පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දරට මහාධිකරණ විනිශ්චය සභාවකින් මරණ දඬුවම් නියම කිරීම බෙහෙවින් කතා බහට ලක් වූ කාරණයකි. එය එක අතකින් පැහැදිලිවම වළක්වා ගත හැකිව තිබු අපරාධයක් තමන් වෙත පැවරී ඇති රාජකාරිය අනුව එය වැළැක්වීමට පියවර නොගෙන සිටීමෙන් සිදු වූ ජීවිත වෙනුවෙන් නියම කළ දඬුවමකි. (දේපොල හානිය ගැන මෙහි දී චෝදනා එල්ල වී නැත.) ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරී ඇති ඉහළම නිලධාරියා සහ කීතිය සහ සාමය පවත්වා ගැනීමේ වගකීම පැවරී ඇති ඉහළම නිලධාරීයා තම රාජකාරි පැහැර හැරීම වෙනුවෙන් ඔවුන්ගේම ජීවිතවලින් වන්දි ගෙවිය යුතු බවට අධිකරණයෙන් නියම කිරීම අපගේ අධිකරණයේ විශිෂ්ටත්වයට කැපී පෙනෙන නිදසුනකි. මෙම දඬුවම විනිශ්චය සභාවේ බහුතරයේ තීරණයක් වුවද එහි නීතිමය බලපෑමේ වෙනසක් නැත.
සාමාන්‍ය තත්වයක් යටතේ මරණ දඬුවම නියම කිරීමේ දී අපරාධය සිදු කිරීමේ චේතනාව ඔප්පු කිරීම තීරණාත්මක සාධකයක් වුවද මෙම නඩු තීන්දුවේ දී තිරණාත්මක වී ඇත්තේ අපරාධයක් වැළැක්විමට ඉඩ හැර සිය වගකීම් පැහැර හැරීමය. ඔවුන් දෙදෙනාටම එම ඛේදවාචකයෙන් මිය ගිය සහ ආබාධිත තත්වයට පත් කිසිවෙකු සම්බන්ධයෙන් අපරාධයක් කිරීමේ චේතනාවක් තිබුණේ නොමැති වූවා විය හැකිය. එහෙත් ඔවුන් චේතාන්විතවම රාජකාරිය පැහැර හැරීමෙන් සිදු කර ඇත්තේ අපරාධයක් බව අධිකරණය තීරණය කිරීම නිතිය හා සාමය අපේක්ෂා කරන සැම කෙනෙකුගේම ප්‍රශංසාවට ලක් විය යුතුය. එය අපට විශ්වාසය රැඳවිය හැකි අධිකරණයක් පවතින බවට සහතිකයති.
එහෙත් නීතිගරුක පුරවැසියන් වශයෙන් අප තවත් කරුණු දෙකක් ගැන අවධානය යොමු කළ යුතුය. මෙම තනතුරු දෙකට එම පුද්ගලයන් පත් කිරීමේ දී දේශපාලන අධිකාරිය ක්‍රියා කළ ආකාරය ගැන ගත හැකි සහ ගෙන ඇති පියවර මොනවාද යන්න ය. පැහැදිලිවම ආරක්ෂක ලේකම් පත් කිරීම සහ පොලිස්පති පත් කිරීම දේශපාලන නායකත්වයේ තීරණය. පොලිස්පති පත් කිරීම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත සිදු වුවද විධායක ජනාධිපති අකමැතිනම් ඒ නොකලකා සිටිය හැකිය. මෑත ඉතිහාසයේ එවැනි අවස්ථා ගණනාවක්ම තිබිණ. ව්‍යවස්ථා සභාවෙන් කවර නිර්දේශයක් කළ ද අවසානයේ ඉටු වන්නේ විධායක ජනාධිපති ගේ කැමැත්තයි. ආරක්ෂක ලේකම් පත් කිරීම සම්පුර්ණයෙන්ම විධායක ජනාධිපතිගේ තීරණයකි. එම නිසා සරලව මෙම පත්වීම් දෙකම දේශපාලන පත්වීම්යැයි සැලකීම වරදක් නොවේ.
දෙවැනිව මෙම නිලධාරීන් දෙදෙනාටම පැවරී තිබුණ රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් දඬුවම් නියම වුවද එම නුසුදුසු පත්වීම් සිදු කළ දේශපාලන නායකත්වයට දඬුවමක් නැත්තේ ඇයිද යන්නයි. වගකීම දැරීමට නුසුදුසු පුද්ගලයන් පත් කිරීමෙන් ජනාධිපති සිදු කර ඇත්තේ අනියමින් අපරාධයට ඉඩ සැලසීමකි.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට සපථ කළ ජනාධිපති පැවරෙන රාජකාරිය ගැන අවබෝධයක් සහ දැනුමක් ඇති පුද්ගලයෙකු මෙම තනතුරට පත් කෙළේ නම් පාස්කු ඛේදවාචතයක් සිදු නොවන්නට තිබිණ. ඇත්තෙන්ම සිදුව ඇත්තේ නිසි පුද්ගලයෙකු පත් නොකිරීමෙන් අපරාධයක් කිරීමට අනියමින් සහාය වීමකි.
