ජනාධිපති තනතුරට අලුතින් අයෙකු පත් වු විට ලොව සෙසු රටවලින් සුභ පැතුම් පණිවුඩ එවීම සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික සම්ප්රදායකි. එහෙත් අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත්වීමත් සමග ගලා එන සුබ පැතුම් සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියැයි සිතේ. මාක්ස්වාදියෙකු වශයෙන් සමහර මාධ්‍යවලින් හඳුන්වා දෙන අනුර කුමාර නිදහස් සහ සාධාරණ ඡන්දයකින් ජය ගැනීම සමහර විට මෙම සුවිශේෂි තත්වයට හේතු වන්නට ඇත.
අසල්වැසි ප්‍රබලයා වූ ඉන්දියාවේ ආරක්ෂක ඇමති එස් ජයසංකර් අනුර කුමාර දිවුරුම් දීමෙන් පසු ඔහු සමග සාකච්ඡා කිරීමට ලංකාවට පැමිණි ප්‍රථම විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයාය. ඡන්ද විමසීමට පෙර ද අනුර කුමාර ඉන්දියාවේ සංචාරයක් යෙදුන අතර ඡන්ද විමසීම ආසන්නයේ ද ඉන්දියානු ආරක්ෂක ඇමති ලංකාවට පැමිණ පොර පිටියේ සිටි ප්‍රධාන දේශපාලන තරඟකරුවන් හමු වූයේය. එම හමුවීම් කුමන අරමුණෙන් සිදු කළත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරේ එය බලපෑ බවක් දක්නට නැත.
එක්සත් ජනපදයේ ලංකා තානාපතිනිය ජුලි චාන්ග් ද කීප වතාවක්ම සාමකාමී මැතිවරණයක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළාය. මේ කිසිවක් ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට කරන මැදිහත්වීම් සේ සැලකිය නොහැකි වුවද වත්මන් භූ දේශපාලන තත්වය යටතේ ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ගැන උනන්දුවන අපට උනන්දුවෙන් සිත් යොමු කළ යුතු කරුණු කීපයක් මතු කරයි.
නමසිය අනූ ගණන්වල සෝවියට් සංගමය බිඳ වැටී වොර්සෝ යුද හවුල අතුරුදහන් වූ විට එය ඉතිහාසයේ අවසානයැයි සමහර විශ්ලේෂකයන් හැඳින් වුවද විසි එක් වැනි සියවසේ දෙවන දශකය පසු කරන අපට ලොව මහා පරිමාණයේ යුද්ධයක් ඇතිවීමට මුව විටටම පැමිණ ඇතැයි සිතේ. වෝර්සෝ යුද හවුල අතුරුදහන්වීම ඊට ප්රතිවිරුද්ධව ගොඩ නැගී තිබුණ යුද හවුල වන නේටෝව විසිරුවා හැරීමට හේතු වූයේ නැත. ඒ වෙනුවට නේටෝ සංවිධානය පෙරටත් වඩා සිය සටන් ශක්තිය පුළුල් කර ගනිමින් සිටී. ඊට අමතරව නේටෝ සංවිධානයේ ප්රමුඛ රටවල් වන එක්සත් ජනපදය සහ එහි අනුගාමික රටවල් රුසියාව සහ චීනය ඉලක්ක කර ගෙන සටන් පෙරමුණු ගොඩ නගමින් සිටී.
එවැනි පෙරමුණුවලින් අපට වඩාත් සමීප එමෙන්ම වඩාත්ම උණුසුම දැනෙන්නේ එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව ජපානය සහ ඉන්දියාව ඇතුළත් චතුස්කය (Quad) නමින් හැඳින්වෙන යුද හවුල යි. මෙම හවුල පැහැදිලිවම චීනය ඉලක්ක කර ගෙන ගොඩ නැගී ඇති නිසා ඉන්දියානු සාගරයේ මර්මස්ථානයක පිහිටා ඇති ලංකාව වඩාත් ප්‍රවේශම් විය යුතුය.
