You are currently viewing වැටත් නියරත් ගොයම කන සමාජයක රටේ අනාගතය?

වැටත් නියරත් ගොයම කන සමාජයක රටේ අනාගතය?

ජාතිකයැයි හඳුන්වා ගන්නා ලැයිස්තුවෙන් පත් කළ මංත්‍රීනි ඩයනා ගමගේ නැවත වරක් උණුසුම් පුවතක් වූවාය. තමාට පාර්ලිමෙන්තුවෙන් පිටත දී සජබ මංත්‍රිවරයෙකු පහර දුන්නේයැයි ඇය කතානායකට පැමිණිලි කළාය. කතානායක ද සිද්ධිය ගැන පරික්ෂා කොට වාර්තා කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කෙළේය. ඊට අමතරව තමාට පහර දුන්නේයැයි පොලිසියට පැමිණිලි කළ ඩයනා ගමගේ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වූ බවද වාර්තා විය. පහර දීම සහ බැණවැදීම ගැන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වන්නට විය.

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දීත් ඉන් බැහැරවත් නිතර කතා බහට ලක් වු මාතෘකාවකි. ආර්ථික සංවර්ධනය ගැන තමාටම සුවිශේෂි වූ යෝජනා ඉදිරිපත් කිරීම ගැන නමක් දිනා ඇති ඇය මංත්‍රි තනතුරට නම් කිරීම ද නිතර කතා බහට ලක් වූවකි. පළමුවෙන්ම ඇයගේ පත්වීම අභියෝගයට ලක් වූයේ ද්විත්ව පුරවැසි භාවය නිසා ඇයට පාර්ලිමේන්තුවේ මංත්‍රි තනතුරකට පත් විය නොහැකිය යන්න ගැනය. ඒ ගැන නඩු තීන්දුවක් තවම ලබා දී නොමැති නිසා ද්විත්ව පුරවැසි භාවය ගැන කතා කළ නොහැකිය. කෙසේ වුවත් එම නඩුව සමහර විට මෙම පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් තීන්දුවක් ලැබීමට නොහැකිව කල් යනු ඇතැයි ද සිතිය හැකිය.

දෙවැනි කාරණය වන්නේ ඇය සමගි ජන බලවේගය විසින් පාර්ලිම්න්තු මංත්‍රී තනතුරකට පත් කළ ආකාරයයි. පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා නාම යෝජනා භාර දෙන අවස්ථාවේම අනෙකුත් නාම යෝජනා සමග ජාතික ලැයිස්තුවක් ද ඉදිරිපත් කළ යුතු අතර එය මැතිවරණ කොමිසම විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරනු ඇත. ඉන් පැහැදිලිවම අදහස් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට වෙන් කරන ලද මංත්‍රී ධුර සඳහා නම් කිරීමේ  දී එම ලැයිස්තුව අනුගමනය කරනු ඇතැයි යන්නය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එසේ සඳහන් වුවද අදාල පක්ෂයේ ලේකම්ට එම ලැයිස්තුවෙන් පිටස්තර අයත් එම තනතුරු සඳහා නම් කළ හැකිය. පක්ෂයක ලේකම් ගේ හිතු මනාපයට පුද්ගලයන් මංත්‍රි තනතුර සඳහා නම් කළ හැකි නම් මැතිවරණ කොමිසම නාම ලැයිස්තුවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවයක් නැත.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තුවට පවා ඇතුළත් කළ හැකි වන්නේ ඡන්ද විමසීමක් සඳහා ඉදිරිපත්වීමේ සුදුසුකම් ඇති අයෙකුට පමණි. එම ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කෙළේ නම් ද්විත්ව පුරවැසි භාවය ගැන තිරණයක් ලබා ගැනීමට අධිකරණයට යෑමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.

ඒ කෙසේ වුවත් මහජන නියෝජිතයන්යැයි හැඳින්වෙන මේ අය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හැසිරෙන ආකාරය රටේ සමහර පුරවැසියන් හැසිරෙන ආකාරයෙන් වෙනස් වන්නේ නැත. පාර්ලිමේන්තු විවාදවලදී පාවිචිචි කරන වචන පාර්ලිමේන්තුවට ලබා දී ඇති වරප්‍රසාද නිසා කිසිවෙකුට අභියෝග කළ නොහැකිවීමෙන් ඒවාට සුජාත භාවයක් ලැබෙන්නේ නැත. සමාජ මාධ්‍යය ප්‍රචලිතව පවතින නිසා එම වචන හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කළ ද ජනතාව අතරට යෑම වළකින්නේ ද නැත. වැදගත්ම කාරණය වන්නේ පාවිච්චි කරන වචන පමණක් නොව ඡන්දය ප්‍රකාශ කරන ආකාරයෙන් ද මහජනතාවගේ අයිතිවාසිකම් ගැන උනන්දුවක් දක්වන බවක් හෝ ජනමතය ගැන සංවේදී බවක් නොපෙනීම ය. මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරන ලදුව වෙන් කරන ලද ආසනයක් ලබා ගෙන පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ අගමැති පදවියටත් ඉන් පසුව ජනාධිපති තනතුරටත් පත් වූයේ ජනමතයට වඩා පක්ෂයේ මතය මංත්‍රීන්ට වාසි සහගත නිසාය. එම මතයට හෝ ක්‍රියා මාර්ගයට එරෙහි වන්නන් නිර්දය ලෙස විවේචනය කිරීමට සහ අවඥාවට ලක් කිරීමට ද මෙම ව්‍යවස්ථා සම්පාදකයන්ට අවස්ථාවක් ලැබී ඇත.

