යල් පැන ගිය ක්ෂුද්‍ර මුල්‍ය පනත [2016] වෙනුවට ශක්තිමත් අධීක්ෂණයක්, විධිමත් බලපත්‍ර ලබා දීමක්, වැඩි පාරිභෝගික ආරක්ෂාවක්, පොලී අනුපාත පාලනයක් සමගින් සියලුම ණය දෙන්නන්ගේ අධීක්ෂණයක් හඳුන්වා දෙමින් නව පනතක් ගෙන ඒමට ජාතික ජනබලවේග ආණ්ඩුව සැලසුම් කරමින් සිටී. ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත කෙටුම්පත් කරන්නට දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සීමිත විෂය පථයක් 2016 ක්ෂුද්‍ර මූල්‍ය පනත වඩාත් පුළුල් කරමින් සියලුම ක්ෂුද්‍ර මූල්‍ය සහ සියලු මුදල් ණයට දීම් වලට බලපත්‍ර ලබා දීමටත්, ඒවා නිරීක්ෂණයට සහ අධීක්ෂණයටත් බලතල සහිත නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම නව සංශෝධනයන්ගේ අරමුණය. ආණ්ඩුව පෙන්වා දෙන්නේ නව නීති හරහා පොලී ගණනය, ගනුදෙනුවල විනිවිදබව, එකතු කිරීමේ පිළිවෙත් සහ ආරවුල් විසඳීම බලාත්මක කළ හැකි ප්රමිතීන් හරහා ණය ගැතියන්ට රැකවරණයක් ලැබෙන බවය. මෙහිදී අවිධිමත් සහ ඩිජිටල් ණය දෙන්නන් ඇතුළුව සියලුම ක්ෂුද්‍ර මූල්‍ය සපයන්නන් තනි අධීක්ෂණ අධිකාරියක් යටතට ගෙන එනු ඇත. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හා මුදල් ණය දෙන්නන් සඳහාද බලපත්‍ර අවශ්‍යවේ.
මේ අතර ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රීලංකා මහ බැංකුව හා මහා භාණ්ඩාගාරය එක්ව යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත මගින් ප්‍රජා ණය ආකෘතිය, මුදල් ණය දීම සහ ක්ෂුද්‍ර මූල්‍යකරණය යටතට ඇතුළත් කිරීමට ගන්නා උත්සාහයට ප්‍රජා ණය සපයන්නනෝ විරුද්ධ වෙති.
ජාතික ප්‍රජා ඉතිරිකිරීම් සහ ණය සේවා සපයන්නන්ගේ සාමූහිකයට අයත් මන්නාරම, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට ප්‍රජා සංවිධාන 33 කට වැඩි ගනනක ප්‍රජා ණය වෘත්තිකයන් 200 කට අධික පිරිසක් ඉකුත් දා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට රැස්ව මේ ගැන කරුණු දැක්වුහ.සාකච්ජා කළහ.

”..ණය ගෙවා ගත නොහැකිව 200 කට වැඩි ස්ත්‍රීන් සියදිවි හානි කරගෙන..”
ඔවුන් අවධාරණය කරන්නේ මුදල් ණය දීමටත්, ක්ෂුද්‍ර මූල්යකරණයටත් විකල්ප ණය භාවිතයක් ලෙස ප්‍රජා ඉතිරිකිරීම් සහ ණය සේවාවන්ට ප්‍රමුඛස්ථානයට ගතයුතු බවය. ඒ වෙනුවෙන් සාමූහික ආචාර ධර්ම මෙන්ම වසර ගණනක භාවිතයක් මත පදනම් වූ ප්‍රජා ණය භාවිතයන්හි සුවිශේෂත්වයක් ඔවුන් සතු බව ද පෙන්වා දෙති.
”..ප්‍රජා මුලික ණය ක්‍රමයක් කියන්නේ මුදල් පොලියට දීමක් වැනි දෙයක් නොවේ. එහි තියෙන්නේ අන්යෝධාරය, සාමුහිකත්වය, සහභාගිත්වය, ආර්ථික යුක්ති සහගත භාවට පදනම ලෙසයි. ක්ෂුද්‍ර මුල්‍ය ණය විශාල වශයෙන් අර්බුදයට ලක්වූ, වින්දිතයන් ප්‍රතික්ෂේප කරපු ක්‍රමයක්.ආණ්ඩුව ඒක නියාමනය කියන හේතුවක් පෙන්වලා ජනතාව මත බලයෙන් පටවන්න හදන්නේ..”