ඒ නව ජනාධිපතිට උණුසුම් සුභ පැතුම් එක් කිරීමට රටවල් බුරුතු පිටින් එකතු වන විට සැලකිල්ලට ගත් යුතු වැදගත් කාරණයකි.
දෙවැනිව තවමත් ආර්ථික වශයෙන් බංකොළොත් භාවයට පත්ව සිටින ලංකාවේ ආර්ථික සංවර්ධනය නව ගමන් මගකට යොමු කිරීමේ අභියෝගයට මුහුණ දී සිටී. ඇත්තෙන්ම ලංකාව බංකොළොත් වූයේ ආර්ථිකව පමණක් නොවේ ආර්ථික බංකොළොත් භාවයට මූලික හේතුව දේශපාලන බංකොළොත් භාවයයි. පුළුල් වශයෙන් සාකච්ඡා කිරීමට මෙය අවස්ථාවක් නොවන නමුත් අප යොදා ගත් සංවර්ධන උපාය මාර්ග සියල්ල කණගාටුදායක ලෙස අසාර්ථක වූ බව නැවත අවධාරණය කළ යුතු නොවේ. ගොවි ජනපද පිහිටුවීමෙන් කෘෂිකර්මය සංවර්ධනය කොට රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ගත් උත්සාහයේ වර්තමාන ප්‍රතිඵලය වන්නේ ජනතාවගෙන් හරි අඩකටත් වඩා සාගින්නෙන් පසුවීමය. බාල පරපුරෙන් හතරෙන් එකකට වඩා මන්ද පෝෂණයෙන් පෙළේ.
රට කාර්මික කිරීමට ගත් උත්සාහය ද එවැනිම ඛේදවාචකයකි. කාර්මික ආර්ථිකයක් ගොඩ නැගීමේ පදනමක් වශයෙන් ඉදි කළ වානේ කම්හල අද සුඛෝපභෝගී නිවාස සංකීරණයකි. තුනී ලෑලි නිපදවීමට කොස්ගම ඉදිකළ කම්හල අද හමුදා කඳවුරකි. කන්තලේ සීනි කම්හලට අයත් ඉඩම් අක්කර 11,000ක් කෙටිකාලීන වගා කටයුතු සඳහා ලබා දිමට නව රජය තිරණය කර ඇත. ඊට පෙර ඒවා තිබුණේ වල්බිහිව ය.
මේවාට තුඩු දුන් දේශපාලන සහ ආර්ථික හේතු අද සමාජය කැටි කර දක්වන්නේ කෙටි වචන තුනකිනි. වංචාව, දූෂණය සහ හොරකමයි. මෙම පිළිකාව ලංකාව වසා ගෙන ඇති බවට සාධකයක් වන්නේ ජනතා පරමාධිපත්‍යයේ නියෝජිත ආයතනය වන පාර්ලිමේන්තුව තුළ පවා මෙම “ජාතික’’ ලක්ෂණ තුනම හොඳින් ප්‍රදර්ශනය වීමෙනි. අධිකරණයෙන් වැරදිකරු වන තෙක් මිනිමරුවන්ට පවා නීති සම්පාදනයේ යෙදිය හැකිය.
රට ආර්ථික බංකොළොත් භාවයෙන් මුදවා ගැනිමේ අනිවාර්ය කොන්දේසිය වන්නේ මෙම ව්‍යාධිය සුව කිරීමය. ඒ සඳහා රට අභ්‍යන්තරයේ කෙරෙන ප්‍රතිකාරවලට අමතරව බාහිරව ගලා එන විෂබීජ හඳුනා ගත යුතුය. ඒවා සැබැවින්ම විෂ බීජ වුවද අපට ලැබෙන්නේ විශේෂඥ උපදෙස් සේය.
