ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වේ යැ යි අසන්ට ලැබේ. මෙය විපක්ෂයට එලපු මිරිඟුවක් වෙන්නටත් බැරි නැත. එය ජනාධිපතිගේ කටින් එන්නක් නිසාම ඒ ගැන සැකයක් ඇතිකර ගැන්ම සාධාරණ ය. දේශබන්දු ගේ යුක්තිය සිවිල් කෝලාහලයකට ගෙන ගොස් චන්ද තියන්නට තත්ත්වයක් නැතැ යි ඒ හිවල් කටින් කියන්නට බැරි නැත.
ජනමත විචාරණ හෙළිකරන ජන මනසේ හැඩගැස්ම කෙතෙක් දුරට නිවැරදි ද යන්න ප්‍රශ්නයකි. සමාජ බහුතරය වන පහළ මාලයේ මනස ඒවායින් නිවැරදිව කියවෙන්නේ ද? මෙය ප්‍රශ්නයකි. ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්‍තමේන්තුව මෑතකදී හෙළි කළේ, මෙරට මුලු පවුල් වලින් සියයට 60 ක ආදායම පහත වැටී ඇති බව යි. මේ මධ්‍යම පංතිය ඛාදනය වීමකි. ජනමත විචාරණයන්හිදී මේ ජන කොටසට සාමාන්‍යයෙන් අධි නියෝජනයක් ලැබේ. ජනමත විචාරණ කියවීමේ දී මෙය සිත් තබාගත යුතු වේ.
මෑතකදී කෙරුන ජනමත විචාරණ බොහොමයකින් හෙළි කෙරුනේ ජාතික ජන බලයේ නායක අනුර කුමාර දිසානායක පෙරමුණේ සිටින වගයි. පිළිතුරු දුන් අයගෙන් සියයට පනහකට වඩා වැඩි පිරිසක් උත්තර දී ඇත්තේ තමන් අනුර කුමාර දිසානායකට ජනපතිවරණයකදී චන්දය දෙනබව ය. මෙම ප්‍රතිඵල මැතිවරණ සිතියමේ යථාර්ථය සහේතුක ලෙස ප්‍රදර්ශනය කරන්නේ යැ යි නිගමනය කළොත් මෙය මෙරට මැතිවරණ තලයේ භූ කම්පනයක් ලෙස සැලකීම නිවැරදි යැ යි සිතමි. ඒ තේරුමෙන් එය 1956 ට වඩා වැඩි රික්ත මාපකයේ භූ චලනයකි.
යම් කොන්දේසි වලට යටත්ව එවන් ජයග්‍රහණයක් හැම වාමාංශිකයෙකුම ධනාත්මක එකක් ලෙස දකිතැ යි මට සිතේ. යමෙකු මෙය ලාංකික දේශපාලනයේ ලතින් ඇමරිකානුකරණයක් ලෙස දැක්කොත් එය පුදුමයක් නොවේ. පහුගිය දශක දෙක තුනක කාලයක සිට ලතින් ඇමරිකාවේ රටවල් බොහොමයක් හරහා “රෝස කෝඩයක්” හමා යන්නේ ය. ඒ වාමවාදී ආණ්ඩු බිහිවීම ය. මේ ආණ්ඩු බිහිවුනේ, රෝස කෝඩය නිසා වුවද, එයින් බොහොමයක් මැතිවරණ ජයග්‍රහණ මගින් ඇති වූ ඒවා ය. එකී ආණ්ඩු පාර් ලිමේන්තු තලයේ ඔසවා තැබූ රෝස කෝඩයන් වෙනස් ය.
සරලකරණයකට යටත්ව ඒ හේතු සාධක හා ප්‍රතිඵල මෙසේ සාරාංශ කළ හැක. බොලිවියාවේ ඊවා මොරලෙස් ආණ්ඩුව බිහිවුනේ ආදීවාසී බහුතරය තම බලය පෙන්වීමෙන් ය. වෙනිසියුලාවේ හියුගෝ චාවේස් බලයට ආවේ නාගරික ජන නැගිටීම් සහ ජාතිකවාදී මිලිටරි මැදිහත්වීම් හරහා ය. බ්රසිලයේ ලූලා ද සිල්වා ගේ කම්කරු පක්ෂය බලයට ගෙන ඒමට බලවේග දෙකක් උපකාරී විය. ඒ කම්කරු සමිති ව්‍යාපාරය සහ ඉඩම් අත්පත් කරගැනීමේ MST ව්‍යාපාරය ය. ඉකුවඩෝරයේ නාගරික පුරවැසි ව්‍යාපාරය රෆායල් කොරෙයා බලයට ගෙන ආවේ ය. උරුගුවේ ටුපමාරො ගරිල්ලා බලය පරිවර්තනයට උපකාරී වූ අතර ආර් ජන්ටිනාවේ වාම පෙරොන්වාදය ශක්තිමත් ආධාරකයක් වූයේ ය.
