2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක් සඳහා වූ කල්මුනේ නගර සභාව සහ ඇල්පිටිය ප්රාදේශය සභාව යන ස්ථාන දෙක හැර අනෙක් ඒවායේ ප්‍රතිඵලය නිකුත් වී අවසන්ය. එහිදී ජයග්‍රහණය ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇත්තේ දැඩි විවාදයකි. එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 43.3%ක් ජාතික ජන බලවේගය ලබාගෙන ඇති අතර විපක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් 56.7%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ලංකවේ සමස්ත පළාත් පාලන ආයතනවලට මන්ත්‍රිවරුන් 8793ක් තොරා ගැනීමට පළාත් පාලන මැතිවරණය පැවැත් වූ අතර එම සංඛ්‍යාවෙන් ජාතික ජන බලවේගය 3927ක් සහ විපක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් 4866ක් ලබාගෙන ඇත. මේ ප්‍රතිඵලයෙන් ජාතික ජන බලවේගය සභාවල මන්ත්‍රී සංඛාවෙන් 50%ට වඩා වැඩි මන්ත්‍රී සංඛාවක් දිනාගත් සභා ගණන 116කි. ඔවුන්ට එම සභා 116යේ පමණක් පාලන බලය ගෙන යා හැකිය. අනෙක් ඒවා ගැටළුකාරී වී ඇත. දැන් විපක්ෂය ඒකාබද්ධ වී ඉතිරි සියල්ලේ බලය විපක්ෂය අතට ගැනීමට සූදානම් වෙමින් සිටියි.

මේ ඡන්ද ප්‍රතිඵලය දෙස ප්‍රධාන වශයෙන් බැලිය යුතු පැති කීපයක් තිබේ. ඒ ඡන්දය දෙන පිරිස සහ ඡන්දය නොදෙන පිරිස අතර නිර්මාණය වී ඇති ප්රතිවිරෝධය වැදගත්කමකින් යුක්තය. මේ දෙපිරිස අතර ඇති මතවාදීමය දෘෂ්ටිය ද මේ ඡන්ද ප්‍රතිඵලයත් සමග සංසන්දනාත්මකව බැලීම ද තවත් වැදගත් කරුණකි.
එම කරුණ ගැන 2024 ජනාධිපතිවරණයේ සිට අපි විමසා බලමු. පසුගිය ජනාධිපතිවරණයේ ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය වූයේ මිලියන 17.1කි. ජනාධිපතිවරණයේදී ඡන්දය මිලියන 13.3ක් ප්‍රකාශ කර තිබුණේය. ඒ අතරින් ඡන්දය පාවිච්චි නොකළ සහ ප්‍රතික්ෂේප කළ ඡන්ද ප්‍රමාණය මිලියන 3.8ක් වූයේය. එම මැතිවරණයෙන් මාස දෙකකට පසුව පැවැත්වුන මහ මැතිවරණයේදී ද ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය මිලියන 17.1 එලෙසම පැවතුනි. මහ මැතිවරණයේදී ප්‍රකාශිත මුලු ඡන්ද ප්‍රමාණය මිලියන 11.1ක් වූයේය. මහ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි නොකළ සහ ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය මිලියන 6 ඉක්මවා තිබුණි. ඊට මාස පහකට පසුව පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය මිලියන 17.4ක් ලෙස සටහන් විය. පළාත් පාලන මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය මිලියන 10.4කි. පාවිච්චි නොකළ ඡන්ද සහ ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය මිලියන 7ක් දක්වා පළාත් පාලන මැතිවරණයේදී ද ඉහළ ගොස් තිබුණි.
