You are currently viewing උසාවියේදී

උසාවියේදී

මෙම පද්‍ය නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත්තේ තනිවූ මවක හා ඇයගේ පුතා පිළිබඳ සිදුවීමකි. තමන්ගේ ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමට, කාන්තාවන් කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් පොළඹවාගෙන අඹු සැමියන් ලෙස හැසිරී තමාගේ ලෙයින් කාන්තාවගේ කුසට දරුවකු තෑගි දී එය දැනගත් වහාම සියළු සබඳතා අත්හිටුවා පැදුරටත් නොකියා මාරු වී යන “ පිරිමි “ යන වචනයටත් නිගා දෙන “ පංචස්කන්ධ “ මෙම සමාජයට පිළිලයකි.

2021_Agu_Court _1_Monika Ruwanpathirana
මොණිකා රුවන්පතිරණ

නූතන සිංහල කාව්‍යයේ ඉහළ පිළිගැනීමක් සහිත කිවිඳියක හා කතුවරියක වශයෙන් සැලකෙන කලා කීර්ති මොණිකා රුවන්පතිරණ විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ සංඛ්‍යාව 19 කි. 1946 සිට 2004 දක්වා වූ ඇයගේ දිවි ගමනේදී ඇයට සුවඳ විඳීමට නොහැකි වුනු, ශ්‍රී ලංකා රජය මගින් පිරිනමනු ලැබූ කලාකීර්ති (මරණාපර) අභිධානයෙන් 2005 වසරේදී පිදුම් ලැබුවාය.

 දෙනෝදහකි සේනාවකි මෙහි සැම තැන  ගැවසෙන්නේ

උඹ වැනි බිළිඳුන් මෙතැනට සිය දහසිනි   පැමිණෙන්නේ

කිමදැයි පුත මගෙ උර මත හිස සඟවා          නිදියන්නේ

පැලේ නොවෙයි පුතුනේ උඹ උසාවියක  අද      ඉන්නේ

මෙහි මුල් පද ද්විත්වයෙන් සමාජය කෙතරම් පිරිහී ඇතිදැයි හැඟවීමට කිවිඳිය සමත් වේ. උසාවියේ පිහිට පැතීමට දෙනෝදහක ජනතාවක් මෙහි පැමිණ ඇති බව ඇය “ දෙනෝදහකි සේනාවකි මෙහි හැම තැන ගැවසෙන්නේ “ යන ව්‍යංගයෙන් පවසයි. එමෙන්ම “ උඹ වැනි බිළිඳුන් මෙතැනට සිය දහසිනි පැමිණෙන්නේ“ යන පදයෙන් ගම්‍ය වන්නේ එම පැමිණ සිටින ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙහි කථිකාවිය මුහුණ දෙන අන්දමේ ඛේදවාචකයන්ට ලක්වූවන් බවය. තම පුංචි පැලේ දී අප්‍රමාණ වූ මාතෘ සෙනෙහසකින් යුතුව තුරුළු කරගෙන පුතුට නිදි සුව විඳින්නට සැළැස්වුව ද මෙය එසේ නිදා සිටීමට අවස්ථාව නොවන බව ද මේ මොහොත හිස සඟවා නොසිට හිස කෙලින් තබා ගෙන අවදියෙන් සිටිය යුතු මොහොතක් බවද ඇය තම දරුවාට පවසන්නේ “ පැල සහ උසාවිය “ , “ නිදහස සහ අවධානය“ ට උපමා කරමිනි. පැල යන කුඩා ඒකකයෙන් මිදී සමාජය නම් ව්‍යාකූල ඒකකය තුල හැසිරීමේදී නිදහසේ සැහැල්ලුවෙන් සිටීමට අවකාශ නොමැති බවත් වගකීමෙන් යුතුව අභියෝග වලට මුහුණ දෙමින් අවධානයෙන් සිටිය යුතු බවත් ඈ පවසන්නීය.

