You are currently viewing ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂණයට දොර හැරලා – වෙරිටේ රිසර්ච් කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂණයට දොර හැරලා – වෙරිටේ රිසර්ච් කියයි

පවතින රාජ්‍ය ප්‍රසම්පාදන නියාමන රාමුව වංචා සහ දූෂණයේ යෙදෙන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට අසමත්වීමෙන් මහජන මුදල් අවභාවිතයෙන් සහ සොරා ගැනීමෙන් වැළැක්වීමට නොහැකිව ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය දා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් අවධාරණය කරයි.

අසාදු ලේඛන ගත කිරීමේ භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියානු රටවලට වඩා බෙහෙවින් පසුගාමී තත්වයක සිටින බවද එම වාර්තවේ සඳහන් වේ. දකුණු ආසියානු කලාපයේ අනෙකුක් රටවල නියාමන රාමු දූෂණ ක්‍රියාවල යෙදීම අසාදු ලේඛන ගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා ගනී. ශ්‍රී ලංකාවේ මෙන් නොව මෙම රටවල අසාදුගත කළ සමාගම් ක්‍රියාත්මක මාර්ගගත දත්ත බැංකුවකට ඇතුළත් කර ඇත.

රාජ්‍ය ප්‍රසම්පාදනය යනු ලිපි ද්‍රව්‍ය සහ පවිත්‍රතා සැපයුම් වැනි එදිනෙදා අත්පිට මුදලට මිලදී ගන්නා භාණ්ඩ සහ සේවාවල සිට ගුවන් තොටුපොළ සහ විදුලි බලාගාර ඉදි කිරීම දක්වා රාජ්‍ය අංශය විසින් භාණ්ඩ සහ සේවා මිලදී ගන්නා ක්‍රියාවලිය යි. එය දූෂණයට බෙහෙවින් තුඩු දෙන ක්‍රියාකාරිත්වයක් වන්නේ වැය කෙරෙන විශාල මුදල් ප්‍රමාණය නිසාය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ප්‍රසම්පාදනය ආණ්ඩුවේ මුළු වියදමෙන් සියයට 25ක් පමණ ය. එය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5කි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ දූෂණ සිදුවීමෙන් තරගකාරිත්වය දුර්වල කොට ගිවිසුම්ගත මිල ඉහළ යෑමට ද හේතු වේ. එය හිඟ රාජ්‍ය සම්පත් අපතේ යැවිමකි. දූෂණය නිසා රාජ්‍ය කොන්ත්‍රාත්වකින් අහිමි වන ප්‍රමාණය සාමන්‍යයෙන් කොන්ත්‍රාත්තුවේ වටිනාකමෙන් සියයට 10-25ත් අතර බව සමීක්ෂණයෙන් පෙන්නුම් කරයි.  

කොන්ත්‍රාත්කරුවන් මිල ගණන් ඉදිරිපත් කිරීමෙන් වැළැක්වීම හෝ අසාදු ලේඛන ගත කිරීම ප්‍රසම්පාදයේ දී සිදුවන දූෂණ වැළැක්වීමේ අවියකි. ( දූෂණයට ගිවිසුම්වලට අනුකූල නොවීම ද ඇතුළත් ය.)

අසාදු ලේඛන ගත කිරීම වැනි ක්‍රියා මාර්ග එක්සත් ජාතින්ගේ දූෂණ විරෝධී සන්ධානයේ දූෂණ විරෝධී අවශ්‍යතාවයන් ට අනුකූලවීම දිරිමත් කිරීමට ආණ්ඩුවට ගත හැකි වැදගත් පියවරක් සේ හඳුනා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පාලනය වන්නේ 2006 ප්‍රසම්පාදන මග පෙන්වීම් සහ කැබිනට් අනුමැතියට යටත්ව 2006 ප්‍රසම්පාදන අත්පොතෙනි. මෙම මගපෙන්වීම්/ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය, ප්‍රසම්පාදනයේ දී ආණ්ඩුවේ ආයතන විසින් පිළිපැදිය යුතු නීතිය බව ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය පිළිගෙන ඇත.