යැයි ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැතියන් වෙනුවන් දිගු කල් අරගලයක නිරතව සිටින අමාලි වෙදගෙදර පෙන්වා දුන්නාය.
පවුල් ලක්ෂ 28 ක් දක්වා ක්ෂුද්‍ර මුල්‍ය ණය ගෙවා ගත නොහැකිව ණය කන්දකට යටවී සිටින බව සඳහන් කරන අමාලි වෙදගෙදර කරුණු දක්වන්නේ ඔහුන් සතු රන් රිදී, ඉඩ කඩම් ඇතුළු සියලු දේපොළ අහිමි කරගෙන ඇතිබවය.
ක්ෂුද්‍ර මුල්‍ය ණය අර්බුදයට මෙතෙක් කිසිදු ආණ්ඩුවකින් ස්ථිරසාර පිළියමක් නොවුයෙන්, ණය ගෙවා ගත නොහැකි වූ ස්ත්‍රීන් 200 කට වැඩි ප්‍රමාණයක් සිය දිවි හානි කරගෙන ඇත.

ජනගහනයෙන් මිලියන 18 ක් වූ ග්‍රාමීය ජනයාගෙන් දිළිඳු ගොවීන් 90 දශකය මුල් කාර්තුව වන විට ලබාගත් ගොවි ණය ගෙවා ගත නොහැකිව වස පානය කිරීමෙන් සිය දිවි තොර කරගත්හ. ඒ මුල් ගොවි පරම්පරාවන්ගේ අලුත් පරම්පරාවට අයත් බොහෝ ස්ත්‍රීන් මෙවර ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්රමයේ ගොදුරු බවට පත්වීම තවත් ඛේදවාචකයකි.
”..එදා මාතලේ එළවලු ගොවීන්, රජරට ඇතුළු අනෙක් දිස්ත්‍රික්වල වී ගොවීන් ණය ගෙවා ගත නොහැකිව වහ බිලා මරුනා. ගාන 250 කට වැඩියි..”
සිය අතීත අත්දැකීම් ආවර්ජනයක නිරත වෙමින් ගොවි නියමුවෙකු වන එම්.කේ ජයතිස්ස සිය අදහස් සභාව හමුවේ තැබීය.
ක්ෂුද්‍ර මුල්‍ය ණය අර්බුදයට පිළියම් ලෙසින් 2016 වසරේ දී පනතක් සම්පාදනය හදුන්වා දෙනු ලැබුණි. එහෙත් ඉන් වුයේත් ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් ශක්තිමත්වී තත්වය තවත් උග්‍ර අතට හැරීමය.
”..මේ අර්බුදය එළියට පනින්නේ ණය ගෙවා ගන්න බැරිව වව්නියාවේ අම්මා කෙනෙක් ළමයි තුන්දෙනත් එක්ක ලිඳට පැනීමෙන්. ඒ වෙලාවේ රනිල් සහ මංගල උතුරට ගිහින් පොරොන්දු වුණා රුපියල් ලක්ෂය දක්වා තියෙන ණය කපා හරින්න. මේකෙත් යටි අරමුණක් තිබ්බා පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන තමයි මේ පොරොන්දුව දුන්නේ නමුත් මැතිවරණය තිබ්බෙත් නැහැ ණය කපන පොරොන්දුව ඉටුවුනෙත් නැහැ..”

ජයතිස්ස ගොවි නායකයා පවසයි. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයෙකු වූ දයා ගමගේ ට අයත් ක්ෂුද්‍ර මුල්‍ය සමාගමක් විසින් ඔවුන්ට වාසි සහගතවන පරිදි යම් යම් දේ නිදහස් කර ගැනීම පමණක් සිදුවූ බවය.
