You are currently viewing ආණ්ඩුවත් – විපක්ෂයත් – සාමාන්‍ය ජනතාවට නොවේ..

ආණ්ඩුවත් – විපක්ෂයත් – සාමාන්‍ය ජනතාවට නොවේ..


2026 ජූලි මාසයේදී, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 1.6 ක ඒක පුද්ගල ආදායමක් ඇති ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්’ ලෙස නැවත වර්ගීකරණය කර ඇත.

එමෙන්ම, ලෝක බැංකුවට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 22.1 % ක් විය. 2026 මාර්තු මාසයේදී එහි දරිද්‍රතා රේඛාව රුපියල් 16,690 ක් ලෙස හැඳින ලෙන තිබුණි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලාංකිකයින්ගෙන් පහෙන් එකකට වඩා වැඩි පිරිසක් වසරකට උපයන්නේ රුපියල් 205,000 ක් පමණක් බවයි.

වාර්ෂික ඒක පුද්ගල ආදායම රුපියල් මිලියන 1.6 ක් වන රටක, ජනගහනයෙන් පහෙන් පංගුවක් වසරකට උපයන්නේ රුපියල් 205,000 ක් පමණි. මෙය තනි රටක් නොව, එකිනෙකට සහමුලින්ම පරස්පර විරෝධී වුවමනාවන් සහ අභිලාෂයන් සහිත රටවල් දෙකකි.

ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන තත්ත්වයකට ඔසවා තැබීම රජය විසින් සාධාරණව සමරනු ලැබුවද, වසරකට රුපියල් 205,000ක් පමණක් උපයන 22%ක් වූ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්  කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔවුන් සතුව නොවීය. ඒ වෙනුවට ඔවුන්ට තිබුණේ අසමානත්වය සහ විෂමතාවය තවදුරටත් තීව්‍ර කරන ආර්ථික වර්ධනයක් හා තවත් සහනාධාර කිහිපයක් පමණි.

ශ්‍රී ලංකාව පළමු වරට ඉහළ මධ්‍යම ආදායම් මට්ටමට ළඟා වූයේ 2019 වසරේදීය. එවකට රටේ ඒක පුද්ගල ආදායම රුපියල් 688,719 ක් විය. දරිද්‍රතා අනුපාතය 14.3% ක් වූ අතර දරිද්‍රතා රේඛාව රුපියල් 6,966 ක් ලෙස සටහන් විය.

 2022 දී රාජපක්ෂලා විසින් නිර්මාණය කරන ලද ආර්ථික බිඳවැටීමෙන් යථා තත්ත්වයට පත්වීම සත්‍යයකි – නමුත් එය අතිශයින්ම අසමානය. මෙම යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය විසින් දුප්පතුන් මෙන්ම එතරම් දුප්පත් නොවූවන් ද තවදුරටත් දුප්පත් කර ඇති අතර ධනවතුන් තවදුරටත් ධනවත් කර ඇත.

ප්‍රතිපත්ති විශ්ලේෂණ කේන්ද්‍රයේ (CPA) නවතම සමීක්ෂණයේ සොයාගැනීම්වලින් මෙය තහවුරු කරයි: ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 51% ක් පවසන්නේ වසරකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව තම ආර්ථික තත්ත්වය නරක අතට හැරී ඇති බවයි; 18% ක් පමණක් එය වර්ධනය වී ඇති බව පවසන අතර, 30% ක් පවසන්නේ එය නොවෙනස්ව පවතින බවයි. මෙය ‘අස්වැසුම’ දීමනා ඉහළ නංවා තිබියදීත් පවතින තත්ත්වයයි. එම සහාය නොමැති වූයේ නම්, දරිද්‍රතාවය සහ අසමානතාවය උපරිම සීමාවන් ද බිඳගෙන ඉහළ යනු ඇත.

ලෝක බැංකුවට අනුව, “අර්බුදය හේතුවෙන් සිදු වූ සුබසාධන හානිය ආපසු හැරවීමට මෙම ආර්ථික නැගී සිටීමේ ක්‍රියාවලියට) නොහැකි වී ඇත” මෙම නොහැකියාව අහම්බයක් නොව, එය මෙම ආර්ථික ප්‍රකෘතියේ ස්වභාවය සහ එය හැඩගැස්වූ ප්‍රතිපත්තිමය තීරණවල අනිවාර්ය ප්‍රතිඵලයකි.

