අත්හැරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එය ජීවිතය සහ සමාජය දෙස ආර්ථික සහ දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලා අවබෝධයෙන් සහ ආයාසයෙන් වර්ධනය කළ යුතු සමාජ ධර්මතාවයකි. යුක්ති ගරුක සමාජයක පැවතිය යුතු අනිවාර්ය ගුණාංගයක් වන සමානාත්මතාවය මෙනි. සමාජයේ පවතින්නේ සමානත්වයක් නොවේ. කායික හෝ මානසික වශයෙන් පවතින්නේ අසමානත්වයයි. එහෙත් සමාජයක සාධාරණත්වයක් පවත්වා ගැනීමට සමානාත්මතාවය ඇති කර ගත යුතුය. ඒ සඳහා සෑම ජන කොටසක්ම තමන් සතු වරප්‍රසාද හෝ වෙනත් ගුණාංග යම් පමණකට අත් හැරිය යුතුය. එහි දී වරප්‍රසාද රහිත අයට යම් සමාජ සමානත්වයක් ලැබෙන අතර තවත් කොටසක් කිසියම් දුරකට සමහර දේ අත් හැරිය යුතුය. සියලු දෙනාට සාධාරණය ඉටු වන ප්රශස්ත සමාජයක් ගොඩ නැගිය හැක්කේ එවිටය.
මෙවැනි සිතුවිල්ලක් මතු වන්නේ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යාපනයේ දී මේ වසරේ පළාත් සභා මැතිවරණයක් නොපැවැත්වෙන බව ප්‍රකාශ කිරීමත් සමග ඒ දිනවලම යාපනයේ දී පැවති වෙනත් සාකච්ඡා මණ්ඩපයක දී පළ වූ අදහසක් සමග ය. විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ සිවිල් සේවකයෙකු ප්‍රකාශ කළ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ කිසි දිනක පළාත් සභා නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීමට හෝ සැබැවින්ම බලය බෙදා හැරීමට පියවර නොගනු ඇත. ඔහු තම ප්‍රකාශය සනාථ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී ක්‍රියා කළ ආකාරය උපුටා දැක් වූයේය. උතුරු පළාත් සභාවෙන් නැගෙනහිර පළාත වෙන් කිරීමට අධිකරණයේ පිහිට පැතීම සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ පාලන සමයේ ක්‍රියා කළ ආකාරය පළාත් සභා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සාධනීය පියවර නොගැනීමට හේතුන් ලෙස ඔහු දැක් වූයේය. ඒ කරුණු නැවතත් සිහිපත් කිරීම අවශ්‍ය නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසය දන්නා අයට ඒ සියල්ල මැනැවින් අවබෝධ කර ගත හැකිය.
දේශපාලන කරලියේ එතරම් හෝ කොහෙත්ම සාකච්ඡා නොවු කරුණ වන්නේ මෙම පක්ෂයේ පරමාර්ථය වන්නේ සියල්ල එක මිටට ගැනීමය යන්නයි. පසුගිය මැතිවරණ සමයේ ‘මුළු රටම එක මිටට“ යන සටන් පාඨය එළි බැස්සේ සිත් ගන්නා තවත් යෙදුමක් සඳහාම නොවේ. එය සැබැවින්ම පක්ෂයේ ආත්මීය ස්වභාවයයි. මධ්‍යගත ප්රජාතන්ත්රවාදය වැනි කන්කළු වදන් වලින් ආවරණය වුවද සැබැවින්ම සිදු වන්නේ තනි පුද්ගලයෙකුගේ හෝ කීප දෙනෙකුගේ මතය සියල්ලන්ගේම පිලිගැනීම සේ ඉද්ර්පත් කිරීම ය. අත් හැරීම නොව අත්පත් කර ගැනිමේ ආදර්ශයයි.
අත්පත් කර ගැනීමේ ප්‍රකට ලක්ෂණයක් වන්නේ පක්ෂයේ කිසිවෙකුට සමාජ ආර්ථික ප්‍රශ්න පිළිබඳව වෙනත් මතයක් හෝ අදහසක් නොමැතිවීම පමණක් නොවේ. අනෙකුත් සමාජයීය බැඳීම්වලදී පවා ප්‍රමුඛත්වය ලැබෙන්නේ පක්ෂයේ ස්ථාවරයට ය. එය චේ ගුවේරා සමයේ සිට මේ දක්වාම එම දේශපාලන කණ්ඩායමේ පවතින ජානමය ලක්ෂණයකි. සරල නිදසුනක් වශයෙන් මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයෙකුට නිල වශයෙන් ලැබෙන දීමනාව දැක්විය හැකිය. මෙම මූල්‍යමය දීමනාව ඔවුන් ඉටු කරන්නේයැයි කියන මහජන සේවයට ගැලපෙන්නේ ද යන්න වෙනම සාකච්ඡා කළ යුතුය. රටේ මුළු ජන සංඛ්‍යාවෙන් සතරෙන් එකක් මන්ද පෝෂණයෙන් හෝ දුෂ්පෝෂණයෙන් පෙළෙන රටක ආණ්ඩුවත් මැති ඇමතිවරුත් නඩත්තු කිරීමට යොදන මුදල සාධාරණීය කරන්නේ කෙසේද යන්න අනිවාර්යෙන්ම සාකච්ඡා කළ යුතුය. මෙහි දී අප අවධානය යොමු කරන්නේ පක්ෂය එම මුදල් හසුරුවන ආකාරය යි.
