You are currently viewing ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියට..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියට..

2027 මාර්තු මාසයෙන් අවසන් වන ශ්‍රී ලංකාවේ 17 වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගිවිසුම, රටේ ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක ජාත්‍යන්තර ගිවිසුම බවට කිසිදු සැකයක් නැත. මහ බැංකුවේ සහ මුදල් ක්ෂේත්‍රයේ සිට රාජ්‍ය ව්‍යවසායයන් සහ සුභසාධන වැඩසටහන් දක්වා වූ රාජ්‍ය මුදල් හා රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය ඉන් රැඩිකල් ලෙස වෙනස් කොට ඇත. දැන් රට හමුවේ ඇති ගැටලුව වැඩසටහනෙන් පසු ඉදිරි මග කුමක්ද යන්නයි.

කොවිඩ් වසංගතය, 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රථම ණය පැහැර හැරීම දක්වා වූ දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදය සහ ඉන් අනතුරුව IMF හි අදාල වියදම් කපා හැරීමේ පියවරයන්ගෙන් සලකුණු වූ 2020 දශකය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි ලෙස සංකෝචනය කර තිබේ. මෙම ආර්ථික පිරිහීමෙන්/මන්දගාමීත්වයෙන් මිදී, සමානාත්මතාවයෙන් යුත් ආර්ථික වර්ධනයක් කරා යන ගමනකට එළඹීමට ශ්‍රී ලංකාවට හැකි වේද? 1977 දී සිදු වූ උදාරකරණයෙන් පසු පැමිණි අනුප්‍රාප්තික රජයන් විසින් විනාශ කර, ඈවර වීමේ තත්ත්වයට පවා ඇද දමා ඇති, දැනට ක්‍රියාත්මක වන IMF වැඩසටහන මගින් තවදුරටත් දැඩි ලෙස පීඩාවට පත් කර ඇති රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද? දැඩි පීඩාකාරී දිළිඳුකමට සහ මන්දපෝෂණයට මුහුණ දී සිටින අපගේ වැඩකරන ජනතාවට සහන හා මෙන්ම, ඔවුන්ට තිරසාර ජීවනෝපායන් සහ රැකියා ලබා දෙන්නේ කෙසේද?

ණය පැහැර හැරීමකින් පසුව ක්‍රියාත්මක වූවක් බැවින්, පෙර පැවති ඕනෑම ගිවිසුමකට වඩා දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන මගින් ශ්‍රී ලංකාව කෙරෙහි ඉතා ප්‍රබල ග්‍රහණයක් පවත්වා ගෙන යයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බේරුම්කරු වන සිය භූමිකාව හරහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යම්තාක් දුරකට රට ප්‍රාණ ඇපයට ගැනීමේ හැකියාවක් ද ලැබී ඇත. ශ්‍රී ලංකාවට සිය ජාත්‍යන්තර ණය හිමියන් හමුවේ ඇති ණය පැහැර හැරීමේ තත්ත්වයෙන් මිදීමට නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරතා විශ්ලේෂණය (DSA) සහ ඊට අදාළ දැඩි කොන්දේසි පිළිගැනීමට සිදුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගු කලක් තිස්සේ බටහිර ණය හිමියන්ගේත්, ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ගත් කල ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමි ගෝලීය මූල්‍යකරුවන් නමැති ගිජුලිහිණියන්ගේත් අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිට ඇති බව ප්‍රසිද්ධ රහසකි. එසේ නොමැති නම්, 2024 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමට යන්තම් දින දෙකකට පෙර, ජනතාවගෙන් තේරී පත් නොවූ අධිකාරීවාදී ජනාධිපතිවරයෙකු විසින් අත්සන් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය කැමැත්ත ලබා දුන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව විසින් පැහැර හරින ලද විදේශ ණය සම්බන්ධයෙන් ගත් කල, ඉන් 52% කට ආසන්න ප්‍රමාණයක් වාණිජ ණය වූ අතර, එයට 40% ක් වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ද ඇතුළත් විය. මා තර්ක කර ඇත්තේ 2007 සිට 2019 දක්වා බහුලව ලබා ගත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මෙම අධික පොලී පිරිවැය, ණය අර්බුදයට සහ ඉන්පසුව ණය පැහැර හැරීමට ප්‍රධාන හේතුව වූ බවයි; ඝානාව සහ සැම්බියාව වැනි වෙනත් රටවලද මෙවැනිම තත්ත්වයක් දක්නට ඇත. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර යනු නිව්යෝර්ක් සහ ලන්ඩන් හි ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළවලින් ලබා ගන්නා ස්වෛරී ණය වන අතර, එහිදී වසර පහක හෝ දහයක ණය සාමාන්‍යයෙන් එක්සත් ජනපද ඩොලර් (USD) වැනි විදේශ ව්‍යවහාර මුදලකින් ආපසු ගෙවිය යුතුය. එසේම ශ්‍රී ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් ගත් කල, වසර දහයක කාලයක් සඳහා මෙම ණය ලබාගෙන ඇත්තේ සියයට 6 සිට 8 දක්වා වූ තරම් ඉහළ පොලී අනුපාත යටතේය.