”..කුඩා ප්‍රමාණයේ ඉතිරිකිරීම් හරහා ප්‍රජා ණය රාමුව ස්ත්රීන්ට වත්කම් හා ධනය ගොඩනඟා ගැනීමට උදව්වක්. ක්ෂුද්‍ර මූල්‍ය සහ මුදල් ණයට දීම වගේ නොවේ මිනිස්සු විසින් පාලනය කරන ලද ප්‍රජා ණය පද්ධති, නියෝජිතායතන වගේම ද්‍රව්‍යමය හැකියාවන් යන දෙකෙන්ම ස්ත්රීන්ට බලයක් ලැබෙනවා. ගෝලීයකරණය සහ නව ලිබරල්වාදය විසින් මිනිස්සුන්ගේ මුදල් අල්ලා ගැනීමට සහ ජනතාව වෙළඳපොළ මත යැපීමට ඉලක්ක කර ගෙනයි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවන්නේ. ඒ ගැන සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ වගේම ක්‍රියාමාර්ග ගැනීමත් වැදගත්..”
යැයි වැලිගෙපොල, ඒකබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමයේ සභාපතිනි රේණුකා භද්‍රකාන්ති, අවධාරණය කළේ ජනතාව සමග වැඩකිරීමේ වසර තුනක අත් දැකීම්ද සමගින්ය.

ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍යකරණය මුලින් සැලකුවේ අඩු ආදායම්ලාභීන්ට විශේෂයෙන් ස්ත්‍රින්ට ව්‍යවසායකත්වය සඳහා කුඩා ණය ලබාදීම සහ එදිනෙදා අවශ්‍යතා සඳහා සහාය වීමේ මෙවලමක් ලෙස ය. බොහෝ ණය ගැතියන් – විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන් – ඉහළ පොලී අනුපාත, ආක්‍රමණශීලී අයකර ගැනීමේ උපක්‍රම සහ නියාමනය නොකළ ණය දෙන්නන් හේතුවෙන් ණය චක්රවලට තල්ලු කර ඇත.
”..ප්‍රජා සංවිධාන ණය ගෙවා ගන්න බැරිවුනොත් පොලිසි -උසාවි ගෙනියන්නේ නැහැ..”
”..තම තමන් උපකාරක කරගන්න ප්‍රජා ණය කණ්ඩායම් අවිධිමත් වගේම නියාමනයක් වෙන්නෙත් නැහැ. ඒවායේ පාලනය පදනම් වෙන්නේ සමාජයේ සාමූහික ආචාර ධර්ම, ප්‍රජාවම කරන විගණන වගේම ප්රජාතන්ත්රවාදී තීරණ ගැනීම මගින්. මේ හරහා විනිවිදභාවය සහ වගවීම සහතික කරනවා..”
යැයි මුලතිව් යුහශක්ති ප්‍රජා සංවිධානයේ රාජේශ්වරී ශ්‍රීධරන් පෙන්වා දුන්නාය.

යුහශක්ති සහ මහාශක්ති ප්‍රජා සංවිධාන ජාලය, උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන, ස්ත්‍රී සාමාජිකයින් 10,000 කට වැඩි පිරිසකින් සමන්විතය. යුද්ධය අතරතුර නිර්මාණය කරන ලද මේ ප්‍රජා සංවිධාන ජාලය මගින් ගෘහස්ථ ආර්ථිකය පාලනයට ස්ත්රීන්ට ශක්තියක් වී තිබේ. මේ මගින් ස්ත්‍රීන් ශක්තිමත් කරන අතරම යුද්ධයෙන් ජිවිත, දේපල ඇතුළු සියලු අහිමිවීම් වලට ඔරොත්තු දීමේ හැකියාවක් ද වර්ධනය කරයි.
”..ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වගේ නොවේ ප්‍රජා කණ්ඩායම් තමන්ගේ ණය ගෙවීමට බැරිවුනොත් පොලිසි හරි උසාවි යාමේ ඉතිහාසයක් නැහැ..”
අර්බුදකාරී කාලවලදී පළමු වෙනම ප්‍රතිචාර දක්වන්නේ යුහශක්ති සහ මහාශක්ති වැනි ප්‍රජා කණ්ඩායම් බව ද රාජේශ්වරී කියා සිටියේ යුද සමයේ ඔවුන් අත්දුටු දුක් ගැහැට ද සභාව හමුවේ තබමින්ය.
