You are currently viewing ලංකාවට ඇන්දූ  අයිඑම්එෆ් ජංගිය.. [2 කොටස]: ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම නොහොත් නව දූෂණ විරෝධී කොමිසම

ලංකාවට ඇන්දූ  අයිඑම්එෆ් ජංගිය.. [2 කොටස]: ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම නොහොත් නව දූෂණ විරෝධී කොමිසම

මූල්‍ය අරමුදල  ලංකාව ඇන්දීම වර්ණවත් කර ඇත්තේ දූෂණ විරෝධී පනතක් ගෙන ආ යුතු බව අනිවාර්ය කරමිනි. ඒ මෙසේය:

..ශ්‍රී ලංකාවේ පරිපාලනය සහ දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීම දිගු කාලීන ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සහ පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. රාජ්‍ය ක්‍රියාකාරකම් කිහිපයක පාලන දුර්වලතා සහ දූෂණය ඉහළම මට්ටමක පවතින බැවින් දූෂණයට එරෙහිව ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් සකස් කළ යුතුය..”.

එමගින් අපේක්ෂිත කරුණූ මෙසේය:

“..(i)ස්වකීය අභිප්‍රාය මත පමණක් විමර්ශන ආරම්භ කිරීමට බලය පැවරී ඇති දූෂණ විරෝධී කොමිසමක් නිර්මාණය කිරීම;
(ii) රාජ්‍ය නිලධාරීන් විසින් වත්කම් හෙළිදරව් කිරීම පිළිබඳ G-20 ඉහළ මට්ටමේ මූලධර්මවලට ( එම මූලධර්ම ඉංග්‍රිසි බසින් මෙතැන ඇත) අනුකූලව රාජ්‍ය නිලධාරීන් සඳහා වත්කම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව,
(iii) පුද්ගලික ළැදියාවන්, රාජ්‍ය තීරණ මත බලපෑම වළක්වා ගැනීම සඳහා ප්‍රමිතීන් සහ ක්‍රියා පටිපාටි පැහැදිලිව තහවුරු කරන ශක්තිමත් ළැදියාවන් අතර ගැටුම් පිළිබඳ පද්ධතියක්;
(iv) වත්කම් සහ ගැටුම් ප්‍රකාශ ලබා ගැනීම, කළමනාකරණය කිරීම, සත්‍යාපනය කිරීම සඳහා මධ්‍යගත පද්ධතියක් නිර්මාණය කිරීම; සහ
(v) වත්කම් ප්‍රකාශ මහජනයා වෙත බෙදා හැරීම..”‍

දෙන්නේ සංස්කරණය කල වත්කම් ප්‍රකාශ !

දැනටමත් “වත්කම් ප්‍රකාශ මහජනයා වෙත බෙදා හැරීම”‍යන කොටස පනතින් හැලී ඇත්තේ මෙසේය:

“..මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මගින් ජනතාවට ප්‍රවේශ විය හැකි පරිදි සෑම වත්කම් සහ බැරකම් ප්‍රකාශයක ම සංස්කරණය කළ පිටපතක් කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා  එය ඉදිරිපත් කළ දින සිට මාස තුනක් ඇතුළත ස්වයංක්‍රීයව ම නිකුත් කළ යුතු ය…” (පිටුව 92)

සංස්කරණය කල යුත්තේ කෙසේදැයි පනතේ දක්වා නැති අතර ප්‍රකාශයේ සඳහන් දේපල ඇත්තේ කොහිද සහ මුල්‍ය වටිනාකම්හි සත්‍ය අසත්‍ය බව දැන ගැනීමේ කිසිදු තොරතුරක් එහි අඩංගු නොකළ යුතු බව දක්වා තිබේ!

රනිල් රාජපක්ෂ සහ  මූල්‍ය අරමුදල එක්වී මෙරට ජනයා කඩේ යවන්නේ එලෙසය.

“..දූෂණ සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදලට බලය පවරන රනිල් රාජපක්ෂ යුද අපරාධ සෙවීමට එක්සත් ජාතීන්ගේ විශේෂ යාණ්ත්‍රණයට විරුද්ධය..”

මාර්තු 31 දාතම දරන රනිල් රාජපක්ෂගේ දූෂණ විරෝධී පනත මෙසේ සඳහන් කරයි:

“..දූෂණයට එරෙහි සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන්, ප්‍රමිති සහ ප්‍රශස්ත පරිචයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ නිශ්චිත විධිවිධාන බලාත්මක කිරීම සඳහා ද; .. දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම සහ මහජනතාව අතර දැනුවත් බව ඉහළ නැංවීම සඳහා ද..”

යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නැතැයි බුර බුරා පනින රනිල් රාජපක්ෂ ආණ්ඩුව මෙම පනතෙහි පූර්විකාවෙහිම කියන්නේ තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුව කටයුතු කරන බවය!

එපමණක් නොව රනිල් – රාජපක්ෂ හවුල දැන් මෙරට වංචා දූෂණ ගැන සොයා ඒවාට යෙදිය යුතු පිළියම් තීරණය කිරීම තවත් අන්තර් ජාතික සංවිධානයක් වන මූල්‍ය අරමුදලට බාර දී තිබේ.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම මූල්‍ය ආයතනයයි!

“..ලංකාන්ඩුවේ බලධාරීන්ගේ ඉල්ලීම පරිදි මූල්‍ය අරමුදලේ ආණ්ඩු රෝග විනිශ්චය (GD) මෙහෙයුම විසින් ශ්‍රී ලංකාවේ දූෂණයේ බරපතළ  තත්වය පරීක්ෂා කර සාර්ව ආර්ථික වශයෙන් තීරණාත්මක වන ප්‍රධාන පරිපාලන දුර්වලතා සහ දූෂණ අවදානම් හඳුනා ගනු ඇත..”

ගිවිසුමට අනුව එය තක්සේරු කරනු ඇත්තේ “දූෂණ අවදානම් සහ ජාත්‍යන්තර කැපවීම්වල ස්වභාවය අනුව දූෂණ විරෝධී රාමුවේ සහ ප්‍රතිපත්තිවල ප්‍රමාණවත් භාවය” පමණි.

මූල්‍ය අරමුදලේ එම මෙහෙයුම දූෂිත ආයතන, පුද්ගලයන් හෝ ගනුදෙනු හඳුනා නොගන්නා ඇති බව ගිවිසුමෙහි පැහැදිලිව සඳහන් වේ.

හොරු නිදැල්ලේ – අරමුදල කැදැල්ලේ

කෑල්ල එයයි.

රනිල් රාජපක්ෂ සහ මූල්‍ය අරමුදල එකඟ වී ඇත්තේ දූෂණ සෙවීමේ එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදලේ  මෙහෙයුම විසින් දූෂිත ආයතන හෝ පුද්ගලයින් හෝ එවැනි වංචා දූෂණ ගැන වාර්තා නොකළ යුතු බවටය.

මූල්‍ය අරමුදලේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ මහ බැංකුවයි. අවශ්‍ය වූයේ නම් එහි  සිදුවූ බැදුම්කර වංචාව සහ ඊට වගකිවයුත්තන්ද සොයා ඊට පිළියම් යෝජනා කරන ලෙස ඉල්ලා සිටින්නට ඉඩ තිබුණි.

“..මූල්‍ය අරමුදලේ දූෂණ විරෝධී රෝග විනිශ්චය විච්ඡේදනය  වරදකරුවන් නොසොයන අරුමෝසම් ව්‍යාපෘතියකි. මූල්‍ය අරමුදලේ මෙවැනි යෝජනා නිසා දූෂණ වංචා නතර වූ රටක් ලෝකයේත් ලොවි ගහේත් නැත..”

රනිල්ගේ බැදුම්කර වංචාවේ අලාභය බිලියන 145ක් 

රාජපක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලද්දේ

“..වෝහාරික විගණන වාර්තාවට බැදුම්කර වංචාව නිසා අනුව රජයට සිදු වී ඇති අලාභය රුපියල් බිලියන 6.63 සිට රුපියල් බිලියන 9.68 දක්වා අතර අගයක් විය හැකි බවය. නමුත් සමස්ත ආර්ථිකයට වූ හානිය ඉතා විශාල අතර එය ගණනය කිරීම අපහසු වුවත්,  පොලී අනුපාතය වැඩිවීම නිසා ගණනය කර ඇති එම අලාභය රුපියල් බිලියන 145ක් බව  කීමට හැකිය..”

කියාය.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ඇත්ත බලය තිබෙන රාජපක්ෂවරුන්ට අනුව රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් සහ රවි කරුණානායක මුදල් ඇමති ලෙස සිටියදී මහ බැංකුව හරහා කරන ලද අලාභය  රුපියල් බිලියන 145කි. එසේ නමුත් මූල්‍ය අරමුදලේ දූෂණ විමර්ශනය එවැනි සොරුන් ගැන සොයන්නේ නැත.