රටේ බිඳ වැටුණු මූල්‍ය තත්ත්වය නිවැරදි කිරීමට උත්සාහ කිරීමේදී රනිල් වික්‍රමසිංහ පරිපාලනය තීරණය කළේ, ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස අඩු නොකිරීමට හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි අධික ලෙස මුදල් ගිලදමන ආයතනවලින් ඉවත් නොවීමටයි. නව ණය ලබා ගැනීම කළ නොහැකි වූ බැවින්, මෙයින් අදහස් කෙරුණේ මුළුමනින්ම පාහේ බදු මතම යැපීමට සිදුවීමයි. එසේම 2023 වසරේ අගභාගයේදී වික්‍රමසිංහ පරිපාලනය විසින් බදු පැනවීමේ අසමානුපාතික  කොටසක් වක්‍ර බදු ආකාරයෙන් පැනවීමට තීරණය කරන ලදී.

2024 ජනවාරි 1 වන දින, රජය විසින් වැට් (VAT) බද්ද 15% සිට 18% දක්වා ඉහළ නංවන ලද අතර, පොත්පත් සහ අනෙකුත් අධ්‍යාපනික ද්‍රව්‍ය ද ඇතුළුව භාණ්ඩ 97 ක් සඳහා වූ වැට් බදු සහන ඉවත් කරන ලදී. ජීවන වියදම කෙරෙහි මෙහි බලපෑම ක්ෂණිකවම විනාශකාරී විය. බදු සහන ඉවත් කිරීම් හේතුවෙන් වැට් බදු බර 50% කින් ඉහළ ගියේය. තවද, දුප්පත්ම 40% ක් වූ කුටුම්භයන්ට වැට් බදු ගෙවීම් 60% ක පමණ දැවැන්ත වැඩිවීමකට මුහුණ දීමට සිදුවිය

අද වන විට ජනගහනයෙන් දුප්පත්ම 10% තම ආදායමෙන් 10% ක්ම වැට් බදු සඳහා වැය කරති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සත්‍යයකි. නමුත් එහි තිරසාරභාවය ප්‍රශ්නාර්ථයක් වී ඇත්තේ, වෙනත් කරුණක් නිසා නොව, පුළුල් වන සමාජ-ආර්ථික විෂමතාවයන් නම් අස්ථාවර පදනමක් මත එය ගොඩනඟා ඇති බැවිනි.

මීට වසර තිහකට පෙර, රටක සමාජ-ආර්ථික සංවර්ධනය මැනීමේ එකම මිනුම් දණ්ඩ ලෙස ආර්ථික වර්ධනය (සහ ඒක පුද්ගල ආදායම) යොදා ගැනීම ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පෙන්වා දෙන ලදී. සමාජයක අභිවෘද්ධියට නොව, එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයට මඟ පාදන වර්ධන මාදිලි පහක් 1996 මානව සංවර්ධන වාර්තාව මඟින් හඳුනාගෙන තිබුණි.

ආර්ථික වර්ධනය අත්‍යවශ්‍යය, නමුත් එය මානව සංවර්ධනය පිරිහීමට පත්කරනවා වෙනුවට  පෝෂණය කරන ආකාරයේ වර්ධනයක් විය යුතුය. ජීවන වියදම් අර්බුදය කෙරෙහි ජාතික ජන බලවේගයේ රජය දක්වන උදාසීන පිළිවෙතින් පෙන්නුම් කරන්නේ, දශක තුනක් පැරණි මෙම පාඩම පිළිබඳව ඔවුන් ගේ සම්පූර්ණ නොදැනුවත්කමයි.

