You are currently viewing රාජාසන කතාව හෙවත් පරණ වයින් වඩාත් පරණ බෝතලයකට දැමීමේ උත්සාහය

රාජාසන කතාව හෙවත් පරණ වයින් වඩාත් පරණ බෝතලයකට දැමීමේ උත්සාහය

දේශපාලනයේ කිසිත් අහම්බෙන් සිදු වන්නේ නැතැයි ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ ප‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් වරක් කිවේය. පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ කරමින් පැවැත් වූ කතාව ද කිසිසේත් අහම්බෙන් සිතට ආ දෙයක් නොව සැලසුම් සහගත ව සකස් කළ අදහස් මාලාවකි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සැසි වාරයක් ආරම්භ කිරීමේ දී ඔහුගේ පාලනයේ ඉදිරි කාලයේ දී කිරීමට සැලසුම් කරන සෞභාග්‍යයේ දැක්මේ ඉතිරි කොටස ගැන සඳහන් වනු ඇතැයි සමහරුන් තුළ තිබු බලාපොරොත්තුව බිඳ වැටීම පුදුමයක් නොවන්නේ ඔහුගේ දේශපාලනයේ ස්වභාවය එය නිසාය.

2019 ජනාධිපතිවරණයේ දී කළ කී දෑ කිසිම ආකාරයකින් වෙනසක් කිරීමට වුවමනාවක් හෝ හැකියාවක් නැත. ඔහු එම අදහස් ම නැවත වරක් වෙනත් වචනවලින් ඉදිරිපත් කෙලේ පරණ වයින් අලුත් බෝතලයකට දැමීමෙන් ජනතාව තවත් වරක් වල්මත් කරනු සඳහා ය. නැතිනම් ඔහුට ඉන් එහාට වෙනත් දෙයක් ගැන සිතීමට නොහැකි නිසා ය. ඔහුගේ පාලනයේ ගත වූ වසර දෙකක කාලය තුළ මෙම රටේ ආර්ථික වශයෙන් මෙන් ම දේශපාලන වශයෙන් ද සිදුව ඇති බරපතළ කඩා වැටීම ගැන ඔහුට අලුතින් කීමට කිසිත් නැත.

ඔහු බලයට පැමිණීමට පෙර රටේ ආරක්ෂක තත්වයේ බිඳ වැටීමක් තිබුණ නමුත් දැන් එය නිවැරදි කර ඇතැයි පැවසීම ඔහු ගේ සිහින ලෝකය හෙළි කරන්නකි. ආරක්ෂක තත්වයේ බිඳ වැටීම යනුවෙන් ඔහු අදහස් කෙළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මුස්ලිම් ආගමිකයන් ඉලක්ක කර ගත් ප‍්‍රචණ්ඩ ක්‍රියා නම් ඒවා සැලසුම් සහගතව කරන ලද බවට අපමණ සාක්ෂි දැන් මතුවෙමින් පවතී. අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා සහ අනෙකුත් කතෝලික පූජකවරුන් හෙළි කරන තොරතුරු සහ විවේචන ඔහු සඳහන් කරන ආරක්ෂක තත්වයේ බිඳ වැටීම ගැන පැහැදිලි අදහසක් ලබා දේ.

ඔහුට සැලසුම් කළ ආකාරයට කටයුතු කිරීමට නොහැකි වූ අනෙක් සාධකය ලෙස දැක් වූයේ කොවිඩ් 19 වසංගතයේ පැතිරීම ය. නමුත් ඔහු පැහැදිලි නොකළ වැදගත් ම කාරණය වූයේ කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරීම වැළැක්වීමට ගත් පියවර අසාර්ථක වීමය. කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කළ ආකාරයට වසංගතය ද මැඩලිය හැකි බවට පාරම් බෑ ඔහු ‘පැනික්’ නොවී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. වසංගතයක් යනු හමුදා ක්‍රියා මාර්ගවලින් මැඩලිය නොහැකි සෞඛ්‍ය ගැටලූවක් බව ඔහුට තේරුම් ගත නොහැකි විය. ත‍්‍රස්තවාදී සැකකරුවන් අත් අඩංගුවට ගත් ආකාරයට කොරෝනා රෝගීන් යැයි සැක කරන පුද්ගලයන් අත් අඩංගුවට ගෙන නිවාරණ මධ්‍යස්ථානවලට ගෙන යෑම බොහෝ දෙනකුට අලුත්ම අත්දැකීමක් විය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් පසු පසට දමා හමුදාවේ ප්‍රධානීන්ට එම කර්තව්‍යය භාර දුන්නේය.

