විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය විවාදයේ දී අධ්‍යාපන විෂය ගැන කතා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සුදුසුකම් ලබා නැති මංත්‍රීවරුන්ට නීති විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයකට ඇතුළත් ව උපාධියක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දිය යුතු යැයි ඉල්ලා සිටියේ ය. සමහර මංත්‍රීවරුන්ට අධ්‍යාපන හෝ වෘත්තිය සුදුසුකම් නැතත් දක්ෂතා ඇති නිසා එවැනි අවස්ථාවක් ලබා දීමෙන් වඩාත් උසස් සේවයක් ලබා ගත හැකි යැයි ඔහු තවදුරටත් පැහැදිලි කෙළේය. නිදසුනක් වශයෙන් හැත්තෑ ගණන්වල එවැනි අවස්ථාවක් ලැබුණු මංත්රීවරයෙකු සුදුසුකම් නැතත් නීති විද්‍යාලයට ඇතුළත් ව නීති විභාගයෙන් සමත් වූ බවද ඔහු පෙන්වා දුන්නේ ය. නම සඳහන් නොකළ ද ඉන් අදහස් කෙළේ හැත්තෑවේ සමගි පෙරමුණේ ආණ්ඩුවේ මංත්රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා ය.
අධ්‍යාපනයක් ලැබීමටත් බුද්ධි ගවේෂණයටත් රුචිකත්වයක් ඇති පුද්ගලයෙකුට වයස් සීමාවක් හෝ වෙනත් අවම අධ්‍යාපන සුදුසුකම්වල සීමාවක් නැතිව කැමති අධ්‍යාපන ආයතනයකට පිවිස කැමති පාඨමාලාවක් හැදෑරීමටත් එම දැනුම සහ පුහුණුව තමාගේත්” සමාජයේත් අභිවෘද්ධියට යොදා ගැනීමට අවස්ථා සැලසීම සෑම සමාජයකම පැවතිය යුතු තහවුරු කළ යුතු ගුණාංගයකි. ළමා කාලයේ දීත් යොවුන් කාලයේ දීත් අධ්‍යාපනයක් ලබා ගත නොහැකි වීමට විවිධ වූ හේතු පවතී. ඉන් මූලික වන්නේ දුප්පත් කමයි. දුප්පත් ගොවි පවුල්වල සහ කම්කරු පවුල්වල ළමයින්ට සමහර විට මූලික අධ්‍යාපනය හෝ නොලබා ජීවන බර දැරීමට සිදු වේ. තවත් අයට යුද්ධයක් නිසා හෝ වෙනත් ව්‍යසනයක් නිසා උන් හිටි තැන් අතහැර සරණාගත තත්වයට පත් වූ විට ද අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ කුමන තත්වයක් යටතේ වුවද අධ්‍යාපනය මිනිසාගේ මූලික අයිතියකි. එය එක්සත් ජාතින්ගේ විශ්ව ප්රකාශනයෙන් මෙන් ම වෙනත් සන්ධානයන්ගෙන් ද තහවුරු කර ඇති අයිතියකි. එම නිසා පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට හෝ වෙනත් කණ්ඩායමකට අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට අවස්ථාවක් සැලසීම සමාජයේ යුතුකමකි. අනෙක් අතට අයිතිවාසිකමකි.
එහෙත් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් සැලසිය යුතු යැයි ඉල්ලා සිටින්නේ වරප්‍රසාදයක් සේය. ඒ පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථා අහිමි වූයේ ඉහත සඳහන් ආකාරයට දුප්පත්කම නිසා හෝ අවතැන් ව සරණාගත තත්ත්වයට පත් වූ නිසා නොවේ. දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයෙකුට පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට නොව ගම්සභා අසුනකට හෝ තරග කිරීමට උවමනාවක් හෝ අවස්ථාවක් නැත. ජීවත් වීමේ තියුණු අරගලයකට මුහුණ දී සිටින ඔවුන් ගේ ප්‍රමුඛතාවය රට පාලනය කිරීම නොවේ. පණ නළ රැක ගැනීම ය. දුප්පතුන් මෙන් ම සරණාගතයන් ද ප්‍රධාන සමාජ ප්රවාහයෙන් බැහැර වූවන් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ජන කොටස් ගැන විශේෂ වූ සම්මුතීන් සකසා ඇත්තේ එම නිසාය.