ප්‍රතිපත්ති විශ්ලේෂණ කේන්ද්‍රයේ (CPA) නවතම සමීක්ෂණයේ සොයාගැනීම් මහත් ආන්දෝලනයක් ඇති කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ඉහළ ජනතා සහයෝගයක් පවතින බව ඉන් පෙන්නුම් කළ බැවිනි. නමුත් එම තෘප්තිමත්භාවය පදනම් වී ඇත්තේ ආර්ථිකය මත නොව දේශපාලනය මත බව ද හෙළි විය. සොයා ගැනීම්වලට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75% ක් ජනාධිපති දිසානායක පිළිබඳව තෘප්තිමත් වෙති. තවද 63% ක් කාර්යක්ෂම ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ජාතික ජන බලවේගයට ඇති හැකියාව පිළිබඳව තෘප්තිමත් වෙති. ඊට පැහැදිලිවම වෙනස් ලෙස, රජය විසින් ජීවන වියදම පාලනය කරන ආකාරය පිළිබඳව තෘප්තිමත් වන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 45% ක් පමණි.

දිසානායක පාලනයට ජීවන වියදම් අර්බුදය පාලනය කිරීමේ හැකියාව වැඩිදියුණු කරගත හැකිද?

වක්‍ර බදු මත අධික ලෙස යැපීම සහ ජීවන වියදම ඉහළ යාම අතර ඇති සම්බන්ධය පිළිබඳව රජයට අවබෝධයක් නැතිකම සැලකිල්ලට ගත් කල, ඊට පිළිතුර ‘නැත’ යන්න ය.

ජූලි 26 වන දින සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව, ද්විතීයික දේපළ බද්දක් (දෙවන, තෙවන හෝ ඊට වැඩි නේවාසික දේපළ ඉලක්ක කරගත් බද්දක්; (වෙනත් වචනවලින් කිවහොත් කුලී ආදායම මත පනවන ප්‍රගතිශීලී බද්දක්, ඕස්ට්‍රේලියාවේ සිට එක්සත් රාජධානිය දක්වා රටවල ප්‍රධාන වශයෙන් පවතින බද්දක්) හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කරන බලපෑමට රජය එරෙහි වෙමින් සිටී. රජයේ තර්කය වන්නේ තමන්ට වෙනත් ආදායම් මාර්ග ඇති බැවින් එවැනි ඍජු බද්දක් අවශ්‍ය නොවන බවයි. මෙම ආදායම් මාර්ග වැඩිපුරම වක්‍ර බදු වන අතර, ඒවා දුප්පතුන් තලා පෙළා දමන, මධ්‍යම පන්තිය අවදානමට ලක් කරන, සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය දේවල් වඩ වඩාත් ශ්‍රී ලාංකිකයන්ට දරාගත නොහැකි තත්ත්වයට පත් කරන ඒවාය.

පසුගිය අයවැයෙන්, ජනාධිපතිවරයා වැට් බදු සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා කළේය. 2026 ජූනි මාසයේදී රජයට එම සැලසුම හකුලා ගැනීමට සිදු විය. නමුත් එය ඇතුළත් කර තිබීමෙන්ම පෙනී යන්නේ, එවැනි පියවරක් මගින් (දැනටමත් ගැටලු රැසකට මුහුණ දී සිටින) සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහ ඔවුන්ගේ පාරිභෝගිකයින්ට සිදුවන විනාශකාරී බලපෑම පිළිබඳව රජයේ ඇති නොදැනුවත්කම හෝ නොසැලකිලිමත්බවයි.

2025 වසරේදී ශ්‍රී ලංකාවේ සෘජු සහ වක්‍ර බදු අනුපාතය 23: 77 ක් ලෙස අතිශය අසමානුපාතික මට්ටමක එකතැන පල් විය. රිෆ්කා සියාඩ් පෙන්වා දෙන පරිදි, “…ශ්‍රී ලංකාව ආසියා-පැසිෆික් කලාපයේ රටවලට වඩා දළ වශයෙන් සියයට 20 කින් පමණ වැට් (VAT), සුරාබදු සහ වෙළඳ බදු මත යැපෙන අතර, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව ඇතුළු සෑම කලාපීය රටකටම වඩා අඩු ප්‍රමාණයක් පුද්ගලික සහ ආයතනික බදුවලින් රැස් කරයි… මෙය ශ්‍රී ලංකාව කලාපීය සම්මතයන්ගෙන් බැහැර වී ඇති බව ඉස්මතු කරන අතර, වඩාත් සමතුලිත සහ සාධාරණ බදු සංයුතියක් ලබා ගැනීම සඳහා සෘජු බදු එක්රැස් කිරීම පුළුල් කිරීමේ හා ශක්තිමත් කිරීමේ අඛණ්ඩ අවශ්‍යතාවය අවධාරණය කරයි”. අවාසනාවකට මෙන්, රජය මෙය ගැටලුවක් සේ නොදකින නිසාත්, එහි දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය (තිරසාර නොවන බව) ඔවුන්ට අවබෝධ නොවන නිසාත්, මෙම අසමතුලිතතාවය අවම කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති බව පෙනේ.