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනියට පහර දීමක් සිදු වූයේයැයි කියන දිනයේ දීම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ කතානායක සභාපති දරන ව්‍යවස්ථා සභාව විවේචනයට ලක් කෙළේ සැර පරුස ආකාරයට ය. ව්‍යවස්ථා සභාව තම කාර්ය නිසි ආකාරයට නොකරන නිසා එම සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වැටළීමට අධිකරණ ඇමති යෝජනා කෙළේය. යම් හෙයකින් එම යෝජනාව අනුව ගාලුමුවදොර අත්දැකීම් ඇති තරුණ තරුණියන් නිවාස වටලා ගතහොත් ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට පත්වීමෙන් වැළැක්වීමට අධිකරණ ඇමතිට හැකියාවත් තිබේ ද යන්නත් සැලකිල්ලට ගත යුතුය. සරලව අධිකරණ ඇමති ඉන් අදහස් කරන්නට ඇත්තේ ජනමතයට පිටුපා කටයුතු කරන කතානායක ඇතුළත් මහජන නියෝජිතයන් මහජන කෝපයෙන් ආරක්ෂා වන්නේ නැත යන්න විය හැකිය.

මෙම පාර්ලිමේන්තුවේත් ඊට පෙර පැවති පාර්ලිමේන්තුවේත් මහජන නියෝජිතයන් හැසිරෙන ආකාරයට රටේ නීතිය ඔවුන්ට අදාල වන බවක් නොපෙනේ. නිදසුනක් වශයෙන් 2019 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් තුළින් එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත් වූ විට ඔහුට සහාය දැක් වූ ගරු මංත්‍රිවරුන් හැසිරුණේ නීතිය ඔවුන්ට අදාල නොවන ආකාරයට ය. පාර්ලිමේන්තුවේ රැස්වීමක් කඩා කප්පල් කිරීමට කතානායක අසුනත් පොළොවේ ගසා ආරක්ෂාවට පැමිණි නිලධාරීන්ට මිරිස් කුඩු ගැසූ අයට මෙතෙක් නීතිමය පියවරක් ගැනීමට කිසිම ආයතනයකට හැකියාවක් නැත. උත්තරීතර පාර්ලිමේන්තුව ගර්හාවට ලක් කිරීම ගැන කිසිවෙකු දුක් වූයේ ද නැත.

එම සිද්ධිය ගැන සාක්ෂි විභාගයක් අවශ්‍ය නොවන්නේ ප්‍රචණ්ඩ හැසිරීම පාර්ලිමේන්තුවේම ආරක්ෂක කැමරාවල සටහන්ව පැවතීම නිසාය. සමහර විට සිද්ධිය ගැන පොලීසියේ පැමිණිල්ලක් නොමැති නිසා පියවර ගැනීමට නොහැකිව සිටිනු විය හැකිය. එහෙත් මෙම පුද්ගලයන් මහජන ඡන්දයෙන් තෝරා පත් කළ, ඔවුන් නඩත්තු කරන රටේ ජනතාවට පැමිණිලි කිරීමට හැකියාවක් නොමැති වුවත් ඔවුන්ගේ හැසිරිම ගැන බරපතළ චෝදනාවක් ඇති බවට කිසිදු සැකයක් නැත.

මින් අපට ඉගෙන ගත හැකි පාඩම වන්නේ පුරවැසියන් වශයෙන් අප මහජන ඡන්දයෙන් තෝරා පත් කරන අපේම නියෝජිතයන් බොහෝ දෙනකු එම නියෝජිත භාවය දැරීමට සුදුස්සන් නොවන්නේය යන්නයි. සුදුසු පුද්ගලයන් තෝරා පත් කර නොගැනීම ඡන්දදායකයන්ගේ වැරැද්දකි. ඡන්දය ලබා නොදුන්නේනම් ඔවුන්ට පාර්ලිමේන්තුවට යා නොහැකිය. අනෙක් අතට ඡන්දය පාවිච්චි කිරීමට සුදුසු පුද්ගලයන් ඉදිරිපත් නොකිරීම දේශපාලන පක්ෂවල වැරැද්දකි. සෑම ඡන්දදායෙකුම සිය ඡන්දය, ඡන්ද විමසීමක දී භාවිතා කළ යුතුයැයි පිළිගැනීමක් පවතින නිසා නුසුදුසු පුද්ගලයන්ට ද ඡන්ද දීමට ඡන්දදායකයන්ට සිදු වනු ඇත. එමනිසා ව්‍යවස්ථාදායකයේ පිරිහීමට ඡන්දදායකයන් මෙන්ම මෙරට දේශපාලන පක්ෂ ද එකසේ වගකිව යුතුය.

