You are currently viewing ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද ?

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද ?

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දීර්ඝ කාලයක් පුරා දැඩි අවධානයට ලක්ව තිබෙන විෂයක් ලෙස සැලකිය හැකිය. වෛද්‍ය වෘත්තියට තිබෙන සමාජ පිළිගැනීම, ආර්ථිකමය වශයෙන් පවතින ස්ථිරසාර භාවය මීට ප්‍රධානතම හේතු වශයෙන් සැලකිය හැකිය. එසේම 1980 දශකය ආරම්භයේ සිට පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින, මේ දක්වා නොනැසී පවතින අර්බුදයේ ද වෛද්‍ය අධ්‍යාපනය වැදගත් මාතෘකාවක් බවට පත්ව තිබේ.

ආසන්න යුගයේ දැඩි අවධානයක් දිනාගත් සයිටම් අර්බුදයේ සිට මේ දක්වා විවිධ මාන ඔස්සේ පැතිර ගොස් නොවිසඳී පවතින වෛද්‍ය අධ්‍යාපනයේ ගැටලු සහ අර්බුද සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව වැඩසටහනේ 175 විද්වත් සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද? මැයෙන් වූ මෙම විද්වත් සාකච්ඡාව සඳහා මහාචාර්ය රොහාන් සමරජීව, වෛද්‍ය තිමති වික්‍රමසේකර සහ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ යන විද්වතුන් සම්පත් දායකත්වය සැපයූහ. ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම විද්වත් සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කෙරිණි.

වත්මන් රජය විසින් පසුගිය දා එළිදක්වන ලද නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් සංවාදයක් මේ වන විට ආරම්භ වී ඇති අතර එහි වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වන යෝජනා සහ නිර්දේශ විශේෂ අවධානයට ලක්ව ඇත. ඊට හේතුව ලෙස සැලකිය හැකි වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දැඩි උනන්දුවයි. මෙම සංවාදය ආරම්භයේදී ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය. වෛද්‍ය අධ්‍යාපනයට පවතින දැඩි ඉල්ලුම හේතුවෙන් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට සහ තරඟකාරීභාවයට දැඩි බලපෑමක් සිදුව ඇති බව පෙන්වා දුන් ආචාර්ය සුජාතා ගමගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ වෛද්‍ය විද්‍යා විෂය ධාරාවට අධි සම්පත් සැපයුමක් සිදුවන බව පෙන්වා දුන්නාය. මෙය බරපතළ තත්ත්වයක් ලෙස තමා සලකන බවත් වෛද්‍යවරුන් බිහි කිරීම රටකට වැදගත් වන්නා සේම සමාජයීය විද්‍යා සහ මානව විද්‍යා ක්ෂේත්‍රවලින් ද වෘත්තිකයින් බිහිවීම සමාජ සංවර්ධනයට, විශේෂයෙන් රාජ්‍ය පරිපාලනය ඉතා වැදගත් බවත් ඇය පෙන්වා දුනි.

සාකච්ඡාවට ප්‍රවේශයක් ගනිමින් වෛද්‍ය තිමති වික්‍රමසේකර කියා සිටියේ වසර 20කට ආසන්න කාලයක් පුරා ලැබූ ප්‍රායෝගික හා වෘත්තීය අත්දැකීම් තුළින් ගැටලුව සාකච්ඡා කිරීමට තමා අදහස් කරන බවය. 

යම් යම් ගැටලු සහ අභියෝග හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමට ළඟා වී ඇති බව වෛද්‍ය තිමති වික්‍රමසේකර පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසුවේය.

මෙහිදී වෛද්‍ය තිමති පෙන්වා දුන්නේ ලෝකයේම වෛද්‍ය අධ්‍යාපනය එක් ප්‍රමිතියකට ලක් කිරීමට පියවර ගනිමින් සිටින බවයි. ඒ නිසා ආණ්ඩුවලට හෝ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය ලෙස වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන්න ඉදිරියේදී අවස්ථාව නොලැබෙන බවත් වෛද්‍ය තිමති වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

කොතලාවල ආරක්ෂක පීඨය හා සම්බන්ධයෙන් උද්ගතව පවතින අර්බුදය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ වෛද්‍ය තිමති වික්‍රමසේකර පෙන්වා දුන්නේ එක් කොටසක් මෙය නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් ලෙස තර්ක කරන බවයි. තවත් පිරිසක් මෙය, අධ්‍යාපනයට ඇති අයිතිය සපුරාගත හැකි, තහවුරු වන අවස්ථාවක් ලෙස තර්ක කරන බව ද ඔහු කීවේය.

වෛද්‍ය තිමති මෙසේ ද කීවේය.

මෙහිදී වෛද්‍ය තිමති පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ බිහිවන්නේ ප්‍රතිපත්තිමය හෝ විද්‍යාත්මක කාරණාවලට වඩා එම කාලයේ පවතින දේශපාලන අවශ්‍යතා මත බවයි. 2009 සිට 2022 වන විට වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව දෙගුණ වී ඇතත් රටේ ජනගහනය සහ රෝහල් පද්ධතියේ ධාරිතාවය දෙගුණයක් නොවූ බව ද වෛද්‍ය තිමති මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මෙම සංවාදයට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මෙම මාතෘකාව තමාට ඉතා සංවේදී මාතෘකාවක් බව කීවේය. තමා ද ඇතුළු වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාකාරී කණ්ඩාමක් මීට වසර 30කට පමණ පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාවලට එරෙහි සටනට නායකත්වය දුන් බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන කතා කිරීමක් කරන්නේ නම් එහි බැරෑරුම්කම මනාව වටහා ගෙන කතා කළ යුතු බව ද කීවේය.