XIV වන ලියෝ පාප්වහන්සේ සිය පළමු අපෝස්තලික අනුශාසනාවෙහි මෙසේ ලියා ඇත, “දුප්පතුන් වඩ වඩාත් වැඩි වන ලෝකයක, සාමාන්‍ය ජනයා හා සසදන විට වෙනත් ලෝකයක ජීවත් වන්නාක් වැනි සුවපහසුවෙන් සහ සුඛෝපභෝගීත්වයෙන් පිරි වටපිටාවක ජීවත්වන ධනවත් ප්‍රභූ පැලැන්තියෙන් පිරි රටක් අපි පරස්පරතාවයක් සේ දකිමු…” ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන මට්ටමට ඔසවා තැබීම ප්‍රශංසනීය වුවද, එම ආර්ථික ප්‍රගතියේ විශාලතම බර තමන්ගේ උරහිස් මත දරා සිටින ජනතාව ගැන වචනයක් හෝ කීමට ජාතික ජන බලවේගයට  නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ, කයිවාරු සහ සටන් පාඨ හැරුණු විට මෙය සාමාන්‍ය ජනතාව ගේ ආණ්ඩුවක් නොවන බවයි.

1977 දී ආර්ථිකය විවෘත කිරීම මඟින් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් මෙන්ම දැවැන්ත අසමානතාවයක් ද නිර්මාණය විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ (1982 න් පසු) මෙම ආර්ථික විෂමතාවයට සිංහල-දෙමළ ජාතිවාදී මුහුණුවරක් ලබාදීමට උත්සාහ කළ අතර, විවෘත ආර්ථිකය මගින් දෙමළ (සහ මුස්ලිම්) ජනතාව පොහොසත් වන විට සිංහලයන්ව හිඟමනට ඇද දැමූ බවට ඔවුහු තර්ක කළහ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහ විවෘත ආර්ථිකයට දැක්වූ විරෝධය, සිංහල අන්තවාදය සමඟ බද්ධ විය.

සිය ධුර කාලයන් දෙක තුළදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා මුළුමනින්ම පාහේ වක්‍ර බදු මත යැපුණු අතර, එය ජීවන වියදම විශාල වශයෙන් ඉහළ යාමට හේතු විය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණවලට අනුව, ඉදිරි වසර දෙක තුළ සාමාන්‍ය ආර්ථික තත්ත්වය යහපත් වනු ඇතැයි 2011 වසරේදී සිංහල ජනතාවගෙන් 70% ක් පමණ විශ්වාස කළහ. නමුත් 2013 වන විට, ඉදිරි වසර දෙක තුළ පොදු ආර්ථික තත්ත්වය යහපත් වනු ඇතැයි සිතුවේ සිංහල ජනතාවගෙන් 38.5% ක් පමණි වාසනාවකට මෙන්, ආණ්ඩුව විසින් ජාතිවාදී/අන්තවාදී අවකාශය සිය ඒකාධිකාරයට නතුකර ගෙන තිබූ අතර, ඒ හේතුවෙන් වඩාත් ප්‍රගතිශීලී ස්ථාවරයක් ගැනීම හැර වෙනත් විකල්පයක් විපක්ෂයට ඉතිරි වී නොතිබුණි.

