සමාජවාදී ජනතා සංසදය විසින් දේශපාලනිකව ක්‍රියාත්මක වාම සමාජ ක්‍රියාධරයන්ගේ සහභාගීත්වයෙන් වාම දේශපාලනය පිළිබඳ අධ්‍යාපනික සාකච්ඡාවක් ආරම්භකර තිබේ. “දේශපාලන අධ්‍යන කවය” නම් වූ එහි පළමුවන සාකච්ඡාව දෙසැම්බර් 03 දින, කොළඹ 02, අංක 17, බැරක්ක පටුමග එක්සත් කම්කරු සම්මේලන කාර්යාලයේ දී පවත්වන්ට යෙදින.
“ෆැසිස්ට්වාදය හඳුණා ගනිමු” යන මාතෘකාව එහිදී සාකච්ඡාවට බඳුන් කළ අතර මාතෘකාව පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සමන් පුෂ්ප කුමාර විසින් සරලව විග්රහ කෙරෙන හඬපටයක් සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් සංවිධායකයන් විසින් සහභාගීවන්නන් වෙත යොමුකර තිබිණ.
මෙම සාකච්ඡාව සඳහා, බි. ස්කන්ධකුමාර් හා ආසියානු සංචාරයක නිරත වෙමින් සිටින, බ්‍රිතාන්‍යයේ ප්‍රකට වාම ක්‍රියාධරයෙකු වූ Roger Silverman සම්බන්ධ වූ අතර, පැමිණ සිට සහෝදර සහෝදරියන් ද සාකච්ඡාව පෝෂණය කරනු ලැබීය.
“දේශපාලන අධ්‍යන කවය” පළමු දේශනයට දායකත්වය දෙමින් මහාචාර්ය සුමනසිරි ලියනගේ විසින් “ෆැසිස්ට් වාදය” සටහන් කළ සම්පිණ්ඩන සටහනක් පහත දැක්වේ.
ෆැසිස්ට්වාදය සාපේක්ෂව අලුත් සමාජ ප්රපංචයක් ය. ඒ නිසාම ෆැසිස්ට්වාදය පිළිබඳ න්‍යාය ද අලුත් ය. මාක්ස්වාදී දෘෂ්ඨි කෝණයකින් ෆැසිස්ට්වාදය ගැන කළ පැහැදිලිම විවරණය දැකිය හැක්කේ ලියොන් ට්‍රොට්ස්කි ගේ රචනාවන්හි ය. ඔහුගේ විග්රහයට අනුව, ෆැසිස්ට්වාදයේ මූලයයන් හයක් හදුනාගත හැකි වේ. අපි ඒ එක එක ගෙන සාකච්ඡා කරමු.
- ෆැසිස්ට්වාදය 17 හෝ 18 හෝ 19 හෝ සියවස්වල ඇතිවිය හැක්කක් නොවේ. එවැන්නක් ඇතිවන්නේ ධනේශ්වර ක්‍රමය ඒකාධිකාරි ධනවාදී අදියරට (epoch of monopoly capitalism) පැමිණීමෙන් පසුවය. පළමුවෙනි ලෝක යුද සමයෙන් කලකට පසු ඒකාධිකාරි ධනවාදය අර්බුදයට ගමන් කළේ ය. එය ව්‍යුහාත්මක අර්බුදයකි. ප්රාග්ධනය පැවතිය හැක්කේ එය වැඩිදියුණු වීම හරහා පමණි. මෙම ප්‍රාග්ධන අධිශක්තිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගමන් ගැන්මට ප්‍රධාන බාධාවන් ගණනාවක් දැකිය හැකිවිය. මේ නිසා ඒකාධිකාරි ධනවාදයට ඉදිරියට යාමට නම් ඒ බාධා ඉවත්කළ යුතු වේ.
- පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය, බලය වෙන්කිරීම (separation of power) සාමාන්‍ය අවධින්හිදී ධනේශ්වර ක්‍රමයට හොඳ ය. ඒ හරහා ධනේශ්වර පංතියට සෘජුව පාලනයට බලපෑම් කිරීමට හැකිවේ. එහෙත්, මෙකී ව්‍යුහාත්මක අර්බුදය සමයක එය ධනේශ්වර ආධිපත්‍යයට බාධාවකි. මේ නිසා ධනේශ්වර ක්‍රමය වඩා කේන්ද්‍රගත විධායක ක්‍රමයකට නැඹුරු වන්නේ ය. ශක්තිමත් පාලනයක් ඇවසි වේ. එවැන්නක් ඇති කිරීමට ශක්තිමත් ව්‍යාපාරයක් අවශ්‍ය වේ.
