You are currently viewing වොෂින්ටන් කුමන්ත්‍රණය සහ එයරොෆ්ලොට් තහනම..

වොෂින්ටන් කුමන්ත්‍රණය සහ එයරොෆ්ලොට් තහනම..

එයරොෆ්ලොට් සමාගම සහ අයර්ලන්ත සමාගමක් අතර ඇති ව්‍යාපාර ආරවුලක්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැවැන්ත අර්බුදයකට හෙලා ඇත්තේ ය. අනුන්ගේ ආරවුලක් තමන්ගේ රෙද්ද අස්සට දමා ගැන්මට තරම් මේ ආණ්ඩුවේ බලධාරීහු මුග්ධයන් බවට පත්ව ඇත්තාහ. අගමැති, විදේශ ඇමති හා වරාය හා ගුවන් තොටුපළ ඇමති යන තිදෙනා ම මෙම සිදුවීමේ දී සහ ඉන් පසුව ක්‍රියාකර ඇත්තේ තොත්ත බබ්බුන් ලෙස යැ යි කිසිවෙකු තර්ක කරන්නේ නම් එය ඇත්තක් නොවේ. මෙය පැහැදිලිව ම වොෂින්ටන් කුමන්ත්‍රණයක තවත් පියවරකි. පහුගිය මාස කිහිපය තුළ සහ විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ශ්‍රීලංකාවේ විදේශ ප්‍රතිපත්ති දිශානතිය පෙන්වන්නේ, ශ්‍රී ලංකාව වේගයෙන් සමීර් අමින් විසින් සදහන් කළ ත්‍රිත්වයේ (Triad) කක්ෂය තුලට තල්ලු කරමින් සිටින බවකි. යැංකි ඩිකී යැ යි නම් ලද ජේ ආර් ජයවර්ධනට කරගත නො හැකි වූ දෙය ඔහුගේ බෑණනුවන් විසින්, රාජපක්ෂ පවුලේ නොමසුරු ආධාරය ලබා ක්‍රියාත්මක කරමින් සිටින බව තේරුම් ගැන්ම දුෂ්කර නොවේ. සමීර් අමීන් ත්‍රිත්වය ලෙස නාමකරණය කළේ, ඇමරිකා එක්සත් ජනපදය, බටහිර යුරෝපයේ රටවල් සහ ජපානය යි. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලෙහෙසියෙන් ත්‍රිත්වයට ඈදිය හැකි වේ. ලෝකයේ කිසිදු රටක් මෙකී ත්‍රිත්වයේ කක්ෂයෙන් පිටට ගමන් කිරීම ත්‍රිත්වය විසින් නොඉවසනු ලබන්නේ යැ යි සමීර් අමීන් අවධාරණය කරන්නේ ය. එසේ කක්ෂයෙන් පිටතට යෑමට තැත්කරන හැම රටක්ම හීලෑකොට කක්ෂය තුළට ගෙන ඒම, ත්‍රිත්වය විසින් කරනු ලබන්නේ විවිධ ක්‍රමෝපායන් භාවිතයට දැමීමෙනි.

රුසියාව සහ චීනය සමාජවාදී රටවල් ලෙස සාවද්‍ය නාමකරණයකට නොගියද, එම රටවල් දෙක ත්‍රිත්වයේ මෙකී සැලසුමට එරෙහිව ක්‍රියාත්මකවන්නාහ. මේ නිසාම, ඒ රටවල් දෙක වටකොට පහරදීමට ත්‍රිත්වය අර අදින්නේ ය. ශ්‍රී ලංකාවේ වාණිජ අධිකරණය මගින් එයරොෆ්ලොට් ගුවන් යානය රුසියාව බලා පෙරළා පිටත්වීම වැළැක්වීමට වාරණ නියෝගයක් නිකුත් කිරීමත්, එය බාරදීම සඳහා ෆිස්කල්වරයාගේ කඩිමුඩියත් අප තේරුම්ගත යුතුවන්නේ, මෙකී ජාත්‍යන්තර සන්දර්භය තුළ පිහිටවමින් ය.

දියාගෝ ගාෂියා දූපත ගැන ජාත්‍යන්තර අධිකරණයක් දුන් නඩු තීන්දුව සමග, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දීය සාගර කලාපයේ තම අණසක නොකඩවා ගෙනයාම සදහා හොදම කේන්ද්‍රය ලෙස දකින්නේ ශ්‍රීලංකාව ය. පසුගිය වසර 7 තුළ ඇමරිකාව ඒ සඳහා විවිධ පිඹුරුපත් සකස් කළේ ය. ශ්‍රී ලංකාවේ මහජන විරෝධය නිසා මෙරට ආංඩුවලට ඒවායේ කොටස්කරුවන්වීම අසීරු විය. ශ්‍රීලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය එහි උස මහතටත් වැඩියෙන් අතිශයෝක්තිකරණය කොට චිත්‍රණය කරමින් මේ උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව ත්‍රිත්වයේ කක්ෂය තුළට ගෙන ඒමට ය. චීනය සහ රුසියාව අධිරාජ්‍යවාදී මෙම පරිශ්‍රමයට බාධාවකි. මේ නිසා ශ්‍රී ලංකාව චීනය හා රුසියාව සමග ඇති මිත්‍ර සම්බන්ධතා පලුදු කිරීම මෙහිලා අත්‍යවශ්‍ය වේ. අවාසනාවකට මෙන් ඉන්දියාව මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ ත්‍රිත්වයේ කොටස්කරුවෙකු ලෙස ය.

මේ අනතුර තේරුම් ගැන්මට මෙරට විදේශ අමාත්‍යවරයාට දැනුමක් මෙන්ම පිට කොන්දක් ද නැත. අගමැතිවරයා සැබවින්ම මේ අනතුර බිහිකිරීමේ පළමුවෙනි විත්තිකරුවා වන්නේ ය.

ආර්ථික අර්බුදය දඩමීමා කර ගනිමින්, අධිරාජ්‍යවාදී ත්‍රිත්වය, ඉන්දියාව සහ මෙරට ප්‍රභූ පැලැන්තිය උත්සාහ ගන්නේ එක් අතකින් ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ වහලෙකු බවට පත් කිරීමට ය. අනෙක් අතින් ශ්‍රී ලංකාව ත්‍රිත්වයේ කක්ෂය තුළට ගෙන ඉන්දීය සාගර කලාපයේ අධිරාජ්‍යවාදී ග්‍රහණය ශක්තිමත් කිරීමට ය. මෙහිලා, ශ්‍රී ලංකාවේ තේ අපනයනය තර්ජනයකට ලක්කොට රුසියානු සංචාරක පැමිණීම අත්‍යවශ්‍ය ය. එමෙන්ම, සාපේක්ෂව අඩුමිලකට රුසියාවෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කිරීමට ඇති ඉඩකඩ ද ඇහිරිය හැක. එසේ වීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳුමකට ගෙන තවත් අපහසු කෙරෙන අතර, එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මේ රට අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරක් බවට පත්වීමය.

Print Friendly, PDF & Email

Leave a Reply