You are currently viewing පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ ‘විමර්ශන තීරණාත්මක අදියරක’

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ ‘විමර්ශන තීරණාත්මක අදියරක’

2019 පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ජිහාඩ් ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් මේ වන විට පරස්පර විරෝධී (එය පුදුමයට කරුණක් නොවේ) මතවාද දෙකකට මුහුණ දීය.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග රජයට අපහසුතාවක් විය හැකි වර්ධනයක් ලෙස, ප්‍රමුඛ පෙළේ කතෝලික පියතුමන්ලා ජාතික ජන බලවේග රජයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කර සිටිති. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහ පසුව සිදු වූ ඇතැම් තීරණාත්මක සිදුවීම් පැවති කාලයේ ඔහු නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස කටයුතු කර තිබීම මෙයට හේතුවයි.

මෙම තත්ත්වය ඇති වූයේ ජිහාඩ් ප්‍රහාරවලට ආසන්න කාලසීමාවේදී වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වූ අවස්ථාවේදීය. එහිදී විමර්ශකයන්ගේ අවධානය, ප්‍රහාර එල්ල කළ ජාතික තව්හීද් ජමාත් (NTJ) සංවිධානයෙන් සිතාමතාම ඉවතට හරවා, අක්‍රියව පවතින දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු සාමාජිකයන් වෙත චෝදනා එල්ල කිරීමට යොමු කෙරිණි. LTTE සංවිධානයට වගකීම පැවරීමට ගත් මෙම උත්සාහය විමර්ශන වෙනතකට හැරවීමක් වූ අතර, එම විමර්ශන නිසි ලෙස සිදු කළේ නම් පාස්කු ඉරිදා සිදු වූ එම ම්ලේච්ඡත්වය වළක්වා ගැනීමට ඉඩ තිබිණි.

තම ප්‍රජාව තුළ සිදුවන ‘අන්තවාදීකරණය’ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට එල්ල වූ ප්‍රහාරයකට යොදා ගෙන ඇත්තේ ඝාතනයට ලක් වූ නිලධාරීන්ගෙන් පැහැරගත් ආයුධ ආයුධම බව හඳුනා ගන්නා ලදී. දෙවන වර්ධනය සිදු වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, NTJ නායක සහරාන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු සැකකරුවන් පිරිසක් සයින්දමරුතු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් කොටු කරනු ලැබූ අවස්ථාවේදී ඔවුන් පුපුරුවා ගැනීමෙන් සිය දිවි නසා ගැනිමත් සමඟය.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කෙරෙන බලපෑම්වලට පදනම වී ඇත්තේ, හමුදා සහ පොලිස් නායකත්වය තුළ වගවීම පිළිබඳ බරපතළ හිඩැසක් පෙන්නුම් කළ වකවානුවක ඔහු ආරක්ෂක යාන්ත්‍රණයේ තීරණාත්මක කොටස්කරුවෙකු ලෙස කටයුතු කිරීමයි. මෙය 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු මහා පරිමාණ අපරාධ සිදු කිරීමට, ඒවාට හවුල් වීමට සහ ඒවා වසන් කිරීමට යුද හමුදා බුද්ධි අංශයේ (DMI) සිටි රාජපක්ෂ හිතවාදීන් කළ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස සැලකේ.

පසුගිය වසරේදී ද විපක්ෂය විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් මෙවැනිම චෝදනාවක් එල්ල කරන ලදී. ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කරනු ලබන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් බැවින්, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එහි කිසිදු ‘කාර්යභාරයක්’ නොමැති බවට තරමක් පදනම් විරහිත තර්කයක් ඉදිරිපත් කරමින් රජයේ අතිමහත් බහුතර බලයෙන් එම යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කෙරිණි. එහෙත්, පූජක පක්ෂය සහ ක්‍රියාකාරීන්ගෙන් මෙම ඉල්ලීම දැන් නැවතත් මතු වී තිබේ.

සිව් දෙසින්ම පීඩනයට පත්ව සිටින රජය මීට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්න කුතුහලය දනවන කරුණකි. ‘කෝල්ගේට්’ (Coalgate) අර්බුදය හේතුවෙන් බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්වීම දැනටමත් රජයට වූ දැඩි පසුබෑමකි. 2024 ‘මැතිවරණ සම්මුතියට’ ගරු කරන බවට දේශපාලන නායකත්වය විසින් ලබා දෙන හරසුන් සහතික කිරීම් මධ්‍යයේ වුවද, වැඩි අඩු වශයෙන් අදක්ෂ හෝ දූෂිත ලෙස සැලකෙන අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මහජන කලකිරීම වර්ධනය වෙමින් පවතී.