මෙහිදී වැල් පොලිය පමණක් වුවද මූලික ණය මුදලට (ප්‍රාග්ධනයට) සමාන විය හැකි අතර, එවැනි ප්‍රතිලාභ සහ විශේෂයෙන් විදේශ විනිමය ඉපැයීම් අපහසු වන තත්ත්වයක් තුළ, එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ණය පැහැර හැරීමට සිදුවීමයි. කෙසේ වෙතත්, IMF වැඩසටහන විසින් 2027 වසරේදී ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) ණය ලබා ගැනීමේ තත්ත්වයට ගෙන ඒමේ ඉලක්කයක් කරගෙන ඇත. සැබවින්ම, 2026 ජූනි මස IMF වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය ප්‍රක්ෂේපණය කර ඇත්තේ, 2027 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර  ණය ලබා ගැනීම හරහා, අමෙරිකානු ඩොලර් බිලියන 2.417 ක විදේශ ණය ආපසු ගෙවීම ආවරණය කිරීමෙනි. මෙය හරියටම බැටළුවන් නැවතත් විලෝපික වෘකයින් හමුවට යැවීමක් හා සමානය.

මෙය ශ්‍රී ලංකාවේ අවසාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්  වැඩසටහන වනු ඇති බවට ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීත්, තවත් IMF වැඩසටහනක් අවශ්‍ය බවටත් නැවතත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) නිකුත් කළ යුතු බවටත් හඬ නගන, ජාතික මෙන්ම ජාත්‍යන්තර බුද්ධි මණ්ඩල (think tanks) නියෝජනය කරන නව ලිබරල්වාදී ප්‍රචාරකයෝ පිරිසක් වෙති. එතරම් ඈත නොවන අතීතයකදී, පෙර පැවති වැඩසටහන් දහසය මෙන්ම 17 වන IMF වැඩසටහන ද මීට පිළිතුර නොවන බව අපගෙන් සමහරෙකු තර්ක කළ විට, නව ලිබරල්වාදී සංස්ථාපිතයේ බොහෝ දෙනෙකු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙවර තත්ත්වය වෙනස් බව පවසමිනි. 18 වන IMF වැඩසටහනක් සඳහා ඔවුන් දැන් සිදුකරන ඉල්ලීමෙන් පෙනී යන්නේ, 17 වන IMF වැඩසටහනේ අසාර්ථකත්වය ඔවුන් විසින්ම පිළිගෙන ඇති බවයි; එසේත් නැතිනම් ඉන් හෙළිවන්නේ ශ්‍රී ලංකාව බටහිරදැඩි ග්‍රහණය යටතේ දිගටම තබා ගැනීමට ඔවුන් තුළ ඇති වුවමනාවයි.

මීට වසර දෙකකට පෙර මහත් බලාපොරොත්තු මැද අනුර කුමාර තේරී පත්වන විට, පාර්ලිමේන්තුව තුළ ජාතික ජන බලවේගයට (NPP) සිටියේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණි. පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නව ජනාධිපතිවරයා, මාස දහඅටකට පෙර අත්සන් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට සහ මැතිවරණයට යන්තම් දින දෙකකට පෙර අත්සන් කරන ලද අසාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට එලෙසින්ම අනුගත වී කටයුතු කරන ලෙසට බටහිර ආයතන විලින් එල්ල වූ දැවැන්ත පීඩනයකට ලක්ව සිටියේය.