මෙලෙස මාස හයක් ඇතුළත ඡන්දය පාවිච්චි නොකළ අය විශාල ලෙස වර්ධනය වී ඇති බව දැක ගත හැකියි. 2022 ජන අරගලයෙන් පසුව පවත්වන සෑම මැතිවරණයක් මැතිවරණයක් පාසා ඡන්දය පාවිච්චි නොකරන පිරිසේ වැඩිවීමක් දක්නට ඇත. ඡන්ද පාවිච්චි නොකළ පිරිස ජනාධිපතිවරණයේ සිට පළාත් පාලන මැතිවරණය දක්වා මිලියන 3.8 සිට මිලියන 7 දක්වා වර්ධන වූයේ එම පදනමෙනි. එහිදී ලංකාවේ 2022දී නව
ලිබරල්වාදී ආර්ථික ක්‍රමය පෙරලා දැමීමට ඉදිරියට පැමිණි ජනතාව නව සැලසුම් සහගත ආර්ථික ක්‍රමයක් සෙව්වේය. නමුත් 2022න් පසුව බලයට පත්වුන ජාතික ජන බලවේග ආණ්ඩුව නව ලිබරල්වාදී ආර්ථික රටාව කරපින්නාගෙන කරගෙන යාමට ඉදිරිපත් වූවා මිස ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ඉදිපත් නොවන බව මේ මාස 7ක කාලය තුළ පැහැදිලි විය.
දිගින් දගටම විකෘති ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා කිසි කෙනෙකුට ඡන්දය දී වැඩක් නැති බව ඡන්දය ප්‍රකාශ නොකරන පිරිසගේ පොදු මතය බවට පත් වී ඇත. එවිට මේ මැතිවරණ ක්‍රමය මගින් බලයට පත්වන කිසි කෙනෙක් ගැන කිසිදු විශ්වාසයක් තැබීමට නොහැකි වී ඇත්තේ කිසි දෙයක් නොවන නිසාය. ඡන්දය ඉල්ලන පක්ෂ – අපේක්ෂකයන් ස්වාධීන කණ්ඩායම් මේ නව ලිබරල්වාදී ක්‍රමය පවත්වාගෙන යාමට කරන දෘෂ්ටිවාදී මැදිහත් වීම නිසා ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් ලැබෙන දේශපාලනික සතුට ඔවුන් බුක්ති විඳින්නේය. මේ මැතිවරණ ක්‍රමය තුළින් දිගින් දිගටම ඡන්දය දීම විසඳුමක් නොවන නිසා ජනතාව මැතිවරණ ක්‍රමයෙන් ද ඉවත් වීම ද සිදුකරමින් පවතී. එය ඉදිරියේදී පවත්වන මැතිවරණ වලදී ද ඡන්දය නොදෙන පිරිස තව තවත් වැඩි වන බවට පැහැදිලි කරුණකි.

නව ලිබරල්වාදී ආර්ථිකය ගෙන ගිය අවුරුදු 50 තුළ ඡන්දය දී කිසිවක් ඉටු නොවුනු විට ජනතාව මැතිවරණයෙන් ඉවත්වීම තුළින් විරෝධය ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇත. ජනතාවගේ “ක්‍රම විරෝධය” පැවතුනත් එයට විසඳුමක් නොමැති මැතිවරණ ක්‍රමයක් නිසා ඡන්දය ප්‍රකාශ නොකිරීම ඔවුන්ගේ දේශපාලනික තීන්දුව වී තිබේ. ඡන්දය ඉල්ලන පක්ෂ අපේක්ෂකයන් නව ලිබරල්වාදය වැළඳගෙන විකෘති අදේශපාලනයක නිරතවන නිසා – ඔවුන් දිනුවත් විකෘති නව ලිබරල්වාදය සක්සුදක් සේ ඉදිරියට යන නිසා අදේශපාලනයට ඡන්දය දීම ඵලක් නොමැති ක්‍රියාවක් වීම ඡන්දය නොදීමට තවත් හේතුවක් වී ඇත.
