You are currently viewing නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද?

නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද?

මහාචාර්ය නිර්මල රන්ජිත් දේවසිරි  (මෙයින් පසු නිර්මාල්) අතින් ලියැවුන කිතලංගමුවේ මර්තේලිස් පොත කතුවරයා විසින්ම හඳුන්වන්නේ “ලංකා සමසමාජ පක්ෂයේ අනෙක් ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස ය.

මේ පොත මා දකින්නේ මෙරට ඉතිහාසයේ වැලිතලාවට යටවී ගිය සමසමාජ ඉතිහාසය නැවත විවර කිරීමට උදව්වක් හැටියට ය. පොත ගැන පූර්ව දැනුම් දීම කණ වැකුණ ගමන්ම එය කියවීමේ උවමනාව සමසමාජ කාරයෙකු හැටියට මා තුළ ඇතිවීම පුදුමයක් නොවේ. (පොතේ පිටපතක් තෑගි කිරීම ගැන නිර්මාල්ට පින්.)

තුන් කෝරළය සහ ඒ වටා ඡන්ද සටන්, දේශපාලන පංති, සහ සම්මන්ත්‍රණ වලට 1960 ගණන් අග සිට මා සහභාගි වී තිබුන ද  මට මර්තේලිස් සහෝදරයා හමුවූ බවක මතකයක් නැත. 1975 සමසමාජය – සිරිමාගේ ආණ්ඩුවෙන් අස්වීමෙන් හෝ පහකිරීමෙන් පසු පළමුවෙනි මහජන රැස්වීම තිබුනේ යටියන්තොට ය. ලාල් විජේනායක, කරුණාරත්න ජයසූරිය, කුමාර් ඩේවිඩ් සහ මමත් ඊට නුවරින් ගොස් සහභාගි වීමු.

ඒ වනවිට මා සමසමාජ පක්ෂයෙන් නෙරපා තිබිණ. රැස්වීම අවසන අපි රෑ කෑවේ පොතේ සඳහන් නීල් ඩයස් සහෝදරයාගේ නිවසෙහි ය. කොල්වින් සහෝදරයා ද එහි පැමිණියේ ය. කෑමට තිබුනේ ඌරුමස් සහ පාන් ය.

මගේ මතක ශක්තිය පිරිහී ඇති හෙයින් පොත එක දිගට කියවීමට නො හැකි විය. පොතේ තර්කය තේරුම් ගැන්මට ආපස්සට කියවීමට කිහිප විටෙකම සිදුවිය. මේ සටහනද වරින්වර එකතුකළ සටහන් ගොන්නක් ය.

පොත කියවීමේ දි මට ප්‍රශ්නයක් නැගින.

නිර්මාල්,  මෙහිදී වැදගත් කරුණක් මතු කරයි. කැළණි වැලි මිටියාවතේ බෙදුම වලව්කාරයන් හා පොදුජනතාව අතර බෙදුමකි. සමහර ගොවි කුල කොටස් ද ගැනුනේ වලව් විරෝධී පොදු ජනතාව ලෙස ය. කිතලංගමුවේ මර්තේලිස් (වහුම්පුර), දෙහිඕවිට සුවඳා (බත්ගම) (එන්.එම් ගේ නාමයෝජනාවට 1970 වනතුරුම අත්සන් කළේ ඔහු ය. 1970 වාසුගේ නාමයෝජනාවට අත්සන් කලේද සුවඳා ය) මෙන්ම කලුගල ගුණසේකර පවුල (ගොවි) ද සමසමාජ ආගමනයේ චලිතයට හසුවූවන් ය.

වාචික ඉතිහාසයේ සඳහන් විනෝදාත්මක කථනයක් ද මෙහිලා ආලෝකයක් සපයයි. එන්. එම් ගේ පෙනුම ගැන දොඩමින් දියට යන රුවන්වැල්ලේ කාන්තාවන්ගේ ඉන රැඳි කළගෙඩි එකට හැපී උන්ගේ සිරුරු තෙතබත් වන්නේ ය යන්න ඒ කථාවයි.