කෙතරම් අඩුපාඩු තිබුණද, ජාතික ජන බලවේගයේ/ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව මේ දක්වා සුළු ජාතික භීතිකාව සමඟ සෙල්ලම් කරමින් තමන්ව පහත් තත්ත්වයකට ඇද දමාගෙන නොමැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජනාධිපතිවරයා සිංහල ජනතාවට වඩා සුළු ජාතීන් අතර වඩාත් ජනප්‍රිය වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

ජීවන වියදම් අර්බුදය පාලනය කිරීමට ඇති නොහැකියාව ආණ්ඩුවේ දුර්වලම ස්ථානය වන බැවින්, විපක්ෂය ඒ කෙරෙහි මෙන්ම එහි ප්‍රධාන හේතුව වන ‘වක්‍ර බදු මත අසමානුපාතික ලෙස යැපීම’ කෙරෙහි ද ලේසර් කිරණයක් මෙන් ඉතා තියුණු ලෙස අවධානය යොමු කළ යුතුය. එහෙත් යථාර්ථය නම්, විපක්ෂය සිදුකරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

උදාහරණයක් ලෙස, අන්තවාදී බෞද්ධ භික්ෂූන් කණ්ඩායමක් විසින් (කුප්‍රකට ගලගොඩඅත්තේ ඥානසාර වැනි අය ද ඇතුළුව) මෑතකදී පවත්වන ලද සමුළු දෙක සඳහා විපක්ෂයේ සියලුම නායකයින් පාහේ සහභාගී වීම හෝ ඊට සහාය දැක්වීම සිදු කළහ. සුළු ජාතික භීතිකාව යොදාගනිමින් ආණ්ඩුවට එරෙහිව සිංහල ජනතාවගේ කෝපය ඇවිස්සීමට මෙම භික්ෂූන් ගත් උත්සාහයන් මේ දක්වා අසාර්ථක වී ඇත. එහෙත්, වක්‍රව ජාතිවාදය අවුස්සන මෙවැනි ක්‍රියාකාරකම්වලට විපක්ෂය සම්බන්ධ වීමෙන් පෙන්නුම් කරන්නේ, ආර්ථික අතෘප්තිය ජනවාර්ගික-ආගමික (දෙමළ/මුස්ලිම්/ක්‍රිස්තියානි විරෝධී) මාර්ග ඔස්සේ යොමු කිරීමට ඔවුන් තුළ ඇති කණගාටුදායක සූදානමකි.

දුප්පත් සිංහල බෞද්ධයන් ධනවත් දෙමළ/මුස්ලිම්/ක්‍රිස්තියානීන් විසින් සූරාකනු ලබයි යන මිථ්‍යාව, සිංහල අධිපතිවාදී ලෝක දැක්මේ සහ මතවාදයේ ප්‍රධාන අංගයකි. නිදහසින් පසු සුළු ජාතීන්ට එරෙහිව ගනු ලැබූ පියවර බොහොමයක් සාධාරණීකරණය කරනු ලැබුවේ, බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද මෙම ‘අසාධාරණ අසමතුලිතතාවය’ නිවැරදි කිරීමේ අත්‍යවශ්‍ය උත්සාහයන් ලෙසිනි. ‘සිංහල පමණක්’ වැනි විනාශකාරී ප්‍රතිපත්ති සහ ‘කළු ජූලිය’ වැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම්  සඳහා මෙම මිථ්‍යාව බලපෑවේය. වත්මන් විපක්ෂය ද යළිත් එම ගින්දර සමඟම සෙල්ලම් කිරීමට යාම කිසිවෙකුගේ අනාගතයට යහපත් පෙර නිමිත්තක් නොවනු ඇත.

2026 ලෝක ප්‍රීතිමත් භාවය අනුව, ශ්‍රී ලංකාව තවත් එක් ස්ථානයකින් පහත වැටී ඇති අතර, රටවල් 147ක් අතුරින් 134 වන ස්ථානය දක්වා පහළ බැස ඇත. මෙම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත්තේ ‘ජීවිත ඇගයීම’ මතය (මෙහිදී ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ 0 සිට 10 දක්වා වූ පරිමාණ රූප සටහනක් භාවිතා කරමින් ඔවුන්ගේ ජීවිතය ඇගයීමට ලක් කරන ලෙසයි). ශ්‍රී ලංකාව ලබා ඇති ලකුණු ප්‍රමාණය 4ක් වැනි කණගාටුදායක අඩු අගයක් වන අතර, එමඟින් ජීවන තත්ත්වයන් පිළිබඳව පවතින ඉහළ මට්ටමේ අතෘප්තියක් පෙන්නුම් කරයි. ගෝලීය සේවා ස්ථානවල තත්ත්වය පිළිබඳ නවතම ගැලප් (Gallup) මත විමසුමට අනුව, දකුණු ආසියානු කලාපයේ සාමාන්‍යය 30% ක් ද, ගෝලීය සාමාන්‍යය 40% ක් ද වන විට, රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන් 62% ක්ම තම සේවා ස්ථානය තුළ ආතතියට මුහුණ දෙති

