තම කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඉන් තෝරා ගත් කීප දෙනකු නැවත ඇමති තනතුරුවලට පත් කර ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රපාතයකට වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ආර්ථික විශේෂඥ මණ්ඩලයක් පත් කර ගත්තේ ය. ඊට අමතරව නිවාඩ් කබ්රාල් ගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ මහ බැංකුවේ අධිපති තනතුරට විශ්‍රාම ගිය නියෝජ්‍ය අධිපතිවරයෙකු පත් කර ගත්තේ ය. විෂය දැනුම සහ ක්ෂේත්‍රයේ ප‍්‍රවීනතාවය අනුව මෙම ආර්ථික මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනා සහ මහ බැංකුවේ නව අධිපතිවරයා ගැන සෑහීමට පත් විය හැකිය. එම පත්වීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් කළ පත්වීම්වලට වඩා බෙහෙවින් වෙනස් ය. එමෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල පිළිගැනීමට ලක් වෙනු ඇත.
මහ බැංකුවේ නව අධිපතිවරයා පුවත් පත් අමතමින් ශීඝ්‍රයෙන් විනාශය කරා යන ආර්ථිකය ගොඩ ගැනීම වහාම කළ හැකි නොවන නමුත් පැහැදිලි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කර නිශ්චිත කාල සීමාවක් ඇතුළත එය කළ හැකි බවට විශ්වාසය පළ කෙළේය. එමෙන්ම මහ බැංකුව දේශපාලන බලයට නතු නොවී ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව තමා තරයේ විශ්වාස කරන බවද අවධාරණය කෙළේය.
ප්‍රශ්නය පැන නගින්නේ එතැනින් ය. ගෝඨාභය හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකු යටතේ ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකිද?. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත් වූ දා සිටම ස්වාධීන වූයේ ඔහු පමණි. ස්වාධීන වූයේ මෙතෙක් පැවති නීති රීති සහ සම්ප‍්‍රදායන්ගෙනි. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා නොසලකා හැර ඉන් ස්වාධීන වූයේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමා කැමති ආකාරයට වැඩ කිරීමට ඇති එකම බාධාව බව පවසා ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වූ පොහොට්ටුවේ සහ රුපියල් ශත කෙරේ වැඩි විශ්වාසයක් රැඳවූ විපක්ෂයේ මංත‍්‍රීවරුන්ගේ සහාය ඇතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කෙළේය.
2019 නොවැම්බර් මස පැවැත් වූ ජනාධිපතිවරණයෙන් ජය ගත් ඔහු තම පාලනයට යටත් කර ගත නොහැකි පාර්ලිමේන්තුව හැකි පළමු අවස්ථාවේම විසුරුවා හැරියේය. එහෙත් රටේ පැවති කොවිඩ් වසංගත තත්වය නිසා ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට විසුරුවා හැර මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වීමට නොහැකි විය. එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කළ යුත්තේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීම ය. එහෙත් නීති රීති නොතකන ගෝඨාභය රාජපක්ෂ එය කෙළේ නැත. ඔහුගේ ක්‍රියා පටිපාටිය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් හේතු නොදක්වාම ප‍්‍රතික්ෂේප කෙරිණ. ගෝඨාභය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීම ආරම්භ කෙළේ ඒ ආකාරයෙනි.
ඉන් පසුව පවතින පරිපාලන නීති රීති උල්ලංඝනය කිරීමට නිලධාරීන් පෙළඹ වූයේ තමා කියන දේ ලිඛිතව නොවන නමුත් නියෝගයක් සේ ක්‍රියාත්මක කළ යුතු බව තර්ජනාත්මක ව පවසමිනි. එවැනි ප්‍රකාශයක් කෙළේ ඔහුගේ ප්‍රචාරාත්මක වැඩ පිළිවෙළක් වූ ගමත් සමග පිළිසඳර වැඩ සටහනක් පැවැත් වූ අවස්ථාවක දීය. ප්‍රදේශයේ කණ්ඩායමක් තමන් වගා කරන ඉඩම්වලට බලපත්‍ර ලබා දෙන්නේ නැති බව ඔහුට පැමිණිලි කළ විට ඔහු එහි සිටි නිලධාරීන්ගෙන් එසේ කරන්නේ ඇයි දැයි විමසුවේ ය. ඉල්ලුම් කරන ඉඩම් රජයේ රක්ෂිත නිසා බලහත්කාරයෙන් වගා කරන පුද්ගලයන්ට ඒවා පැවරිය නොහැකි බව නිලධාරීහු පැවසූහ. ඉහත සඳහන් කළ ආඥාව නිකුත් වූයේ ඊට ප්‍රතිචාර වශයෙනි.
