You are currently viewing ආගමේ නාමයෙන් වැරදිකරුවන් රැකීම ආගමට කරන අපහාසයක්.

ආගමේ නාමයෙන් වැරදිකරුවන් රැකීම ආගමට කරන අපහාසයක්.

දියේ ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙනවා යනු ගැමි වහරේ කියමනකි. කිසිම පිළිසරණක් නැතිව අනතුරකට හෝ විපතට පක්වන මිනිසා ඉන් ගැලවීමට කුමන හෝ දෙයක් යොදා ගැනීමට පෙළඹෙන බව ඉන් අදහස් වේ. පිදුරු ගහක එල්ලීමෙන් දිවි ගලවා ගත නොහැකි බව සක් සුදක් සේ දන්නේ නමුත් එහි එල්ලෙන්නේ ගත හැකි වෙනත් කිසිදු පියවරක් නැත නිසාය. ඉන් දිවි ගලවා ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නැත.

අපේ විපක්ෂයේ සියලු දේශපාලන පත්ෂ ( දෙළෙ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හැර) වසර හයයක සිර දඬුවමක් නියම වූ ගලබොඩඅත්තේ ඥනසාර හිමිගේ චීවරයේ එල්ලෙන්නේ ද දියේ ගිලෙන්නට ගිය මිනිසා මෙනි. 22 ජන අරගලයෙන් පසුව ශ්‍රී ලාංකික ජන විඥානයේ ඇති වු වෙනස්කම ගැන කිසිදු අවබෝධයක් නැති මෙම පිරිස් මෙතෙක් සිදු වූ ආකාරයට ජනප්‍රිය බුදුදහමත් චීවරයත් නැවත දේශපාලන සුජාත භාවයක් ලබා ගැනීමට යොදා ගත හැකි අවියක්යැයි සිතති. ඊට හොඳ පිවිසුමක් ගබා දුන්නේ ත්‍රයිනිකායික නායක හිමිවරුන්ය. සිර ගත වුවද හිමි නමකගේ සිවුර ගැලවිය හැක්කේ මහානායකයන්ට පමණියැයි පවසමින් ගලබොඩඅත්තේ හිමිගේ සිවුර බන්ධනාගාරයේ දී ඉවත් කිරීම බුද්ධාගමට එරෙහිව යෑමක් සේ හැඳින්වීමෙනි.

ප්‍රශ්නය කරලියට පැමිණියේ පසුගිය සැප්තැම්බර් 10 වැනිදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර හයක සිර දඬුවමක් නියමව සිටි ගලබොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබා දුක් සමාව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග ය. ඒ අනුව ඥානසාර හිමි නැවත සිර ගෙදරට යා යුතුය. එහෙත් ඔහු බන්ධනාගාරයට හෝ අධිකරණයට ඉදිරිපත් නොවී කළුතර දිස්ත්‍රික්කයේ සිංහරාජ වනයට මායිම් වූ තිනියාවල ආරණ්‍යයක නවාතැන් ගත්තේ රාජගිරියේ ඔහු හිමිකර ගත් පන්සලද අතහැර දමාය. පොලීසියෙන් අත් අඩංගුවට ගත් ඔහු අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 2019 වසරේ නියම වූ සිර දඩුවමෙන් ඉතිරි කාලයට නැවත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

