You are currently viewing අයුක්තිය ඔප දැමීමට කෙලසන යුක්තිය..

අයුක්තිය ඔප දැමීමට කෙලසන යුක්තිය..

‘කිඹුලා කෑවත් කමක් නැහැ. කොහිල කටු ගාලේ ඇදන් යන එක තමයි ඉවසන්න බැරි’ යනුවෙන් ජන වහරේ කියමනක් ඇත. දැනට සිටින පොලිස් ඇමති ටිරාන් අලස් සහ ඔහුගේ වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මේ දිනවල දියත් කර ඇති කුඩු ඇල්ලීමේ මහා ව්‍යාපාරය ගැන ද කිව යුත්තේ එවැන්නකි. කුඩු නැතිනම් මත්ද්‍රව්‍ය භාවිතය සමාජ උවදුරක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පමණක් නොව ඔවුන්ගේ පවුල් ද දුක්ඛිත අසරණ තත්වයකට පත්ව ඇති ආකාරය සමාජයේ සෑම ස්ථරයකින්ම දැකිය හැකි ව්‍යසනයකි. යහපත් සමාජයක් ගොඩ නැගීමේ මුල් පියවර වන්නේ එවැනි උවදුරුවලින් සමාජයේ සියලු කොටස් ගලවා ගැනීම ය. ඒ ගැන කිසිදු විවාදයක් නැත.

එහෙත් රටේ පවතින නීතිය කඩ කර ඇති මේ දෙපොළ කුඩුකාරයින් ඇල්ලීම සඳහා පොලීසියේ සියලු බලතල යොදා ඇත්තේ එම උවදුර සමාජයෙන් තුරන් කිරීමේ අවංක වුවමනාවෙන් ද යන්න සලකා බැලිය යුතුය. මෙම මෙහෙයුම ‘යුක්තිය’ යනුවෙන් නම් කර තිබීම නිසාම එවැනි උත්සාහයක් ගැනීම කාලෝචිත ය. සිංහල භාෂාවේ යෙදෙන ආකාරයට යුක්තිය යන්නෙන් අදහස් වන්නේ නීතිය “සාධාරණත්වය” සාධාරණත්වය අපක්ෂපාතීව ඉටු කිරීම” වින්දිතයාට හානි පූරණය වැනි අදහස් සමුදායකි. යුක්තිය ඉටු කිරීමේ මූලික නිර්ණායකය වන්නේ එවැනි කාර්යක් සඳහා ඉදිරිපත්වන පුද්ගලයන් යුක්ති ගරුක වීම ය. යුක්තිය ලබා දීමට ඉදිරිපත් වන පුද්ගලයා හෝ එම නඩය යුක්ති ගරුක නොවන්නේ නම් ඔවුන්ට යුක්තියක් ඉටු කිරීමට සුදුසුකමක් හෝ හැකියාවක් නැත. එවැනි අය බොහෝ විට කරන්නේ යුක්තිය යනුවෙන් තමන්ගේ අවශ්‍යතාවය බලහත්කාරයෙන්ම අන් අය මත පැටවීම ය. වඩාත් සරලව ඔවුන් සුපුරුදු ආකාරයට අයුක්තිය යුක්තියේ නාමයෙන් ක්‍රියාත්මක කිරීමය.

එවැනි කතා අමතක කළත් දේශබන්ධු තෙන්නකෝන් රටේ පවතින නීතිය නොසලකා හෝ ඉක්මවා කටයුතු කළ බව අවස්ථා කිපයකදීම ජනතාවට පෙන්නුම් කෙළේය. එවැනි අවස්ථාවක් වන්නේ ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන් ට පහර දීමට එවකට අගමැති වූ මහින්ද රාජපක්ෂගේ නිල නිවස අරලියගහ මන්දිරයේ සිට පැමිණි මැර පිරිස් එම අපරාධය කිරීමෙන් වැළැක්වීමට දේශබන්ධු තෙන්නකෝන් කිසිම පියවරක් නොගැනීම ය. ඔහු එම මැර පිරිස් සමග සුහදව ගාලු මුවදොර පිටියට පැමිණි ආකාරය වීඩියෝ පටිවලින් අද පවා දැකිය හැකිය. එය සැබැවින්ම අපරාධකරුවන්ට සහාය දීමකි.

ඊට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා ගිය පසු විරෝධතාකරුවන් එහි මේස ලාච්චුවක තිබී සොයා ගත් රු. දශලක්ෂ 17.5 ක මුදල පිළිබඳව නිත්‍යානුකූල කටයුතු කිරීමට ඔහුගේ යටත් නිලධාරීන්ට ඉඩ දුන්නේ නැත. මෑත කාලයේ සිදු වු මහත් ඛේදවාචකයක් වූ පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට ද ඔහු පියවර ගත්තේ නැත. සරලව ඔහු තම රාජකාරිය පැහැර හරින ලද සහ නීතිය කඩ කළ නිලධාරියෙකි. එවැනි පුද්ගලයෙකු යුක්තිය ඉටු කරන්නේයැයි කිව හැක්කේ ටිරාන් අලස්ට පමණි.

