච්ඡා පැවැත්විණ. අවසානයේ දී ඇයට විරුද්ධව නිව්යෝර්ක් නගරයේ අධිකරණයේ චෝදනා ගොනු කළ අතර එහිදී ඇය එම චෝදනාවලට තමා නිවැරදි බව මාර්ග ගත සන්නිවේදන මාර්ගයෙන් දන්වා සිටියාය. අනතුරුව උසාවිය එම නඩු විභාගය 2022 දෙසැම්බර් දක්වා අත්හිටුවීමට තීරණය කිරීම නිසා වැන්කුවර් නගරයේ නිවාස අඩස්සියෙන් ඇය නිදහස් කිරීමට කැනඩාවේ බලධාරීහු තීරණය කළහ. බොහෝ නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට මෙන්ග් වැන්ෂු නිදහස් කිරීම එක්සත් ජනපදය අසීරු තත්වයකට පත්වීමෙන් වැළැක්වීමට ගත් තීරණයකි.

එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් තොරව එක්සත් ජනපදය තම දේශපාලන අවශ්‍යතාවය මත ඉරානයට එරෙහිව පනවා තිබු සම්බාධක කඩ කිරීමේ චෝදනාව මත මෙන්ග් අත් අඩංගුවට ගැනීමට කැනඩාවට බලපෑම් කළ ද එහි සැබෑ අරමුණ ඊට වෙනස් ය. නව තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ජී 5 ( G 5) සන්නිවේදන ක්ෂේත්‍රයේ චීනයේ හුවාවෙයි සමාගම අත්කර ගෙන ඇති ජයග්‍රහණ එක්සත් ජනපදය සන්නිවේදන ක්ෂේත්‍රයේ හිමි කර ගෙන තිබු ප්‍රමුඛස්ථානයට අභියෝගයකි. ලෝකයේ බල ආධිපත්‍යය පවත්වා ගැනීමට සන්නිවේදන තාක්ෂණය ඉමහත් වැදගත් කමකින් යුතුය. එමනිසා චීන සමාගමක් වන හුවාවෙයි තාක්ෂණ උපකරණ ලෝක වෙළඳ පොළ අලෙවිය සීමා කිරීමට සහ බාධා පැමිණවීමට එක්සත් ජනපදය විවිධ බාධක පැනවීමට උත්සුක විය.

පළමුවෙන්ම ඉදිරිපත් කළ චෝදනාව වූයේ හුවාවෙයි සමාගම චීන රජයට සම්බන්ධ නිසා එම සමාගමේ නිෂ්පාදන තුළ තොරතුරු රහසිතව ගබඩා කර චීන රහස් සේවාවන්ට ලබා දීමේ වැඩ පිළිවෙළක් පවතින්නේය යන්නයි. හුවාවෙයි නිෂ්පාදන භාවිතය එක්සත් ජනපදයේත් නේටෝ රටවලත් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසා ඒවා තහනම් කිරීමට බටහිර රටවලට එක්සත් ජනපදයේන් බලපෑම් කෙරිණ. මහා බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව ඒ අනුව හුවාවෙයි නිෂ්පාදන තහනම් කර ඇත. යුරෝපා සංගමය ද එවැනිම තීරණයක් ගත යුතුයැයි ඇමරිකාව දිගින් දිගටම බලපෑම් කරයි. මෙම විරෝධය හුවාවේ සමාගමේ නිෂ්පාදනවලට පමණක් නොව චීනයට එරෙහිව වර්ධනය වන සීතල යුද්ධයේම කොටසක් බවට පත් විය.