මූල්‍ය අරමුදලේ දූෂණ විරෝධී රෝග විනිශ්චය විච්ඡේදනය  වරදකරුවන් නොසොයන අරුමෝසම් ව්‍යාපෘතියකි. මූල්‍ය අරමුදලේ මෙවැනි යෝජනා නිසා දූෂණ වංචා නතර වූ රටක් ලෝකයේත් ලොවි ගහේත් නැත.

බැදුම්කර වංචාවේ හොරු, චීන ආධාර ගසා කෑ හොරු යනාදී පවුලේ හොර කණ්ඩායම  මෙන්ම තමාද බේරීමට රනිල් රාජපක්ෂ මූලය අරමුදල එකඟ කර ගෙන සිටින්නේ එලෙසය! මෙය එක්තරා අන්දමකට හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි.

හැංගූ සල්ලි -නොගෙනෙන කල්ලි

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයටය.

දශ ලක්ෂ ගණනින් පාරට බැස “හොරා කාපු- රට හංගපු මුදල් ගෙනපියව්” යනුවෙන් රටම හෙල්ලුම් කැවූ ඒ  සටන් පාඨය මෙම ‘ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත”ට ඇතුලත්ව නැත. එපමණක් නොව මහා පරිමාණ ව්‍යාපාරිකයින් විසින් එතෙර සඟවා ඇති ඩොලර් බිලියන 40 ගැන ද මෙම පනතට කළ හැකි කජ්ජක් නැත.

“..දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UNCAC) පූර්ණ අනුකූලතාවය සහතික කිරීම සඳහා, මූල්‍ය අරමුදලෙහි තාක්ෂණික සහාය ඇතිව විස්තීර්ණ වත්කම් ප්‍රතිසාධන ප්‍රතිපාදන ආවරණය වන අතිරේක පනත් කෙටුම්පතක් 2024 මාර්තු වන විට හඳුන්වා දීමට බලධාරීන් සැලසුම් කරයි.. UNCAC විසින් අවශ්‍ය වන පරිදි වත්කම් ප්‍රතිසාධන එනම් යළි ලබා ගැනීමේ ප්‍රතිපාදන, වරදකරු වූ පසු ඔවුන්ගේ විදේශ වත්කම් හඳුනා ගැනීම, සොයා ගැනීම, තහනම් කිරීම, නැවත ගෙන ඒම සඳහා පියවර ඇතුළත් වේ..”

මේවා නියම ‘අපි නොදන්න ලයිව්’ ය.

විදේශ රටවල සඟවා ඇති සොර දෙටු  පවුලේ වත්කම් සොයා ගැනීමට බැරි වන පරිදි යළි වෙනත් අක්වෙරළ බැංකු කරා හුවමාරු කිරීමට දැන් දෙවසරක කාලයක් පැන්ඩොරා සහ උගන්ඩා සොර මුලට රනිල් රාජපක්ෂ සහ මූල්‍ය අරමුදල ලබා දී තිබේ.

කැළනි ගඟ අසබඩ අයිඑම්එෆ් බයිලා

මේ අයිඑම්එප් බයිලා ගැයෙන්නේ කැළණි ගඟ අසබඩ බැසිල් සහ අයෝමා රාජපක්ෂ එක්ව තැනූ  දැවැන්ත බංගලාවට අයිතිකරුවෙක් නැති බව අධිකරණයට තීරණය කිරීමට  සිදු වූ රටකය. සිල් රෙදි බෙදා හිරේ ගිය රාජපක්ෂ හෙංචයියන්, අභියාචනාවකින් නිදහස් වූ රටකය.

මෙන්න ලැස්තුව -හොරුන්ගේ කඩුත්තුව

රාජපක්ෂ සමාගමට විරුද්ධ දූෂණ නඩු වලදී සාක්ෂිකරුවන්  කලින් දුන් සාක්ෂි බොරු බව කියා, චුදිතයාගේ පැත්තට සාක්ෂි දී අනෙත් පැත්ත ගසා හොරු ගෙදර යවන රටකය.

රනිල් රාජපක්ෂගේ ගජ මිතුරකු වූ  මහ බැංකු අධිපති තනතුරට ඔහු විසින්ම පත් කළ අර්ජූන් මහේන්ද්‍රන්ට බිලියන ගණනක බැඳුම්කර වංචාව හමුවේ අධිකරණයට පොල්ල තබා සිංගප්පූරුවට පැන සැප විදින්නට සැලැස්වූ රටකය.