සමසමාජයේ අනෙක් ඉතිහාසයට අන්තර් ගතවිය යුතුව තිබුනේ මේ නිර් ප්‍රභූන් කුල සහ තත්ත්ව වෙනස්කම් තිබියදී සමසමාජ කාරයන් ලෙස චලනයවූයේ කෙසේ ද? නිර්මාල් නිවැරදිව දක්වන පරිදි මේ නිර්ප්‍රභූන්ගේ ආසන්නයා වූයේ රොබට් ගුණවර්ධන ය. ඓතිහාසික කඩුවෙල ගඟ දෙපස මේ නිර් ප්‍රභූහු බලය එක්ක හැප්පුනහ. ඊට වෙනස්ව මර්තේලිස් සහෝදරයා මෙන්ම ඔව්හු ද ගම්සභාව යොදා ගත්හ. කැළණි වැලි මිටියාවතේ දිග හැරුන සමසමාජයේ නිර්ප්‍රභූ පාර්ශවයේ ව්‍යඛ්‍යානයට වඩා නිර්‍මාල් උනන්දු වී ඇති බවක් පෙනෙන්නේ,ම “ප්‍රභූ” ඉතිහාසයේ සාකච්ඡා කෙරුන පැතිකඩක් අවධාරණය කිරීමට ය.

පොතේ 41 වෙනි පිටුවේ සඳහන් පරිදි වමේ ඉතිහාසය කියවීමේදී ප්‍රශ්න දෙකක් වැදගත් ය.

  • විශේෂයෙන්ම තෙත් කලාපය නමින් හඳුන්වන ප්‍රදේශවල ගැමි දිළින්දන් අතර සැළකිය යුතු ජන ආකර්‍ෂණයක් ඇති කරගැනීමට මුල්කාලීන වාමාංශික දේශපාලනයට හැකි වූයේ ඇයි ?
  • එසේම එම ජන ආකර්ෂණය දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූයේ ඇයි ?

මේ ගැටලුවේ දෘශ්‍යමය නියෝජනයක් නිර්මාල් මෙසේ ඉදිරිපත් කරයි.

නිර්මාල් මෙසේ නිගමනය කරයි. මෙය

පළමුවෙනි ප්‍රශ්නය මගින් නිර්මාල් වමේ අසාර්‍ථකත්වය ගැන මාර්ටින්  වික්‍රමසිංහ සහ ගුනදාස අමරසේකර ඉදිරිපත් කර ඇති ප්‍රවාදය ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳ නිර්මාල්ගේ අදහස් සමග මූලික පටලැවිල්ලක් නැති හෙයින් මම මෙම සටහනේදී එය (හතරවෙනි පරිච්ඡේදය) වරහන්ගත කරමි.

යන ප්‍රශ්න දෙකට ය.

මෙතනදී අපි සටහන් කරගතයුතු එක් කරුණක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වල සමසමාජයේ තහවුරුවීම කැළණි වැලි මිටියාවතට සහ මීගමුවේ සිට ගාල්ල දක්වා මුහුදුබඩ තීරයට සීමා වූ බව ය.

මා සමසමාජයට ආකර්ෂණය වූයේ සහ එහි පරිධියට පිවිසුනේ 1960 දී ය. හරියටම නම් 1960 මාර්තු චන්දයේ දී ය. ඒ අවුරුදු 13 ක ගැමි කොලු ගැටයෙකු ලෙස නීල් ද අල්විස් ගේ චන්ද කොල බෙදීමෙනි. සමසමාජය බද්දේගම ආසනය දිනුවේ නීල් ද අල්විස් ඇතුලු ඒ පළාත්වල සමසමාජ නායකයන් පොඩි රාළහාමී ගේ ආධිපත්‍යයට, කුලවාදයට හා පොලිස් මර්ධනයට එරෙහිව අභීතව සටන් කළ හෙයිනි. එය කැළණි වැලි මිටියාවතේ ‘මිනි වර්සන්’ එකක් විය. කැළණි වැලි මිටියාවතට සමසමාජ නායකයෝ තොග වශයෙන් සම්බන්ධ වූහ. පදිංචිගතව සම්බන්ධ වූහ. අපට මෙහිදී ප්‍රතිසංසිද්ධීය ප්‍රශ්නයක් (counter-factual) නැගිය හැක. කුන්ඩසාලේ හෝ රඹුක්කන හෝ එවන් වෙනත් තැනක වුව හෝ එන්.එම් ගේ වැනි මැදිහත්වීමක් වීනම් තවත් කැළණි වැලි මිටියාවතක් නිර්මාණය කර ගත හැකිව තිබුනේ ද? (මේ කරුණ නිර්මාල් නැමති ඉතිහාසඥයාට වඩා ප්‍රියජනක එකකැයි මට සිතේ.)