මෙම තත්වය වඩාත් උග්‍ර වූයේ 2025 දී නව තාක්ෂණ භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වීමට ජනාධිපති සී පින්ජින් ඉදිරිපත් කළ ”චීනයේ නිෂ්පාදනය කරන ලදී” ( Made in China) සංකල්පයයි. ඊට පිළිතුරු වශයෙන් සියුම් තාක්ෂණ උපකරණ නිපදවීමට අවශ්‍ය ඇමරිකානු චිප් ( Chip ) චීන සමාගම්වලට අලෙවි කිරීමට තහංචි පැන වූ අතර එය හුවාවෙයි සමාගමේ නිෂ්පාදන අඩාල වීමට හේතු වූ බවද වාර්තාවේ.

චීනයේ වර්ධනය වන ආර්ථික සහ තාක්ෂණ විශිෂ්ටතාවය පිළිබිඹු කරන චීන සමාගම්වලට එරෙහිව විවිධ තහංචි පැනවීමට එක්සත් ජනපදය ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ ඒවා චීන රජය හා සම්බන්ධ ආයතන බව පෙන්වා දීම ය. හුවාවෙයි සමාගමේ නිර්මාතෘ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු නිසා එය චීන රජයේම ව්‍යාපාරයක් වශයෙන් හඳුන්වයි. චීන රජයෙන් ඉල්ලීමක් කරන්නේ නම් තාක්ෂණ ක්ෂේත්‍රයේ චීන සමාගම් රජයට තොරතුරු ලබා දීමට නීතිමය ප්‍රතිපාන ද පවතී.

අනික් අතට එක්සත් ජනපදයේ රාජ්‍ය බලය හසුරුවන අදිසි හස්තය ප්‍රධාන පෙළේ සමාගම් බවද අමතක කළ යුතු නොවේ. එක්සත් ජනපදයේ ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන ෆෙඩරල් සංචිතය පෞද්ගලික මූල්‍ය ආයතන විසින් පාලනය කරන ආයතනයකි. එමනිසා ප්‍රබල රටවල දේශපාලන වුවමනාව සහ ආර්ථික කටයුතු අතර ඇත්තේ සමීප සම්බන්ධතාවයකි. කෙරවලපිටිය විදුලි බලාගාරයට ස්වභාවික ගෑස් සැපයීමේ ටෙන්ඩරයක් සම්බන්ධ කරුණක දී කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය රජයේ බලධාරීන් හමු වූවාය.

එමනිසා ආර්ථික සහ දේශපාලන ආධිපත්‍යය පවත්වා ගැනීමට මේ රටවල් ගන්නා පියවර වෙනස් වන්නේ කෙවිට ඇත්තේ කා අතේද යන්න මත පමණි. සමහර විට මිත්‍රයැයි සැලකෙන රටවල් අතර පවා මෙවැනි ගැටුම් ඇතිවීම විරල දෙයක් නොවේ.

චීනයේ නැගී ඒමට පෙර එක්සත් ජනපදයට ආර්ථික අභියෝගය වූයේ ජපානයයි. ජපානයේ භණ්ඩවල ගුණාත්මක භාවය සහ නව්‍යත්වයට ඇමරිකානු සමාගම්වලට අභියෝග කළ නොහැකි විය. ටොයෝටා, සෝනි ටොෂිබා එක්සත් ජනපදයේ ප්‍රමුඛතම සන්නාම බවට පත් විය. ඒවා ආනයනය වැළැක්වීමට සමහර විට 45% වැනි ඉහළ බදු අනුපාත ද පනවන ලදී.

TRON ව්‍යාපෘති නියමු මහාචාර්ය කෙන් සකමුරා [Ken Sakamura] පර්යේෂණාත්මක BTRON යන්ත්‍රයක් අසල වාඩි වී සිටී. [1985 වසරේ ගන්නා ලද ඡායාරූපයකි]

