You are currently viewing ලැජ්ජා නැතිකම මහමුදලිටත් වඩා ලොකුයි..!

ලැජ්ජා නැතිකම මහමුදලිටත් වඩා ලොකුයි..!

ඉංග‍්‍රීසියෙන් naming and shaming යනුවෙන් යෙදුමක් ඇත. ඉන් අදහස් වන්නේ යම් පුද්ගලයෙකු දුෂ්ක්‍රියාවක යෙදෙන්නේ නම් ඔහු නම් කොට ලැජ්ජාවට පත් කිරීමයි. ඉංග‍්‍රීසින්ට වහල් වෙළඳාමේ සහ යටත් විජිත සූරා කෑමේ අපකීර්තිමත් ඉතිහාසයක් උරුම වුවද සමහර සමාජ භාවිතා ශිෂ්ට සමාජයකට ඉතාමත් හොඳින් ගැලපෙන සිරිත් විරිත් ය. ඉහත සඳහන් යෙදුමෙන් අදහස් වන්නේ එවැනිම විශිෂ්ට සමාජ භාවිතාවකි. කිසියම් පුද්ගලයෙකු සමාජ යහපතට අහිතරකර පිළිකුල් සහගත ක්‍රියාවල යෙදෙන්නේ නම් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අමතරව සමාජ ගර්හාවට ලක් කිරීම එවැනි ක්‍රියා වැළැක්වීමටත් සමාජ ශෝධනයටත් සුදුසු ක්‍රියා මාර්ගයක් බව සමාජ පිළිගැනීමකි. එය ඉංග‍්‍රීසි කතා කරන සමාජයේත් සෙසු ශිෂ්ට සමාජවලත් පිළිගත් සමාජ සම්මතයකි.

මෙවැනි පූර්විකාවක් කිරීමට හේතු වන්නේ වසර දෙදහස් පන්සියයක ඉතිහාසයක් ඇතැයි කියන අප රටේ එවැනි සමාජ භාවිතයක් නැති බවත් සමාජ විරෝධී ක්‍රියාවල දිගින් දිගටම යෙදෙන පුද්ගලයන්ට සමාජයේ සමහර කොටස්වල ආශීර්වාදය නොමදව ලැබෙන බව සිහිපත් කිරීමටය. යහපාලන ආණ්ඩුවේ ජනාධිපති තනතුරට පත් මෛත්‍රීපාල සිරිසේන ධුරයේ වැඩ කටයුතු භාර ගත් විගස ශ්‍රීපාදස්ථානයේ ඇති ශිලා ලිපියක් උපුටා දක්වමින් මහජන (ඒ කාලයේ තිබෙන්නට ඇත්තේ රාජ්‍ය දේපොළ විය යුතුය) දේපොළ හොරා කන්නන් ඊළඟ ආත්මයේ කපුටන්ව උපදින බව සඳහන් කෙළේය. එහෙත් ඒ ශිලා ලිපියේ සඳහන ඔහුට හෝ අනෙක් දේශපාලකයන්ට අදාල නොවන බව හෝ ඊළඟ ආත්මයක් ගැන විශ්වාසයක් නැති බව බලයේ සිටි කාලය තුළ කියුම් කෙරුම්වලින් ඔප්පු කර ඇත. මහජන දේපොළ සූරා කෑම සහ සොරා කෑම අඩුවක් නැතිව දිගටම සිදු විය.

මේ බව තහවුරු වන්නේ යහපාලන ආණ්ඩු සමයේදීම නිති ගත වූ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ රටේ ජනතාව පාලකයන්ගෙන් ඉල්ලූම් කොට අකමැත්තෙන් මෙන් ලබා ගත් විදුලි බිල් පත් ගෙවීම පිළිබඳ තොරතුරුවලිනි. එම තොරතුරු අනුව විදුලි බල මණ්ඩලයට වියදම් පියවා ගැනීමට නොහැකිව විදුලි බිල සාමාන්‍ය ජනතාවට දරා ගත නොහැකි ආකාරයෙන් වැඩි කිරීමේ සූදානමක් තිබිය දී වරප‍්‍රසාද ලත් සුපිරි ජන කොටසකට විශේෂ සැලකිලි දක්වා ඇති බව පැහැදිලි ය.