මෙහි ලා තවත් කරුණු දෙකක් මෙනෙහි කළ හැක.

  1. සමසමාජය ප්‍රබුධත්ව අදහස් මෙරට ජනප්‍රිය කළ ව්‍යාපාරයක් ද වූයේ ය. එහි බලපෑම ප්‍රභූ පවුල්වලට වැදුනේ ඉංග්‍රීසි සහ බටහිර අධ්‍යාපනය තුලිනි. මෙහි බලපෑම කෙතරම් ශක්තිමත් වී ද යත් එහි ප්‍රතිඵලයක් ලෙස මීදෙණිය තරුණියෝ සමසමාජයට ඇදී ආහ. 1964 පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ දෙවන යෝජනාවට අත්සන් තැබූවන් අතර කෙනෙකි, කාමිණී මීදෙනිය.
  2. දෙවැන්න, 20 වෙනි සියවසේ කැළණි වැලි මිටියාවතේ සමාජ සම්බන්ධතා ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර කේවල පරස්පරයක් ලෙස දැක්විම අපහසුය. ප්‍රධාන පරස්පරය ආවේ අධිරාජ්‍ය ආණ්ඩුවේ නොසැලකිල්ල හා රදළ මර්ධන මගිනි. මේ තත්ත්වය වෙනස් වන්නේ 20 වෙනි සියවසේ දෙවන භාගයේ දී ය.

එම වෙනස මර්තේලිස් සහෝදරයා අත්දකියි.

මා මීට පෙර සඳහන් කළ පරිදි, ග්‍රාමීය ප්‍රදේශවල සමසමාජයට මුල් බැස ගැන්මට නොහැකිවිය යන වික්‍රමසිංහ, අමරසේකර සහ අබේසේකර ප්‍රවාදය ප්‍රතික්ෂේප කරන නිර්මාල් ස්ථාපිත වාම ආඛ්‍යානයට වෙනස් ලෙස ඉදිරිපත් කරන ආඛ්‍යානයේ විශේෂ වෙනසක් මට නොපෙනේ. ලිඛිත සහ වාචික සම්ප්‍රදාය තුළ ඒවා දැකිය හැක. කිතලංගමුව ව්‍යතිරේකයක් ලෙස සහ එන්. එම් – මර්තේලිස් සංයෝජනයක් ලෙස නිර්මාල් විචිත්‍රණය කරන්නේ ද? හතර වෙනි පරිච්ඡේදයේ වික්‍රමසිංහ- අමරසේකර ප්‍රවාදය පංති රාමුවක පිහිටා නිර්මාල් කරන සාකච්ඡාව ගැන සලකා බලමු.

ඔහුට අනුව, ගම ප්‍රධාන සමාජ තීරු තුනකින් සමන්විත වේ.

  • ලොකු ඉඩම් හිමි ප්‍රභූන්,
  • කුඩා ඉඩම් හිමි කොටස් සහ
  • ගැමි දිළින්දන්

ඒ පංති තුනයි. මෙයින් පළමු තීරුව අධිරාජ්‍යවාදී ආණ්ඩුව හා බැඳී ක්‍රියා කළහ. සමසමාජය අත ගැසුවේ ග්‍රාමීය දිළින්දන්ට ය. මැද තීරුවට දේශපාලනයක් ගෙන ආවේ පසුකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. පසුව එක්සත් ජාතික පක්ෂයේ ඉඹුලානලාත් ඒ මගට ප්‍රවිෂ්ට විය.

එන්.එම්, එජාප අයවැයට එරෙහිව කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති මහජන විරෝධතාවක් අමතමින්.. 1953

නිර්මාල් පිළිතුරු දෙයි.