මේ මොහොතේ ද නව ලිබරල්වාදී වැඩ සටහන ගෙනියන්න බලය නොමැති පළාත් පාලන ආයතනවල ආණ්ඩුව පක්ෂය සහ විපක්ෂය විසින් ස්වාධීන කණ්ඩායම්වල සහ කුඩා පක්ෂ වල සහය මුදල් මත ගැනීමට තීන්දු වන තත්වයක් නිර්මාණය වෙමින් ඇත. එම නිසා ඡන්දය නොදුන් මිලියන 7ක පිරිස අති විශාල දේශපාලනික ජයග්‍රහණයක් ලබා ඇත. ඒ විකෘති මැතිවරණ ක්‍රමයකට ඡන්දය නොදීම නිසා ලැබුණ සතුට වරප්‍රසාදයක් ලෙස ඔවුන් බුක්ති විදීමට හැකි වීමයි.
මේ මැතිවරණ වලින් බලයට පත්වන සියලු දෙනාම ආර්ථිකය මෙහෙයවීමට වෙහෙසෙන්නේ මූල්‍ය කලමනාකරණය තුළින් පමණි. මූල්‍ය ආර්ථිකය පවත්වා ගෙන යන්නට විදේශ ප්‍රේෂණ හෝ සංචාරක ව්‍යාපාරය හෝ අපනයන – ආනයනය හෝ විදේශ ණය හෝ දේශීය ණය මත ප්‍රතිකර්ම සොයති. මෙය දැකගත හැක්කේ 2022දී ලංකාවේ විදේශ ණය ලෙස සටහන් වූයේ ඩොලර් බිලියන 54ක් ලෙසය. එයින් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී අවුරුදු 2ක් ඇතුළත ඩොලර් බිලියන 110 දක්වා එම ණය මුදල වර්ධනය කර යන්න ගියේය. ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ ජාතික ජන බලවේග ආණ්ඩුව ද තව ඩොලර් බිලියන කීපයක් මේ මාස 6 තුළ ඉන්දියාවෙන්, චීනයෙන් සහ විදේශීය මූල්‍ය ආයතනවලින් ණයට ගෙන ඇත. දේශීයව අති විශාල ණය කන්දක් ද ගෙන ඇත.
1978 සිට ලංකාවේ රැකියා උත්පාදනය නොකර විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට උත්තේජනයක් ජේ. ආර්. ජයවර්ධන විසින් ලබා දුන්නේය. වත්මනේ විදේශ රටවල් ද ආර්ථික අර්බුදයේ පතුළටම ගිලී ඇති මොහොතක විදේශ රැකියා යනු සිහිනයක් පමණක් වී ඇත. විදේශ රටවල ආර්ථිකයන් ද වේගයෙන් කඩා වැටෙමින් පවතී. එම කඩා වැටීම නිසා ඇමරිකාවේ 2025 වර්ෂයේ රාජ්‍ය අංශය කප්පාදුව ඩොලර් ට්‍රිලියනයකින් අඩු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ස් පියවර ගෙන ඇත. ඉදිරි අවුරුදු 4ක් ඇතුළත ඩොල්ර් ට්‍රිලියන 4ක් අඩු කිරීමට ද තීන්දු ගෙන ඇත. එම ක්‍රියාමාර්ගය නිසා විශාල පිරිසක් මහපාරට වැටීමේ පරාසයක් දක්වා විහිදී යන්නේය. දැනට ඇමරිකවේ නිවාස අහිමු වූ ජනතාව ලක්ෂ 40 දක්වා වර්ධනය වී ඇත. එම කටයුත්ත ලංකාවේ ජාතික ජන බලවේග ආණ්ඩුව ද ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතව ඇත. ඒ රාජ්‍ය අංශයේ රැකියා පන් ලක්ෂයකට වඩා ඉවත් කිරීමට ගිවිසුම් ගත වීම මගිනි. එහි පළමු පියවර