You are currently viewing තීරු බදු සහ ඒවායේ බලපෑම්: ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය..

තීරු බදු සහ ඒවායේ බලපෑම්: ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය..

ඉතිහාසය පුරාවටම, ලෝකයේ නොදියුණු රටවල් දියුණු රටවල් බවට පත්වීමේ ක්‍රියාවලිය තුළ තීරු බදු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. පසුගිය වසර 70 තුළ කොරියාව වැනි රටවල් අතලොස්සක් පමණක් සාර්ථකව දියුණු රටවල් බවට පත්ව ඇත. මෙම සාර්ථකත්වයට හේතු සොයා බැලීමේදී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ස්වීඩනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල් සංවර්ධනය වීමට තීරු බදු සහ ආරක්ෂණවාදය භාවිතා කර ඇති බව හොදින් පැහැදිලි වේ.

තීරු බදු යනු ප්‍රතිපත්තිමය මෙවලමක් පමණි. එය හොඳට හෝ නරකට භාවිතා කළ හැකිය. සාර්ථක තීරු බදු භාවිතය “ළදරු කර්මාන්ත ආරක්ෂණය” (infant industry protection) යන සංකල්පය මත පදනම් වේ. මෙහිදී ආර්ථික වශයෙන් පසුගාමී රටවල ආණ්ඩු විසින් තීරු බදු, සහනාධාර වැනි මෙවලම් හරහා සිය ළදරු කර්මාන්ත ආරක්ෂා කර වර්ධනය කරමින්, ගෝලීය වෙළදපොලේ උසස් විදේශීය සමාගම් සමඟ අවසානයේ තරග කිරීමට හැකි වන පරිදි ඒවා පෝෂණය කිරීම අවශ්‍ය වේ.

මෙම සංකල්පය කුඩා දරුවෙකු ඇති දැඩි කිරීමේ ක්‍රියාවලියට සමාන ය. යන්තම් වයස අඩු දරුවන් රැකියාවලට යැවීම හරහා එය කෙටි කාලීනව මුදල් ඉතිරි කරගැනීමට උපකාරී වුවද, එය දරුවාගේ දිගුකාලීන සංවර්ධනයට බාධාවක් බවට පත් වෙයි. ඒ වෙනුවට දරුවා පාසල් යවා, විශ්ව විද්‍යාලයකට යවා, ඉහළ ඵලදායිතාවක් ඇති පුද්ගලයෙකු බවට පත් කිරීම වඩා වැදගත් ය.

18 සහ 19 වන සියවස්වල බ්‍රිතාන්‍ය එවකට යුරෝපයේ ප්‍රමුඛ තාක්ෂණික රට නොවීය. බෙල්ජියම, නෙදර්ලන්තය, සහ ඉතාලියේ සමහර ප්‍රදේශ තාක්ෂණික වශයෙන් බ්‍රිතාන්‍යන්ට වඩා ඉදිරියෙන් සිටියහ. මෙහි දී බ්‍රිතාන්‍ය දේශීය කර්මාන්ත වර්ධනය කර ගැනීම සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති භාවිතා කළේය.

එක්සත් ජනපදය ද දෙවන ලෝක යුද්ධය දක්වාම ඉතා ඉහළ තීරු බදු (40-50% පමණ) පනවා තිබිණ. මෙය ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ($10 නෝට්ටුවේ සිටින පුද්ගලයා) විසින් විධිමත් කරන ලද සංකල්පයකි. තීරු බදු භාවිතයෙන් ඔවුන් බ්‍රිතාන්‍ය සහ අනෙකුත් යුරෝපීය තරඟකාරිත්වයට එරෙහිව සටන් කළහ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන තීරු බදු ප්‍රතිපත්තිය ඉහත සඳහන් කළ සාර්ථක ආකෘතියෙන් වෙනස් වේ. ඔහුගේ ප්‍රතිපත්තිය “එතරම් සාර්ථක නොවන අවුරුදු 45ක දරුවකු ආරක්ෂා කිරීමට” ගන්නා උත්සාහයට සමාන කළ හැකිය. මෙය අර්ථ විරහිත ප්‍රවේශයකි.

