You are currently viewing යුක්‍රේන යුද්ධයෙන් පරාජය ඇමරිකාවට..

යුක්‍රේන යුද්ධයෙන් පරාජය ඇමරිකාවට..

බටහිර ජනමාධ්‍යයෙන් ඉස්මතු කර දක්වන්නේත් ලොව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේත් රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය යි. බටහිර ජනමාධ්‍යය දක්වන ආකාරයට ලොව සාමයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ප්‍රධාන බාධකය දෙසට රුසියානු ආක්‍රමණය යි. එම නිසා රුසියාව පරාජය කිරීමට කළ හැකි සියලු දේ කළ යුතුය. සියලු දේ යන්නෙන් මැක්සිම් ගෝර්කි, ලියෝ ටෝල්ස්ටෝයි, ඩෙස්ටොවොස්කි වැනි සම්භාව්‍ය රුසියානු ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති පවා වර්ජනය කළ යුතු ය. තවත් ඉදිරියට ගොස් රුසියානු සංචාරකයන්ට පවා යුරෝපා සංගමයේ රටවලට පිවිසීම වැළැක්වීම් යෝජනාවක් ද සංගමය තුළ සාකච්ඡා වෙමින් පවතී. මෙහි විශේෂත්වය වන්නේ  ඇෆ්ගනිස්ථානය හෝ ඉරාකය ආක්‍රමණය කළ විට හෝ ලිබියාවට එරෙහිව නේටෝ ගුවන් හමුදාව බෝම්බ හෙළන විට හෝ  ඇමරිකානුවන්ට එරෙහිව මෙවැනි සම්බාධක පැනවීමේ අවශ්‍යතාවයක් ‘‘නිදහස’’ අගය කරන මෙම රටවලට නොතිබීම ය.

ලොව එකම සුපිරි බලවතා ලෙස තම ආධිපත්‍යය දිගටම පවත්වා ගැනීමේ අවශ්‍යතාවය රාජ්‍ය ප්‍රතිපත්තිය කර ගත් එක්සත් ජනපදය 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව මුළු ලෝකයම අවනත කර ගැනීමට කිසිම බාධකයක් දුටුවේ නැත. ප‍්‍රැන්සිස් ෆුකුයාමා වැනි ‘‘ලිබරල් චින්තකයන්’’ එය හැඳින් වූයේ ඉතිහාසයේ අවසානය සේය. එනම් ලෝකයම එකම දේශපාලන සහ ආර්ථික මතවාදයකට, ඇමරිකානු ආධිපත්‍යයට නතුව ඇතැයි යන්නයි. සෝවියට් සංගමයේ නටබුන් අතරින් රුසියානු පෙඩරේෂණය නැගී සිටීම සහ චීනය දේශපාලන සහ ආර්ථික බලවතෙකු වනතෙක් මෙම මතවාදයට අභියෝගයක් තිබුණේ නැත.

ලොව පළමු පෙළ ඛනිජ තෙල් නිෂ්පාදකයෙකු වූ රුසියාව සතු න්‍යෂ්ටික තාක්ෂණය සහ අවි ඇමරිකානු උපාය මාර්ගික සැලසුම්කරුවන් අමතක කළ කාරණයකි. වැඩි දිනක් යෑමට පෙර රුසියාවේ අවි වෙළඳාමත් ඒ හා බැඳුණු දේශපාලනයත් එක්සත් ජනපදයට අභියෝගයක් වන බව පැහැදිලි විය. එම නිසා පුනර්ජීවයක් ලබන රුසියානු පෙඩරේෂණය බිඳ දැමීම නැවත වරක් ප්‍රතිපත්ති ප‍්‍රමුඛතාවය බවට පත්විය. ඊට අමතරව සෝවියට් සංගමය පැවති සමයේ තම සමීප මිතුරෙකු වූ චීනය කොටු කිරීමේ අවශ්‍යතාවය ද ඇමරිකානු ප්‍රතිපත්ති සැලසුම්කරුවෝ අවබෝධ කර ගත්හ. ඒ අනුව යුගොස්ලාවියාව කැබලි කිරීම, ඇෆ්ගනිස්ථානය ඉරාකය ආක්‍රමණය කිරීම, ලිබියාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ පැරණි සෝවියට් සංගමයට අයත්ව තිබු රටවල ආණ්ඩු පෙරළා දමා තමන්ට හිතවත් කණ්ඩායම් බලයට පත් කිරීම පුළුල් වැඩ පිළිවෙළක පුරුක් ය. යුක්‍රේනය මෙම වැඩ පිළිවෙළට ඇතුළත් කර ගත්තේ 2014 මයිඩාන් අරගලයත් සමග ය. 