ජනාධිපතිවරණයෙන් පසු ගත වූ පසුගිය වසර දෙකක කාලය තුළ, ට්‍රම්ප්ගේ තීරුබදු, “දිට්වා” සුළි කුණාටුව සහ ඇමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කරන යුද්ධයත් සමඟ ඇති වූ බලශක්ති අර්බුදය යනාදී වශයෙන් ශ්‍රී ලංකාවට එක පිට එක කම්පනයන්ට මුහුණ දීමට සිදුවිය. නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රට උත්සාහ කරමින් සිටින පසුබිමක වුවද, මෙවැනි කම්පනයන් කළමනාකරණය කිරීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ. එයින්, වරකට මාස ගණනාවක් පුරාවට රජය හුදෙක් ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම්වලට පමණක් සීමා වූ තත්ත්වයකට ඇද දමා ඇත.

මෙම පසුබිම තුළ, ආණ්ඩුවක දේශපාලන ආයු කාලය සැලකූ විට වසර හතරක් යනු දිගු කාලයකි. ජාතික ප්‍රතිපත්ති, ගෝලීය මූල්‍ය අවශ්‍යතාවයන්ගේ ප්‍රමුඛතාවලට සිර කරන තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනක් වෙත ගියහොත් එයින් රජයේ ඉරණම මුළුමනින්ම තීරණය වනු ඇත. තවද, හුදෙක් IMF වැඩසටහනකින් ඉවත් වීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. IMF වැඩසටහන යටතේ සම්මත කරගත් බොහෝ නීති සහ ප්‍රතිපත්ති මගින් වසර ගණනාවක් තිස්සේ සිදුවූ හානිය සමාලෝචනය කළ යුතුව ඇත. මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ තවත් එවැනි නීති රැසක් අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීමට සිදුවනු ඇත.

වෙළෙඳ ලිහිල්කරණයෙන් යුත් අපනයන මූලික ආර්ථිකයක් පිළිබඳ යල්පැන ගිය ප්‍රතිපත්ති මේ වන විට ඉතිහාසයේ කුණු කූඩයට ඇද වැටෙමින් තිබේ; ට්‍රම්ප්ගේ තීරුබදු වලින් පැහැදිලි වන පරිදි ලෝක වෙළෙඳ සංවිධානය ද දැන් මියගොස් ඇත. යටිතල පහසුකම්වලින් ශක්තිමත් වූ සංචාරක කර්මාන්තයට ස්ථාවර විදේශ ආදායමක් ගලා ඒම සහතික කළ හැකිය යන මතවාද, ගෝලීය වසංගතයේ අත්දැකීම් සහ මෑතකාලීන ජාත්‍යන්තර ප්‍රවාහන බිඳවැටීම් සමඟ දැන් සුනුවිසුනු වී ගොස් ඇත.

අපගේ ආයතන, ආර්ථිකය සහ සමාජය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නවමු දැක්මක් හැර අන් විකල්පයක් නොමැත. රජයට පමණක් තනිවම මෙය කළ නොහැකි අතර, ඒ සඳහා පුළුල් ජාතික කතිකාවක් සහ සාකච්ඡාවක් පමණක් නොව, සමාජ බලමුලු ගැන්වීමක් ද අවශ්‍ය වනු ඇත.

අපි දැන් ගමන් කරමින් සිටින්නේ මින් පෙර කිසිදා අත්නොදුටු අන්දමේ ආර්ථික වටපිටාවක් තුළය. සංවර්ධන මූල්‍යකරණය සහ ජාත්‍යන්තර ආයෝජකයින් හරහා ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමේ සූත්‍රය, මේ වන විට කිසිදු හරයක් නොමැති හුදු කතාවකට පමණක් සීමා වී ඇත. අපගේ ස්වභාවික සම්පත් වේවා, නැතහොත් දේශීය මූල්‍ය සම්පත් වේවා, අපගේ දේශීය සම්පත්, නිෂ්පාදනය, රැකියා උත්පාදනය සහ අපේ ජනතාවගේ සුබසාධනය උදෙසා යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සිතීමට අපට දැන් බල කෙරී ඇත. නිසැකවම, විදේශ ආදායම් උපයා ගත හැකි සෑම මාර්ගයක්ම අනුගමනය කළ යුතුය. නමුත් එය අර්ථවත් සහ තිරසාර වනු ඇත්තේ, එලෙස උපයන විදේශ විනිමය සුඛෝපභෝගී හෝ ඵලදායී නොවන ආනයන සඳහා නාස්ති නොකළහොත් පමණි; ඒ අනුව, ආනයන සඳහා අප මුදල් වැය කරන්නේ කෙසේද යන්න ප්‍රමුඛතාගත කළ යුතුය.