මෙවැනි වැරදි භාවිතයක් පැවතීමට මූලික හේතුව ජනතාව අතරත් දේශපාලන පක්ෂ අතරත් ප්‍රජාතන්ත්‍රීය භාවිතයක් නොමැතිකම ය. දේශපාලකයන් බොහෝ විට හඳුන්වන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ මතය නොවේ. දේශපාලකයන් ට නම් කවර ආකාරයකින් හෝ බහුතරයක් ලබා ගත හැකිනම් එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පිළිවෙතකි. ඒ අනුව සුළුතරය නොසලකා සිටිය හැකිය. බහුතරයේ මතයට එකඟ නොවන්නේ නම් ඔවුන් පක්ෂයෙන් පලවා හැරීමට ද හැකිය. මෙවැනි දේශපාලකයන් ආණ්ඩු බලය අත්පත් කර ගත් විට පක්ෂයේ සුළුතරය පමණක් නොව රටේ ජාතික ආගමික සහ වාර්ගික සුළුතරය ද නොසලකා කටයුතු කිරීම සාමාන්‍ය භාවිතය යි. එවැනි අත්දැකීම් අපගේ මෑත ඉතිහාසයේ අපමණ දැකිය හැකි නිසා නැවතත් විස්තර කිරීම අනවශ්‍ය ය.

පක්ෂයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වන සාකච්ඡාව සහ සංවාදය තුළින් තිරණ ගැනීමේ භාවිතයක් නොමැතිනම් එවැනි අයට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ළඟා කර ගැනීමට හෝ පවත්වා ගැනීමට සුදුසුකමක් හෝ හැකියාවක් නැත. ඔවුන් ක්‍රියා කරන්නේ අත්තනොමතික ආකාරයෙනි. නායකයාගේ හෝ නායක කණ්ඩායමේ මතයට එකඟ නොවන පක්ෂයේ සාමාජිකයන් ගැන මෙන්ම රටේ ජනතාවද ගැන ද ක්‍රියා කරන්නේ ප්‍රචණ්ඩ ආකාරයෙනි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ජනවරම් ලබා බලයට පැමිණි වහාම රාජ්‍යයේ ආරක්ෂාව සඳහායැයි පවසමින් මර්දන නීති රීති පැනවීමට ක්‍රියා කරන්නේ එම නිසාය. එහිදී වැදගත් වන්නේ සාධාරණය, යුක්තිය සහ වෙනස්කොට නොසැලකීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නොව බලය තහවුරු කර ගන්නා ආකාරයයි.

ඩයනා ගමගේ වැනි අයට පාර්ලිමේන්තුවට යෑමට වරම් ලැබෙන්නේ මෙවැනි භාවිතය නිසාය. පාර්ලිමේන්තුවේ දී නීති අණ පනත් ගැන පැවැත්වෙන වාද විවාද, සාකච්ඡා හෝ සම්මන්ත්‍රණ නොව නායකයාගේ වුවමනාව ඉටු කිරීම සඳහා වන ව්‍යයාමයක් වන්නේ එම නිසාය. පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම දක්නට ලැබුණ සංසිද්ධියක් වූ එය අද රටේ පවතින ආර්ථික සහ බුද්ධිමය බංකොළොත් භාවය නිසා වඩාත් තීවෘ වී ඇත. වාග් ප්‍රහාර පමණක් නොව කායික ප්‍රහාර ද පාර්ලිමේන්තුව තුළත් ඉන් බැහැරවත් සාමාන්‍යකරණය වී ඇත්තේ එම නිසා ය.

රට ගොඩ නැගීමට නම් අනිවාර්යෙන්ම මෙම ක්‍රමය වෙනස් විය යුතුය. වෙනස් විය යුත්තේ පාලන බලයේ සිටින පක්ෂය පමණක් නොවේ. බලය ඉල්ලා සිටින පක්ෂ තුළ ද එම වෙනස සිදු විය යුතුය. සරලව පක්ෂයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය යුතුය. පක්ෂයක් තුළ තීරණ ගැනීමේ සියලු බලතල නායකයාට හෝ නායකයා පත් කරන කීප දෙනෙකුට පවරන විට ආණ්ඩු බලය ලබා ගත් පසුව ද රට පාලනය කරන්නේ එම භාවිතය අනුව ය. එම භාවිතය වෙනස් කිරීමට ද තීරණාත්මක සාධකය වන්නේ ජනතා බලපෑම ය.

රටේ මෙන්ම ජනතා වරම අපේක්ෂාවෙන් සිටින පක්ෂ ද සැබෑවටම ප්‍රජාතන්ත්‍රවාදී නොවී රට ගොඩ නැගීමට නොහැකි වනු ඇත.  

Print Friendly, PDF & Email

Leave a Reply