ට්‍රම්ප්ගේ බලාපොරොත්තුව වන්නේ තීරු බදු හරහා විදේශීය සමාගම් එක්සත් ජනපදයේ ආයෝජනය කිරීමට පොළඹවා ගැනීමයි. මෙය “තීරු බදු මග හැරීම” (tariff jumping) ලෙස හැඳින්වේ. උදාහරණයක් වශයෙන්, 1960 සහ 70 දශකවල බ්‍රසීලය විදේශීය මෝටර් රථ ආනයන සඳහා ඉහළ ආරක්ෂණයක් පැනවූ අතර, එමගින් ෆියට්, ෆෝඩ් වැනි සමාගම් බ්‍රසීලයේ මෝටර් රථ නිෂ්පාදනය කිරීමට පොළඹවා ගන්නා ලදී.

  1. අධික ලෙස පුළුල් තීරු බදු පැනවීම – ට්‍රම්ප් සෑම භාණ්ඩයකටම පාහේ පුළුල් තීරු බදු පනවයි. සාර්ථක තීරු බදු වඩා ඉලක්කගත ප්‍රවේශයක් අනුගමනය කළ යුතු ය. (උදා: ඔබට මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය නම්, මෝටර් රථ කර්මාන්තය නව තාක්ෂණය යොදාගනිමින් වැඩිදියුණු කිරීමට අදාළ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු ය.)
  2. කාර්මීකරණයට සුදුසු පරිසර පද්ධතියේ ඌනතාවය – ඉහළ ඵලදායිතාවක් ලබා ගැනීමට නම් එක් කර්මාන්තශාලාවක් හෝ දෙකක් තිබීම ප්‍රමාණවත් නොවේ. නිසි කුසලතා සහිත කම්කරුවන්, කර්මාන්තයට සුදුසු යටිතල පහසුකම්, ඒ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ කරන විශවවිද්‍යාල දෙපාර්තමේන්තු ආදිය සහිත සම්පූර්ණ “කාර්මික පරිසර පද්ධතියක්” අවශ්‍ය වේ.
  3. පරපෝෂිත මූල්‍ය පද්ධතිය – එක්සත් ජනපද මූල්‍ය පද්ධතිය “පරපෝෂිත” එකක් ලෙස හැඳින්වේ. මන්දයත් ආරක්ෂණය ලබා දුන් විට දේශීය සමාගම්වලට ඒ හරහා අමතර සම්පත් ලැබී, ඒවා ඵලදායිතාව ඉහළ නැංවීමට ආයෝජනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ (ජපානයේ, කොරියාවේ සිදු වූ පරිදි). කෙසේ වෙතත්, පසුගිය වසර 25 තුළ, ඉහළම ඇමරිකානු සංස්ථා තම ලාභයෙන් 90-95% ක් පමණ, කොටස් හිමියන්ට ලාභාංශ සහ කොටස් ආපසු මිලදී ගැනීම සඳහා ලබා දී ඇත. මේ නිසා අමතර සම්පත් ලැබුණ ද, සමාගම් ඒවා ආයෝජනය කරනු වෙනුවට, කොටස් හිමියන්ට වැඩි කොටස් ආපසු මිලදී ගැනීම් සිදු කරන ලෙස ඉල්ලා සිටියි.

අවසාන වශයෙන්, අවුරුදු 40ක් තිස්සේ දුර්වල වූ කාර්මික පදනමක් වසර 2-3ක් තුළ නැවත ගොඩනැගිය නොහැකිය. ඒ සඳහා අවම වශයෙන් දශක දෙකක පමණ කාලයක් ගත වනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්ති නිසා ඇ.එ.ජ.යේ ජීවන තත්ත්වය වැඩිදියුණු වීමක් අපේක්ෂා කළ නොහැකි ය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ එක් හොඳ ලක්ෂණයක් වන්නේ ඔහුට මතවාදයක් නොමැති වීමයි. ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන්නේ නම්, ඔහු සිය අදහස වෙනස් කරනු ඇත. ට්‍රම්ප් කියන දෙයින් ඔහු සැබවින්ම කරන්නේ කුමක්ද යන්න අනුමාන කිරීම දුෂ්කර ය. ඇමරිකානුවන් ඇතුළු සියලු දෙනාට අහිතකර වන බැවින් ඔහු මෙම ප්‍රතිපත්තියෙන් ඉවත් වනු ඇතැයි ඇතැමෙක් බලාපොරොත්තු වෙති.

(හා ජූන් චෑන්ග් ගේ දේශනයක් ඇසුරෙනි.)

Leave a Reply