You are currently viewing ‘..මූලික අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්න..’ – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නීතිපතිගෙන් ඉල්ලයි..

‘..මූලික අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්න..’ – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නීතිපතිගෙන් ඉල්ලයි..

2023 වසරේ පොලීසියෙන් වධ හිංසා පැමිණවීම් පිළිබඳව පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොළඹ ප්‍රධාන කාර්යලයට ලැබී ඇතැයි එම කොමිසම නීතිපතිවරයා වෙත දැනුම් දී ඇත. වසරේ පළමු භාගයේ දී පොලිස් අත් අඩංගුවේ දී මිය යෑම් හයක් සහ ගැටුම්වලින් මරණ දෙකක් පිළිබඳ පැමිණිලි ඊට ඇතුළත් වන බව ද එම ලිපියේ සඳහන් වේ.

අත් අඩංගුවේ දී සහ ගැටුම්වලදී සිදුවන මිය යෑම් වැළැක්වීමට මානව හිමිකම් කොමිසම සකස් කළ ශ්‍රී ලංකා පොලිසියට පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ පිළිබඳ කෙටුම්පතක් 2023 දෙසැම්බර් 11 එළි දක්වන ලද අතර ඒ පිළිබඳ නීතිපතිවරයාගේ අදහස් අපේක්ෂාවෙන් පසුවන බවද කොමිසම එම ලිපියේ සඳහන් කරයි.

වෙහෙරගෙදර රංජිත් සුමන්ගල එරෙහිව මිරිහාන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරි බණ්ඩාර සහ තවත් අය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම සහ පාතිමා ෂර්මිලා එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධාරි සහ තවත් අය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය මෑතක දී ලබා දුන් ඉතා වැදගත් නඩු තීන්දු ගැන ද කොමිසම නීතිපතිවරයාගේ අවධානය යොමු කර ඇත. ඒ අනුව 1994 වධ හිංසා පැමිණවීමේ පනත යටතේ වධ හිංසා ක්‍රියා පිළිබඳව වගකිව යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ  නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගනු ඇතැයි කොමිසම බලාපොරොත්තු වන බවද එහි සඳහන් වේ. 

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් පලි ගැනීම්වලින් ආරක්ෂා කිරීමට 2023 අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ට සහාය දීමේ සහ ආරක්ෂ කිරීමේ පනත යටතේ සුදුසු පියවර ගැනීමේ අවශ්‍යතාවය ද කොමිසම අවධාරණය කර ඇත. 

Print Friendly, PDF & Email

Leave a Reply