එහෙත් අසාදු ලේඛනය සකස් කිරීමේ දී දූෂණ ක්‍රියා අසාදු ලේඛන ගත කිරීමට හේතුවක් සේ යොදා ගන්නේ නැත. එය නීතියේ මෙන්ම අනුකූල වීමේ හිඩැසකි.

මගපෙන්වීම්වල 1.4.4. ඡේදය අනුව ලංසු ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී “කිසියම් ත්‍යාගයක් හෝ දිරි ගැන්විමක්”ලබා දුන් බවට වැරදිකරු වූයේනම් කළ හැකි වන්නේ ඔහු ලංසු ඉදිරිපත් කිරීමට නුසුදුස්සෙකු කිරීම පමණි. එවැනි ක්‍රියාවල යෙදුන බවට හඳුනා ගැනීම අසාදු ලේඛන ගත කිරීමට හේතුවක් වන්නේ නැත.

2019 දී ප්‍රසම්පාදන පිළිබඳ නව මගපෙන්වීම් ඇතුළත් ජාතික ප්‍රසම්පාදන කොමිසමක් යෝජනා කළ ද එම පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වූයේ නැත. එම කෙටුම් පත අනුව ද දූෂණ ක්‍රියා නිසා කොන්ත්‍රාත්කරුවෙකු දූෂිත ක්‍රියා නිසා වළක්වන්නේ එම ප්‍රසම්පාදනයෙන් පමණි. අනාගත කොන්ත්‍රාත්වලට ලංසු ඉදිරිපත් කිරීමෙන් එම කොන්ත්‍රාත්කරු වළක්වන්නේ වාස්තවික නිර්ණායක අනුව නොව ආණ්ඩුවේ ආයතනවල කැමැත්ත අනුව ය.

දකුණු ආසියාවේ රාජ්‍ය ප්‍රසම්පාදනය පාලනය වන නෛතික සහ නියාමන ක්‍රම සමාලෝචනය කිරීමේ දී ශ්‍රී ලංකාව ඉතාමත් පසුගාමී තැනක සිටින බව පැහැදිලි ය. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින නේපාලය සහ පාකිස්ථානය වංචා සහ දූෂිතවල ක්‍රියාවල යෙදීම කොන්ත්‍රාත්කරුවන්/ සැපයුම්කරුවන් අසාදු ලේඛන ගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස පිළිගෙන ඇත.

ක්‍රියාත්මක කිරීමේදී ද ශී ලංකාව පසුගාමි තත්වයක සිටී. නේපාලය, බංග්ලාදේශය, පාකිස්ථානය මාලදිවයින භූතානය සහ ඉන්දියාව අසාදු ලේඛන ගත කළ/සම්බාධකවලට ලක් වූ කොන්ත්‍රාත්කරුවන්/සැපයුම්කරුවන් මාර්ගගත දත්ත ගබඩාවක ප්‍රදර්ශනය කෙරේ. මෙම රටවල් සියල්ලේම ස්වාධීන ප්‍රසම්පාදන අධිකාරි නොමැකි වුවද අසාදු ලේඛන ගත කළ/ සම්බාධක පනවා ඇති කොන්ත්‍රාත්කරුවන්/සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු මාර්ගතගතව ප්‍රකාශ කිරීමට එය බාධාවක් වී නැත.

2022 ඔක්තෝබර් 31 සම්මත කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම පිහිටුවීම ද ඇතුළත් වන නිසා අසාදුගත කරන ලද සමාගම් අදාල සියලු විස්තර සහිතව මාර්ගගතව ලබා දීම සහ එම තොරතුරු යාවත්කාලින කිරීම ප්‍රමුඛතාවයක් විය යුතුය. 

Print Friendly, PDF & Email

Leave a Reply