ගැරඬින්ට මතුරා පලක් නැතැයි කියමනක් ඇත. ඒ මන්ත්‍ර ජප කිරීමෙන් නාගයින් පලවා හැරිය හැකියැයි මිථ්‍යා විශ්වාසයක් ජනවහරේ පවතින නිසා ය. ඒ කියමන වත්මන් දේශපාලකයන්ට ද පහසුවෙන්ම අදාල කර ගත හැකිය. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළත් එවකට ඔවුන්ගේ ආණ්ඩුවේ ඉහළ තනතුරු දැරු නිලධාරීන් අට දෙනෙකු මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනාවට වැරදි කරුවන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ ද ඔවුන් මන්ත්‍රවලින් පලවා හැරිය නොහැකි ගැරඬින් මෙන් දේශපාලනයෙන් ඉවත් නොවන නිසා ය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ ඇති ජාතික වැදගත්කම නිසා එය විනිශ්චය කෙළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් පස්දෙනකුගේ මණ්ඩලයකිනි. පෙත්සම්කරුවන් දක්වා ඇති ආකාරයට ඉහත සඳහන් පුද්ගලයන් මූලික අයිතිවාසිකම් කඩ කළ බව විනිශ්චයකරුවන් සිව් දෙනෙකු තීන්දු කළ අතර එක් විනිසුරුවරයෙකු ඊට වෙනස් තින්දුවක් දුන්නේය.
මෙම තින්දුව ඓතිහාසික වන්නේ සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයෙන් දක්වා ඇති නියමයන් ඉක්මවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් පදනම් කර ගෙන ලබා දීමය. රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම ඇතුළත් පරිච්ඡේදයේ 29 වැනි ව්‍යවස්ථාවේ 27 සහ 28 ව්‍යවස්ථාවල සඳහන් මූලධර්ම සහ මූලික යුතුකම් කිසිවක් හේතු කොට ගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේය යනුවෙන් ද සඳහනක් ඇත. එමෙන්ම එහි දක්වා ඇති මෙහෙයුම් මූලධර්ම සහ මූලික යුතුකම් අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරියකට ඉදිරිපත් කළ නොහැකි බවත් දක්වා ඇත.
එසේ වුවත් 27 වැනි ව්‍යවස්ථාව ආරම්භයේ දීම දක්වා ඇති ආකාරයට මෙම මූලධර්ම ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නිති පැනවිමේ දී රාජ්යානුශාසනයේ දී පාර්ලිමේන්තුව ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගුරු කොට ගනු ලබන්නේය යනුවෙන් ද සඳහන් ය. ඒ අනුව 27 වැනි ව්‍යවස්ථාවේ සඳහන් මෙහෙයුම් මුලධර්ම සහ මූලික යුතුකම් නිකමට ඇතුළත් කරන ලද දේ නොවන බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය රාජපක්ෂ සහෝදරයින් සහ ඔවුන්ගේ කැමැත්ත අනුව පත් කර ගත් නිලධාරීන් එම ව්‍යවස්ථාව යටතේ වැරැද්දක් කර ඇති බව තිරණය කෙළේය. මෙම අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳ තින්දුව සුවිශේෂි වන්නේ එම නිසාය.
විශේෂයෙන් 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව ගත් අපරික්ෂාකාරී අමනෝඥ තීරණ නිසා රටේ ආර්ථිකය කඩා වැටීම වේගවත් වී අවසානයේ දී බංකොළොත් විය. ඉන්ධන ලබා ගැනීමට, ජන ජීවිතය පවත්වා ගැනීමේ මූලික අවශ්‍යතා ලබා ගැනීමට ජනතාවට දින ගණන් පෝලිම්වල රැඳෙන්නට විය. ඉන්ධන පෝලිම්වල දින ගණන් ගත කිරීමෙන් ජීවිත හානි ගණනාවක් සිදු විය. ගාහස්ථ ගෑස්වල සංයුතිය හිතුවක්කාර ලෙස වෙනස් කිරීම නිසා ගෑස් සිලින්ඩර කුස්සියේ පිපිරී යෑමෙන් ජීවිත හානි මෙන් දේපොළ හානි ද සිදු විය. ඒ සමගම ගෑස් හිගයක් ද ඇති විය. මේ සියල්ල 27 වැනි ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මෙහෙයුම් මූලධර්ම සහ යුතුකම් ඉටු කිරීමක් නොව ඒවා පැහැදිලිවම නිර්දය ලෙස කඩ කිරීමකි. ඉවක් බවක් නැතිව අධික පොලී අනුපාත යටතේ ලබා ගත් ණය ඵලදායි ආයෝජනවල නොයෙදවීම නිසා ණය සහ පොලී ආපසු ගෙවිමට නොහැකිවීමෙන් විදෙස් මුදල අර්බුදයක්ද ඇති විය. ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා ආනයනය සඳහා මුදල් නැති විය. සැතපුම් ගණන් දිග ඉන්ධන සහ ගෑස් පෝලිම් ඇති වූයේ එම නිසා ය.