මෙයට හේතු වී ඇත්තේ දුර්වල හෝ අවදානමට ලක් වූ සත්‍යාපන ක්‍රියා පටිපාටි හේතුවෙන් අත්දැකීම් අඩු නිලධාරීන් වංචනික ඊමේල් උපදෙස් මගින් නොමඟ යෑමයි. මෙය මීට දිය හැකි වඩාත් සානුකම්පිත අර්ථකථනය වුවද, විපක්ෂය වඩාත් සැකකටයුතු අයුරින් පවසන්නේ ‘මීට වඩා යමක් මෙහි සිදුවෙමින් පවතින’ බවයි. ඇත්ත වශයෙන්ම, මෙම සිදුවීමම ප්‍රමාණවත් තරම් ලැජ්ජා සහගත වුවද, වඩාත් නරකම කරුණ වූයේ මාස ගණනාවකට පසු ‘තොරතුරු හෙළිදරව් කරන්නන්’ (whistleblowers) විසින් මෙය අනාවරණය කරන තෙක් තම මුදල් ‘සොරකම් කර ඇති’ බව මහජනතාව දැන නොසිටීමයි.

මෙම හෙළිදරව්වෙන් පසු, මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය හොබවන ජාතික ජන බලවේගයේ දේශපාලන පත්වීම්ලාභියා විසින් ඒත්තු නොයන ලෙස තර්ක කරනු ලැබුවේ, ‘සයිබර් අපරාධය සම්බන්ධ විමර්ශනවලට බාධාවක් වේ යැයි බියෙන් මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකළ’ බවයි. එහෙත්, කලබලයට පත් ලේකම්වරයා පවසන පරිදි මෙය සංකීර්ණ සයිබර් ප්‍රහාරයක් නොවන අතර, එය කුතුහලයෙන් පිරි නව යොවුන් දරුවෙකු පවා හසු නොවන ආකාරයේ, සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ‘නයිජීරියානු කුමාරයා’ (Nigerian Prince) වර්ගයේ ඊමේල් වංචාවක් බව පෙනී යයි.

එසේ නම්, මුදල් අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාව (හෝ එහි නැතිකම) පිළිබඳව මෙයින් කියවෙන්නේ කුමක්දැයි ඕනෑම අයෙකුට ප්‍රශ්න කළ හැකිය. ඒ වටා ප්‍රශ්න රාශියක් පවතී. මෙම වංචාව හෝ අලාභය රජයේ නීති කාර්යාලයට (නීතිපති දෙපාර්තමේන්තුවට) වාර්තා කළේද, එසේ නම් ඒ කවදාද? නිසි නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළේද, එසේ නම් ඒ කවදාද? නිසි සත්‍යාපන වැඩ පිළිවෙළක් (verification protocols) අනුගමනය නොකළේ ඇයි? මෙම කරුණ සම්බන්ධයෙන් ‘විමර්ශන පවත්වන’ බැවින් එම ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි බව පවසමින් ලේකම්වරයා මැසිවිලි නැඟීම පමණක් ප්‍රමාණවත් නොවේ.

සැබවින්ම, එමගින් සිහිපත් වන්නේ (ලංසු තබන අවස්ථාව වන විට) ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකුට ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමුවේ මන්දැයි මාධ්‍යවේදියෙකු සෘජුවම ප්‍රශ්න කළ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ කැබිනට් ප්‍රකාශකයා කටයුතු කළ ආකාරයයි. ටෙන්ඩරයේ කිසිදු වරදක් නොමැති බව පවසමින් කැබිනට් ප්‍රකාශකයා එය සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ ද, මෙම පුවත්පත ‘කෝල්ගේට්’ (Coalgate) වංචාව පිළිබඳ ගවේෂණාත්මක වාර්තාවකින් තියුණු ලෙස පෙන්වා දුන් පරිදි, ටෙන්ඩරයේ වරදක් නැතත් ගල්අඟුරුවල නම් විශාල වශයෙන් දෝෂ පැවතුණි

මාධ්‍යවේදියාට ඔහු දුන් නිසරු පිළිතුර වූයේ, ‘පරීක්ෂණ කොමිසමක් මගින් මේ සියලු කරුණු විමර්ශනය කරමින් පවතිනවා. මෙම ප්‍රශ්න එම කොමිසමට ඉදිරිපත් කළ හැකියි’ යන්නයි. එය කිසිදු හරයක් නැති, ‘එහේටත් මෙහේටත් නැති’ කතාවක් බව කෙනෙකුට කිව හැකිය. පැහැදිලිවම, තමන්ට අපහසුතාවයක් ඇති කරන දේ නොසලකා හැරීමට රජය වැඩි කැමැත්තක් දක්වයි. නමුත්, මෙවැනි වංක පිළිතුරු මගින් මහජන කෝපය මැඩපැවැත්විය නොහැකි බව පාලක දේශපාලකයින්ට මතක් කර දිය යුතුව ඇත.