තුන් හෙළය නම් සංවිධානයෙන් විදුලිබල මණ්ඩලයෙන් සහ එහි අනුබද්ධිත ආයතනයක් වන ලංකා විදුලි බල සමාගමෙන් ඉල්ලූම් කර තිබුණේ රුපියල් ලක්ෂ පහට වඩා හිඟ මුදල් ඇති විදුලි පාරිභෝගිකයන්ගේ නාම ලැයිස්තුවක් සහ ගෙවීමට ඇති මුදල හෙළි කිරීමට ය. සාමාන්‍ය විදුලි පාරිභෝගිකයෙකුගේ විදුලි බිල මාස දෙක තුනකට වඩා හිඟ වුවහොත් විදුලි බලය කපා හරින රටක ලක්ෂ පහක විදුලි බිලක් හිඟව තිබීම ඇසීමට පවා බියකරු ප‍්‍රවෘත්තියකි. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවක් දශ ලක්ෂ පහකට ආසන්න ප‍්‍රමාණයක්, ජනතාවගෙන් සියයට 22ක්, කුස ගින්නේ පසුවන රටක ලක්ෂ ගණනක් විදුලිය සඳහා වැය කරන පුද්ගලයන් සිටින බව ඇසීම පවා කන් බිහිරි කරන පුවතකි. එහෙත් පාලකයන්ගේ කන් බිහිරි වන්නේ නැත. සමහර විට ඔවුන් මෙවැනි දේට බිහිරි නිසා ඒවා ඇසෙන්නේ හෝ නැත.

කෙසේ වුවත් තොරතුරු දැන ගැනීම සඳහා මෙම ඉල්ලූම්පත ඉදිරිපත් කළ මුල් අවස්ථාවේ දී අදාල බලධාරීහු එම තොරතුරු ලබා දීම ප‍්‍රතික්ෂේප කළහ. ඒ පෞද්ගලික තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම ව්‍යාපාරික ආචාර ධර්මවලට නොගැලපෙන නිසායැයි පවසා තිබිණ. අවසානයේ දී තොරතුරු දැනගැනීම පිළිබඳ කොමිසමේ නියෝගයක් මත අදාල තොරතුරු හෙළි කිරීමට සිදු වූ අතර එවැනි ආචාර ධර්ම පිළිබඳ ස්ථාවර වැදගත් වන්නේ හොරුන් ආරක්ෂා කිරීමට බව පැහැදිලිය.

ප‍්‍රකාශයට පත් තොරතුරු අනුව පසුගිය වසරේ නොවැම්බර් 22 දක්වා රටේ ජනාධිපති සහ අගමැති වශයෙන් මහජන මුදලෙන් නඩත්තු වූ මහින්ද රාජපක්ෂ ගෙවීමට ඇති සම්පූර්ණ හිඟ මුදල රු. 722,216.77කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උදහසට ලක්ව වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ කල් ගෙවු රිෂාඩි බදුර්දීන් ගේ හිඟ මුදල රු. 970,128.89 කි. මීට අමතරව කේ ඩී ඇම් සී බණ්ඩාර, ආර් ඇම් සි බී රත්නායක වැනි අය ද පිළිවෙළින් රු. 856,561.01 හා රු. 731,405.13ක් ගෙවිමට ඇත. තවත් වැදගත් නමක් වන්නේ රු. 577,415.18ක් විදුලි බල මණ්ඩලයට ණය වී ඇති දැනට ස ජ බ දැවැන්ත චරිතයක් වන පී හැරිසන් ය. හිඟ මුදල් ඇති නාම ලැයිස්තුවට ජනාධිපතිගේ ලේකම් සහ අගමැතිගේ ලේකම් ද අයත්ය. ඉන් අගමැතිගේ ලේකම් ගේ හිග මුදල රුපියල් දශ ලක්ෂය ද ඉක්මවා යයි.