රටේ විදෙස් මුදල් හිගයට හේතු වූ තවත් වැදගත්ම කරුණක් වූයේ මෙරට භාණ්ඩ සහ සේවා අපනයනයෙන් උපයන මුදල් නිසි ආකාරයට ආපසු මෙරටට නොගෙනීම ය. එය ද විදෙස් මුදල් හිගයට හේතුවකි. දැනට සිටින මහබැංකුවේ අධිපති ද රටේ අපනයනවලින් ලැබෙන ආදායමෙන් සියයට 40කටත් වඩා ආපසු රටට නොලැබෙන බව වරක් ප්‍රකාශ කළත් පසුව එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේය. එහෙත් ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටෙග්රටි (Global Financial Integrity) ආයතනය ප්‍රකාශයට පත් කර ඇති ලේඛනයක් අනුව 2009 සිට 2017 දක්වා කාලය තුළ රටට නොගෙන්වන ලද විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 37 කට ආසන්නය. මෙම මුදල් ගෙන්වා ගැනීම නිසි ආකාරයට අධීක්ෂණය වූයේ නම් පාලනය කළ නොහැකි විදෙස් මුදල් අර්බූදයක් ඇති වන්නේ නැත.
මෙම කරුණ ඉදිරිපත් කෙළේ අපේ පාලකයන් සහ ඔවුන්ට උපදෙස් දෙන ඉහළ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි ව්‍යවස්ථාව නොසලකා කටයුතු කිරීම දිගු කලක් තිස්සේ කළ බව දැක්වීමට පමණි. මෙම පෙත්සමට අදාල වූයේ 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු කාලය යි. එම කාල පරිච්ඡේදය තුළ කරන ලද අයිතිවාසිකම් කඩකිරීම සඳහා පෙත්සම්කරුවන් වන්දියක් ඉල්ලුම් නොකළ නිසා නාමික වශයෙන් පමණක් වන්දි මුදලක් ගෙවීමට වගඋත්තකරුවන්ට නියම විය. පෙත්සම්කරුවන්ගේ ප්‍රකාශිත සහ අප්‍රකාශිත සම්පත් අනුව මෙම වන්දිය සොච්චම් මුදලකි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පාස්කු ඉදිරිදා ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ දඩ මුදල ඔහු මෙතෙක් සම්පුර්ණයෙන් ගෙවා නැති බව අධිකරණ ඇමති පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේය.
ඇත්තෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි සහ දේපොල විනාශය රුපියල් ශතවලින් ගණන් බැලිය හැකිය. එහෙත් රාජපක්ෂ සහෝදරයින් ආර්ථිකයට කළ හානිය රුපියල් ශතවලින් පමණක් ගණන් බැලිය නොහැකිය. බඩු මිල පාලනයක් නැතිව ඉහළ යෑම සහ ජනතාවගේ ආර්ථිකය කඩා වැටීම නිසා දරු පවුල්වල පෝෂණ තත්වය බිඳ වැටීමෙන් සිදු වූ සහ සිදුවෙමින් පවතින හානිය ගණන් බැලිය නොහැකිය. නිදසුනක් වශයෙන් පෝෂ්‍යදායි ආහාර නොලැබීම නිසා මන්ද පෝෂණයෙන් සහ කෘශවීමෙන් පෙළෙන ළමයෙකුගේ සම්පුර්ණ ජීවිතයම විනාශ වේ. එක්සත් ජාතීන්ගේ යුනිසෙප් ආයතනය පළ කළ වාර්තාවක් අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගෙන් සියයට 15ක්ම කෘශවීමේ තත්වයෙන් පසුවේ. ඉන් අදහස් වන්නේ ඔවුන්ට ප්‍රමාණවත් පෝෂ්‍යදායි ආහාර නොලැබීමයි. මෙම ළමයින් ජීවත් වුවද ඔවුන්ගේ ශාරීරික සහ මානසික තත්වය බෙහෙවින් දුර්වල ය. ඔවුන්ට රටට සේවයක් ඉටු කිරීමට හැකි වන්නේ ද සැකයකි. කෙටියෙන් අනාගත පරම්පරාවෙන් සියයට 15ක් සමාජයට සම්පතක් නොව බරක් වනු ඇත. මෙම අවාසනාවන්ත තත්වයට වගකිව යුතු වන්නේ රටේ පාලකයන් අනුගමනය කළ අදූරදර්ශී අමනෝඥ ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග ය. ඒවා අධිකරණ තීන්දුවේ දී සැලකිල්ලට ගත්තේද යන්න පැහැදිලි නැත.