ඒ අනුව අනියම් මිනී මැරීමකට සහාය දීම නිසා විධායක ජනාධිපතිට ලැබෙන දඬුවම කුමක් ද?

දැනට සිදුව ඇත්තේ විශ්‍රාම වැටුප් තමග රජයේ ආරක්ෂාව ඇතිව වැජඹීම ය. අඩුම වශයෙන් මීගමුව වැනි බන්ධනාගාරයක සිටිය යුතු පුද්ගලයෙකු කිසිදු ආපදාවක් නැතිව, රජයෙන් සැපයෙන ආරක්ෂාව සහිතව නිදහසේ සිටීම ය. මේ තත්වය වෙනස් කිරීමට ද නීති ප්‍රතිපාදන තිබිය යුතුය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මරණ දඬුවම නියම වීමෙන් පසුව විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයද අවධානයට ගත යුතු කාරණයකි. ඔහු ප්‍රකාශ කළ ආකාරයට එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත්තේ එම තනතුරට හිමි බලතල කිසිත් ක්‍රියාත්මත නොකොට කල් මැරීම ය. පැහැදිලිවම ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු පියවරක් නොගෙන සිටීම ය. එසේ වුවත් ආරක්ෂක ලේකම් වශයෙන් හේමසිරි ප්‍රනාන්දුට පැවරී ඇති වගකීම් ඉටු නොකිරීම ගැන පුරවැසියන් වශයෙන් අපට පෙනෙන ආකාරයට නිසි දඬුවමක් ලැබී ඇත. තනතුරට හිමි වගකීම් නොපැවරීම සහ ඒ නිසා මහත් ජීවිත හානියක් සිදුවීම පිළිබඳ වගකීමක් ජනාධිපති සිරිසේනට නොපැවරෙන්නේ ද?
පොලිස්පති ආරක්ෂක කමිටුවලට නොකැඳවීම ද එවැනිම අපරාධයකි.
ජනාධිපති සිරිසේන පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වින්දිතයන්ට වන්දි මුදලක් ගෙවීමට නියම කර ඇති නමුත් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට නියම කර ඇති දඬුවම් දෙස බලන විට ජනාධිපති සිරිසේනට ද එවැනිම චෝදනා එල්ල කිරීමට සුදුසු පසුබිමක් පවතී.
අපේ රටේ දේශපාලන සංස්කෘතිය අනුව බ්‍රිතාන්‍යෙය් රජුට වරදක් කළ නොහැකිය යන සම්ප්‍රදායට අනුගතව දේශපාලකයන් ද පවතින නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වැරදි කරන්නේ නැත. ඔවුන්ට මුක්තිය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීති ප්රතිපාදනයකින් නොව මහජන මතයෙනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳගේ උපාධි ප්‍රධානොත්සවයට මහජන මුදල් වැය කර සහභාගිවීම ගැන විමර්ශනය කිරීම දේශපාලන පලිගැනීමකි. එල්ටිටීඊය සටන් බිමේ දී පරාජය කොට රටත් ජාතියත් බේරා ගත්තේයැයි පිදුම් ලබන මහින්ද රාජපක්ෂ ද ජනාධිපති තනතුර දැරූ සමයේ මහජන මුදල් කාබාසිනියා කිරීම සහ යටිමඩි ගසා ගැනීම විමර්ශනය කළ යුතු වැරදි නොවේ. එල්ටිටීඊ යුද සමයේ ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂට ද පුද්ගලයන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් එවැනිම මුක්තියක් ලැබිය යුතුය.
මෙම මුක්තිය දේශපාලකයන්ට පමණක් නොව යුද සමයේ තරුණයින් පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීමට ඔවුන් මරා දැමු හමුදා නිලධාරීන්ට ද ලැබිය යුතුය. එල්ටිටීඊ යුද සමයේ උතුර නැගෙහිරත් ඊට පෙර 88 89 කාලයේ දිවයිනේ දකුණේත් සිදු වූ පැහැර ගෙන යෑම් ටයර් සෑයවල දමා පිළිස්සීම් සහ අතුරුදහන් කිරීම් ද මුක්තියේ කඩතුරාවෙන් වසා දැමෙන අපරාධ ය.
පාස්කු ඉරිදා ඛේදවාචතය සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ වගකීම් පැවරී තිබුණ නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම වීම වැදගත් වන්නේ මෙවැනි පසුබිමකය. කුමන තත්වයක් යටතේ හෝ පැවරී ඇති වගකිම් ඉටු නොකිරීම සහ පැවරී ඇති බලතල ඉක්මවා සාහසික ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධ බව අධිකරණයෙන් පිළිගෙන ඇති බව තහවුරු කිරීමකි.