උඹ කිසිදා නොදුටු පියා අද මෙහි ඇවිදින්     ඉන්නේ

නැත උඹ ඔහුගේ පුතු බව පුතුනේ ඹහු    පිළිගන්නේ

උඹ මැදිකොට ඇති නඩුවක අද අප දෙපසේ ඉන්නේ

හඳුනා ගන්නටවත් පුතු ඔහු වත දෙස      බලපන්නේ

2021_Agu_Court _3

කාව්‍ය පන්තියෙහි සංක්ෂිප්තය මෙම කවියෙහි ගොනුවේ. එනම් දරුවාගේ හිමිකම පිළිබඳ නඩුවට පැමිණි මව, පියා සහ පුතු වටා ගෙතුනු පද්‍ය පන්තියක් බවයි. තමාට දාව උපන් දරුවා තමාගේ යැයි පියා පිළිනොගැනීම කෙතරම් අභාග්‍යයක් ද? එවිට මව කෙතරම් ව්‍යාකූල තත්ත්වයකට පත්වන්නේද. දස මසක් කුස දරා අනේක දුක් විඳ මෙලොවට බිහිකර මහත් සෙනෙහසකින් දෝතින් ගෙන තම ස්වාමි පුරුෂයාට ‘මේ අපේ සම්පත‘ යැයි, දිවියේදී පවසන සොඳුරුතම වදන්පෙළ මුමුනන මොහොත මවක වූ කාන්තාවක ගේ සොඳුරුතම නිමේෂය යි. ඒ සොඳුරු මොහොත මග හැරීම පමණක් නොව ඒ තමන්ගේ දරුවකු නොවන බව ප්‍රකාශ කිරීම කෙතරම් සාහසික ද?  එය මනුෂ්‍යත්වයට නිගා දීමකි. එවිට මව කෙතරම් ඉච්ඡාභංගත්වයකට පත් වන්නේ දැයි සිතා ගත හැක. මානවයකුට ලද හැකි දරුණුතම පරාජය එයයි. මෙහිදී පුරුෂයා ගේ පාර්ශ්වයෙන් සිතුව හොත් ඔහු දරුවාගේ බාරකාරීත්වය ප්‍රතික්ෂේප කිරීමට ද හේතු බූත වූ කරුණු තිබිය හැක. කාන්තාව වෙනත් පුරුෂයන් සමග සමීප ඇසුරුකිරීම් පවත්වා ඇත්නම් ඹහු තුල සාධාරණ සැකයක් ඇතිවිය හැක. නමුත් ඒ අදහස බැහැර කිරීමට සිදුවන්නේ කිවිඳිය පද්‍ය පන්තිය පුරා කාන්තාව පිළිබඳ දොසක් පවරා නොමැති වීම නිසාවෙනි. ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත හෙන්රි ජයසේනයන් විසින් පරිවර්ථනය කොට නිර්මාණය කරන ලද  ‘හුණුවටයේ කතාවෙහි‘ ද, උම්මග්ග ජාතකයෙ හි එන  ‘පුත්‍ර ප්‍රශ්ණයෙ හි‘ද  වූයේ චේතනාව කුමක් වුවත් දරුවාගේ හිමිකාරීත්වය ‘තමන් සතු කර ගැනීම ‘ සඳහා කරන ලද අරගලයන් ය. නමුත් අද උසාවියේ දී මෙම මව උර දෙන්නේ දරුවාගේ හිමිකාරීත්වය ‘බෙදා ගැනීම‘ සඳහා වූ අරගලයටය. මෙහි අවසන් පදය මවගේ අසරණ භාවය වඩාත් තීව්‍ර කරන්නට සමත් වේ. ‘හඳුනා ගන්නටවත් පුතු ඹහු වත දෙස බලපන්නේ‘ පියාගේ මුහුණුවරම ඇති පුතාගෙන් මව ඉල්ලා සිටින්නේ පියා දෙස බලන ලෙසය. එසේ වුවහොත්; පුතුගේ මොළකැටි වුවන දැක, හඳුනාගෙන, හිත උණු වී, වහා පැමිණ පුතු වඩාගෙන පුත්‍ර ස්නේහයෙන් මත්ව නැවත අප සමග විසීමට එනු ඇත. උසාවියෙන් දෙනු ලබන තීරණයට වඩා මානව බැඳීම් තුලින් හද පත්ලෙන් මතුව එන තීරණය කෙතරම් බලවත් විය යුතු  ද. කථිකාවියගේ බලාපොරොත්තුව පුතුගේ පියා උසාවියෙන් වරදකාරයකු කර තම පුතුගේ අයිතිවාසිකම් ලබා ගැනීම නොවන බවත් ඉන් මෙහා ළඟා විය හැකි උපරිම සීමාව හෝ අවසාන සීමාව දක්වා යාමට බවත්, ඔහු කෙරෙහි ඇයගේ හිතෙහි ඇති තෙත තවමත් පවතින බවත් කිවිඳිය ව්‍යංගයෙන් දක්වයි.