මුළු ලෝකයම එකම ගම්මානයක් බවට ඇතැයි කියන වත්මන් ලෝකයේ කිසිම රටකට හෝ ආයතනයකට හුදකලාව පැවතිය නොහැකිය. අද දුර්වල සහ කුඩා රටවල් අත්පත් කර ගැනීමේ යටත් විජිතවාදයක් විවෘතව ක්‍රියාත්මක නොවන නමුත් මතවාදී සහ සංස්කෘතිමය වශයෙන් කෙරෙන බලපෑම් ඊටත් වඩා ප්රබලය. සියුම්ව ක්‍රියාත්මක වන එම බලවේග වලට අප ගොදුරුව ඇත්තේ නොදැනුවත්වය. එය සරලව හැඳින්වෙන්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදය යනුවෙනි.
මෙම සුළු හැඳින්වීම වැදගත් වන්නේ අලුත් ගමනක් මුල පිරීමට බලාපොරොත්තුවෙන් සිටින ලංකාවට විවිධ රටවලින් හා විවිධ ආයතනවලින් “ආධාර උපකාර” කිරීමට නොමසුරුව ඉදිරිපත්ව සිටින නිසාය. ඒවා හැඳින ගැනීමත් නිසි ප්‍රතිචාර දැක්වීමත් අනුව අපට ආර්ථික සහ දේශපාලන වශයෙන් බංකොළොත්වීමෙන් ගොඩ ඒමට හැකි වනු ඇත.
කලාපයේ රටවල් මෙන්ම ලෝක බලවතුන් වෙනත් රටවලට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වන්නේ තමන්ගේම න්‍යාය පත්‍රයක් අනුව බව නිතර කෙරෙන පුනරුච්චාරණයකි. එහෙත් නොකියාම බැරි සත්‍යයකි.
විශේෂයෙන්ම ලොව එකම බලවතාවීමට සිය දේශපාලන සහ අනෙකුත් ක්‍රියා මාර්ග උපයෝගි කර ගන්නා එක්සත් ජනපදය ලංකාව ගැන මෑතක සිට දක්වන උනන්දුව ගැන පුරවැසියන් වශයෙන් අප ද සැලකිලිමත් විය යුතු තීරණාත්මක කරුණකි. ලොව න්‍යෂ්ටික යුද්ධයක් කරා තල්ලුවීමේ අනතුර පෙර කිසි දා නොවු ආකාරයෙන් උත්සන්නව ඇති නිසා මෙය වඩාත් වැදගත් ය.
එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ගේ සහ එම තානාපතියගේ සුභ පැතුම් ලැබීමෙන් පසුව එක්සත් ජනපදයේ පැසිපික් කලාපයේ නාවික හමුදාවේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීවන් කොඑලර් ද පැමිණ ජනාධිපති හමු වූයේය. ස්වෛරීත්වය ආරක්ෂා කිරීමටත් සාගර කලාපයේ අභියෝග ආමන්ත්‍රණය කිරීමටත් කැපව සිටින රටවල් දෙක ( එක්සත් ජනපදය සහ ලංකාව) ඒ සඳහා ඉන්දියන් සාගර කලාපයේ එක්ව වැඩ කළයුතුයැයි අද්මිරාල්වරයා පෙන්වා දුන්නේය. වෙරළාරක්ෂක කටයුතු සඳහා ඔහු බීච්ක්‍රාෆ්ට් නමින් හැඳින්වෙන ගුවන් යානාවක් ද පරිත්‍යාග කෙළේය. මෙම ප්‍රකාශයේ කිසිම වැරැද්දක් නැත. බංකොළොත්වී සිටින අපට වෙරළාරක්ෂක කටයුතු සඳහා ගුවන් යානා මිලදී ගැනීමේ වත්කමක් නැති නිසා පරිත්‍යාගය අගය කළ යුතුය.
ඒ අතරතුර එක්සත් ජනපදයේ ප්‍රතිවාදියෙකු ලෙස හඳුනා ගන්නා චීනයේ හමුදා පුහුණු නෞකාවක්ද කොළඹ වරායට පිවිසියේය.