ඒ වංචාවේ හවුල්කරුවකු වූ අර්ජූන් ඇලෝසියස්ගෙන් නොමිලයේම පදංචියට නිවසක් ලබා ගත්, තමා ඒ බව නොදන්නා බව අධිකරණය කී, එම වංචාව සිදු වන සමයෙහි මුදල් ඇමැති වූ රවි කරුනානායක වත්මන් ජනාධිපතිගේ පක්ෂයේ සංවිධායක වී සිටින රටකය.

එමෙන්ම තවත් එවැනි දූෂිතයකු බවට නමක් පට බැදී ඇති දේශපාලනඥයකු  ජනාධිපතිගේ පක්ෂයේ සභාපති වී ඇමැතිකමක් දරන රටකය.

කොටින්ම කිවහොත් රාජපක්ෂ දේශපාලන සමාගමයේ කප්පිත්තා වන බැසිල් රාජපක්ෂට මිස්ටර් ටෙන් පසසෙන්ට් නොහොත් සියයට දහය හොරා කන්නා යැයි නමක් පටබැදී ඇති රටක ය.

ලක්ෂ 45ක් අල්ලස් ගත් බවට අධිකරණයෙන් වරදකරු වූ පුද්ගලයකු ඇමැති ධූරයක් සහ අ‍ාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ධූරය දරන රටකය. පාර්ලිමේන්තුවෙහි අරක්කු තැබෑරුම්, වැලි ජාවාරම් සහ වෙනත් ජාවාරම්කරුවන් පිරී ඇති රටකය.

සතොස හොරා කෑ එකකු ඇමැතිධූරයක් දරන රටකය.

ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලු බව ප්‍රසිද්ධියට පැමිණුනු කළ කුසලා සරෝජිනී පත් කර ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි, කියූ ඒ පැත්ත මේ පැත්ත පනිමින් 1994 සිටම ඇමැති දූර දරන නිමල් සිරිපාල නම්  බඩ කඩි ඇමතියකු සිටින රටකය.

සියල්ලටම වඩා බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගෙන ආ  යුතු පුද්ගලයකු පිං ජනාධිපති වී සිටින රටකය.

මැතිවරණ සඳහා නැතැයි කියන මුදල්, ජනපති අගමැති බංගලා වෙනුවෙන් පමණක් නොව රනිල් රාජපක්ෂගේ ජීවමාන මනෝකාය වන සාගල රත්නායකට විසින් මසකට ලක්ෂ හතරක වැටුපක් ගෙවන රටකය.

මෙවැනි පාලනයක් යටතේ මූල්‍ය අරමුදල නොව ශක්‍ර දේවේන්ද්‍රයා ගෙනාවත් දූෂණ විරෝධී පනතක ඇත්ත වටිනාකම පස්ස පිසදැමීමට ගන්නා කඩදාසි රොල් වලට සමාන වනු ඇත.

අයිඑම්එෆ් කෙකර ගෑම – බිත්තර නැති කෙකර ගෑම

වංචා දූෂණ නැති කිරීමට මූල්‍ය අරමුදල කෙකර ගාන්නේ අන්ත දූෂිතයින්ගෙන් පිරි පාලනයක් යටතේය. එක්කෝ මූල්‍ය අරමුදලට ඔල්මාදය. නැත්නම් අප ඔල්මාද කිරීමට කැස කැවීමකි.

වංචා දූෂණ වැළැක්වීමට නම් මූල්‍ය අරමුදල ගනුදෙනු කළ යුතු වූයේ ඒ සඳහා නව ජනවරමක් ඇති ආණ්ඩුවක් සමඟය. රටම ගෑස් පොලිම්වල දින ගණන් දුක් විදිත්දී සිය නිවසේ ගෑස් බැරල් 80ක් ගොඩ ගසා ගෙන සිටි දූෂිත මංත්‍රීන්ගේ ආණ්ඩුවක් සමඟ නොවේ.

තවත් හොඳ විහිළුවක් මූල්‍ය අරමුදලේ ගිවිසුම් ලිපියේ තිබේ.

කොමිසන් බය කර – අලුතෙන්  දාමුලු

එනම් නිසි පරිදි දූෂණ විරෝධී කොමසාරිස්වරු පත් කිරීමටද රනිල් රාජපක්ෂ මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති බවය. ඒ කෙසේද යත්,

“..එපමණක් නොව, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය විසින් දක්වා ඇති පරිදි වන පරිදි ස්වාධීන කොමිෂන් සභා සාමාජික සාමාජිකාවන් තෝරා ගැනීම සඳහා විනිවිද පෙනෙන සහ කුසලතා මත පදනම් වූ ක්‍රියාවලියක් නව දූෂණ විරෝධී නීතිය පැහැදිලිව විස්තර කළ යුතුය.”