අද ලංකාවේ පවතින තත්වය මත පාර්ලිමේන්තුවේ අසුනකට තේරී පත්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ධනය, (මැර) බලය, පවුල් බලය, දේශපාලන අනුග්‍රහය වැනි සුදුසුකම් නොමදව තිබිය යුතු ය. දැනට පවතින පාර්ලිමේන්තුවේ සහ මීට ඉහත පැවති පාර්ලිමේන්තුවල මංතීවරුන්ගේ සමාජ තත්ත්වය විමසා බැලීමේ දී බොහෝ අය අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම්වලට වඩා වෙනත් සුදුසුකම් හිමි කර ගත් අය බව පෙනේ. සමාජයේ සුබ සිද්ධිය පතන ජනතාව හොර මැරකම් කරන අපරාධවලට සම්බන්ධ අය නැතිනම් ගණංකාරයන් ප්‍රිය කරන්නේ නැත. ශිෂ්ට සමාජයෙන් ඔවුන් බැහැර කෙරේ. එවැනි පුද්ගලයන් නැවත නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ කෙසේද?. එවැනි පුද්ගලයන්ගේ චරිත ස්වභාවය ඡන්ද දායකයන් නොදත් නිසාද?. නැතිනම් එම ගති පැවතුම් ඡන්ද දායකයන් අනුමත කරන නිසා ද?. මේ අයට නීති විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයකට පිවිසීමටත් අධ්‍යාපනය ලැබීමටත් අවස්ථාවක් ලැබීමෙන් ශිෂ්ට ව්‍යවහාරයේ අනුමත නොකරණ ගති පැවතුම් සහ ආකල්ප වෙනස් වේද?.
කිසියම් අධ්‍යාපන ආයතනයකින් උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක් ලැබීම නිසාම පුද්ගලයෙකු තුළ දැනුම මෙන් ම සංයමයක් ඇතිවීම සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතු ය. දිසාපාමොක් අධ්‍යාපනය ලැබූ පුරාතන සමයේ ශිෂ්‍යයන්ට බුද්ධිමය දැනුමට අමතරව යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබිණ. ඒ අධ්‍යාපනයෙන් පූර්ණ මිනිසෙකු වීමට අවස්ථාවක් ලැබෙන නිසා ය. දැනට පාර්ලිමේන්තුවේ කෙරෙන වාද විවාද රූපවාහිනියෙන් හෝ යූ ටියුබ් ඔස්සේ නරඹන කෙනෙකුට බොහෝ මංත්‍රිවරුන් හැසිරෙන ආකාරයෙන් පෙනි යන්නේ දැනුමේ හෝ ශික්ෂණයක අඩුවක් නොවේ. වෘත්තීය සුදුසුකමක් හෝ උපාධියක් ලැබීමෙන් මේ අයගේ හැසිරීම් රටාවේ වෙනසක් සිදු විය හැකි යැයි අනුමාන කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ලැබීමටත් වඩා අසීරු විය හැකිය. ඒවා ජන්ම ගති යැයි පිරිහෙළිම ද සැහැසි කමකි.
උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක් නැති අය පසෙක ලා එවැනි සුදුසුකම් උපරිමයෙන් ඇති අය පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන කිරිඇල්ල මංත්රීවරයාට සෑහීමට පත් විය හැකි දැයි ඇසිය යුතු ය. නීතිය පිළිබඳ මහාචාර්යවරුන් පවා සමහර විට හැසිරෙන්නේ කිසිම නීතියක් නොදත් අය සේය. ඔවුහු නීතිය පිළිබඳ දැනුම පසෙක ලා පක්ෂයේ, වඩාත් නිවැරදිව පක්ෂ නායකයාගේ වුවමනාව අනුව නීතිය විග්රහ කරති. පසුගිය දශකයක පමණ කාලය තුළ ඒ ගැන නිශ්චිත අවස්ථා අපමණ දැක්විය හැකි වුවද උනන්දුවක් දක්වන ජනතාවට ඒවා නැවත සිහිපත් කිරීම අනවශ්‍ය ය. දැනට පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් රඟ දැක්වෙන දේශපාලනයට අවශ්‍ය වන්නේ දැනුමෙන් ඔප මට්ටම් වන බුද්ධියක් නොව ආත්මාර්ථකාමිත්වය පදනම් ව නායකයාගේ අණට හෝ වුමනාවට සුවචව කීකරුවීමේ ගුණය පමණි. නායකයාගේ අණට හෝ වුවමනාව සපිරීමට ඔහු කිසි විටෙකත් පසු බට නොවේ. ඒ ශික්ෂණයක් නැතිකම හෝ දැනුමේ අඩුවක් නිසා ඇති වන්නක් නොවේ. අනෙකාට ගරු කිරීම, සවන් දීම, කිසියම් දෙයක් කැප කිරීමට නෛසර්ගික ව ඇති අකමැත්තයි. මෙය යම් තාක් දුරට අධ්‍යාපනයෙන් වෙනස් කළ හැකි වුවද ලංකාව දැනට මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්වයෙන් ගොඩ ඒමට ප්‍රමාණවත් නැත.
අද අපේ රට ආර්ථික හා සමාජයීය වශයෙන් අගාධයකට වැටීමට ප්‍රධාන හේතුව දේශපාලනයේ පිරිහීම ය. මෙම පිරිහීමේ සමහර ලක්ෂණ ඩොනමෝර් ආණ්ඩුක්රමයේ සිට දක්නට ලැබුණ ද එය වඩාත් ඉස්මතු වූයේ ලිබරල් ආර්ථිකය ඉස්මතු වීමත් සමග ය. මෙම ලිබරල් ස්වභාවය ආර්ථිකයට පමණක් සීමා වූයේ නැත. දේශපාලනයට මෙන් ම සමාජ හර පද්ධතීන්ට ද එය කිඳා බැස ඇත. ලිබරල් මතවාදයේ ගිලී ඇති පුද්ගලයෙකුට පහසුවෙන් ම මෙම සමාජ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට පමණක් නොව අගමැති ජනාධිපති වැනි තනතුරුවලටත් යා හැකි ය. ඒ ගමනට අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ දැඩි ආත්මාර්ථය යි. සියල්ලන්ට වඩා තමා වැදගත් ය යන අලජ්ජී හැඟීමයි. වත්මන් දේශපාලනයේ කැපී පෙනෙන ලක්ෂණය එයයි. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින විට හෙළා දකින වංචා දූෂණ සහ අකටයුතු බලයට පැමිණි විට ජීවන මාර්ගය වන්නේ එම නිසා ය.