චීවරය පිළිබඳ ප්‍රශ්නය මතු වූයේ ඔහුට තිබු තවත් නඩුවකට අධිකරණයට ඉදිරිපත් කරන විට චීවරය ඉවත් කොට ජන වහරේ කපටි සූට් නමින් හාස්‍යයට ලක් වූ  දේශපාලකයන්ගේ සුපුරුදු ඇඳුමෙන් සැරසී සිටීමය. ඥානසාර හිමිගේ නිකායේ මහානායකට පමණක් ඉවත් කළ හැකි චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීම ගැන එම නිකායේ පමණක් නොව අන් සියලු නිකායවල ද විරෝධය පළ විය. එහි බරපතලකම නිසාම ජනාධිපති අනුර කුමාර දිසානායක  මහානායකයින් සමග ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡාවක් පැවැත් වූයේය. බන්ධනාගාරගතව සිට පිටතට රැගෙන යන භික්ෂූන් පැළඳිය යතු ඇඳුම ගැන පරික්ෂා කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවන්ද පත් කෙරිණ. එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද දැන් අධිකරණ ඇමතිට බාර දී ඇත. ඉතා ඉක්මණින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවට කිසිදු සැකයක් නැත.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව භික්ෂූන් පිරිසක් දළදා වහන්සේ වැඩ සිටින මහනුවරින් පටන් ගත් විරෝධතා පෙළපාලිය නැතිනම් වඩාත් මෘදු භාෂාවෙන් පා ගමන කොළඹින් අවසන් වන විට ඉල්ලිම වූයේ චීවරය ඉවක් කිරීම නොව ඥානසාර හිමිට සමාව දීම නොව නියම වූ සිරදඬුවම ඉවත් කළ යුතුය යන්නයි. ඊට සහාය දැක් වූ හිටපු අග්‍රවිනිශ්චයකරු සරත් සිල්වා එම නඩු තීන්දුව වැරදියැයි පුවත්පත් සාකච්ඡාවක දී පැවසුවේය. එය විපක්ෂයේ දේශපාලන පක්ෂවල හඬ පුනරුච්චාරණය කිරීමකි.   

ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයේ තීන්දුවක් විවේචනය කිරීමට අවකාශයක් තිබිය යුතුය. අධිකරණයට විනිශ්චය කිරීමේ බලය ලැබෙන්නේ ජනතා පරමාධිපත්‍යය නිසා පුරවැසියන්ට එම අයිතිය නිසැකයෙන්ම හිමි ය. ඒ සමහර විට අධිකරණය පවා නොමග යෑමේ අවස්ථා තිබිය හැකි නිසාය. නිදසුනක් වශයෙන් සරත් සිල්වා මහතා අගවිනිසුරු වශයෙන් සිටියදී නීතියට පටහැනි තීන්දු දුන් බව සේවයෙන් විශ්‍රාම ගිය පසු ඔහු ප්‍රසිද්ධියේම පිළිගත්තේය. ඔහු එම තීන්දුව දුන්නේ නීතියේ පවතින අඩුවක් හෝ නීතියේ පැවති අපැහැදිලිකමක් හෝ නීතිය පිළිබඳ ඔහුගේ දැනුමේ සිමිතකම නිසා නොවේ. අදාල පුද්ගලයා රටේ දේශපාලන බලවතෙකු වීමත් ඔහු සරත් සිල්වා ගේ මිතුරෙකුවීමත් නිසාය. මෙවැනි දේ ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි නිසා අධිකරණයේ තීන්දු ගැන විමසිලිමත්ව සිටීමත් ඒවායේ වැරදි විවේචනය කිරීමත් ශිෂ්ට සමාජයක තිබිය යුතු ලක්ෂණයකි.

ගලබොඩඅත්තේ හිමි ගේ ‘වීර“ ක්‍රියා එපමණක් නොවේ. ජාතික සමගිය, විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට එරෙහිව මතුවෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරුද්ධව වටරුක විජිත හිමි කොළඹ නිපොන් හෝටලයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වන විට එහි කඩා වැදුණ ගලබොඩඅත්තේ හිමි ඇතුළත් කණ්ඩායමක් එය කඩාකප්පල් කළහ. එවකට සිටි ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂගේ අනුග්‍රහය ලැබුණ නිසා ඔවුන්ට එරෙහිව නීති පියවරක් ගත්තේ නැත. ඔහුට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත් විට ලැබුණ දඬුවම එක රටක් එක නීතියක් සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති තනතුරට පත් කිරීම ය.  