ලෙස මහවැලි අධිකාරිය සහ තවත් ආයතන පහක් වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය තුළ තීන්දු ගෙන ඇත. ඒ වගේම විදුලි බිල වැඩි කිරීමට ලෝක බැංකුවට පොරොන්දු වී තිබේ. තවත් මෙවැනි ජන ජීවිතය කප්පාදු කිරීම් විශාල ප්‍රමාණයක් ඉදිරි කාලයේදී ගැනීමට නියමිතව බව සඳහන්ය. මේ තීන්දු ගන්නේ විකෘති නව ලිබරල්වාදී ආර්ථිකය පවත්වාගෙන යන්නටය. තුනෙන් දෙකේ ආණ්ඩුව විසින් රටක් ගොඩ නැගීමට අවශ්‍ය පසුබිම පැත්තකින් තබා මූල්‍ය කලමනාකරණය තුළින් විසඳුම් සෙවීම ද කරගෙන යන්නේ පවතින ක්‍රමය පවත්වා ගෙන යන්නටය. එවිට මූල්‍ය ආර්ථිකය කඩාවැටීම නිසා කිසිම රටකට ගොඩ ඒමක් නැත. බොරු පුරසාරම් දෙඩීම පමණක් කරගෙන යාම සිදුවුවත්, ඒවා ආර්ථිකයට හෝ සමාජයට හෝ දැනෙන්නේ නැත. ජන ජීවිතයට ජීවන පීඩනය පමණක් මේ මොහොත වන විට ඉතිරි වී ඇත. පීඩනය තව තවත් වැඩි වෙනවා මිස මේ ක්‍රමය මගින් විසඳුමක් බලාපොරොත්තු විය නොහැකිය.
මේ ඇතිවු ආර්ථික කඩා වැටීම් බේරා ගැනීමට වර්ෂ 2000 පසුව වාමාංශීක කඳවුරු ලෝකයේ රටවල් කිහිපයක ඡන්ද වලින් පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සිදුවිය. එහිදී බ්‍රසීලයේ ලූලා ප්රමුඛ ආණ්ඩුව, ආජන්ටිනාවේ වාමාංශික ආණ්ඩුව, වෙනිසුවුලාවේ චාවේස් ප්රමුඛ ආණ්ඩුව, ග්‍රීසියේ සිරිසා නැමති වාමාශික ආණ්ඩුව, ස්පාඤ්ඤයේ පොඩමෝස් නැමැති වාමාංශික ආණ්ඩුව හඳුන්වාදිය හැකිය. මේ සියල්ලම වාමාංශික රතුපාට පොරවාගෙන පැමිණ මාස දෙක තුනක් යන විට හතර ගාතේ වැටී නැවත නව ලිබරල්වාදීන්ට බලයට ඒමට පිඹුරුපත් සකස් කිරීම පමණක් ඉටු කළේය. එවිට එම රටවල වාමාංශික ව්‍යාපාර නැත්තටම නැති වී ගියේය. ලංකාවේදී ද අනුර දිසානයක ප්රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව කරමින් සිටින්නේ එම කර්තව්‍යය ඉටුකිරීම බව පැහැදිලිය. මේ ක්‍රමය පවත්වා ගෙන යාමට ඡන්දය ඉල්ලන ජාතික ජන බලවේගයේ පිරිස් සහ විපක්ෂයේ පිරිස සහ මොවුන්ට ඡන්දය දෙන පිරිස් ද දෘෂ්ටිමය ලෙස අදේශපාලනිකය. ඡන්දය දෙන පිරිස බලන්නේ ක්ෂණික මුල්‍යමය වාසියක් ලබා ගැනීම ගැන පමණි. එවිට අවස්ථාවාදී ස්ථාවරයක සිට ඡන්දය ප්‍රකාශ කිරීමක් බව සක් සුදක් සේ පැහැදිලි වන්නේය. ඡන්දය නොදෙන පිරිස ක්‍රම විරෝධී දේශපාලනයක යෙදෙයි. එවිට දේශපාලනික පිරිස සහ අදේශපාලනික පිරිස අතර පවතින්නේ ව්‍යුහාත්මක ප්රතිවිරුද්ධත්වයකි.