එලෙසම, 2019 පාස්කු ඉරිදා ජිහාඩ් ප්‍රහාර පිළිබඳව ‘අපක්ෂපාතී’ විමර්ශන පවත්වාගෙන යාමට ඉඩ සැලසෙන පරිදි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට යළිත් මතු වන ඉල්ලීම් සම්බන්ධයෙන්, සිතාමතාම පවත්වාගෙන යන නිහඬතාවයක් දක්නට ලැබේ. වින්දිතයන් උදෙසා යුක්තිය පසිඳලීමේදී අප හමුවේ තබා ඇති පරස්පර විරෝධී විස්තර කථනයන් දෙස නැවත හැරී බැලීමේදී පෙනී යන කරුණ නම්, එම කරුණු දෙකම ප්‍රබල දේශපාලන න්‍යාය පත්‍රයන් විසින් මෙහෙයවන බවයි.

එක් අතකින්, ප්‍රහාරයන් පිළිබඳව නව සහ විශ්මය ජනක ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් සිදු කරන බවට පොරොන්දු වූ, දැඩි මතධාරී ප්‍රමුඛ ප්‍රචාරකයෙකුගේ රාජපක්ෂ හිතවාදී ‘පොත් එළිදැක්වීම’ අවසානයේදී පුස්සක් බවට පත්විය. කණගාටුවට කරුණ නම්, එම සියලු පොරොන්දු අසත්‍ය බවට පත්වී, පාස්කු ඉරිදා සමූල ඝාතනය සිදු කිරීමේදී NTJ සංවිධානය තනිවම ක්‍රියා කළ බවට වූ පරණ මතයම යළිත් ඉදිරිපත් වීමයි. කිසිදු ‘මහා කුමන්ත්‍රණකාරී දේශපාලන හස්තයක්’ ඊට සම්බන්ධ නොවූ බව රාජපක්ෂ ප්‍රචාරකයෝ මහ ඉහළින් පාරම්බාති.

අනෙක් අතට, වවුනතිව් සහ සයින්දමරුදු සිදුවීම් සම්බන්ධයෙන් මේ සතියේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයන්හිදී, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ එම ප්‍රහාර පිටුපස සිටි ‘ප්‍රධාන ගාමක බලවේගය’ ලෙස හඳුන්වමින් නීතිපතිවරයා මහත් ආන්දෝලනයක් ඇති කළේය. සලේ විසින් සිතාමතාම අවධානය වෙනතකට යොමු කළ බවට එහිදී චෝදනා එල්ල විය.

ඔහුගේ අණ යටතේ සිටි බුද්ධි තොරතුරුකරුවෙකු විසින් ප්‍රහාරකයින්ට කටුවාපිටිය පල්ලිය පිහිටි ස්ථානය පෙන්වා දී තිබූ අතර, එහිදී කුඩා දරුවන් රැසක් වන්දනාමාන කරමින් සිටි තම දෙමාපියන් සමඟ මිය ගියහ. සැබවින්ම මේවා විවෘත අධිකරණයක් හමුවේ ඉදිරිපත් වූ ඉතා බරපතළ චෝදනා වේ. මේවා කෙතරම් බරපතළ ද යත්, ‘ඔප්පු කළ හැකි දේ පමණක්’ ප්‍රකාශ කරන ලෙස රජයේ නීති නිලධාරියාට අවධාරණයෙන් යුතුව නැවත නැවතත් අවවාද කිරීමට මහේස්ත්‍රාත්වරයාට සිදුවිය.

එසේම, බුද්ධි අංශ නිලධාරියෙකු විසින් සාක්ෂිකරුවෙකුගේ නිවසේ අත්බෝම්බ පහක් සහ පිස්තෝලයක් ‘අටවා’, ඔහුගේ සුනඛයන් හය දෙනෙකුට වස දී එම සාක්ෂිකරුවා බිය ගැන්වූ බවට ද චෝදනා එල්ල විය. දශක ගණනාවක් පුරා පැවති ගැටුම් සමයේ උතුර සහ නැගෙනහිර සමූල ඝාතනවලට හසුවූ දෙමළ සුළුතරයේ සිවිල් වින්දිතයන්ට මෙන්ම, කොළඹ සිදුවූ ‘දේශපාලන ඝාතන’ රාශියක් සම්බන්ධයෙන් ද මෙවැනි චෝදනා නුපුරුදු ඒවා නොවේ.

ශ්‍රී ලංකාවේ නොපෙනෙන හස්තය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ ඔය ආකාරයටයි. දැන් අපි ඒ පිළිබඳ ‘සාක්ෂි’ දෙස බලා සිටිමු.

Leave a Reply