ඉන් කියවෙන්නේ පවතින නීති රීති කිසිත් නොතකා තම අණ ක්‍රියාත්මක කිරීම රාජකාරිය බව නිලධාරීන්ට පැහැදිලි කිරීම ය. එය ඔහුගේ චරිත ලක්ෂණය බව පැහැදිලි කිරීමට තවත් සාක්ෂියක් දැක්වීම අනවශ්‍යයැයි සිතමි. හිටපු හමුදාපති සහ 2012 ජනාධිපතිවරණයේ දී ගෝඨාභයගේ වැඩි මහල් සොහොයුරු මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සරත් පොන්සේකා අත් අඩංගුවට ගෙන සිර ගත කිරීම ගැන බීබීසී වාර්තාකරුවෙකු විමසූ විට කෝපයට පත් එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභයගේ ප්‍රතිචාරය වූයේ ‘‘මම ඕකා එල්ලා මරනවා’’ යනුවෙනි. රාජ්‍ය නිලධාරියෙකු නොව සාමාන්‍ය පුද්ගලයෙකු හෝ ජනමාධ්‍යය සමග පවත්වන සාකච්ඡාවකදී මෙවැනි අශීලාචාර ප්‍රකාශ කරන්නේ නැත. නමුත් ගෝඨාභය තම අයියාගේ පාලනය යටතේ දැරූ අසීමිත බලතල නිසා කිසිම සීමාවක් තැකුවේ නැත. ජනාධිපති තරගයෙන් ජයගත් ඔහුට පවතින නීති රීති තැකීමේ කිසිම අවශ්‍යතාවයක් නැත.
මතු කළ යුතු ප්‍රශ්නය වන්නේ මෙබඳු පුද්ගලයෙකු යටතේ ස්වාධීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවකාශයක් හෝ අවස්ථාවක් ලැබෙන්නේ ද යන්නයි. දැනට ජාතික වශයෙන් සහ අන්තර්ජාතික ව පත්ව ඇති අසරණ තත්වය නිසා මෙම පත්වීම් කළ ද ඔහු කිසි විටෙකත් ස්වාධීන, ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ට හෝ විද්වතුන්ට ගරු කරන්නේ නැති බවට අපමණ සාක්ෂි පවතී. ජනාධිපතිවරණයට පෙරාතුව වියත් මග නමින් රැස්කර ගත් නමුත් ඇත්ත වශයෙන් ම විපත් මගට මං පෙත් හෙළි කළ ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ දෙනකු ස්වාධීනත්වයට වඩා අවස්ථාවාදයට නැඹුරු වූ අය යි. ඔහුගේ සමීපතම විද්වතෙකු වූ විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා ඊට හොඳම උදාහරණයයි. අන්තවාදී ඉන්දියන් විරෝධියෙකු වූ ඔහු අවම වශයෙන් තම වෘත්තියේ හිපොක‍්‍රටික් දිවුරුමට හෝ අවංක වූයේ නැත. අසරණ දුප්පත් රෝගීන්ගේ සුව පහසුව තකා ඉන්දියාවෙන් ප්‍රදානයක් වශයෙන් ලබා දුන් ගිලන් රථ සේවාව සම්පුර්ණයෙන් ම ප්‍රතික්ෂේප කළ ඔහු එම ගිලන් රථවලින් රෝහලකට ගෙන එන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම පවා ප්‍රතික්ෂේප කිරීමට තරම් සැහැසි වූයේය. ගෝඨාභයගේ වියතුන් වූයේ එවැනි අයයි.
ගෝඨාභය රාජපක්ෂගේ මෙම චරිත ලක්ෂණය අද අව් වැසි, ? දවල් නොතකා මහ මගට බැස උද්ඝෝෂණ කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාව හොඳින් අවබෝධ කර ගෙන ඇති බව පෙනේ. ගෑස් ඉන්ධන, කිරි පිටි සහ ආහාර ඇතුළු දහසක් දේ අහිමි වූ ජනතාව ‘‘ගෝඨා ගෝ හෝම්’’ යන සටන් පාඨය පෙරට ගෙන ඇත්තේ ජනවහරේ දැක්වෙන ආකාරයට කට කහන නිසා නොවේ. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් ගෝඨා සහ ඔහුගේ පහසුව සඳහා අටවා ගෙන ඇති පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව එම ඉල්ලීම තුළ ගැබ්ව ඇත. පෙර කිසි දා නොවු ආකාරයට ගෑස් හිඟයක් සහ ගෑස් අනතුරු රට පුරාම වාර්තා වූ විට එහි වගකීම වහාම භාර ගත යුතු වන්නේ ලිට්ට්‍රෝ සමාගමේ අධිපති ය. මහජන බලපෑම නිසා ඔහු අවසානයේ දී ඉල්ලා අස්වීම භාර දුන් නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය පිළිගත්තේ නැත. ඉන් කියවෙන්නේ ගෑස් හිඟයට හෝ මරණ පවා සිදු වු ගෑස් අනතුරුවලට ගෑස් සැපයූ ආයතනය හෝ රජය වගකිව යුතු නොවේ යන්නයි.