මෙම ලිබරල් වාදය යටතේ ‘සංවර්ධනය’ වන්නේ රට නොව පුද්ගලයන් සහ පුද්ගලික සමාගම් ය. ඔවුන් ‘සංවර්ධනය’ වන්නේ රටේ ජනතාවගේ ශ්‍රමයෙන් නිපදවන දේ කූට ලෙස අත්කර ගැනීමෙනි. ආකාර් පතේල් නම් ඉන්දීය ලේඛකයා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සමස්ත ඉන්දියාවේම සම්පත් අම්බානි සහ අද්වානි වැනි පුද්ගලයන් සහ සමාගම් පහක් අතට පත් කර ඇති ආකාරය Price of Modi Years නම් කෘතියේ මැනවින් පෙන්වා දී ඇත. ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත පිරිසක් එදා වේල පිරිමසා ගැනීමට නොහැකිව සාගින්නේ පසුවෙද්දී ආසියාවේ සහ ලෝකයේ මට්ටමෙත් සුපිරි ධනවතුන් බිහි වන්නේ එම ප්‍රතිපත්ති නිසා ය. ඔවුන්ගේ ‘සංවර්ධනය’ අහස උසට ඉදිවෙන මාලිගා වැනි ගොඩනැගිලිවලින් සහ සුර සැප පරයන ජීවන විලාසිතාවලිනුත් දිස් වේ. අහසේ සිට බලන විට පෙනෙන්නේ දිව මාලිගා විනා දුප්පතුන්ගේ පැල්පත් නොවේ.
ලංකාවේ ද ඊට වඩා අඩු පරිමාණයෙන් වුවත් සිදු වන්නේ එයයි. රටේ බහුතරයක් සුසුම් ලා බඩගින්න නිවා ගන්නා අතර අතලොස්සක් ඉහළම සැප සම්පත් විඳින්නේ ‘ලිබරල් සංවර්ධනය’ නිසා ය. ධනය අසීමිත සේ ඒකරාශි කර ගැනීමට අවශ්‍ය වන්නේ අධ්‍යාපනය හෝ වෘත්තීය දැනුම නොව දේශපාලන බලපුළුවන්කාර කමයි. සමාජ ජීවිතයේ ගුණාත්මක භාවයත් ඒ තුළින් ශිෂ්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිහි කළ හැකි වන්නේ ප්රශස්ත දේශපාලනයක් මගිනි. එහි නිර්ණායක වන්නේ අධ්‍යාපන සුදුසුකම් පමණක් නොවේ. මනුෂ්‍යත්වයට ගරු කිරීම සහ සමානත්වය පිළිගැනීම හා වෙනස් කොට නො සැලකීම එහි මූලික පදනම් විය යුතුය.
එවැනි වැඩ පිළිවෙළක මූලික වන්නේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග ය. මැතිවරණ පොරොන්දු නොවේ. බලයට පැමිණි පසු කරන දේට වඩා ක්‍රියාවෙන් තමන් වෙනස් බව පෙන්වා දිය යුතු ය. ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය පක්ෂය තුළත් ජනතාව සමග වැඩ කිරීමේ දීත් ප්‍රදර්ශනය විය යුතු ය. එවැනි ක්‍රියා මාර්ගයකට ප්‍රවේශ විය හැකි නම් නිවැරදි දේශපාලන මාවතක් හෙළි පෙහෙළි වනු ඇත. අද පවතින්නේ අනුන්ගේ වැරදි සහ හොර මැරකම් විවේචනය කරමින් ජනතාව ප්‍රතික්ෂේප කරන පැරණි දූෂිත මාර්ගයේ ම අලුතින් යෑමේ උත්සාහයකි. එය පහසු කටයුත්තක් වුවද ඉදිරියට යෑමක් නොවේ.
එම නිසා අභියෝගය වන්නේ මනුෂ්‍යත්වයට ගරු කරන වෙනස් කොට සැලකීමක් නැති ක්‍රියා මාර්ගයක් සකසා ගැනීම ය. පවතින ක්‍රමය විවේචනය කිරීමෙන් පමණක් එය කළ නොහැකිය. පැරණි දේ ඉවත දැමීමේ සහ නව මාවත් සොයා යෑමේ එඩිතර භාවයක් ද තිබිය යුතු ය.
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024
- වෘකයා පොරවා ගත් බැටළු හම ඉවත් කිරීමට පෙර සිතා බැලිය යුතුය.. - October 14, 2024