මේ ව්‍යුහාත්මක වෙනස්කම ලෝකයේ අනෙකුත් මැතිවරණ වලදී ද සිදුවෙමින් පවතී. දේශපාලනය සහ අදේශපාලනය අතර ක්‍රම විරෝධී ගැටුම ලෝකය පුරාම වත්මන වන විට තීව්ර වී තිබේ. උදාහරණයක් ලෙස ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී ද ඡන්ද ප්‍රතිඵලයට ද එම ක්‍රියාවම සිදු වුණි. ඒ ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් පිරිස වූයේ සියයට59කි. එයින් ඩොනල්ඩ් ට්‍රම්ස් 30%සහ කමලා හැරිස් 29%ක් ලබා ගත්තේය. 41% ඡන්දය පාවිච්චි කර නොතිබුණි. එම ක්‍රියාවලියම එංගලන්තයේ ද සිදුවෙමින් පවතී. එය ලංකාවේ ද දැන් සිදුවෙමින් පවතී. එවිට ක්‍රම විරෝධය දේශපාලනිකය – ක්‍රමය පවත්වාගෙන යාම අදේශපාලනිකය.
අනුර දිසානයක ප්රමුඛ පිරිස සහ විපක්ෂය අදේශපාලනික වී ඇත්තේ ක්‍රමය පවත්වාගෙන යාමට ගන්නා වෙහෙස නිසාය. එහිදී අනුර දිසානායක බලයට පැමිණ කරගෙන යන නව ලිබරල්වාදී වැඩ පිළිවෙළ විපක්ෂය විසින් විවේචනය කරන්නේ ඔවුන් නිවැරදි නව ලිබරල්වාදීන් ලෙස ඔවුන් විසින් ඔවුන්ව හඳුන්වා ගනිමිනි. මේ පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය පිහිටුවන්නට බැරි සෑම තැනම විපක්ෂයේ නව ලිබරල්වාදීන් ඒකාබද්ධව බලය පිහිටුවා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇත. දැන් ගැටුම තිබෙන්නේ නව ලිබරල්වාදය පවත්වාගෙන යාමට “උඹ ද සුදුස්සා – මම ද සුදුස්සා” තෝරාගැනීම පමණක් ඉතිරි වී ඇත. එයද විසඳුමක් නොවන්නේ ආර්ථිකය පැත්තෙන් – දේශපාලනික පැත්තෙන් – ජනතාවගේ පැත්තෙන් විසඳුමක් නොවන නිසාය. මේ ආයතන සියල්ලේම බලය ජාතික ජන බලවේගයට ලැබුණත් කිසිම ප්‍රයෝජනයක් ජන සමාජයට අත් නොවන්නේය. ඒ ඔවුන් වැළඳගත් නව ලිබරල්වාදය ලෝකය පුරාම අභාවයට යාම ඇරඹී ඇති නිසා සහ එම ක්‍රමය මගින් පීඩනය පමණක් ජනතාවට ඉතිරිවන නිසාය. ඒ පිහිටුවන ආයතන 116යේ සහ මුදල් දී පිහිටුවා ගන්නා සභාවල බලය විකෘති වැඩ පිළිවෙලවල් හරහා බලාත්මක කිරීමට ඔවුන් විසින් උත්සාහ ගනු ඇති. මේ කරන සියලු ක්‍රියාමාර්ග විහිලු හැටියට පමණක් ඉදිරි කාලයේදී තහවුරු වනවා නිසැකයි.