මෙවැනි ඉතිහාසයක් ඇති ඥනසාර හිමිට එරෙහිව හෝමාගම උසාවියේ හැසිරි ආකාරය පිළිබඳව චෝදනා ගොණු වූයේ ඒ වන විට පාලකයන්ගේ රැකවරණය ගිලිහී තිබුණ බැවිනි. ඔහු හෝමාගම උසාවියේ හැසිරුණේ ද 2014 දී අලුත්ගමත් නිපොන් හෝටලයේ දීත් හැසිරුණ ආකාරයටමය. එහෙත් ඒ ගැන විමර්ශන හෝ නඩු පැවරීම් සිදු වූයේ නැත. ත්‍රයිනිතායික මහනාහිමිවරැන් ද කිසිත් කීවේ නැත. අප දන්නා බුද්ධාගම අනුව නම් මෙවැනි බලහත්කාර ප්‍රචණ්ඩ ක්‍රියා හිමි කෙනෙකුට නොව ගිහියෙකුට හෝ ගැලපෙන්නේ නැත. බුදු සසුන රැක ගැනීමටනම් මෙවැනි ක්‍රියා හෙළා දැකිමත් අදාල පුද්ගලයන්ට විනයානුකූල පියවර ගැනීමත් සිදුවිය යුතුය.

හිමිනමකට සැබෑ බෞද්ධයින් ගරු කරන්නේත් වැඳුම් පිදුම් කරන්නේත් චීවරයක් දරා සිටින නිසාම නොවේ. කහ සිවුර යන්න ඇඳුමක පමණි. ඉන්දියාවේ කහ සිටුරු දරන්නේ බෞද්ධ භික්ෂූන් පමණක් නොවේ. හින්දු ආගමික පූජකයෝ ද  තහ සිවුරු දරා සිටිති.

බෞද්ධ භික්ෂූන් හින්දු පූජකයින්ගෙන් වෙනස් වන්නේ හැසිරීමෙන් ගුණ දහම් කියා දීමෙන් සහ ඒවා පිළිපැදීමේ ආදර්ශයෙනි. ගලබොඩඅත්තේ වැනි හිමිවරුන්ගෙන් එවැනි ආදර්හයක් ලැබෙන්නේ නැත. දැනට භික්ෂූන් 63ක් සිරගතව සිටීමෙන් පෙනී යන්නේ සඟ සසුන තුළ ගලබොඩඅත්තේ හුදකලා චරිතයක් නොවන බවයි. එමනිසා බෞද්ධයින් වශයෙන් අප නායක හිමිවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ චීවරයේ ගරුත්වය රැකීම පමණක් නොවේ. බෞද්ධ වත්පිළිවෙත් රකින භික්ෂූන් සහ ගිහි පිරිසක් බිහි කිරීමට නායකත්වය ද ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. මෑතක දී අනුරාධපුරයේ අටමස්ථානයේ සිදු වූයේයැයි කියන ආකාරයේ සිදුවීම් ගැන දැඩි පියවර ගත යුතුව තිබුණි. මහජන උද්ඝෝෂණය නිසා තනතුරෙන් ඉවත් කිරීම ප්‍රමාණවත් නැත.

දෙවැනිව රටක නීතිය මහජන ඡන්දයෙක් තේරී පත් වූ මහජන නියෝජිතයන්ට මෙන්ම පූජකවරුන් ඇතුළත් සියලු දෙනාටම එකසේ ක්‍රියාත්මක විය යුතුය. අද ලංකාව මුහුණ දී ඇති ආර්ථික සමාජයීය සහ දේශපාලන ගැටලුවලට මූලික හේතුව නීතිය සැමට එකසේ ක්‍රියාත්මක නොවීමය. මහජනයා වෙනුවෙන් රාජ්‍ය බලය දරන අය මෙන්ම ඔවුන්ගේ නෑදෑ හිතවතුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන සම්ප්‍රදායක් ද තිබිණ. නොවැළැක්විය හැකි තත්වයන් යටතේ නිතිය ක්‍රියාත්මක වුවද ඒ ඇස්බැන්දුමක් පමණි. වඩාත් ගාම්බීර ආකාරයෙන් නම් නීතියේ ආධිපත්‍යය හැම විටම හැම දෙනාටම එකසේ ක්‍රියාත්මක විය යුතුය.

මේ සියල්ල නොසලකා ඥානසාර හිමිට සමාව නොව නිදහස් ලබා දිය යුතුයැයි බලපෑම් කරන්නේ නීතියට වඩා පුද්ගලයා වැදගත්ය යන පදනමින් බව පැහැදිලි ය. එය කිසිසේත් ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදාය නොවේ. ඒ වෙනුවෙන් විරෝධය දැක්වීම ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම දූෂණය කිරීමකි.

Leave a Reply