අප කවුරුත් දන්නා ආකාරයට ජාතික ජනබල වේගයෙන් තේරී පත් වූ සෑම නියෝජිතයෙකුගේම වැටුප සහ දීමනාව පක්ෂයේ අරමුදලට බැර කළ යුතුය. ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා අනුව මුදල් නිතුක් කරන්නේ පක්ෂයේ අරමුදලෙනි. එම අවශ්‍යතා ගණන් බලන්නේ කවර පදනමක් සහ නිර්ණායකයක් යටතේ ද යන්න ප්‍රකාශයට පත් කර නැත. සමහර විට එය දැන ගැනීමට එම නියෝජිතයන් තෝරා පත් කළ ජනතාවට අයිතියක් නැතැයි පක්ෂය සිතනවා විය හැකිය. එය රටම මෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයන් ද එක මිටට ගැනීමක් විය හැකිය.
අප කලින් සඳහන් කළ ආකාරයට පක්ෂයේ සියලු කටයුතු සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වන්නේ එක මිටට ගැනීමේ ප්රතිපත්තියයි. එය පක්ෂයේ මධ්‍යගත ප්රජාතන්ත්රවාදයැයි කෙනෙකුට නිර්වචනය කළ හැකිය. රටේ ජනතාවට වැදගත් වන්නේ මෙවැනි ‘‘මධ්‍යගත ප්රජාතන්ත්රවාදයක්“ තම ප්‍රතිපත්තිය සහ ක්‍රියා මාර්ගය කර ගත් පක්ෂයකට අත්හැරීමක් නැතිනම් සරලව බලය බෙදා හැරීමක් කළ හැකි ද යන්නයි. බලය බෙදා හැරීම යන්නෙන් අදහස් වන්නේ පළාත් සභාවලට දේශපාලන බලය බෙදා හැරීම පමණක් නොවේ. පිළිගත් නීති රාමුවක් යටතේ පළාතක ජනතාවට තමන්ගේ සමාජ ආර්ථික කටයුතු මෙහෙයවීමේ නිදහස තිබිය යුතුය. එහෙත් එය ප්‍රමාණවත් නැත. ජනතාවාදී පාලනයක් යටතේ බලය ඉහළම ස්ථානයේ සිට පාලන ව්‍යුහයේ පහළම තැන දක්වා ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ අදහස්වලට සහ ඕනෑ එපාකම්වලට මුල් තැන දීමෙනි. වගවීමේ සහ වගකීමේ මූලධර්ම පදනම් විය යුතුය. ඒ සියල්ලෙන් අදහස් වන්නේ ජනතාවට ප්‍රතිපත්ති සම්පාදයේ දී මෙන්ම ඒවා ක්‍රියාත් කිරීමේ දී ද නිරීක්ෂණය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අයිතිය පිළි ගැනීමකි. එවැන් තත්වයක් යටතේ පක්ෂය සහ මහජන කැමැත්ත මත තේරීපත් වූ නියෝජිතයන් ක්‍රියා කළ යුතු වන්නේ ජනතා කැමැත්තට යටත්වය. ජනතා කැමැත්ත ප්‍රකාශ වන එක් ක්‍රමයක් වන්නේ ඡන්ද විමසීමයි. එය දිට්වා සුළු කුණාටුව නිසා හෝ මුදල් නොමැතිකම නිසා කල් දැමිය නොහැකි වගකීමකි.
වඩාත් ගැඹුරින් විමසා බලන විට සමාජවාදී හෝ ධනවාදී ආණ්ඩුවක් පවතින්නේ බලය හා මර්දනය පදනම් කර ගෙනය. කවර ආකාරයෙන් හෝ බලය හා බලහත්කාරය නැතිව පාලනයක් පවත්වා ගත නොහැකිය. බලය පවත්වා ගැනීමට නොයෙකුත් නිති රීති සහ පොලිසිය හමුදාව සහ සිරගෙවල් වැනි ආයතන පවත්වා ගත යුතුය. ඒවා හේතු යුක්ති කිරීමට නොයෙකුත් තර්ක විතර්ක ඉතිහාසය පුරාම පැවතිණ. සමාජ විප්ලව හට ගත්තේ බලය අසාධාරණ හා අයුක්ති සහගත ලෙස යොදා ගැනීම දරා ගත නොහැකි තත්වයට ප්‍රතිචාර දක්වීමටය. අප අත්දුටු මෑතක සිදු වූ ජනතා නැගිටීම අරගලයයි. ජනතා කැමැත්තෙන් තේරී පත් වුවද ජනතා සුභ සිද්ධිය අමතක කොට අත්තනොමතික පාලනයක් පවත්වා ගැනීමට පියවර ගනිමින් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රජ ගෙදර පස්සා දොරින් පළා යෑමට සිදු වූයේ ජනතා අරගලය නිසාය.