දැනට ප‍්‍රකාශයට පත්ව ඇති නිසා මෙම මුදල් බොහෝවිට ඒ ඒ අමාත්‍යංශයේ වැය ශිර්ෂවලින් ගෙවීමට ඉඩ ඇත. මීට පෙර තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමක් අනුව එවකට ප‍්‍රබල ඇමතියෙකු වූ කෙහෙලිය රඹුක්වැල්ල ගේ 2012 මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා දුර කතන බිල රු. 230,984 ගෙවා ඇත්තේ ඔහුගේ පාලනය යටතේ තිබු රාජ්‍ය මුද්‍රණ සංස්ථාවෙනි. දින තිහක් වැනි කාලයක් තුළ මෙතරම් විශාල මුදලක් දුර කතනය සඳහා වැය කර ඇත්තේ ඇයිදැයි කිසිවෙකු ප‍්‍රශ්න කරන්නේ නැත. ඔහු වත්මන් පාලනය යටතේ සෞඛ්‍ය ඇමති තනතුරට අලූතින් පත්වීම ලබා දුන්  කිසිවෙකුට ලැජ්ජාවක් වැනි දෙයක් ගෑවිලාවත් තිබී නැත.

වත්මන් පාලකයන් සහ හිටපු පාලකයන් මහජන මුදල් අවභාවිතා කළ ආකාරයට අපමණ නිදසුන් දැක්විය හැකි නමුත් ඛේදය වන්නේ මේ රටේ කිසිවෙකු ඒ ගැන සැලකිලිමත් නොවීමය. උනන්දුවක් දක්වන පුද්ගලයන් සමහර විට අනතුරුදායක තත්වයක් යටතේ හෝ මෙම තොරතුරු හෙළි කර ගැනීමට ක්‍රියා කළ ද ඒවා සමාජයේ කතා බහට ලක්වන්නේ අඩුවෙනි. බොහෝ විට දක්නට ලැබෙන්නේ ඒවා යටපත් කිරීමේ උත්සාහයකි. නැතිනම් දේශපාලන පලිගැනීම් සේ හඳුන්වා ගැල වීමට ගන්නා උත්සාහයකි. ආගමික සංස්ථාවලින් ද ලැබෙන්නේ එවැනිම අනුග‍්‍රහයකි. ආගමික මූලධර්ම නොව සමාජ ආචාරධර්ම අමු අමුවේ කඩා බිඳ දැමීම මහජනයාගෙන් පාලන වරම් ලබා ගෙන සිටින මෙම පුද්ගලයන් හෙළා දැකීමට හේතුවක් වන්නේ නැත.

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් අගාධයට වැටී අවස්ථාවක ඉන් ගොඩ ඒමට සැලසුම් සකස් කිරීමේ දී මහජන දේපොළ සුරක්ෂිත කිරීම අනිවාර්ය කොන්දේසියකි. සමාජයේ දුප්පත් පොහොසත් සියලූ දෙනාගෙන් එකසේ බදු අය කිරීමට අණ පනත් සකස් කිරීමට පෙර තිබෙන සම්පත් හෝ සම්මත ක‍්‍රමවේදයක් අනුව පරිහරණය වන බව තහවුරු කල යුතුය.