එය සැබැවින්ම ශ්‍රී ලංකාවේ අධිකරණයේ ජනතාවාදී හැරවුම් ලක්ෂයකි.
එහෙත් අවාසනාවකට මෙන් මෙම සාධනීය වර්ධනය ගැන මහජනතාවගේ නිසි අවධානය යොමු විමට පෙර අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳව වෙනත් ආන්දෝලකයක් බිහිව තිබීම මහජන අවධානය වෙනතකට යොමු කිරීමක් විය හැකිය. අලුතින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයැයි ප්‍රබල ජනතා ඉල්ලිමක් පැවතිය දී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට දේශපාලන අධිකාරිය තීරණය කිරීම කාලෝචිත නොවන, නොගැලපෙන තීරණයකි. එම තීරණය හේතු යුක්ති කිරීමට පාලකයන් ගෙන එන හේතුවලින් නිරුවත් වන්නේ දේශපාලන මුග්ධ භාවයයි. අත්දැකීම් සහිත විනිසුරුවන් විශ්‍රාමයෑම නිසා යුක්තිය පසිඳලීමට බාධාවක් වන්නේය යන්න අප ඉහතින් සාකච්ඡා කළ කරුණුවලින් පැහැදිලිවම නිෂ්ප්‍රභ වේ. නීතිය පිළිබඳව ගැඹුරු පරිචයක් තිබීම නීතිය අර්ථ ගැන්වීමේ දී අතිශයෙන් වැදගත් වුවද එය සාධාරණ යුක්ති සහගත විනිශ්චයක් ලබා දීමේ දී එකම නිර්ණායකය විය යුතු නොවේ.
අනෙක් වැදගත් කරුණ නීති විශාරදයින් පෙන්වා දෙන ආකාරයට නඩු වැඩියෙන් ගොඩගැසී ඇත්තේ ඉහළ අධිකරණවල නොව පහළ අධිකරණවලය. එමනිසා උසාවිවල ඇති තදබදය ලිහිල් කිරීමට ඉහළ අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම හෝ ධුර සංඛ්‍යාව වැඩි කිරීම විසඳුම් නොවේ. සිරගෙවල කැරලි ඇතිවීමට එකම හේතුව ඒවායේ තදබදය නොවන්නාක් මෙනි.
මින් පැහැදිලිවන සරල කාරණය නම් අධිකරණයේ ත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට ඇති අයෙකුත් ආයතවලත් ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය තීරණය වන්නේ හුදෙක් නීතිමය ප්‍රතිපාදන අනුව නොවන බවය. කෙතරම් ප්රශස්ත නීති ප්‍රතිපාදන තිබුණ ද විධායකය සහ ව්‍යවස්ථාදායකය පටු දේශපාලන අරමුණුවලින් ක්‍රියා කරන්නේ නම් ජනතා අයිතිවාසිකම් තහවුරු වන්නේ නැත. මෙය වෙනත් ආකාරයට ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්යටවස්ථා සම්පාදන මණ්ඩලයේ සභාපතිව සිටි ආචාර්ය අම්බෙඩ්කාර් පැවසු ආකාරයට ඉතාම හොඳ ව්‍යවස්ථාවක් වුවද දුෂ්ට පාලකයෙකු යටතේ ඉතාම නරක ආකාරයට යෙදවිය හැකිය. එමෙන්ම ඉතාම නරක ව්‍යවස්ථාවක් වුවද හොඳ පාලකයෙකුට ජනතා සුභ සිද්ධිය සඳහා යෙවිය හැකිය.
මෙම අර්ථදැක්වීම අනුව ජේ ආර් ජයවර්ධනගේ ඒතාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ජනතාවාදී පාලයක් ඇති කිරීමට සපථ කොට බලයට පත් ජනාධිපති අනුර කුමාර දිසානායක අයත් වන්නේ නරක ව්‍යවස්ථාවක් වඩාත් නරක ආකාරයෙන් යොදා ගන්නා විශේෂ කණ්ඩායමකට ය. අධිකරණයේත් පොදුවේ පාලන තන්ත්‍ර යේත් පවතින අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ලට විසඳුම් පවතින ක්‍රමයෙන්ම සොයා ගැනීමට පාර්ලිමේන්තු බහුතරය යොදා දේශපාලන අණ්ඩ දැමීමට උත්සාහ කිරීම අපට සිහිපත් කරන්නේ රන් බිත්තර දමන කිකිළියගේ කතාවයි.
- දේශපාලන අණ්ඩවලින් මරා දැමෙන රන් කිකිළිය ගේ කතාව.. - August 14, 2026
- හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය.. - July 31, 2026
- අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය.. - June 24, 2026