වසංගතය මැඩලීමට ගත් ක්‍රියා මාර්ගයේ වැදගත් වූයේ රෝහල් ඇඳන් සංඛ්‍යාව 35,000කින් වැඩි කිරීම ය. ඒ හැර කොවිඩ් 19 හා අනෙකුත් සෞඛ්‍ය ගැටලු පිළිබඳ ව ඔහුගේ ආණ්ඩුව ගෙන ඇති පියවර නැවත වරක් හෙළි කරන්නේ සත්‍යය වසං කිරීමට ගන්නා උත්සාහයයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත් 2022 වසරේ අයවැය ලේඛනය අනුව ජන ජීවිතයට සෘජුවම බලපාන, සමෘද්ධි, ජල සැපයුම සහ ග‍්‍රාමීය නිවාස වැනි කාර්යන් සඳහා වෙන් කළ ප්‍රතිපාදන පෙර වසරට වඩා රුපියල් බිලියන 173කින් අඩු කර ඇත. කොවිඩ් 19 තවමත් බරපතළ ගැටලුවක් පැවතිය ද සෞඛ්‍යය සඳහා ප්‍රතිපාදන වැඩි කර ඇත්තේ රුපියල් දශ ලක්ෂ හතකින් පමණ ය.

උසස් පෙළ සමත්වන ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල වරම් ලබා දීම සඳහා අලුතින් විශ්ව විද්‍යාල පිහිටුවීමටත් පාසල් අධ්‍යාපනය නගා සිටිවීමට ජාතික පාසල් දහසක් අලුතින් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළ ද ඒ සඳහා අයවැය ප‍්‍රතිපාදන කිසිත් වෙන් කළ බවක් දක්නට නැත. ඇත්තෙන්ම සිදුව ඇත්තේ අධ්‍යාපන වැය ශීර්ෂය රුපියල් දශ ලක්ෂ 6කින් අඩු කිරීම ය. අයවැය ප්‍රතිපාදන නොමැති වුවත් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ මැජික් බලයක් ඔහු සතුව තිබෙනවා විය හැකිය.

මෙවැනි පුරසාරම් දෙසුව ද රට දැනට මුහුණ දී ඇති ආර්ථික කඩා වැටීම ගැන කිසි සඳහනක් කිරීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. ගෑස් පෝලිම් සහ ගෑස් ලිප් පුපුරා යෑම, කිරි පිටි පෝලිම්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අධිවේගී මාර්ගයක යන සුඛෝපභෝගී වාහනයක වේගයෙන් ඉහළ යන නමුත් ඒවා ගැන පැනික් විය යුතු නැත. වැදගත් වන්නේ කහවලින් ස්වයංපෝෂිත වීමය. සහල් පිටරටින් ගෙන ඒමට සිදුවීම කෘෂිකර්ම ප්‍රතිපත්තියේ වරදක් යැයි ඔහුට නොපෙනේ.

අනෙක් අතට රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර තිබිය දී ආරක්ෂක වියදම්වල කිසිම අඩුවක් සිදුව නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ ආරක්ෂක වියදම් සියයට දහයකින් එනම් රුපියල් බිලියන 373කින් ඉහළ යෑමය. දශ ලක්ෂ 22ක පමණ ජන සංඛ්‍යවක් සිටින ලංකාවේ හමුදා ශක්තිය පුද්ගලයන් 255,000කි. එහෙත් අන්තර්ජාතික උපාය මාර්ගික අධ්‍යයන ආයතනය ( 2019 පෙබරවාරි) පවසන ආකාරයට දශ ලක්ෂ 70ක ජන සංඛ්‍යාවක් සිටින මහා බ්‍රිතාන්‍යයේ හමුදා ශක්තිය 146,390කි. ඉන් අපේ ආරක්ෂක උපාය මාර්ග ගැන සිතා ගත හැකිය.

කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සඳහා රසායනික පොහොර සහ කෘමි සහ පළිබෝධ නාශක ආනයනය තහනම් කිරීම ප්‍රමාණවත් ය. රටේ නන් දෙසින් නැගී ආ ගොවි උද්ඝෝෂණ හමුවේ එම තහනම ඉවත් කර ගත් නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්‍රතිපත්තිය අතහැරීමට සූදානම් නැත. රටක කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම කාබනික පොහොර මත රඳා පැවතිය නොහැකි බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම විද්‍යාඥයන් පෙන්වා දුන් නමුත් ඒවාට සවන් දිමට ඔහු සූදානම් නැත. එමනිසා කාබනික පොහොර භාවිතය රට පුරා ප්‍රචලිත කිරීමේ වගකීම ද හමුදාවට පවරා දුන්නේය.

