You are currently viewing බාල ඖෂධවලින් නිර්වින්දනය කර කනත්තට යවන සමාජයක්

බාල ඖෂධවලින් නිර්වින්දනය කර කනත්තට යවන සමාජයක්

මුලින්ම කතා බහට ලක් වූයේ ඖෂධ හිඟයකි. අත්‍යවශ්‍ය ඖෂධ පමණක් නොව පැරසිටමෝල් වැනි ඹෟෂධ පවා රජයේ රෝහල්වල නැති බව වෛද්‍යවරු මෙන්ම එම ක්ෂේත්‍රයේ වෙනත් සේවකයෝ ද පැවසූහ. සෞඛ්‍ය ඇමති ඒ ගැන කලබල වූයේ නැත. වෛද්‍යවරුන් කුමක් කීවත් අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ රෝහල් පද්ධතියට ලබා දී ඇති බව මාධ්‍යයට කීවේය. ඖෂධ හිගයන් පවතින්නේ නම් ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ඒවා ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා බවට ඔහු සහතික වූයේය. ඇත්තෙන්ම පසුගිය වසර කිපය තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැතිව ඖෂධ කඩිනමෙන් ගෙනවිත් ඇත. එහෙත් හිගය පිරිමැසුණේ නැත.

දෙවැනිව මතු වූ ප්‍රශ්නය නිර්වින්දන හෝ වෙනත් එන්නත් නිසා රෝහල්වල රෝගීන් මිය යෑම ය. ලෝකයේ ඕනෑම රටක නිර්වින්දන අසාත්මිකතාවය නිසා රෝගින් මිය යන බැවින් එය ලංකාවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවන නිසා කලබල විය යුතු නැතැයි වෙනත් දිනවල හෙද සේවයේ නිලධාරීන් සමග මහ පාරට බැස උද්ඝෝෂණය කරන ජනාධිපති රනිල් ගේ වෘත්තීය සමිති උපදේශක කීවේය. ඉන් නිර්වින්දනයෙන්  මිය යන රෝගීන්ගේ අඩුවක් වූයේ නැත. දිවයිනේ රෝහල් ගණනාවකින් එවැනි මරණ නැවතත් වාර්තා විය. ඊට අමතරව එන්නත් නිසා ද රජයේ රෝහල් තුළ මිය ගිය අය ගැන වාර්තා විය. නැවතත් සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති මෙන්ම රෝගීන් ගැන උනන්දුවන වෙනත් සංවිධාන ද නොසැලකිල්ල නිසා සිදුවන මරණ ගැන කතා කළහ. කොළඹ මහ රෝහලේ වෛද්‍ය ප්‍රධානි මේ තත්වයට මූලික හේතුව වන්නේ සෞඛ්‍ය ඇමති අල්ලස් ලබා ගෙන අනුමැතියකින් තොර ඖෂධ ගෙන්වීම බව පුවත් සාකච්ඡාවක දී පැවසුවේය. අමාත්‍යංශයේ උසස් නිලධාරීන් උනන්දු වන්නේ විදේශ ආයතනවලින් ලබා දෙන රට සවාරි යෑම ගැන පමණක් යැයි චෝදනා කෙළේය.

සෞඛ්‍ය ඇමති ඊට පිළිතුරු දුන්නේ තමා තනතුරෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් සිදු වන්නේ යැයි හෙළි කිරීමෙනි. ඒ ගැන රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බව ද පැවසුවේය. අල්ලස් ගැනීම ගැන කිසිත් සඳහන් කෙළේ නැත.

මේ අතර දිවයිනේ නන් දෙසින් ඖෂධ භාවිතයෙන් හට ගන්නා අසාත්මිකතාවය නිසා මිය යන අයගේ වාර්තා ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයේත් සමාජ මාධ්‍යයේත් දිගින් දිගටම පළ විය. වීඩියෝ තාක්ෂණය සුලබවීම නිසා මිය ගිය පුද්ගලයාගේ ඥාතින්ගේ ශෝකය කම්පා කරවන ආකාරයට සමාජ මාධ්‍යයේ සැරි සරන්නට විය. ඖෂධවලින් හට ගන්නා අසාත්මිකතාවයෙන් මිය යෑමට අමතරව ඖෂධ ගෙන්වීමේ දී සිදුවන අක්‍රමිකතා ගැනද විවිධ ආකාරයේ පුවත් පළ විය. සමහර සිද්ධීන් ගැන පරික්ෂා කොට වාර්තා කිරීමට කොමිටි ද පත් කරන්නට සිදු විය.

කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ අගමැති සහ ජනාධිපති විසින් රට පාලනය කරන්නේ යැයි විශ්වාස කරන සමහරුන් මේ ගැන අගමැතිගේ සහ ජනාධිපතිගේ මැදිහත් වීමක් පැතූහ. එහෙත් සියල්ල සිදු වන්නේ ගරු ජනාධිපති තුමාගේ උපදෙස් අනුව නිසා ඇමති හෝ අගමැති කලබලයට පත් වූයේ නැත. රෝගීන් මිය යෑමේ සහ ඒ ගැන මතුවන මහජන විරෝධයේ අඩුවක් ද නැත. සමහර විට ඔවුන්ට ද තත්වයෙන් බාල නිර්වින්දන එන්නත් ලබා දීමෙන් ප්‍රශ්නය විසඳීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන්නට ඇත.

කෙසේ වුවත් කුමන බලපෑමක් නිසා හෝ අතිගරු ජනාධිපති සෞඛ්‍ය අංශයේ ප්‍රධානින්ගේ රැස්වීමක් ඔහුගේ අලංකාර කාර්යාලයට කැඳ වූයේය. නිලධාරීන් සහ ඒ අංශයේ දේශපාලන ප්‍රධානීන් කියන දේ නෑසුනත් තොල් පෙති චලනය වූ සහ හිස සැලු ආකාරයෙන් කිසියම් අදහස් හුවමාරුවක් වන්නට ඇතැයි සිතා ගත හැකිය. කෙසේ වුවත් අවසානයේ අතිගරු ජනාධිපති තුමා ප්‍රශ්නයට විසඳුම් ලබා දුන්නේය. සාමාන්‍ය තත්වයක් යටතේනම් නිලධාරීන් අත්පුඩි ගසා එම දිව්‍යමය විසඳුම් ගැන සතුට පළ කරන නමුත් ජනාධිපති කාර්යාලයේ දී අත්පුඩි ගැසීමක් සිදු වූයේ නැත. කෙසේ වුවත් එම දිව්‍යමය දැනුමට කිසිවෙකු අභියෝග නොකර හීලෑ සතුන් සේ බලා සිටි ආකාරය රූපවාහිනී වාර්තාවලින් රටටත් අවශ්‍ය නම් පිට රටටත් ප්‍රදර්ශනය කෙළේය.

අතිගරු ජනාධිපති තුමා දෙසා වැදෑරු ආකාරයට ඖෂධ හිඟයට පිළියම වන්නේ ඖෂධ ඇති රෝහල්වලින් නැති රෝහල්වලට මාරු කර යැවීමෙනි. තොග හුවමාරුව සඳහා දැන් පාලකයන් නිතරම මතුරණ මංත්‍රයක් වූ ඩිජිටල් තාක්ෂණය යොදා ගත හැකිය. එවිට වැඩේ තවත් පහසුය. ඖෂධ හිගයටත් අතිගරු ජනාධිපති තුමා කදිම විසඳුමක් ඉදිරිපත් කෙළේය. එක් එක් ආයතනවලින් අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදය වළක්වා ගැනීමට ඒ පියවර ලිහිල් කොට කඩිනමෙන් ආනයනය කිරීමය. ඖෂධවල ප්‍රමිතියක් අවශ්‍යම වන්නේ නම් ඒ සඳහා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන ආයතනයේ (FDA) ප්‍රමිතිය යොදා ගත හැකිය.

මේ අතර සුවය පතා රෝහල් ගත වන රෝගීන් ප්‍රතිකාර නිසා මිය යන ආකාරය සතර වටින් වාර්තා වේ. සමහර විට ඇමරිකානු ප්‍රමිතිය අනුව ඖෂධ ආනයනය කරන විට ඖෂධ අසාත්මිකතාවයෙන් මිය යන සංඛ්‍යාව අඩු වනු ඇත. රෝගීන් එතෙක් නොමැරී ඉවසා සිටිය යුතුය.

ජනාධිපති ගේ විසඳුම අපට සිහිපත් කරන්නේ ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට 2048 දක්වා එනම් දශක තුනක් පමණ බලා සිටිය යුතුයැයි කීම ය. සරලව 1948 දී අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබු අප යටත් විජිත භාවයෙන් මිදී නිදහස් නිවහල් ජාතියක් වශයෙන් නැගී සිටීමට වසර සියයක්, ශත වර්ෂයක් බලා සිටිය යුතුය. එහි සත්‍යය වන්නේ ආර්ථික ලිහිල්කරණයට පදනම් වු න්‍යාය ඉදිරිපත් කළ  කේන්ස් කී ආකාරයට දිගු කාලයේ දී අප සියලු දෙනාම මිය ගොස් සිටිනු ඇතැයි යන්නයි. සංවර්ධනය ගැන කාල වකවානු නියම කරන පුද්ගලයන් ද ඒ වන විට ජීවතුන් අතර නොවනු ඇත.