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද ? යන මාතෘකාව නිර්මාණය වුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා සම්බන්ධ සංවාදය සහ පසුගිය දා එළිදක්වන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව යන කරුණු දෙක මත යැයි තමා විශ්වාස කරන බව වෛද්‍ය අජිත් අමරසිංහ කීවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මෙසේද කීවේය.

නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගැනත් එහි යෝජනා ගැනත් සිය අවධානය යොමු කළ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ අදාළ ප්‍රතිපත්ති රාමුවෙහි මූලික අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ ‘ලංකාව සංවර්ධිත රටක් කරා ගෙන යාම අරමුණු කර ගෙන මෙම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරන බව’ කීවේය. ලංකාව සංවර්ධිත රටක් කරා ගෙන යාමට ඇති ප්‍රධාන බාධකය ලෙස තමා දකින්නේ ‘නුපුහුණු ශ්‍රමිකයින්ගේ ‘ ප්‍රශ්නය බවත් ලංකාවේ ශ්‍රම බලකායෙන් පුහුණු ශ්‍රමිකයින් සිටිනේ 20%ක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ කියන්නේ 80%ක් පුහුණු කළ යුතුව තිබෙනවා. මම විශ්වාස කරන්නේ මෙන්න මේ පිරිස පුහුණු කරන්නේ කෙසේද ? යන ප්‍රශ්නය ගැන අපි අවධානය යොමු කළ යුතු බවයි අජිත් අමරසිංහ අවධාරණයෙන් සඳහන් කළේය.

1987දී පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම කෙරෙහි දක්වන ලද හේතු වත්මන් අදාළත්වය ගැන කරුණු පැහැදිලි කළ වෛද්‍ය අජිත් අමරසිංහ 1986දී ලංකාවේ පුරවැසියන් ලක්ෂයකට වෛද්‍යවරුන් සිටියේ 13 දෙනකු බවත් මෙම තත්ත්වය තුළ රටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කිරීමට රජයට අයත් විශ්වවිද්‍යාවලට ඇති නොහැකියාව ගැන කරුණු දක්වමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම සාධාරණීකරණය කිරීමට එවකට පැවැති රජය පියවර ගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මෙසේ ද කීවේය.

මෙහිදී ඔහු කියා දියුණු රටවල් පවා අධ්‍යාපන ආයතන පිහිටුවීම රාජ්‍ය නියාමනයට යටත් කරන අතර, තමන් කැමැති කැමැති ආකාරයට අධ්‍යාපන ආයතන පිහිටුවීමට පුද්ගලික අංශයට කිසිම අවස්ථාවක් කිසිම දියුණු රටක නොමැති බවත් ඔහු අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නේය. ඒ අනුව ලංකාව තුළ ද කිසිම ආකාරයකින් පෞද්ගලික අංශයට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට අවස්ථාව ලබා නොදිය යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට එක් වූ මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේ රෝගියා සහ වෛද්‍යවරයා අතර පවතින්නේ අතිශය සංවේදී සම්බන්ධයක් බවයි. මෙනිසා වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් සෑම රටකම පවතින බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය සමරජීව මෙසේ ද පැවසුවේය,

ලංකාවේ තත්ත්වය ගත්විට වෛද්‍ය වෘත්තියට අදාළ මෙම නියාමනය සහ ප්‍රමිතිකරණයට අදාළව ආයතනයක් ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා වෛද්‍ය අධ්‍යාපනය මේ අනුව නියාමනය සහ ප්‍රමිතිකරණය සිදුවිය යුතු බව ද එම නියාමන ආයතන වඩාත් ශක්තිමත් කළ යුතු බව ද අවධාරණය කළේය. සමාජයෙන් ඇතිවන වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම අනුව වෛද්‍යවරුන් බිහි නොකළ යුතුය යන ස්ථාවරයේ තමා සිටින බව කී මහාචාර්ය සමරජීව අධ්‍යාපනය වෙනුවෙන් පුනරාවර්තන වියදම් නොව ප්‍රාග්ධන වියදම් වැඩි කළ යුතු බව පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය වැඩි දුරටත් පැහැදිලි කළ මහාචාර්ය රොහාන් සමරජීව මෙසේ සඳහන් කළේය,

වෛද්‍ය අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් වාණිජ බැංකු පද්ධතිය හරහා දැවැන්ත ණය ප්‍රමාණයක් ඇතැම් වෛද්‍ය පීඨවලට ලබාදී ඇති බවත් එම ණය වෙනුවෙන් දැවැන්ත මාසික පොලියක් ගෙවීමට එම ආයතනවලට වර්තමානයේ සිදුව ඇති බවත් මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය. මෙහිදී ඔහු අවධාරණයෙන් කියා සිටියේ මෙවැනි තීරණ යළි නොගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවයි.

Leave a Reply