ඇත්තෙන්ම යුක්‍රේනය යුද්ධය ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදය ගෙන යන වැඩපිළිවෙළේ කොටසක් බව පැහැදිලි වන්නේ රුසියාව පසුගිය මාර්තු මාසයේ දී යුක්‍රේනය ආක්‍රමණ කිරීමත් සමග පැන වූ සම්බාධකවලිනි. කලින් සඳහන් කළ ආකාරයට සාහිත්‍යය සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල රුසියාවට එරෙහිව පැන වූ සම්බාධකවලට අමතරව විශේෂයෙන් වැදගත් වන්නේ ලෝකය ඛනිජ තෙල් සැපයුම් අර්බුදයකට මුහුණ දී සිටිය දී රුසියානු තෙල් අපනයනය සම්බන්ධයෙන් පැන වූ සම්බාධක යි. ඛනිජ තෙල් අපනයනය රුසියාවේ ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය වීමට අමතරව බටහිර යුරෝපය රුසියානු තෙල් මත යැපීම ද එක්සත් ජනපදයේ උදහසට ලක් වූවකි. යුරෝපා සංගමය සහ රුසියාව අතර පැවති ඛනිජ තෙල් සහ ගෑස් වෙළඳාම දුර්වල කිරීමේ ප්‍රයත්නය ඇරඹුණේ යුක්‍රේන යුද්ධය ඇරඹීමටත් පෙර ය. රුසියාවේ සිට බටහිර යුරෝපයට ගෑස් සැපයීමට බෝල්ටික් මුහුද හරහා ඉදි කළ නළ මාර්ගයට (Nord Sream 2 )  ඇමරිකාව මුල සිටම විරුද්ධ විය. ඇමරිකානු සැලසුම්කරුවන් ගණන් බැලූ ආකාරයට රුසියාවේ තෙල් අපනයනය නතර කළ හොත් එහි ආර්ථිකයත් යුද ශක්තියත් බිඳ වැටෙනු ඇත.

2022Sep05[3]_nord_sream_2

එහෙත් ඇමරිකානු සැලසුම්කරුවන්ගේ වෙනත් බොහෝ ගණනන් බැලීම් මෙන්ම මෙම සම්බාධක පැනවීම ද අසාර්ථක වන බව දැන් පැහැදිලි ය. එය අසාර්ථක වීමට වඩා ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව පාරාවළල්ලක් වීමේ අනතුරක් ද පවතී. ඒ එක අතකින් ඔපෙක් + යනුවෙන් හැඳින්වෙන ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල එකතුව වඩාත් පුළුල් කිරීමේ උත්සාහය යි. රුසියාවේ අනුග්‍රහය ලබන මෙම වැඩ පිළිවෙළට ඊශ්‍රායලය හැරුණ විට මැද පෙරදිග ඇමරිකාවේ සමීපතම රාජ්‍යය වන සෞදි අරාබිය ක්‍රියාකාරීව සහයෝගය දක්වයි. අනෙක් කාරණය රුසියාව මෙන්ම ඉරානය ද තෙල් මිල නියම කිරීමේ දී ඩොලරය වෙනුවට දේශීය මුදල් ඒකක යොදා ගැනීමට සූදානම් විම ය. එය ශක්තිමත් කිරීමට ඇමරිකානු බැංකු මගින් ක්‍රියාත්මක කරන Swift මුදල් නිෂ්කාශන ක්‍රමය වෙනුවට රුසියානු මහ බැංකුව හඳුන්වා දුන් මීර් ක්‍රමය යොදා ගැනීමට ද ඉරානය සමග එකඟතාවයක් ඇති කර ගැනීමේ සාකච්ඡා පවතී.