- ඒකාධිකාරි ධනේශ්වරය අර්බුදයට යෑම සමග වඩාත්ම අර්බුදයට හසුවන්නේ විවිධ මැදි පංතික කොටස් ය. ඔව්හු විපංතික (declass) වෙති. දැඩි කණස්සල්ලකට හා අපේක්ෂා භංගත්වයකට ඔව්හු හසුවෙති. මේ කොටස් ඒ නිසා වෙනත් මං සොයති. මෙම කොටස් අංක 2 යටතේ දැක්වූ ව්‍යාපාරයේ ගොදුරු හා මෙවලම් බවට ලෙහෙසියෙන් පත්වේ. ෆැසිස්ට්වාදි ව්‍යාපාර ඒ අනුව අත්‍යන්තයෙන් ම මැදි පංතික, සුළු ධනේශ්වරය පදනම් කරගත් ව්‍යාපාර වේ. මෙවන් ව්‍යාපාර ගණනාවක් මුලින් ඇති වුව ද, කලෙකදී ඒවා ඒක නායකත්වයක් සහිත එක් ව්‍යාපාරයක් බවට බොහෝවිට පත්වේ.
- මෙකී ෆැසිස්ට් ව්‍යාපාර ගොඩනැගීම හා පවත්වා ගැන්ම වියදම්කාරී වේ. රාජ්‍ය බලය ලබාගැන්මට පෙර, සහ යම් ප්‍රමාණයකට පසුවත් ඒ සඳහා මූල්‍ය සම්පාදනය කරන්නේ විශාල ධනේශ්වර සමාගම් ය.
- ෆැසිස්ට්වාදි ව්‍යාපාරවල අරමුණ වන්නේ අතිරික්ත වටිනාකම ලෙහෙසියෙන් හා බලෙන් උදුරා ගැන්මට හැකිවන පරිදි කම්කරු පංතික ව්‍යාපාරයන් සියල්ල බල රහිතකර මුලිනුපුටා දැමීම ය. ෆැසිස්ට් රාජ්‍යය සමස්තයක් ලෙස රට තුළ වැඩකරන ආකාරයේ ම තන්ත්රයක් ෆැක්ටරි තුළ ද ක්‍රියාත්මක කෙරේ.
- ධනේශ්වර සමාජයක ෆැසිස්ට්වාදය කරන්නේ අමාරු ශල්‍යකර්මයක්. ධනේශ්වර සමාජ සිරුරට මෙය ලෙහෙසියෙන් ඔරොත්තු දෙන්නක් නොවේ. ඒ නිසා මේ මැර ක්‍රමවේදය දිගුකාලීනව පවත්වාගත හැක්කක් නොවේ. ඒ නිසා ධනේශ්වර පාලනය තැත් කරන්නේ මෙකී ෆැසිස්ට් ක්‍රමවේදයන් හැකිතාක් දුරට සාමාන්‍ය නෛතික පටිපාටියට ඇතුල් කර ගැන්ම ය.
පසුකාලීනව ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයට සම්බන්ධව සිටි විද්වත්හු ෆැසිස්ට්වාදයේ පෞද්ගලික මානයන් සාකච්ඡාවට ඇතුල් කළහ. මෙහි ලා තියඩෝර් ඇඩානෝ, එරික් ෆ්‍රොම් වැනි අය කළ සම්මාදම් සිහිපත් කළ හැකිවේ.
ආචාර්ය සමන් පුෂ්පකුමාර සාකච්ඡාවට ප්‍රවේශයක් ලෙස ඉදිරිපත් කළ හඬපටය පහතින්..
- නොසැලුනු කම්කරු නායක නීල් විජේතිලක.. - December 11, 2023
- ෆැසිස්ට්වාදයේ ගති ලක්ෂණ.. [අධ්‍යාපනික සාකච්ඡාව] - December 4, 2023
- “රට රකින අපේ විරුවා” ගෝඨාභය රාජපක්ෂ ආගමන ය.. - January 26, 2022