මෙම අරගලයට හේතු පාදක වූ කරුණු විවිධාකාරයෙන් විශ්ලේෂණය කිරීම් පැවතිය ද අවසානයේ දී ජනතා අවශ්‍යතාවට වඩා තමන්ගේත් තම සහචරයන්ගේත් අවශ්‍යතා ප්රමුඛ තර ගත් පාලකයෙකුට ලැබුණායැයි කියන ජන වරම බලයේ රැඳී සිටීමට ප්‍රමාණවත් වූයේ නැත. පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇති නීති රීතිවලට අමතරව තමා ගේ නියෝග නීති ලෙස පිලිගැනීමට අණ කිරීමෙන් අදහස් කෙළේ මුළු රටම එක මිටට ගැනීමට ය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සියලු බලතල එක මිටට ගැනීමට සකස් කරන ලද නීතියකි. විධායක ජනාධිපතිට කළ නොහැකි එකම දේ පිරිමියෙකු ගැහැනියකු බවට පත් කිරීම පමණයැයි පළමු විධායක ජනාධිපති පාරම් බෑ ආකාරය අපට අමතක වී නැත. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් රටේ සියලු දේශපාලන පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තම මැතිවරණ පොරොන්දුවලට එක් කෙළේ ඊට එරෙහිව නැගුණු ජනතා විරෝධය නිසාමය.
එහෙත් එම ජනතා පැතුම මෙතෙක් ඉටු වී නැත. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මීට පෙර විධායක බලය හිමි කර ගත් පාලකයන්ගෙන් වෙනස්ව නැත. පෙර සිටි පාලකයන් භුක්ති විඳි සමහර වරප්‍රසාද බැහැර කර ඇති නමුත් එක මිටට ගත් බලය බෙදා හැරීමට සූදානම් බවක් දක්නට නැත. සියල්ල සිදු වන්නේ තම අණසක යටතේ ය යන භාවිතය නිසා අධිකරණයේ නඩු තීන්දු, ජනතා කැමැත්ත විමසා බලන ඡන්ද පැවැත්වීම පමණක් නොව මර්දනය පදනම් කර ගත් රාජ්‍ය යාන්ත්‍රණයේ එකම හිමිකරු තමායැයි විධායක ජනාධිපති ගේ සහ ඔහුගේ පක්ෂයේ මතය බව පෙනේ. ටිල්වින් සිල්වා යාපනයේ දී මෙම වසරේ පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැති බව ප්‍රකාශ කෙළේ එම අධිකාරී බලය පදනම් කර ගෙන ය. රටම එක මිටට ගත් අයට වෙනත් ආකාරයකට සිතීමට හෝ දැකීමට නොහැකිය. කිස් අවුරුදු යුද්ධයකින් පසුවත් යාපනය වැනි තැනක සිට පළාත් සභා ඡන්දය නොපැවැත්වීම ගැන පුරාජේරු කතා කීමට හැකි වන්නේ එවැනි අයට ය.
බලය සංකේන්ද්‍ර කර ගත් දේශපාලන ව්‍යුහයකින් හික්මවනු ලැබූ නායකත්වයකට බලය අත් හැරීම සහ බෙදා හැරීම පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි සංකල්ප නොවේ. තම පක්ෂයෙන් තේරි පත් වූ මහජන නියෝජිතයන්ට ලැබෙන වැටුප හෝ දීමනාව පවා පක්ෂයේ අරමුදලට බැර කිරීමෙන් සහ ඔවුන්ගේ නඩත්තුව පක්ෂය භාර ගැනීමෙන් පෙන්වන්නේ බලය බෙදා හැරීමක් නොව බලය බදාගැනීමකි. පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ ඔවුන් පෙන්නුම් කෙළේ වැටුප් හෝ දිමනා මෙන්ම පාලන බලතලත් එකම ගිණුමකට බැර කිරීමට ඇති අවශ්‍යතාවයයි. ජනතා විමුක්ති පෙරමුණේ ජාන අනුව ඊට වෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැකි වුවද ජනතා අපේක්ෂාව ට පිටු පෑම බියකරු සිහිනයක් පමණක් නොවේ.
- රටම එක මිටට ගෙන බලය බෙදා හැරිය නොහැකිය.. - June 15, 2026
- කිරි කළයක් අපවිත්‍ර කිරීමට ගොම බිඳක් .. - May 30, 2026
- අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ.. - April 3, 2026