අතීතයෙන් පාඩම් උකහා ගන්නා අතරතුරම, මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී අපේ රට සංවර්ධනය කිරීම සඳහා අපට නව ප්‍රතිසංස්කරණය කරන ලද ආයතන අවශ්‍ය වේ. මහ බැංකුවට සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත. විසිඑක්වන සියවසට ඔබින සංවර්ධන බැංකුවක් අත්‍යවශ්‍ය වේ. බිඳවැටෙමින් පවතින ගෝලීය ආර්ථිකයක් හමුවේ කාර්මික සහ වෙළෙඳ ප්‍රතිපත්ති අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. රාජ්‍ය ව්‍යවසාය ඇතුළු රාජ්‍ය ආයතන අපගේ සමකාලීන අවශ්‍යතාවලට සරිලන පරිදි ප්‍රතිසංස්කරණය කර යාවත්කාලීන කළ යුතු අතර, ඒවා කිසිසේත්ම පෞද්ගලීකරණය කර සූරාකන මූල්‍යකරුවන්ගේ (extractive financiers) හිතුමනාපයට අත්හැර නොදැමිය යුතුය. සුරක්ෂිත ආහාර පද්ධතියක් තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික පරිවර්තනයක් අත්‍යවශ්‍ය වේ. නව පරම්පරාවක සමුපකාර ක්‍රමයක් හරහා සමාජය බලමුලු ගැන්වීම මීට ඉදිරි මාවතක් විය හැකිය.

දශකයක් පුරා පැවති අර්බුදයෙන් බැට කෑ ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජීවනෝපායන් යළි නඟා සිටුවීමට ද ඇතුළුව, සමානාත්මතාවයෙන් යුත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම උදෙසා එවැනි සමාජ බලමුලු ගැන්වීමක් සහ රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍ය වනු ඇත. දැනට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන්ට ලබා දෙන පාසල් ආහාර වැඩසටහන සඳහා වන අයවැය ප්‍රතිපාදන සියලුම පාසල් දරුවන් ආවරණය වන පරිදි පුළුල් කළ යුතු අතර, සහල් මිලෙහි අස්ථාවරත්වයට මෙන්ම මන්දපෝෂණයට ද පිළියම් යෙදීම සඳහා සැමදෙනාමට සහල් සහනාධාරයක් ලබාදීම කෙරෙහි සලකා බැලිය යුතුය.

පෙදරේරුවන් (මේසන්වරුන්) සහ දෛනික වැටුප් ලබන කම්කරුවන් සඳහා ජීවනෝපායන්හි ගුණාකාර වර්ධනයක් (multiplier effect) ඇති කරන, එමෙන්ම වඩු කර්මාන්තය, උළු නිෂ්පාදනය, ලෝහ වැඩ ආදියට සම්බන්ධ කර්මාන්ත සහ රැකියා සඳහා පසුපෙළ සබැඳියාවන් (backward linkages) නිර්මාණය කරන ශක්තිමත් නිවාස යෝජනා ක්‍රමයක් ආර්ථික වර්ධනය උදෙසා සලකා බැලිය හැකිය. බාහිර පාර්ශ්වයන්ගෙන් අල්ප වශයෙන් පමණක් යමක් බලාපොරොත්තු විය හැකි ලෝකයක් තුළ, රජය විසින් ආයෝජනයන්හි පෙරමුණ ගන්නා සහ එම ක්‍රියාවලිය හරහා දේශීය පෞද්ගලික ආයෝජන ද ඊට දායක කර ගන්නා වූ මෙවැනි ආර්ථික ප්‍රවේශයක් යනු යුගයේ අවශ්‍යතාවයයි.

ජාතික ජන බලවේගයට (NPP) රටේ ඉතිහාසයේ වෙනත් කිසිදු ආණ්ඩුවකට නොලැබුණු ආකාරයේ අතිවිශාල ජනවරමක් හිමිව ඇත. අභියෝගාත්මක ගෝලීය තණතීරුවක් (pitch) මත, රජය පසුගිය වසර දෙක තුළ ඉතා ප්‍රවේශම්සහගත පළමු ඉනිමක් ක්‍රීඩා කර තිබේ. එහි දෙවන ඉනිම එලෙසම විය නොහැකි අතර, බිඳවැටෙමින් පවතින නව ලිබරල්වාදී පර්යාය විසින් පනවා ඇති සීමාවන්ගෙන් බොහෝ ඔබ්බට යමින්, රාජ්‍යය සහ සමාජය බලමුලු ගැන්වීම සඳහා අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය ඔවුන් විසින් ගොඩනඟා ගත යුතුව ඇත.

Leave a Reply