එහෙත් මේවා පරිත්‍යාගයට සීමා නොවන බව තේරුම් ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික විශේෂඥතාවයක් අවශ්‍ය නොවේ. ( අද්මිරාල් ස්ටීවන් පිටත්ව ගොස් දින කීපයකින් එක්සත් ජනපදයේ ආධාර වැඩ සටහනේ ප්‍රධානි සමන්තා පවර් ද නව ජනාධිපති සමග දුරකතනයෙන් සංවාදයක් යෙදීම මේ සම්බන්ධයෙන් වැදගත් ය.) ජාතීන්ගේ ස්වෛරීත්වය නිතර අවධාරණය කරන එක්සත් ජනපදය මානව අයිතිවාසිකම් සහ අන්තර්ජාතික නීතිය ගැන කතා කරන්නේ ඔවුන්ගේ දේශපාලන ආර්ථික අවශ්‍යතාවයන් පදනම්ව ය. ඔවුන්ගේ දේශපාලන වුවමනාවට ගැලපෙන්නේනම් මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, අන්තර්ජාතික නීතිය කඩ කිරීම ප්‍රශ්නයක් වන්නේ නැත. ලංකාවේ ස්වෛරීත්වය සහ සාගර කලාපයේ ආරක්ෂාව ගැන උනන්දු වන්නේ ඒ අනුවය. ඔවුන්ගේ දේශපාලන වුවමනාවට නොගැලපෙන රටක ස්වෛරිත්වයක් මූලික අයිතිවාසිකම් යනුවෙන් තිබිය නොහැකිය.
එක්සත් ජනපදය කිසියම් රටක ස්වෛරීත්වය සහ මූලික මානව අයිතිවාසිකම් ගැන උනන්දු වන්නේ නම් ඊශ්‍රායෙලය ගාසා තීරයේ වසරකට අධික කාලයක් තිස්සේ කෙරෙන කුරිරු මිනිස් ඝාතනය වැළැක්වීමටත් ගාසා තීරයේ පලස්තීන ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැක දීමටත් ඉදිරිපත් විය යුතුය. කවර නිර්වචනයක් අනුව හෝ ජන ඝාතනයක් වශයෙන් හැඳින්විය හැකි නාසි ජර්මනියේ හෝ සිදු නොවු ඛේදවාචකය නැවැත්වීමට එක්සත් ජනපදය කිසිදු සාධනීය පියවරක් නොගන්නේ ඊශ්‍රායෙලය ඔවුන්ගේ දේශපාලන වුවමනාව වෙනුවෙන් පෙනි සිටින නිසාය. මෙම ජන ඝාතනයට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණයේ විභාග වන නඩුවට සහයෝගයක් නොදක්වා අධිකරණයේ විනිශ්චයකරුවන්ට එරෙහිව සම්බාධක පැනවීමටත් තර්ජනය කිරීමටත් ඉදිරිපත් වන්නේ අන්තර් ජාතික නීතිය රැකීමටනම් නොවේ.
ගාසා තීරයේ පාසල් රෝහල් සහ සරණාගත කඳවුරුවලට බෝම්බ හෙළා ලක්ෂ සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවක් නැති කිරීමට ඊශ්රායෙලයට සියලු පහසුකම් සපයන එක්සත් ජනපදය අපේ වෙරළාරක්ෂාවටත් ස්වෛරීත්වය රැකිමටත් ඉදිරිපත්වීම බෙහෙවින් සැක කටයුතු ය. සමන්තා පවර් පොරොන්දුවන ආර්ථික ආධාර ගැනත් කිව යුත්තේ එයයි.
මහ බලවතුන් ලෝක ආධිපත්‍යය සඳහා මානව වර්ගයාගේ අවසානය සනිටුහන් කරන න්‍යෂ්ටික යුද්ධයකට පවා සූදානම් වන මෙම යුගයේ ජාතික ආරක්ෂාවත් ආර්ථික ස්වෛරීත්වයත් පවත්වා ගැනීමට නිවැරදි දේශපාලන දැක්මක් සහ ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගත යුතුය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024