එදා උඹට මගේ ගත මස ලේ කිරි කරලයි      දුන්නේ

මෙදා බතට හඬනා නුඹ මා කෙලෙස ද    සනසන්නේ

අදයි පුතුනි නුඹ මතු කල වැඩෙනා සැටි විසඳෙන්නේ

එවන් නඩුව විසඳන සැටි පුතු නොනිදා     අසපන්නේ

මෙම කවියෙන් දරුවා කිරි බොන වයස ඉක්මවා ඇති බවත් ඉඳුල් කට ගාන වයසට පැමිණ ඇති බවත් කථිකාවිය පවසයි. ස්වාභෝක්ති අලංකාරයෙන් කවිය හැඩ වී ඇත. සියල්ල ඉවසා දරා ගනිමින් තම ලේ කිරි කර බිළිඳු අවධියේ හුන් පුතු දුක් විඳිමින් ඈ පෝෂණය කළාය. නමුත් දැන් එසේ කිරීමට අපහසුය. දරුවා ටිකෙන් ටික මෝරා වැඩෙමින් සිටී. පුතුගේ පෝෂණයට තම සෙනෙහස පමණක් ප්‍රමාණවත් නැත. ඔහුගේ අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට තමා සතු වත්කම් හෝ ආදායම් මාර්ග නැත. ඇයගේ උත්සාහය තමා වෙනුවෙන් කිසිවක් ලබා ගැනීමට නොව තම අසරණ පුතු ගේ අනාගතය සාර්ථක කර ගැනීමට නීතියේ පිළිසරණ ලබා ගැනීමට ය. එකී සිද්ධිදාමය විමසිල්ලෙන් අසා සිටිනා මෙන් නැවත නැවතත් පුතුගෙන් ඈ ඉල්ලා සිටී.

සකුන්තලා බිසව එදා තම පුතු ගැන             කියමින්නේ

රජු ළඟ වැළපුණු මොහොතේ පිහිට ලැබුණි දෙවියන්ගේ

මොන දෙවියන්දැයි පුතුනේ අද උඹ සරණෙට    එන්නේ

පිබිද වහා උඹම හඬා උඹේ පැමිණිලි            කියපන්නේ

2021_Agu_Court _4

අද දිනයේ පමණක් නොව, පුරුෂාධිපත්‍යය සහ දරුවකු වැදීම ම දරුවාගේ බාරකාරීත්වයට කාන්තාව නිරායාසයෙන්ම පත්වීම හේතුවෙන් අසාධාරණයට ලක්වන කාන්තාවන් පිළිබඳ ලෝක ඉතිහාසයේ ද පුරාවෘත පුරාද අසන්නට ලැබේ. මෙහි මුල් දෙපදයෙන් පුරාවෘතයක් පිළිබඳ මතකයට කිවිඳිය අප රැගෙන යයි. එමගින් මෙම කථිකාවියගේ දුක් ගැනවිල්ල තව දුරටත් සහෘදයාගේ හද පතුලෙ හි ස්පර්ශ කරවීමට කිවිඳිය සමත් වන්නීය.  ක්‍රි.ව. 400 – 600 අතර යම් කාලයක විසූ මහා කවි කාලිදාසයන් විසින් රචිත ශකුන්තලා නම් කාව්‍යයෙ හි සකුන්තලා බිසව ගැන සඳහන් වේ. සකුන්තලා රූමත් කාන්තාවකි. ඇයගේ රූපයෙන් මත්වන දුෂ්මන්ත රජු ඈ හා විවාහ ගිවිස ගන්නේය. කලක් ඇවෑමෙන් බමුණෙක් විසින් කරන ලද ශාපයක් හේතුවෙන් දුෂ්මන්ත රජුට ඈ හඳුනා ගැනීමට නොහැකි වන්නේය. ඒ හේතුවෙන් රජු විසින් ගැබිණියක වූ දේවිය පළවා හරිනු ලබන්නේය. දේවිය බොහෝ සේ ශෝක වෙමින් විලාප තබමින් හඬන හඬින් කම්පා වූ දෙව්ලොව ස්ත්‍රීන් පැමිණ දේවියද රැගෙන දිව්‍ය විමාන ගත වේ. එහිදී සකුන්තලා බිසව දුෂ්මන්ත රජුට ජාතක වූ පුත් කුමරකු බිහි කරනු ලබයි. පසු කලෙක සිහි එල්වා ගත් දුෂ්මන්ත රජු බොහෝ පශ්චාත්තාප වෙමින් සකුන්තලාව සොයන අතර එය දැනගත් මාතලී දිව්‍ය පුත්‍රයා රජුව දිව්‍ය විමානය වෙත රැගෙන යනු ලබයි. එහිදී සිය දේවිය හා පුතු සමග එක්වන දුෂ්මන්ත රජු නැවත මිහිමත පැමිණ සතුටින් රාජ්‍යය පාලනය කරනු ලබන්නේය. නමුත් කථිකාවිය පෙන්වන්නේ එම පුරාතන කතා වස්තුවෙහි මිහිරි අවසානය තමන් ඉදිරියේ ප්‍රශ්ණාර්ථයක් බවය. සකුන්තලා දේවියට හා පුතුට දෙවියන්ගේ පිහිට ලැබුන මුත්, මේ විෂම සමාජය තුල දෙවියන් නොමැති බව ඇය පුතුට කියන්නීය. ඇයට දැන් බොහෝ වෙහෙසය. පශ්චාත්තාපය, සමාජයෙන් එල්ල වන දෝෂාරෝපණ, උසුළු විසුළු, දරුවාගේ අනාගතය පිළිබඳ වන බිය; මේ සියල්ල විසින් ඇයගේ මානසික පීඩනය දැඩි කර ඇත. එම පීඩනය පිටතට මුදා හරින අයුරු ඉතා අපූරුවට පද්‍ය පන්තියේ අවසාන පදයෙන් කිවිඳිය සහෘදයාට ජනනය කරන්නීය. බාහිර පාර්ශ්වයකින් කිසිඳු පිළිසරණක් නොමැති බැවින් දැඩි ආවේගයෙන් ඈ පුතුට අණ කරන්නේ වහාම පිබිද, හඬමින් තම පැමිණිල්ල සභාවට ඉදිරිපත් කරන ලෙසයි. තම පුතුට තවම කතා කිරීමට නොහැකි වුවත්, වචන වලට වඩා බලවත් කඳුළු මගින් හෝ පුතු වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම කථිකාවියගේ බලාපොරොත්තුව යි. එය එම කාන්තාව යොදන සියුම් උපක්‍රමයකි. නමුත් එම උපක්‍රමය කිසිවකු අරභයා අවැඩක් පිණිස නොව එම තිදෙනාගේ ම යහපත පිණිස මෙන්ම මින් මතුවට මෙවන් සිද්ධීන් සමාජය තුල ඇති නොවේවා යන යහපත් චේතනාවෙන් යොදනු ලබන උපක්‍රමයකි.