මෙහි වැදගත්ම පුරුක වන්නේ සෞදි අරාබිය සහ රුසියාව අතර ඛනිජ තෙල් නිෂ්පාදනය පිළිබඳව එකඟතාවයක් ඇති කර ගැනීම ය. සෞදි අරාබියේ තෙල් ඇමති අබුදුල්ලාසිස් බින් සල්මන් කුමරු ප්‍රකාශ කළ ආකාරයට මෙම සාකච්ඡා අවසාන වටයට එළඹෙමින් පවතී. එම සාකච්ඡා සාර්ථක වීමෙන් අදහස් වන්නේ සෞදි අරාබියේ තෙල් සැපයුම වැඩි කිරීමෙන් ලෝක වෙළඳ පොළ තෙල් මිල පාලනය කිරීමේ ඇමරිකානු සැලැස්ම පසුබෑමකි. තෙල් මිල පාලනය එක්සත් ජනපදයට සහ යුරෝපයට වැදගත් වන්නේ තෙල් මිල ඉහළ යෑම එම රටවල් ජීවන වියදම මෙන්ම කාර්මික නිෂ්පාදනයට ද සෘජුවම බලපාන නිසා ය. රුසියානු ගෑස් සැපයුම නතර කිරීම නිසා එළඹෙන ශීතය යුරෝපිය රටවලට පෙර නොවු ආකාරයට බලපානු ඇතැයි බියක් පවතී.

රුසියානු අඩුව පිරි මැසීමට සෞදි අරාබියේ සැපයුම වැඩි කිරීමට යුරෝපා සංගමය ගත් උත්සාහය අසාර්ථක වන බව පැහැදිලි ය.

අනෙක් අතට සම්බාධක පැනවීමෙන් රුසියානු ආර්ථිකය දුර්වල කිරීමේ උත්සාහය ද සිහිනයක් බවට පත්ව ඇත. පසුගිය දා වොෂින්ටනයේ වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කළ ආකාරයට සම්බාධක නිසා රුසියාවට ගලා එන ඩොලර්වල කිසිම අඩුවක් සිදුව නැත. රුසියාව මෙම වසරේ ජුලි මාසය වන විට තෙල් අපනයනයෙන් ඩොලර් බිලියන 97ක ආදායමක් උපයා ඇත. සම්බාධක පැවතිය ද රුසියාවෙන් දිනකට බොර තෙල් බැරල් දශලක්ෂ 7.5ක් අපනයනය කරන බවද එම වාර්තාවේ සඳහනි. ඉන් කියවෙන්නේ සම්බාධක නිසා රුසියානු තෙල් අපනයනය කඩා වැටී නැති බවය. දළ වශයෙන් සම්බාධක පැනවීමට පෙර පැවති මට්ටම පවත්වා ගැනීමට රුසියාව සමත්ව සිටී.

ඇමරිකානු සම්බාධක අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වන්නේ රුසියාව යුරෝපයට තෙල් අපනයනය කරනු වෙනුවට ආසියාවේ සහ අප්‍රිකාවේ නව වෙළඳ පොළ දෙසට යොමු වීම ය. චීනය දැන් ප්‍රධාන වශයෙන්ම රුසියානු තෙල් සහ ගෑස් මිල දී ගනී. කලින් ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගත්තේ සුළු ප්‍රමාණයක් වුවද දැන් එම ප්‍රමාණය කීප ගුණයකින් ඉහළ ගොසිනි. මෙම වෙළඳාම වර්ධනයට හේතුවක් වන්නේ ඩොලර් වෙනුවට දේශීය මුදල් යොදා ගැනීමේ එකඟතාවක් ඇති කර ගැනීම සහ රුසියාව තම ගැනුම්කරුවන්ට වට්ටම් ලබා දීමය.

ඇමරිකාව රුසියානු තෙල්වලට සම්බාධක පැනවීමෙන් තෙල් වෙළඳ පොළ ඇතිවන හිගය පිරිමසා ගැනීමට බලාපොරොත්තු වූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ පිළිබඳව ( JCPOA ) අත්හිට තිබු සාකච්ඡා නැවත ආරම්භ කිරීමෙන් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ උත්සාහයයි. යුරෝපා සංගමය ඒ පිළිබඳ ව නව යෝජනා ඉදිරිපත් කළ අතර ඇමරිකාව ඒ ගැන දැඩි උනන්දුවක් දක්වයි. එකඟතාවයක් ඇති කිරීමට ප්‍රමාද වන්නේ රුසියාව දක්වන විරෝධය නිසා යැයි ද ඇමරිකාවෙන් චෝදනාවක් එල්ල වී ඇත.