තිරුකුමාර් නඩේසන් සහ බිරිඳ නිරුපමා රාජපක්ෂ

කුඩුකාරයින් හෝ කුඩ්ඩන් වශයෙන් හඳුන්වන්නේ ජීවිතය කඩා කප්පල් කර ගත් අසරණයින් හෝ අධික ලෙස ශ්‍රමය වැඩකර අවසානයේ දී සහනයක් ලැබීමට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයයි. ප්‍රමාණවත් ආහාර වේලක් නැති ඔවුන් එම අඩුව පුරවා ගන්නේ කුඩු ඉරීමෙනි. එවැනි බොහෝ දෙනා එහි ආදිනව දන්නා නමුත් ඔවුන්ට ගොඩ ඒමට වෙනත් මගත් නැත. ඇත්තෙන්ම ඔවුන් කුඩු ජාවාරම නම් දැවැන්ත ව්‍යාපාරයේ අන්තිම දුර්වල පුරුකයි.

කුඩු ව්‍යාපාරය නැතිනම් මත්ද්‍රව්‍ය වෙළඳාම ලොව වැඩියෙන්ම ලාභ උපයන ප්‍රබල ව්‍යාපාරයකි. ඔවුන්ට තම ව්‍යාපාරය අතුරු ආන්තරාවක් නැතිව කර ගෙන යෑමට හැකි වන්නේ දේශපාලන අනුග්‍රහය ලැබීම නිසා ය. දේශපාලකයන් අනුග්‍රහය ලබා දෙන්නේ නිකමට නොවේ. එවැනි “ව්‍යාපාරිකයන්ගෙන්” තම දේශපාලන ව්‍යාපෘතියට නොමසුරුව ආධාර අනුග්‍රහය ලැබෙන නිසා ය. එම දේශපාලන අනුග්‍රහය ලැබීම නිසා ඔවුන්ට පහසුවෙන් සමාජයේ ප්‍රභූ පන්තියට ඇතුළු විය හැකිය. බලවත් කුඩු ජාවාරම්කරුවන් වැරදීමකින් හෝ නිතියේ රැහැනට ලක් වීමේ අනතුරක් ඇති වුවහොත් ඉන් මුදා ගැනීමට ඔවුන්ට දේශපාලන අනුග්‍රහය නොමසුරුව ලැබෙනු ඇත. පසුගිය කාලයේ දී කුඩු ජාවාරමට සම්බන්ධයැයි සැක කළ දේශපාලකයෙකුගේ නිවසක් පොලිසියෙන් වැටලූ විට රටේ ප්‍රධානම පුරවැසියා වූ ජනාධිපති ගුවනින් ඔහුගේ නිවසට ගොස් සිදු වූ වැරැද්ද ගැන සමාව ගත්තේය. මෙවැනි අවස්ථා අපමණ ය.

කුඩු ව්‍යාපාරය තුරන් කිරීමට අවංක වුවමනාවක් ඇත්නම් මුලින්ම කළ යුත්තේ මෙරට ට කුඩු ගෙන්වන මහා ව්‍යාපාරිකයන් අත් අඩංගුවට ගෙන කුඩු සැපයීම නතර කිරීම ය. කුඩු නිෂ්පාදනයක් රට තුළ නොවන නිසා ගුවනින් හෝ මුහුදෙන් ඒවා ගෙන ඒම නතර කළ හැකිය. ලොව දා හතර වැනි විශාල හමුදාවක් සිටින අපට මේ කුඩා දිවයිනේ ගුවන් අවකාශය සහ මුහුදු තීරය රැක ගැනීමට විධි විධාන යෙදීම අපහසුවක් නොවේ. අපගේ රටේ වැටුප් බිලෙන් සියයට පනහකට අධික ප්‍රමාණයක් වැය කරන්නේ ආරක්ෂක හමුදාවල වැටුප් ගෙවීමට ය. එමනිසා කුඩු රට තුළට ගෙන ඒම වැළැක්වීමට මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නැතැයි කිව නොහැකිය.    

එමනිසා දැනට ප්‍රසිද්ධ නිවාඩු කීපයක් යෙදීම නිසා තාවකාලිකව නතර කර ඇති යුක්තිය කුඩු මෙහෙයුම සමාජ ව්‍යසනයකින් රට බේරා ගැනීමේ අවංක අධ්‍යාශයකින් කරන මෙහෙයුමක් නොවේ. ඒ අන් කිසිවක් නිසා නොව යුක්තිය ගැන අබමල් රේනුවක හෝ කැපවීමක් නැති මෙම පුද්ගලයන්ට එවැනි අවශ්‍යතාවයක් නැති නිසාය. කුඩු ව්‍යාපාරයෙන් සුර සැප විඳින අය නොසලකා මහ පාරේ හෝ මුඩුක්කුවක කුඩු උරන අය හඹා යන්නේ තමන්ගේම අඩුපාඩු වසා ගැනීමට ය. ඇත්තෙන්ම ඔවුන් කරන්නේ කිඹුල් කටට වැටී ඇති යුක්තියේ නාමයෙන් ජනතාව කොහිල කටු ගාලක ඇද ගෙන යෑම ය.  

Print Friendly, PDF & Email

Leave a Reply