ඇමරිකානු සමාගම්වල හැසිරීමට හොඳම නිදර්ශනයක් වන්නේ 1984 දී මහාචාර්ය වෙන් සකුමුරා ඉදිරිපත් කළ පරිගණක මෙහෙයුම් පද්ධති යි. තත්කාලීන මෙහෙයුම් පද්ධති කේන්ද්‍රය ( The Real-time Operating System Nucleus. TRON ) නමින් හැඳින් වූ මෙම මෙහෙයුම් පද්ධතිය මයික්‍රොසොෆ්ට් පද්ධතිවලට වඩා බලවත් සුපිරි තාක්ෂණයකින් යුත් විය. එය ප්‍රචලිත වූයේ නම් ඇමරිකානු පරිගණක සමාගම්වලට කිසි දිනක ඊට අභියෝග කිරීමට නොහැකි වනු ඇත. එවිට සහායට ඉදිරිපත් වූයේ ඇමරිකානු ආණ්ඩුවයි. මෙම මෙහෙයුම් පද්ධතිය නිෂ්පාදනය කළ ටොෂිබා සමාගමට සම්බාධක පැන වීය. හේතුව වශයෙන් දැක් වූයේ ටොෂිබා සමාගමේ අනුබද්ධ සමාගමක් නෝර්වේජියානු සමාගමක් හා එක්ව සෝවියට් සංගමයට සබ්මැරීන් තාක්ෂණය අලෙවි කිරීමය. අවසාන ප්‍රතිඵලය වූයේ ට්‍රොන් මෙහෙයම් පද්ධතිය අතුරුදහන් වීම ය. මයික්‍රොසොෆට් මෙහෙයුම් පද්ධතියට මාවත විවෘත විය.

මෙන්ග් වැන්ෂු සම්බාධක කඩ කිරීමේ චෝදනාවක් මත අත් අඩංගුවට ගැනීමත් හුවාවෙයි සමාගමේ ජී 5 තාක්ෂණයට එරෙහිව පැනවෙන තහංචි තේරුම් ගත හැකි වන්නේත් නව තාක්ෂණය පිළිබඳව තම ආධිපත්‍යය පවත්වා ගැනීමට ඇමරිකානු දේශපාලන අධිකාරියට සහ ප්‍රබල සමාගම්වල ඇති දැඩි අවශ්‍යතාවයත් සමගය. තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින අධිකාරිය දුර්වල වුවහොත් දේශපාලන බල අධිකාරිය පවත්වා ගත නොහැකිය.

එමනිසා මෙන්ග් වැන්ෂු කැනඩාවේ අත් අඩංගුවෙන් නිදහස් කිරීම චීනය සහ කැනඩාව අතර සබඳතා යථා තත්වයට පත්විමට හේතු වන්නේයැයි කිව නොහැකිය. ( චීනය කැනඩාවේ ප්‍රධාන අපනයන වෙළඳ පොළයි.) පසුගිය සතියේ වොෂින්ටනයේ පැවති එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය,ජපානය සහ ඉන්දියාව අයත් චතුර්පාර්ශ්ව රැස්වීමේ දී ජනාධිපති බයිඩන් අවධාරණය කළ වැදගත් කාරණය වූයේ නව තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත් වීමට වෙනත් රටකට ( චීනයට) ඉඩ හැරීම ප්‍රජාතන්ත්‍රවාදය සුරකින හා නීතිය පදනම් පද්ධති පවත්වා ගන්නා ( බටහිර) රටවල ආරක්ෂාවට තර්ජනයකි යන්නයි. එවැන්නක් සිදුවීම වැළැක්වීමට යුද්ධයකට හෝ යෑමට එක්සත් ජනපදය සූදානම් බවද ඔහු අවධාරණය කෙළේය. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික අවි සහිත සබ්මැරීන් ලබා දීමට අත්සන් කළ ඕකස් ගිවිසුම ද එවැනි පියවරකි.

මෙවැනි පසුබිමක් තුළ ආර්ථික අර්බුදයන්ට  මුහුණ දී ඇති ලංකාව වැනි කුඩා රටවල් බලවතුන්ගේ ගොදුරු බවට පත් නොවි සිටීමට රටේ බලධාරීන්ට ඕනැකමක් හෝ දේශපාලන දැක්මක් පවතීද යන්න සැකයකි.

Leave a Reply