මේ ආණ්ඩුවල දිසානතිය තීරණය කිරීමේදී මෙකී “බලය ලබා ගැන්මට පෙර” බලවේග සැලකිය යුතු සාධකයක් විය. ජාතික ජන බලයේ ආණ්ඩුවකින් මෙවන් දිසානතියක් අපේක්ෂා කළ හැකිද? අරගලය ජාතික ජන බලය නගා සිටුවීමට ලොකු බලයක් නො සැපයූවා පමණක් නොව එහි ප්‍රධාන ධාරාවන් කිහිපයක් ජාජබ දුරස්ථව ස්ථානගත වූහ. එමෙන්ම ජජබ ද අරගලය සමග තබාගත්තේ දුරස්ථ සම්බන්ධයකි.
දෙවෙනි විවේචනය මගින් කියවෙන්නේ ජාජබ ප්‍රතිපත්ති මාලාව සමාජ පරිවර්‍තනයකට නො සෑහෙන එකක් බව ය. මෙය සත්‍යය වුවද ප්‍රමාණවත් විවේචනයක් නොවේ. අපි දැන් මේ කරුණට හැරෙමු.
අන්ද්රේ ගෝස් ලතින් ඇමරිකානු ආණ්ඩු කොටස් දෙකකට බෙදුවේ ය. ඒ ප්රතිසංස්කරණවාදී ප්‍රතිසංස්කරණ (reformist reforms) සහ ප්රතිසංස්කරණවාදී නොවන ප්‍රතිසංස්කරණ (non-reformist reforms) යනුවෙනි. ප්රතිසංස්කරණවාදී ප්‍රතිසංස්කරණ මගින් කෙරෙන්නේ සමාජ ඉල්ලීම්වලට අනුගත ප්‍රතිසංස්කරණ ය. මෙයට හොඳම උදාහරණය දූෂණ නැති රටක් බිහිකිරීමේ යෝජනාව ය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුව වඩා පාරදෘශ්යකර ගන්නේ ය යන කියමන ය. ගෝස් පෙන්වා දෙන්නේ, ඒ ප්‍රතිසංස්කරණ ජන බලවේග ක්‍රමිකව දියකර හරින බව ය. අනෙක් අතට දෙවැන්න මගින් ද සමාජ ඉල්ලීම් ඉටු කිරීම කෙරුනද එහිදී ජන කැළඹුම හා පිබිදීම සංරක්ෂණය කොට වර්ධනය කරන බවයි. මා මිත්‍ර Keerthi Kumara Maddumapatabendige සහෝදරයා නිතර නිතර මතුකරන්නේ මේ ප්‍රතිසංස්කරණ නොවන ප්‍රතිසංස්කරණ ගැනය. ගෝස් ගේ අදහස මදක් වෙනස්කොට දැක්වීමට කැමැත්තෙමි. එනම් සංක්රමණීය ගතිකයක් සහිත ප්‍රතිසංස්කරණ (reforms with transitional potential) සහ සංක්රමණීය ගතිකයකින් තොර ප්‍රතිසංස්කරණ (reforms that lacks transitional proposal) යන දෙකඩනය හඳුන්වා දීමෙනි. අපි මේ කරුණ ගැන පසුව සාකච්ඡා කරමු.
සුමනසිරි ලියනගේ සිය මහුණු පොතේ ලියූ උදෑසන සටහනකි
- බැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්! - February 12, 2024
- වර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය! - January 10, 2024
- ලතින් ඇමරිකාවේ වාමවාදී ආණ්ඩු හරහා හමාගිය “රෝස කෝඩය” අලුත් අවුරුද්දේ මෙහෙටත් ඒවිද? - January 1, 2024