1977න් පසුව නව ලිබරල්වාදය කරපින්නා ගත් පාලකයන් පවතින මැතිවරණ ක්‍රමයෙන් බලයට පත්වන නායකත්වය විසින් ප්‍රතිපත්ති විරහිත අදේශපාලනය ඉස්මත්තට ගෙන ඒම පමණක් අවුරුදු 50ට ආසන්න කාලයක් කරගෙන ආවේය. බලයට පැමිණීමට දෙන පොරොන්දු සහ ප්‍රකාශ බලයට පත්ව එක මොහොතකින් වෙනස් කර නව ලිබරල්වාදී දුෂ්ඨ පාලනය පවත්වාගෙන යාමට අවනතව ක්‍රියාත්මක වෙයි. ඒවගේම මේ ධනේශ්වර ක්‍රමය තුළට ඇතුළු වූ අනුර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගයට ද නව ලිබරල්වාදී ක්‍රමය පවත්වාගෙන යාමට කරන කැප කිරීම අතිවිශාලය. එහිදී ඔවුන්ට රටේ ආර්ථිකය හෝ සමාජය තඹේකට වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය එම සභාවලට යන මන්ත්‍රීලාගේ වැටුප පක්ෂයේ ගිණුමට බැර වෙනවා ද යන කරුණ පමණි. පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ලැබුණු 3927කගේ මන්ත්‍රී වැටුප පක්ෂයේ ආදායමට අතිවිශාල වටිනාකමක් ලැබී ඇත්තේය. ජාතික ජන බලවේගයේ පිරිස සභාවලට රිංගන්නේ රට ගොඩනැගීමට නොව තම පක්ෂ අරමුදල තර කිරීමේ ක්‍රියාමාර්ග සඳහා පමණක් බව එවිට පැහැදිලි වන්නේය. ඒ වගේම පාර්ලිමේතුවේ මන්ත්‍රීන් 159 දෙනාගේ වැටුපත් පක්ෂට බැරවෙන නිසාවෙනි. මොවුන් යම් සභාවකට පත්වන මන්ත්‍රීවරයෙකු ලෙස සභාවට යන්නේ හතර අතේ විවේචනය කිරීම සඳහා සහ වැඩ කඩාකප්පල් කිරීම සඳහා පමණි. විවේචනය යනු නොදන්නාකම ප්‍රදර්ශනය කිරීම පමණක් ඉතිරි වී ඇත්තේය. එම ක්රියාදාමයටම උල්පන්දම් දෙන තවත් පිරිසක් 2025 පළාත් පාලන මැතිවරණයේදී තේරී පත් වී ඇත. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් තේරුණ 16 දෙනාගේ කණ්ඩායම හඳුන්වා දිය හැකියි.
මේ මැතිවරණ ක්‍රමයෙන් රටක් ගොඩනැගීම හෝ ප්‍රදේශයක් ගොඩනැගීම හෝ කළ නොහැකි කරුණක් වන්නේ ක්‍රම විරෝධී දැක්මක් නොමැතිකමය. එම නිසා ජනතාව මේ මැතිවරණ ක්‍රමයෙන් ඉවත්වෙමින් සිටින බව වත්මනේ පැහැදිලි වන කරුණකි. ඡන්දය නොදෙන පිරිසගේ මතය විග්රහ කළ බැලුවහොත් ඔවුන් දේශපාලනික දැක්මක් සහිතව ඡන්දය නොදුන් බව පැහැදිලියි. එම දේශපාලන අවබෝධය දිනෙන් දින වර්ධනය වන නිසා එම පිරිස මැතිවරණයෙන් – මැතිවරණයට පළල් වෙමින් පවතී. දැන් ඡන්දය දෙන පිරිස අදේශපාලනිකය – ඡන්දය නොදෙන පිරිස දේශපාලනිකය. එය පැවති රටාව වෙනස් වීමේ විභවය නිර්මාණය වී ඇති බව වටහා ගැනීමට මේ මැතිවරණය ප්‍රබල සාධකයකි.