මේ බයිලා ගැයෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම තමා හමුවට කැදවා එය බෙදීමට තැත් කළ, මානව හිමිකම් කොමිසමට තර්ජනය කරන, උපයෝගිතා කොමිසම තම අත්ලට ගත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ක්‍රියා කිරීමට විරුද්ධව පාර්ලිමේන්තුව පොලඹවන රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව ගැනය!

නඩුත් හාමුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මෙවැනි කපටිකම් වලටය.

එන්න පනේ – ලන්න මෙහේ

ගෙදර යන ගමන් “එන්න පනේ” යැයි කැදවා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කල සිය මිතුරියකට අල්ලස් කොමිසම බාර දුන් රටකය. එම අල්ලස් කොමිසම විසින් රාජපක්ෂ කල්ලිය ඇතුළු තවත් අයවලුන්ට අල්ලස් සහ දූෂණ සම්බන්ධයෙන් පවරන ලද නඩු 40කට ආසන්න ප්‍රමාණයක් විසි කරන ලද  රටකය. එවැනි පාලනයක් යටතේ දූෂණ විරෝධී කොමිසමකට ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ දෙනු ඇතැයි, මූල්‍ය අරමුදල කල්පනා කරන්නේ  නම් එයට අත්තන ඇට  කැවී තිබිය යුතුය. ඊටත් වඩා මෙම දූෂණ විරෝධී පනතද සිය නඩු බැලවිය යුත්තේ නීතිපති දෙපාර්තමෙන්තුව හරහාය. ඒ කෙසේද යත් මිලියන 1200ක් වටිනා මත් ද්‍රව්‍ය අල්ලා ගත් පසුත්, ත්‍රි-පුද්ගල මහාධිකරණයක් නඩුව ඇසූ පසුත් නඩුව ඔප්පු කර ගැනීමට බැරි වූ ආණ්ඩුවේ බළල් අතක් වන නීතිපති හරහාය! මෙම පනත යටත් ස්වාධීන අභියෝජක කාර්‍යාලයක් ස්ථාපිත කර නැත්තේ, නීතිපති ලවාම නඩු බැලවීමටය.මෙම පනත මගින් කරන්නට යන ඇත්ත දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මෙසේ පවසයි:

සාගර කට – කියන ඇත්ත

..රට බේරා ගත් ජාතික නායකයින් කිසිදු පදනමක් නොමැතිව හොරු යැයි ලේබලය අලවා දේශපාලනයෙන් ඉවත් කරන තත්වයක් ශ්‍රී ලංකාවේ පවතිනවා. එමගින් මේ රට විනාශ කළ, රටට වැඩදායී කිසිවක් නොකළ අය ඉස්මතු වෙනවා. වංචා දූෂණවලට සම්බන්ධ බවට දේශපාලනඥයන්ට අසත්‍ය චෝදනා එල්ල කරන පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව දූෂණ විරෝධී නීතියට ප්‍රතිපාදන ඇතුළත් කරනවා..”

මෙමගින් නොකියා කියන්නේ රාජපක්ෂ පවුල වැනි පිරිස් දූෂිතයින් යැයි චෝදනා කරන සියලු දෙනාට නඩු පවරන බවයි. මෙම වගන්තිය දැනට පවතින අල්ලස් සහ දූෂණ පනතේ ද තිබෙන බවට බෙරිහන් දෙන නව ලිබරල්වාදී සමරජීවලා අමතක කරන්නේ අද පවතින්නේ මෙරට බිහිවූ දරුණුම මර්දනකාරී, මැතිවරණ කල් දමන, ඊනියා ත්‍රස්ත විරෝධී පනතක් මගින් රටම සිර කඳවුරක් කිරීමට සැරසෙන ආණ්ඩුවක් බවයි.

මෙරට සිටින දීප්තිමත් දේශපාලන විචාරකයකු වන ජයදේව උයන්ගොඩ පෙන්වා දී ඇති පරිදි.  ත්‍රස්ත විරෝධී පනත, මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ගෙන එන මර්දන මෙවලමකි. එනයින්ම දූෂිතයින්ගෙන් පිරි රනිල් රාජපක්ෂ ආණ්ඩුව මෙම දූෂණ විරෝධී පනත ද මර්දනයේ මෙවලමක් කර නොගතහොත් පුදුමය..!

Print Friendly, PDF & Email

Leave a Reply