කෙසේ වුවත් රුසියාව සහ ඉරානය අතර ඛනිජ තෙල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින සහයෝගිතාවය ද ඇමරිකාව අපේක්ෂා නොකළ තත්වයකි. රුසියාව සහ ඉරානය කැස්පියන් මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් බිම් 14ක් ඒකාබද්ධ ව සංවර්ධනය කිරීමේ ගිවිසුමක් අත්සන් කිරීමට ආසන්නය. ඒ අනුව රුසියාව ඉරානයේ ඩොලර් බිලියන 40ක් ආයෝජනය කිරීමට නියමිතය.

සෞදි අරාබිය සහ රුසියාවත් රුසියාව සහ ඉරානයත් අතර ඉන්ධන නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනය වන සහයෝගිතාවය එක්සත් ජනපදයේ ආධිපත්‍යයට සෘජුවම අභියෝගයකි. එක අතකින් ඉන්ධන ක්ෂේත‍්‍රයේ මුල පිරුම ඇමරිකාවෙන් ගිලිහී යන අතර අනෙක් අතට ලෝක වෙළඳ පොළ පෙට්‍රෝ ඩොලර් නමින් ඇමරිකානු ඩොලරයට හිමිව තිබු සුවිශේෂී තැන අහෝසිවීමකි. ලෝක වෙළඳාමේ දී ඩොලර් භාවිතය දැනටමත් පිරිහෙමින් පවතින අතර ඇමරිකානු සම්බාධක නිසා එම ප‍්‍රවනතාවය වේගවත් වන බව පෙනේ. ලෝකයේ දෙවන විශාල ආර්ථිකය වන චීනය ද වෙළඳ ගනුදෙනුවල දී ඩොලර් වෙනුවට යුවාන් සහ දේශීය මුදල් යොදා ගැනීමේ ප්‍රතිපත්තියට මාරුවෙමින් සිටී. ඒ සඳහා චීනයේ මුල පිරුමක් වන මාවත සහ කලාපය (Road and Belt Initiative ) වැඩ පිළිවෙළද ඉවහල් වේ.

මෙවැනි පසුබිමක් තුළ යුක්‍රේනයේ යුද්ධය එක්සත් ජනපදය අපේක්ෂා කළ ආකාරයට රුසියාව දුර්වල කොට විනාශ කිරීම වෙනුවට එක්සත් ජනපදයේ ආධිපත්‍යය තවත් දුර්වල කිරීමට හේතුවිය හැකි බව පැහැදිලිය. එවැනි තත්වයකට මූලික හේතුව වන්නේ යුක්‍රේන යුද්ධයට මුල පිරුමෙන් අපේක්ෂා නොකළ ආකාරයට එහි අනිටු බලපෑම්වලට යුරෝපා සංගමයේ රටවල් ද ගොදුරු වීමය. රුසියාවෙන් යුරෝපයට සැපයූ ඉන්ධන සම්බාධක ලක්වීමෙන් ඇතිවන හිඟය පිරිමසා ගැනීමට එම රටවලට කලක් ගත වනු ඇත. සමහර ගණන් බැලීම් අනුව ඉරානයේ තෙල් සැපයුම දිනකට බැරල් 900,000කින් වැඩි කිරීමට අඩුම වශයෙන් මාස තුනකට වැඩි කාලයක් ගතවනු ඇත. තෙල් සැපයුම යථා තත්වයට පත් වුවත් ඩොලරයේ ආධිපත්‍යය  වැටීම වැළැක්විය නොහැකි වන්නේ වෙළඳ රටාවේ විය හැකි වෙනස්වීම් නිසාය.

එමනිසා යුක්‍රේන යුද්ධය ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ පැහැදිලි හැරවුම් ලක්ෂණයක් වනු ඇත.             

Leave a Reply