කිවිඳිය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කවිය රචනා කරයි. හැඟීම් උත්පාදනයෙහි සමත්, මිනිස් සිතේ සංවේදී තැන් තදින් ස්පර්ශ කිරීමට සලස්වන එනමුත් සරල බසකින් කවිය පෝෂණය කර ඇත. එලිසමය මනා ලෙස රකිමින් ( අවසන් කවියේ හැර ) අනුප්‍රාසය ඊට සම්බන්ධ කර ගනිමින් සිව්පද කවි ආකෘතිය උපයුත්ක කොට ගෙන ඇති නිසා පද්‍ය පන්තිය තුල මනා රිද්මයක් උත්පාදනය වේ. ආවේගශීලී භාවය මතු කරන අවසන් කවිය තම අවනඩුව දෙවියන් ඉදිරියේ කරන කන්නලව්වක් ලෙසින් වුව හැඟෙන පරිදි එහි බස හසුරුවා ඇත. අතිශයෝක්තියෙන් තොර ස්වභාවෝක්තියෙන් ම පද්‍ය පන්තිය පෝෂණය කර ඇත. පද්‍ය පන්තියේ දෙවන කවියෙහි ‘උඹ‘, ‘ඔහු ‘ යන වචන කිහිප වරක් නැවත නැවත යෙදීමෙන් පුනරුක්ත දෝෂය මතු වන නමුත් එමගින් කවියේ අර්ථය ට හෝ රසය ට කිසිදු හානිකර බලපෑමක් එල්ල වී නැත. කථිකාවිය කෙරෙහි

අනුකම්පාව ඇතිවන කරුණ රසය ජනනය කිරීමට පද්‍ය පන්තිය සමත් වේ.

දෘෂ්ටිමය වශයෙන් ගත් කල කවිය ඉතා උසස් මට්ටමක පවතී. නූතන සමාජය තුල ඔඩුදුවමින් පවතින පිළිලයක් බඳු අර්බුදයක් ඉස්මතු කර දක්වයි. එමෙන්ම කිවිඳිය එහිදී මානව දයාව සහ සාධාරණත්වය යන ගුණාංග අපේක්ෂා කරන්නීය. නීති පොතේ මුද්‍රණය කර ඇති අකුරු වලට වඩා වැඩි බලයක් මානව හැඟීම් උත්සන්න වීම මත සිදුවන රසායනික ක්‍රියාවලියක් හේතුවෙන් හටගන්නා කඳුළ වැනි අමිල වස්තුවක් සතුව පවතින බව කිවිඳිය කාව්‍යාවසානයේදී දන්වන්නීය. සහෘදයා භාව සංවේදී මාර්ගයක් ඔස්සේ බුද්ධිමය වින්දනයකට ගෙන යන  “ උසාවියේදී “ සාර්ථක නිර්මාණයකි.

Print Friendly, PDF & Email

Leave a Reply