එහෙත් අපට කෙටි කාලිනව බාල ඖෂධ ගෙන්වීමටත් ඖෂධ හිගයක් නිර්මාණය වීමටත් හේතු දැකිය හැකිය. පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ දී හෙළි වූ ආකාරයට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඖෂධ නියාමනයේ ඇත්තේ අවුලකි. ඖෂධ ආනයනය, තත්ව පාලනය සහ බෙදා හැරීම සඳහා රු. දශලක්ෂ 600ක් වැය කොට මිලදී ගත් මෘදුකාංග නිසි පරිදි ක්‍රියා කරන්නේ නැත. ඊටත් වඩා වැදගත් කාරණය සංස්ථාව මෘදුකාංග සඳහා රු. දශලක්ෂ 600ක් වැය කළ බව පැවසුවත් එය සැපයු EWIS සමාගම සඳහන් කරන්නේ තමන්ට ලැබුණේ රු. දශලක්ෂ 223ක් පමණි යන්නයි. රුපියල් ශත අතහැරියත් 600ත් 223ත්  සමාන සංඛ්‍යා නොවන බව නීතිඥ උපාධියක් නොලත් අයෙකුටත් වටහා ගත හැකි සරල කාරණයකි. එම නාටකය එතැනින් අවසන් වන්නේ නැත. එම පද්ධතිය නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව ඖෂධ සංස්ථාව රු. දශ ලක්ෂ පහක් වැය කළ බව පැවසුවත් සමාගම පවසන්නේ ඒ වෙනුවෙන් කිසිම අය කිරීමක් සිදු නොකළ බවයි.

මේ පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියේ අනාවරණය වු කරුණුය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ විවිධ මට්ටම්වල බලධාරීන් ගත්තායැයි කියන අල්ලස් හෝ වෙනත් සංතෝෂම් මීට අයත් නැත. ඒවා පිළිගත හැකි ආකාරයෙන් සාධක සහිතව මෙතෙක් සහතික කර නැත. බොහෝ විට සිදු වන ආකාරයට එම චෝදනා විභාග කිරීමේ අවශ්‍යතාවයක් ද නැත. රහස් පොලිසියට කරන පැමිණිල්ලකින් සියල්ල බාල ඖෂධයකින් නිර්වින්දනය වනු ඇත. එවිට සහතික කළ හැකි වන්නේ මරණය පමණි.

මෙහිදි නිර්වින්දනය කර ඇති තවත් කරුණක් පහන් සංවේගය සඳහා සිහිපත් කළ යුතුය. පසුගිය කොරෝනා කාලයේ හදිසි අවශ්‍යතා සේ චීනයෙන් ආනයනය කළ සිනොපාම් එන්නත ගැන ද මෙවැනිම චෝදනා මතු විය. චීනයෙන් බංග්ලාදේශයට සහ පාකිස්ථානයට එකක් ඩොලර් දහය බැගින් ලබා දුන් එන්නත අප මිලදී ගෙන ඇත්තේ ඩොලර් පහළොවහකටය. මෙසේ වැඩි පුර ඩොලර් පහක් අය කර ගත්තේ ඇයිද යන්න ඒවා සැපයු සමාගම හෝ මිලදී ගත් ආයතනය ජනතාවට මෙතෙක් පැහැදිලි කර නැත. ඩිජිටල් තාක්ෂණය යොදා සෙවීමේ අවශ්‍යතාවයක් ද නැත.

මෙවැනි හදිසි මිලදී ගැනීම් සිදු වන්නේ ඖෂධ පමණක් නොවේ. ගල් අඟුරු මිලදී ගෙන ඇත්තේ මේ න්‍යාය අනුවය. බ්ලැක්සෑන්ඩ් කොමොඩිටීස් නම් සමාගමෙන් ගල් අඟරු මෙට්‍රික් ටොන් දශලක්ෂ 4.5ක් ලංකාව මිලදී ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 295 ගණනේය. රුසියාව ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඉන්දියාවට විකුණන්නේ ඩොලර් 160 ටය.

මෙවැනි අපමණ වූ ගනුදෙනු නිවැරදි කිරීමට අණපනත් ලිහිල් කිරීමෙන් නොහැකි බව අතිගරු ජනාධිපති තුමාත් සෙසු බලධාරිනුත් තේරුම් ගත යුතුය. ඔවුන්ට එවැනි බුද්ධියක් නැතිනම් කළ යුත්තේ අවස්ථාවාදීව වංචනික උපදෙස් දෙන අයගේ උපදෙස් නොතකා සුදුසු පාලකයන් පත් කර ගැනීමට ජනතාවට අවසථාව ලබා දීම ය. එවැනි අවස්ථාවක් ප්‍රමාද කිරීමෙන් පාලිතයන්ගේ මෙන්ම පාලකයන්ගේ ද අනාගතය නිසැකයෙන්ම අඳුරු වනු ඇත.    

Print Friendly, PDF & Email

Leave a Reply