නමුත් වත්මනේ විශාල ජන අරගල ව්‍යාපාරයක් ලෝකය පුරා නව ලිබරල්වාදයට විරුද්ධව ගොඩ නැගෙමින් පවතියි. එවිට ඡන්දය යනු ක්‍රමය පවත්වාගෙන යන ක්‍රියාවලියක් සහ ජන අරගලය මේ විනාශකාරී ක්‍රමය පෙරලා දැමීමට ගොඩනැගෙන බලවේගය ලෙස ඉදිරියට එමින් පවතී. එවිට ඡන්දය ඉල්ලීම පවා වැඩකට නැති අදේශපාලනික ක්‍රියාවක් වී තිබේ. ඡන්දය දීම ද අදේශපාලනික ක්‍රියාවක් වී තිබේ. වත්මනේ දේශපාලනය යනු අරගල මාවතට ප්‍රවිෂ්ට වීම ප්‍රතිඵලදායක වී ඇත. අරගල මාවත ලෝකය පුරාම සක්‍රීය වෙමින් පවතී, නමුත් ප්රශ්නය වී තිබෙන්නේ ඉදිරියේ ලෝකය නැවත ගොඩනැගීමට ආර්ථික – දේශපාලන – සමාජීය විසඳුමක් අරගල නායකත්වය විසින් සාකච්ඡා නොකිරීමයි. ඒ සඳහා අදහස් ඇති පිරිස වන මාක්ස්වාදීන් ද හතර අතට බෙදී ඇත්තේ කිසිවක් කර ගත නොහැකි වන ලෙසයි. නමුත් ඇමරිකවේ වත්මනේ පවතින අරගලයේදී මාක්ස්වාදී පක්ෂ වලට ඒකාබද්ධ වී විසඳුම් ඉදිරිපත් කරන ලෙස මාක්ස්වාදය කියවන තරුණ තරුණියන්ගෙන් බලපෑමක් එල්ල වී තිබේ.
ලංකාවේ ද මාක්ස්වාදී දහරාව නියෝජනය කරන ලියාපදිංචි පක්ෂ 12ක් ඇත. මේ පිරිස ද නව ලිබරල්වාදී විකෘතිය පවත්වාගෙන යාමට පසුබිම උදා කිරීම සඳහා වෙන් වී ක්‍රියාමාර්ග තෝරමින් සිටිති. මේ පිරිස් අතර වෙනස් මත ඇති බව සත්‍යයකි. නමුත් සියලු දෙනාම මාක්ස්වාදය පිළිගනිති. නමුත් එකතුවීමට පමණක් එකඟ නැත. එය ලංකාවේදී ප්‍රශ්නාර්ථයක් බවට පත් වූයේ 2022 අරගලය තුළදීය. පවතින රාමුවෙන් වෙනස්ව විප්ලවකාරී බලවේ සමග සාමූහික දැක්මක් ඇතිකර ගැනීමට මාක්ස්වාදීන්ට දැක්මක් නොතිබුණේ වෙන්ව සිටීමේ පියවර නිසාය. වත්මනේ මාක්ස්වාදීන්ට මොන තරම් අනෙකා සමග ප්‍රශ්න තිබුණත් එක කඳවුරකට පැමිණිම අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙන්නේ, පවතින ක්‍රමය ප්‍රතික්ෂේප වී ලෝකය පුරාම “පූර්ව විප්ලවවාදී සමයක්” උදා වීම හේතු කොට ගෙනය. එවිට නව අර්ථකථනයකින් ආර්ථිකය ගොඩනැගීමට හැකි භෞතික දැක්මක් සහිත මාක්ස්වාදීන්ට මේ කටයුත්ත පැවරී ඇත.
- පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද? - May 30, 2025
- කුණුහරප කුණාටුවකට හසුවී පන අදින ජාතික ජන බලවේග ආණ්ඩුව.. - February 5, 2025
- ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? - December 18, 2024