තවත් වැදගත් කාරණයක් වන්නේ අධිකරණය වරින් වර පාලකයන්ගේ අවිචාරී අවිධිමත් ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් තීන්දු ලබා දුන් නමුත් පාලකයන් ඒවා සැලකිල්ලට නොගැනීම ය. නිදසුනක් වශයෙන් මෙම නඩුවේ ද වැරදිකරුවෙකු වූ පී බී ජයසුන්දර ගැන මීට පෙර ද අධිකරණයෙන් තින්දුවක් ලබා දී තිබිණ. එහි දි ඔහුට රු. 500,000 ක දඩයක් නියම වූ අතර නැවත කිසි දිනක රාජ්‍ය සේවයට පත් කර නොකළ යුතුයැයි කොන්දේසියක් ද පැනවිය. එහෙත් රාජපක්ෂ පාලනයේ හුරතලෙකු වූ මෙම පුද්ගලයා රාජපක්ෂ සමාගමෙන් නැවත රාජ්‍ය සේවයට බඳවා ගත්තේය. ඒ මුලින් අධිකරණ විනිශ්චය ලබා දුන් අගවිනිසුරුවරයා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසුව එම තනතුරට පත් වු නව අගවිනිසුරුවරයා ලවා වෙනස් තින්දුවක් ලබා ගැනීමෙනි. පි බී ජයසුන්දර රාජපක්ෂ සමාගම බලයේ සිටිය තාක් රාජ්‍ය සේවයේ යෙදීමට අවස්ථාව සලසා ගත්තේ ඒ ආකාරයෙනි.
එවැනි පසුබිමක් තුළ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව ඉදිරියේ කිසියම් දිනක වෙනස් නොවන්නේයැයි කිසිවෙකුට සහතිකයක් නැත. කලින් ලබා දුන් විනිශ්චයන් පූර්වාදර්ශ සේ සැලකීමේ භාවිතයක් අප අතර නැත. අධිකරණයට සැබැවින්ම ගරු කරන්නේ නම් එම සම්ප්‍රදායන් රැකිය යුතුය. අපේ රටේ අධිකරණයෙන් දඬුවම් නියම වී අභියාචනා ඉදිරිපත් කරන සිටින දේශපාලකයන් ට පෙර සේ කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය පාලනයේ යෙදිය හැකිය. අඩුම වශයෙන් අභියාචනයේ තින්දුව ලැබෙන තෙක් හෝ ප්‍රතිපත්ති සම්පාදනයෙන් බැහැර කිරීමේ භාවිතයක් නැත.
රාජපක්ෂ සහෝදර සමාගම සහ ඔවුන්ගේ අනුගාමික නිලධාරි පැලැන්තිය මූලික අයිතිවාසිකම් කඩ කළ බව තීරණය කොට ඒ සඳහා දඩ මුදලක් අධිකරණයෙන් නියම කළ ද ඔවුන්ට පෙර පරිදි දේශපාලනයේ යෙදීමටත් ජනාතව මුලා කිරීමටත් කිසිම බාධකයක් පැන වෙන්නේ නැත. මූලික අයිතිවාසිකම් රැකීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික යුතුකමක් සහ වගකීමක් වුවද පාලකයන් එය තකන්නේ නැත. දිවි හිමියන් බලයේ රැඳී සිටීම ඔවුන්ගේ පරම අවශ්‍යතාවයයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව තමා ප්‍රතික්ෂේප කරන බව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේ එම නියායෙනි.
ඇත්තෙන්ම මෙම දේශපාලකයන් සියල්ලම ජනතාව පිළිගන්නේ නැති බව පසුගිය දා එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල කළ සමීක්ෂණයක දී හෙළි විය. ඒ අනුව ජනතාවගෙන් සියයට 78ක්ම මෙම දේශපාලකයන් විශ්වාස කරන්නේ නැත. එමනිසා ජනතා අධිකරණයෙන් ද රාජපක්ෂ සහෝදරයින් මෙන්ම අනෙකුත් දේශපාලකයන් ද 27 වැනි ව්‍යවස්ථාව කඩ කළ බව තීන්දු කළ යුතුය. එහෙත් එවිට ජනතාවට නියම කළ හැකි වන්නේ දඩයක් නොව ශාපයකි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024