විවිධ මැදපන්තික තීරු සමසමාජයෙන් ඈත්වීම කිහිප වරක සිදුවින. එය පළමුව සිදුවන්නෙ 1950 ගණන් මුලදී ය. නිදහස, ජාතිකවාදයේ නැගීම සහ සුභසාධක රාජ්‍යය මෙහි සන්දර්භීය පදනම සැකසී ය. තමනට කලකට වනගත වීමට සිදුවේයැ යි එන්.එම්. අනාවැකි කීවේ මේ තත්ත්වය තුළ ය. මේ නිසා වමට ගම නැතිවීම වමේ ජන්ම ගතියක් ලෙස දැක්වීම ස්ථිතික විශ්ලේෂණයකින් ගලා එන්නකි.

මේ තත්ත්වය තවත් නරක අතට හැරෙන්නේ 1970 න් පසුව ය. “එකම ගමේ ‘බැරිම පවුලේ’ නූගත් සාමාජිකයෙකුගේ සිට ග්‍රාමීය නායකත්ව ධූරාවලියේ ඉහළ පුරුකක තත්ත්වයට” (76 පිටුව) මර්තේලිස් ඔසවා තැබීම සමසමාජ ජයග්‍රහණයක් ලෙස දැක්විය හැක. සභාග ආණ්ඩුවට සමබන්ධවීම සමග තම සාමාජිකයන්ට සාමදාන විනිසුරුකම්, සමුපකාර තනතුරු වැනි විවිධ තානාන්තර ලබා දීමට සමසමාජයට හැකිවී ය. මේ හරහා සමසමාජ කාරයින් ශ්‍රී ලංකා යූ ඇන් පී දේශපාලනයට අවශෝෂණය කරගැන්ම ද කෙරින. සමසමාජ තරුණ සමිති පමණක් නොව වෘත්තීය සමිති පවා බුරුතු පිටින් ආණ්ඩු බලයට ආසන්න පක්ෂ වෙත ඇදී ගියහ.

සමසමාජයට කෙළවුනේ ගමේ දී පමණක් නොවේ. එම පරිහානිය නගරවලදී ද දැකිය හැකි විය. එය සම්ප්‍රදායිකව දිනාගත් ආසන එකක්වත් දිනා ගැන්මට 1977 ඡන්දයේ දී සමසමාජය අසමත් විය. බද්දෙගම නිර්ප්‍රභූ ජනයාගේ අනෙකා වූ පොඩි රාළහාමි බද්දෙගම අසුන ජය ගත්තේ ය.

ගමට තවදුරටත් වම ආකර්ෂණයක් නොවූයේ ඇයි?

නිර්මාල් සලකා බැලීමට යෝජනා කරන ප්‍රශ්න මාලාවක් පෙළ ගස්වයි.

මේ ප්‍රශ්න බෙහෙවින් සිත්ගන්නා සුලු ය. එහෙත් නිර්මාල් පෙන්වන පරිදි මෙය දුෂ්කර කාර්‍ය්‍යක් වන්නේ ඒ පරපුර අද මියැදී ඇති නිසා සහ ප්‍රමාණවත් වාර්තා ඔවුන් ශේෂ කොට නොගොස් ඇති හෙයිනි. මේ නිසා නිර්මාල් යෝජනා කරන්නේ උපන්‍යාසයන් දෙකක් සම්පරීක්ෂණයට ලක් කිරීමට ය.

හතරවෙනි පරිච්ඡේදයේ දී දෙවන උපන්‍යාසයේ වික්‍රමසිංහ-අමරසේකර ප්‍රකාශනය ප්‍රතික්ෂේප කරන නිර්මාල් එය පංතිමය පර්‍ය්‍යාලෝකයකින් ඉදිරිපත් කරයි. ඒ අනුව දෙවන උපන්‍යාසය අපට මෙසේ නැවත ලිවිය හැක.

උපන්‍යාසය 2B: “..වාමාංශික දේශපාලනයට ග්‍රාමීය දිළින්දන්ගේ ආකර්ෂනය ලැබුනේ මහා පරිමාණ ඉඩම් හිමි ප්‍රභුන් විසින් පවත්වාගෙන යනු ලැබූ ආධිපත්‍ය ව්‍යුහය විනිවිද යෑමෙනි..” මධ්‍යම ප්‍රමාණ ඉඩම් හිමි ජන කොටසගේ පසුකාලීන නැගීමේ ආකර්ෂණය තමන් වෙත දිනා ගැන්මට සහ/ හෝ ඊට එරෙහිව ගැමි දිළින්දන් මෙහෙයවීමට වමට නොහැකි විය.