”..මෑතකදී හමා ගිය දිට්වා සුළි කුනාටුවෙන් ආපදාවට පත්වූ අයට උපකාරයට රජයට කලින් පැමිණියේ යුහශක්ති හා මහාශක්ති වැනි ප්‍රජා සංවිධානයි ..”
ඇය කියා සිටියාය.
ක්ෂුද්‍ර මූල්‍යයෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් කතා කරමින්, පොළොන්නරුවේ හිඟුරක්ගොඩ, විමුක්ති ගැමි ගොවි කාන්තා සමිතිය නියෝජනය කරන සුනෙත් අරුණ කුමාර,
”..ණය එකතු කරන්නන්ට බියෙන් සැඟවී සිටි අය, තම ජීවිත ස්වාධීනව නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. පොලී ආදායම මත රඳන්නේ නැති ණය යාන්ත්‍රණ නිර්මාණය කළ හැකිද යන්නත්, ප්‍රජා සබඳතා නැවත ගොඩනැගීමේ පරිකල්පනීය ක්‍රම පිළිබඳවත් නැවත සිතා බලමින් ඉන්නවා..”
කොල්ලකාරී පොලී අනුපාත සහ ප්‍රචණ්ඩකාරී කොන්දේසි, වත් පිළිවෙත් මගින් සූරාකනු ලබන ණය ගැතියන් ලෙස ඔවුන්ගේ ජීවමාන අත්දැකීම් වලින් ස්ත්රීන්ගේ මුලපිරීම් මතුවෙමින් පවතින බව සුනෙත් අවධාරණය කළේය.

ගොදුරක් ලෙසම, නීත්‍යානුකූලව බැඳී ඇති ආරක්ෂණ ලබා දීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය පාරිභෝගිකයින් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යෝජිත නියාමන පනත් කෙටුම්පත සුනෙත් විවේචනය කළේය. සුනෙත්ට අනුව, යෝජිත නීති සම්පාදනය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය නැවත ඇති නොවන බවට සහතිකයක් නොවේ.
”.. ණය ගෙවා ගන්න විශ්‍රාම ගියත් වත්තේ වැඩ..”
ක්ෂුද්‍ර මුල්‍ය හා මුදල් ණය ගැන මලෛයහ ස්ත්රීන්ගේ අත්දැකීම් මෙහිදී බෙදා ගත්තේ, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ මධ්‍යස්ථානයේ ලෙචුමනන් කමලේස්වරී විසිනි.
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය පහසුකම් ඇති මලයියාහා කාන්තාවන්ගේ අත්දැකීම් සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ මධ්‍යස්ථානයේ ලෙචුමනන් කමලේස්වරී විසින් බෙදා ගන්නා ලදී.
”..වතු සමාගම් වතුකරය තුළ ඇති සියලුම ප්‍රජා සංගම් සීමා කරනවා, නමුත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට නිදහසේ ඇතුළු වී ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. ණය කොතරම් දරුණුද කිව්වොත්, බොහෝ මලෛයහ කාන්තාවන් විශ්‍රාම යාමෙන් පස්සෙත් වත්තේ වැඩ කරනවා ණය ගෙවාගන්න..”
යැයි ඇය කියා සිටියාය.

දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ පරිදිම තම ජනතාව තවමත් දරිද්‍රතා රේඛාවේ පතුලේ සිටින බව ඇය පැවසුවාය.
හම්බන්තොට ග්‍රාම සංවර්ධන පදනමේ පුබුදු මනෝහර සඳහන් කරන්නේ, රජයන් සමඟ අනුබද්ධිතව සහ ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වැනි ජාත්‍යන්තර සංවිධානවල සහාය ඇතිව, බොහෝ ජාතික සහ දේශීය අර්බුද විසඳා ඇති බවය. කෙසේ වෙතත්, කාලයත් සමඟ, රජය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන ජනතාවගේ ඉතිරිකිරීමේ ධාරිතාව ගැන සැලකිලිමත් වී තිබේ.
“..ප්‍රජා අරමුදල් නිර්මාණය කිරීමට අපට ඇති හැකියාව ගැන ඔවුන් බිය වෙලා..”