මෙවැනි සාහසික අත්තනෝමතික තීරණ ගන්නා පුද්ගලයෙකුට අර්බුදයෙන් ගොඩ ඒමට දේශපාලන නායකත්වය දිය හැකිද? පැහැදිලිම උත්තරය බැහැ යන්නයි.
අනිත් වැදගත් ම කරුණ වන්නේ වත්මන් ආර්ථික පරිහානියට ප්‍රධාන හේතුවක් වන අල්ලස් සහ දූෂණය වැළැක්වීමත් අයථා ආකාරයෙන් රැස්කර ගත් ධනය ආපසු භාණ්ඩාගාරයට ලබා ගැනීමත් දූෂිතයන්ට දඬුවම් ලබා දීමත්ය. 2005 සිට ඇරඹි රාජපක්ෂ පාලන කාලය තුළ අයථා ආකාරයෙන් වැඩිම ධනයක් උපයා ගෙන ඇත්තේ රාජපක්ෂ පවුල හෝ ඔවුන්ට කිසියම් ආකාරයෙන් ඥාති සම්බන්ධයක් හෝ වෙනත් සම්බන්ධයක් තිබූ අය යි. පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් කළ වංචාවලට සම්බන්ධ නිරූපමා රාජපක්ෂ ඉන් එක් අයෙකු පමණය. ජාත්‍යන්තරවත් ප්‍රචාරයක් ලැබුණු මෙම මුදල් වංචා ගැන අදාළ පුද්ගලයන්ගෙන් තවම ප්‍රකාශ සටහන් කර ගැනීම හෝ අවසන් කර ඇත. ඒ අතර තුර නිරූපමා රාජපක්ෂ විදෙස් ගත වූ බවට ද තොරතුරු පළ විය.
මීට අමතරව වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිල දී ගැනීමේ දී සිදුව ඇති වංචාවක් පිළිබඳ ව එවකට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වූ ජාලිය වික‍්‍රමසූරිය එරට අධිකරණය ඉදිරියේ වරද පිළිගත් නමුත් අපේ රටේ ආණ්ඩුවෙන් ඔහුට විරුද්ධව කිසිම පියවරක් ගෙන නැත. ඒ ඔහු රාජපක්ෂ පවුලේ ඥාතියෙකු නිසා ය. මෙවැනි නිදසුන් අපමණ ගෙනහැර දැක්විය හැකිය.
එවැනි චරිත ස්වභාවයක් ඇති ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපති වශයෙන් සිටිය දී රට මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලනය අර්බුදයට කල් පවතින විසඳුම් ලබා ගත හැකි ද? තමාගේත් තම පවුලට සම්බන්ධ අයගේත් සෞභාග්‍යය ගැන පමණක් උනන්දුවන රටේ නීතිය නො සලකන පුද්ගලයෙකුට මෙම සංකීර්ණ අර්බුදයට විසඳුම් සෙවීමට හෝ කිසියම් විද්වත් කණ්ඩායමක් ඉදිරිපත් කරන විසඳුම් ක්‍රියාත්මක කිරීමේ සැබෑ වුවමනාවක් හෝ තිබිය නොහැකිය. අර්බුදයෙන් යාන්තමින් හෝ ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහනයක් ලබා ගැනීමේ කඩතුරාවක් වශයෙන් කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් යොදා ගන්නා නමුත් එම අවශ්‍යතාවය ඉටු වූ වහාම ඔවුන් දැහැටි දඬු සේ ඉවත ලනු ඇත.
මෙම දූෂිත පාලන ක්‍රමය දිගටම පවත්වා ගැනීමේ තම වුවමනාව ඉවත දමා නැති බවට නිදසුනක් වන්නේ පාලකයන්ගේ සහාය ඇතිව රාජපක්ෂ පාලනයට සහාය දක්වමින් රටේ කීප පොළකින් පැවැත් වූ බවට වාර්තාවන උද්ඝෝෂණයි. ඕනෑම පුරවැසියෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිගන්නා තත්වයක් යටතේ එවැනි උද්ඝෝෂණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රීය අයිතියක් බව පිළිගත යුතු වුවද රාජපක්ෂ පාලනය පවත්වා ගැනීමට ඔවුන් නගන හඬ කිසිසේත් සාධාරණ හෝ යුක්ති සහගත නොවේ. ඒ රාජපක්ෂ පාලනය පවත්වා ගැනීම යනු රටේ සම්පත් කොල්ල කෑමට අවසර දීමක් වන නිසාය.
එමනිසා අව් වැසි නොතකා මහ මගට බැස ‘ගෝඨා ගෝ හෝම්’ යනුවෙන් නගන විරොධතාවයට සවන් දී ගෙදර යෑම හැර වෙනත් විකල්පයක් ගෝඨාභය රාජපක්ෂට නැත. පවතින දේශපාලන අර්බුදයට විසඳුම් නැතිව ආර්ථිකය ගොඩ ගත නොහැකි බව ආර්ථික විද්‍යාඥයන්ට ද පිළිගැනීමට සිදු වනු ඇත.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024