එයට හේතුව, තුන්වන උපන්‍යාසය මගින් සැපයේ.

මෙම උපන්‍යාසයන්, 1, 2B සහ 3 සම්පරීක්ෂණයට ලක්කිරීම මගින් සාධාර්මික මාක්ස්වාදී විශ්ලේෂණය ප්‍රමාණවත් එකක් නොවේ යැයි නිර්‍මාල් යෝජනා කරන බවක් පෙනේ. මෙහිදී ඔහු  ක්‍රමවේදීය වරදක් කරතැයි මට සිතේ.

පළමුවෙනි උපන්‍යාසය හේ ප්‍රතික්ෂේප කරන්නේ, “නිවැරදි” මග ගත් විප්ලවවාදීනට ග්‍රාමීය ජනයා පමණක් නොව නාගරික කම්කරුවන් දිනාගැන්ම අතින් සමසමාජයට නොහැකිවීය යන ආනුභූතික තලයට සාකච්ඡාව ගෙන යමිනි. වසර ගණනාවක් තුළ ශක්තිමත්ව ගොඩ නැගුන ව්‍යාපාරයක් ලෙහෙසියෙන් බිඳ නොවැටේ. ව්‍යාපාරයක ශක්තිය න්‍යායාත්මක නිරවද්‍යබව මතම තීරණය නොවේ.

ස්වාධීන බලවේගයක් ලෙස මැදි පංතික ජනකොටස් නිරවි යුද ලෝක තත්ත්වය තුළ “සමාජවාදී” පරිවර්තනයට මං පාදන්නේය යන්න 1960 ගණන්වල ශක්තිමත් මතවාදයක් ලෙස මතුවින. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පෙරමුණු ගතවීම කොමියුනිස්ට් පක්ෂයේ යෝජනාව විය. මේ මතවාදය මත සමසමාජය කරටියට කිට්ටුවෙන්ම දෙවරක් බිදින. එහෙත් සමසමාජ නායකත්වය-ලෙස්ලි, කොල්වින්, ඩොරික් – ඒ ප්‍රවණතා පරාජය කිරීමට සමත් විය. ඉහළ පෙල නායකත්වයේ පෞද්ගලික බැදීම් ද මීට හේතුවී යැ යි මට සිතේ.

පක්ෂයේ ප්‍රධානම න්‍යාචාර්‍යවරයෙකු වූ හෙක්ටර් අභයවර්ධන පරණ මහජන පෙරමුණු මතය නව තාලයකට ඉදිරිපත් කළේ ය. ඒ Categories of Left Thinking in Ceylon ලිපියෙනි. ලෙස්ලි, කොල්වින් යුගලය නිහඞ විය. එන් ඇම්, හෙක්ටර් ගේ අදහසට ප්‍රායෝගික සැලැස්ම සකස් කළේ ය. හෙක්ටර් ගේ ලිපිය නිර්මාල් සඳහන් කරන ග්‍රාමීය මැද පංතිය සමසමාජයට ගැන්මේ න්‍යාය පත්‍රයක් විය.

නිර්මාල් ගේ උපන්‍යාසයන් හොඳ ආරම්භයක් සපයයි. එමගින් ග්‍රාමීය පළාත්වල වමට තිබූ ආකර්ෂනය නැතිවීමට බලපෑ සාධක සමහරක් හේ තම විශ්ලේෂණ රාමුවට ගෙනේ. එහෙත් ඔහුගේ සම්පරීක්ෂණයේදී හේ බොහෝ දේ නොසලකා හරියි.

එකී ඌනතාවයන් ගලා එන්නේ ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර සමාජ සම්බන්ධය මාක්ස්ගේ ප්‍රාග්ධනයේ පළමුවෙනි වෙලුමට සීමා වී විග්‍රහ කිරීමෙනි. මේ කරුණ පසු සටහනක දීර්‍ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ඉතුරුකර තබමි. දිනෙක ප්‍රාග්ධනය තෙවන වෙලුමේ අවසන් පරිච්ඡේදයෙන් නැවත පටන් ගන්නම්.

Leave a Reply