මහා වේලි, ජලාශ සහ වාරිමාර්ග ඉදි කිරීම කෘෂිකාර්මික සංවර්ධනය සේ දකින වර්තමාන රජයත් ඊට පෙර පැවති රජයනුත් විද්‍යාත්මක පදනමක් අනුව කෘෂිකර්මය සංවර්ධනය කිරීමට දක්වා ඇත්තේ පුදුම අලස භාවයකි. මීට හොඳ නිදසුනක් 2020 විගණකාධිපතිගේ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෘෂිකාර්මික ඵලදායිතාවය නගා සිටුවීමට ගුණාත්මක භාවයෙන් උසස් බීජවල අවශ්‍යතාවය විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. ඒ අනුව බීජ පනත යටතේ ජාතික බීජ සභාවක් පිහිටුවීමට ප්‍රතිපාදන 2003 වසරේ සිට තිබුණ ද 2017 නොවැම්බර් මස තෙක්, වසර 14ක් ගත වන තෙක් එවැනි සභාවක් ස්ථාපිත කෙළේ නැත. ගුණාත්මක බීජ නිෂ්පාදනය නියාමනය කිරීම සහ ආනයනය පිළිබඳ අතිශයෙන් වැදගත් කාර්ය භාරයක් මෙම සභාවට පැවරී තිබුණ ද එය ක්‍රියාත්මක කිරීමට කිසිම දේශපාලන වුවමනාවක් තිබුණේ නැත. සමහර විට එවැනි සභාවක් ස්ථාපනය කිරීමෙන් දේශපාලන වාසි ලබා ගැනීමට නොහැකි වීම හේතුවක් වන්නට ඇත. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කරුණු හැදෑරීමේ අවශ්‍යතාවයක් නැති බවට තවත් නිදසුනක් 2020 විගණකාධිපති ගේ වාර්තාවෙන් දැක් විය හැකිය. කාබනික ගොවිතැන පිලිබඳව නියෝග නිකුත් කිරීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාබනික වගාව දිරිමත් කිරීමට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව රාජාංගනය වම් ඉවුර ප්‍රදේශයේ අක්කර 10,000ක කාබනික පොහොර පමණක් යොදා අක්කර 10,000ක වගා වී වගා කිරීමට රුපියල් දශ ලක්ෂ 82.6ක මුදලක් වෙන් කර ඇත. අපේක්ෂිත අස්වැන්න කි.ග‍්‍රෑ. 18,000,000කි. එහෙත් එම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අයත් ප්‍රදේශයේ වගා කළ හැකි වූයේ අක්කර 3152කි. අස්වැන්න කි.ග‍්‍රෑ. 1,974,350කි. වැය වු මුදල රුපියල් දශ ලක්ෂ 13කි. සම්පුර්ණ ව්‍යාපාතියම අසාර්ථක විය.

බුද්ධිමත් සැලසුම්කරුවන් නම් මුළු රටම කාබනික පොහොර පමණක් යොදා ගත යුතු යැයි නියෝග කිරීමට පෙර මෙවැනි ව්‍යාපෘතීන් අධ්‍යයන කළ යුතුව තිබිණ. එම ව්‍යාපෘතිය අසාර්ථක වීමට හේතු වූ කරුණු ගැඹුරින් හැදැරිය යුතුව තිබිණ. ඒ කිසිසේත් නොකර හදිසියේ නින්දෙන් අවදි වූ සේ තීරණ ගැනීමෙන් සිදු වන්නේ විනාශයකි. එම තිරණය නිසා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවකගේ ජීවන තත්වය අවදානමට ලක් වීමට අමතරව සහල් හිඟය මග හැරීමට පාකිස්ථානයෙක් සහ චීනයෙන් සහල් ආනයනය කිරීමට සිදුව ඇත. එවිට වස විස නැති ආහාර ගැන කතාවත් නැත.

මෙම අවාසනාවන්ත තත්වය කාබනික ගොවිතැනට පමණක් සීමා වූවක් නොවේ. ගෑස් පෝලිමේ සිට කිරි පිටි පෝලිම දක්වා දිග හැරෙන්නේ එකම කතාවකි.

ඊටත් වඩා විහිළුව වන්නේ ලබා ගත් ඉන්ධන වෙනුවෙන් මුදල් ගෙවිමට නොහැකි විදුලි බල මණ්ඩලය ඉන්දියානු අයි ඕසී සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට සිදු වීමයි. මෙම කඹ ඇදිම නිසා රටම අඳුරේ ගිලී ඇත. ඒවාට විසඳුම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකුට ඇති බවක් අඳුරේ ගිලි සිටින අපට නොපෙනේ.  

Leave a Reply