හැත්තෑපස් වසරක ඉතිහාසය අනුව මේ රටේ සිටි සහ දැනට සිටින පාලකයන් කිසිසේත් එවැනි වැඩ පිළිවෙළක් සම්පාදනය කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් හැකියාවක් සහ උනන්දුවක් නැති අය බවට තවත් සාක්ෂි අනවශ්‍ය ය. රටේ ජනතාව කෙතරම් අසීරු ජීවිතයක් ගත කළ ද පාලකයන්ට එය වැදගත් වන්නේ නැත. දුප්පත්කම. නූගත්කම සහ අනාගතය ගැන ඇති බලාපොරොත්තුව ඔවුන් යොදා ගන්නේ තව දුරටත් බලයේ රැඳී සිටීමට ය. එය ජනතාවගෙන් වසන් කිරීමට සියලු උත්සාහයන් ගැනීමට කිසිදු පැකිළීමක් නැත. 2022 ඔක්තොබර් 25 FT පුවත් පතේ පළ කළ වෙරිටේ රිසර්ච් වාර්තාවක් අනුව 2021 වසරේ ආණ්ඩුවේ වියදම් යෝජනාවලින් සියයට 48කම වැය කළ ආකාරය හෙළි කර නැත. ඒ රටම ආර්ථික අගාධයකට වැටෙමින් තිබු සමයේ දීය. එවැනි තත්වයක් යටතේ හෝ රාජ්‍ය අය සහ වැය විවෘතව තබා ගැනීමට පාලකයන්ට උනන්දුවක් හෝ පෙළඹවීමක් නැත. හොරකම් කිරීම යටිමඩි ගැසීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදුණ අවස්ථාවේ සොයා ගත් කෝටි ගණනක් වූ මුදල ගැන විමර්ශනයක් කිරීමට අධිකරණයෙන් නියෝග ලැබෙන තෙක් කිසිවෙකු උනන්දු වන්නේ නැත.

රට ගොඩ නැගීමේ ප‍්‍රථම සහ එකම කාර්ය වන්නේ මෙවැනි දූෂිත ජරා ජීර්ණ ක‍්‍රමය වෙනස් කොට ජනතාවට සෘජුව වගකියන ජනතා සහභාගිත්වය පහසු කරන ආර්ථික සහ දේශපාලන වැඩ පිළිවෙළක් ගොඩ නැගීමයි. නීතිය හා සාමය පවත්වා ගැනීම යථාර්ථයක් වන්නේ එවැනි තත්වයක් තුළ පමණි. පාර්ලිමේන්තුවෙන් තේරී පත් වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට හෝ ඔහුගේ කැබිනට් මණ්ඩලයට එම කාර්යට කිසිසේත් උරදිය නොහැකිය. ඒ ඔවුන් මෙම දූෂිත ක‍්‍රමයෙන්ම බිහි වූ අය නිසාය. ඔවුන් බලයට පැමිණියේත් බලයේ රැඳී සිටින්නේත් ජරා ජීර්ණ ක‍්‍රමය නිසාමය. මහා මැතිවරණයෙන් ප‍්‍රතික්ෂේප වූ පුද්ගලයෙකුට ජනාධිපති විය හැකි වන්නේ පාලන ක‍්‍රමයේ පවතින දූෂිත වංචනික තත්වයෙනි. අනාගතය ගැන බලාපොරොත්තු රැඳවිය හැක්කේ මෙම ක‍්‍රමය වෙනස් කිරීමෙන් සහ නව පාලන ක‍්‍රමයක් අලූතින්ම නිර්මාණය කිරීමෙනි. ඡුන්ද පැවැත්වීමට මුදල් නැති බව කියමින් බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීමෙන් තත්වය වඩාත් නරක් වනු ඇත.

එවැනි උත්තුංග කාර්යක් සඳහා තොරතුරු දැන ගැනීමට සීමා නොවී ඒ තොරතුරුවලින් හෙළිවන දේ සමාජ ගත කොට නම් කිරීම සහ ලැජ්ජාවට පත් කිරීම පළමු පියවරයි. දෙවැනි පියවර වන්නේ අධිකරණමය ක්‍රියා මාර්ගවලට සීමා නොවී දූෂණයට සහ වංචාවට එරෙහි සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීමය. අනාගතය ගොඩ නැගෙන්නේ ඒ තුළිනි.    

Leave a Reply