ඔහු පැවසීය.
ආණ්ඩුව මේ විදිහට ගෙන එන පනතට විරුද්ධ වීමට ප්‍රජා කණ්ඩායම් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් බලමුලු ගැන්වීම අත්‍යවශ්‍ය බව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
ප්‍රජා සංවිධාන සහ කාන්තාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි දැඩි රෙගුලාසි වල ඍණාත්මක බලපෑම පිළිබඳව කනස්සල්ල මතු විය.
“..ගෘහස්ථ හිංසනය, ආර්ථික ප්රචණ්ඩත්වය තුළ මුල් බැස තියෙනවා. ප්‍රජා සංවිධාන විනාශ කිරීම ප්‍රාදේශීය සංවර්ධනයට සහ ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනවා වගේම ඒක රජයට ද බරක්..”
මුලතිව්හි යුහශක්ති නියෝජිතයෙක් පැවසීය.
”..ප්‍රශ්ණය තේරුම් ගත්තත්, ආණ්ඩුව ඇහුන් කන් නොදීම ගැටළුවක්..”
රෙගුලාසි සකස් කිරීමේදී තමන් සමඟ සෘජුවම සාකච්ඡා කරන ලෙස ප්‍රජා සංවිධායකයින් රජයෙන් ඉල්ලා සිටි අතර, නව නීති රීති බාහිර බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීමට වඩා ප්‍රජා පාදක මුලපිරීම් ආරක්ෂා කර ශක්තිමත් කළ යුතු බව අවධාරණය කළහ.
පැමිණි සිටී සංවිධාන නියෝජිතයන් වැඩි දුරටත් කියා සිටියේ ක්ෂුද්‍ර මූල්‍යකරණය වාණිජකරණය ප්‍රවර්ධනය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අර්බුදයට දායක වී ඇති ආසියානු සංවර්ධන බැංකුවට නියාමන රාමු සඳහා පෙනී සිටීමට නීතිමය සහ සදාචාරාත්මක ස්ථාවරයක් නොමැති බවය.
ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය (FCEJ) වැනි සිවිල් සමාජ කණ්ඩායම් රජයේ ප්‍රවේශය විවේචනය කර ඇති අතර, යෝජිත නීතිය ප්‍රමාණවත් ලෙස ණය ගැතියන් ආරක්ෂා නොකරන බවත් අර්ථවත් මහජන උපදේශන නොමැතිව සංවර්ධනය කර ඇති බවත් තර්ක කර ඇත.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාව වැනි අනෙකුත් සංවිධාන, පනත් කෙටුම්පතේ අංග අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර ඇති අතර, එය කොල්ලකාරී ණය දීම ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොකරන බවත් ව්‍යවස්ථාමය මූලධර්ම උල්ලංඝනය කළ හැකි බවත් කියා සිටී.
දින පනස් පහක් පුරා හිඟුරක්ගොඩ පැවති ක්ෂුද්‍ර මුල්‍ය ණයට ගොදුරු වුවන්ගේ උද්ඝෝෂණයට එදා එක්වූ අද ජනාධිපති,අගමැතිනී ඇතුළු ජාතික ජනබලවේගය ආණ්ඩුවේ නායකයන් ප්රශ්නය හොඳින් තේරුම් ගත් පිරිසකි.
”..වෙනත් දේශපාලන ක්‍රමයක් යටතේ මේ ප්‍රශ්නයට විසදුම් ලැබේ යැයි අපේක්ෂා කළ නොහැකියි. මේ හරහාම තමයි ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න හැකියාව ඇත්තේ.එහෙත් ආණ්ඩුව ඇහුන් කන් නොදීම ගැටළුවක්..”
එම්.කේ ජයතිස්ස ගොවි නායකයා කියා සිටියේ කනස්සල්ලෙන් වුවත්, තවදුරටත් අපේක්ෂා සහගතවය.
- රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද .. - March 1, 2026
- කොළඹ නගරයේ විදී දරුවන්ගේ ඛේදවාචකය.. - February 13, 2026
- ක්ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත: ”..ජනතා අනුමැතියෙන් තොරව නීති ගෙන්න බැහැ..” - February 6, 2026