ඓතිහාසිකව, අසමානතාවය යනු දැවැන්තම සමාජ විෂමතාවයකි. සමාජ-ආර්ථික අසමානතාවය තුළ ගැබ්ව ඇති දේශපාලනික අන්තරායන් පිළිබඳව පුනරුද යුගයේ රැඩිකල් චින්තකයින් අනතුරු ඇඟවූහ: “වෙනස් කොට සැලකීමට ලක්වන මිනිසා පීඩාවට පත්වේ. කිසිවක් අහිමි මිනිසාට සමාජය තුළ කිසිදු හිමිකමක් නොමැත,” යනුවෙන් ඩී’හොල්බැක් (d’Holbach) සිය ‘The Social Systems’ කෘතියෙන් අනතුරු ඇඟවීය. වසර 239කට පසු, 2011 අගෝස්තු කැරලි පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරන ලද ‘කැරලි, ප්‍රජාවන් සහ වින්දිතයින් පිළිබඳ මණ්ඩලය’ (Riots, Communities and Victims Panel) නිගමනය කළේ, ජනතාවට ‘සමාජය තුළ හිමිකමක්’  නොමැති විට සමාජ ප්‍රචණ්ඩත්වය අනිවාර්යයෙන්ම නොවැළැක්විය හැකි බවයි

ස්ථාවර සමාජයන් යනු සහජීවනයෙන් බැඳුණු සමාජයන් ය. අසමානතාවයෙන් සමාජයක් පීඩා විඳින විට එහි සහජීවනය පවත්වා ගැනීම කළ නොහැක්කකි. සමාජ-ආර්ථික සමානාත්මතාවය යනු හුදෙක් ආර්ථික වර්ධනයේ ස්වයංක්‍රීය ප්‍රතිඵලයක් නොවේ. දේශපාලනික සමානාත්මතාවය මෙන්ම එය ද රජය සහ සමාජය විසින් ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන් කැපවිය යුතු දෙයකි. සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට රජයන් අපොහොසත් වන විට, අසමානතාවය රජයයි. අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එයමය.

සංවර්ධනය යනු තමන්ට නොව වෙනත් පිරිසකට අත්දකින්නට ලැබෙන දෙයක් යැයි ජනතාවගෙන්  කොටසකට හැඟී යන විට, සමාජය තුළ කලකිරීම වර්ධනය වේ. එම සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන්නන් වාර්ගික හෝ ආගමික වශයෙන් ‘අන්‍ය’ පිරිසක් ලෙස හුවා දක්වන්නේ නම්, ඉන් ඇතිවන අතෘප්තිය යම් සුළුතර කණ්ඩායමකට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩත්වයේ වෙඩි වරුසාවකට තුඩු දිය හැකිය. බදුකරණයේ දේශපාලනය අවබෝධ කර නොගැනීමෙන් සහ ජනතාවගේ ආර්ථික පීඩාවන් යටපත් කර දැමීමෙන්, රජය කරමින් සිටින්නේ සුළුතර ජාතීන්ට එරෙහි සුනාමියක් මතින් නැවත බලයට පත්වීමට සිහින දකින පිරිසට කරන පරිත්‍යාගයකි.

ශ්‍රී ලංකාව රජයක නිස්සාරත්වය සහ විපක්ෂයක කූට උපක්‍රම අතර සිරවී සිටින අතර, සාමාන්‍ය ජනතාවගේ පීඩාවන් නොසලකා හැරීමේ දී මේ දෙපාර්ශ්වයම එක සමාන වේ. මෙම කිසිදු පාර්ශ්වයක් යහපත් අතට වෙනස් නොවන්නේ නම්, අඥාන ආර්ථික විද්‍යාව විසින් ජනිත කරනු ලබන දේශපාලනික ගිනිජාලා හමුවේ, දැඩි පරිශ්‍රමයෙන් ළඟා කරගත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම වාෂ්ප වී යා හැකිය.

Leave a Reply