You are currently viewing න්‍යෂ්ටික යුද්ධයකින් කෙළවර වීමට නියමිත යුක්‍රේනයේ අවි ගැටුම..

න්‍යෂ්ටික යුද්ධයකින් කෙළවර වීමට නියමිත යුක්‍රේනයේ අවි ගැටුම..

යුක්‍රේනයේ යුද්ධය මෙම වසර අවසන් වන තෙක් පවතිනු ඇතැයි ඇමරිකානු හමුදා නායකයෙකු පසුගිය දා ප්‍රකාශ කෙළේය. එය එසේම සිදුවනු ඇතැයි සිතිය හැකි වන්නේ මෙම යුද්ධය සාකච්ඡාමය විසඳුමක් තුළින් නතර කිරීමට එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවලට කිසිදු අවශ්‍යතාවයක් ඇති බවක් දක්නට නැති නිසා ය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යුක්‍රේනයට ලබා දෙන හමුදා ආධාර වැඩි කරන ආකාරය ගැන කතා කරන අතර එක්සත් ජනපදය යුක්‍රේනයට ඩොලර් බිලියන 40ක හමුදා ආධාර ලබා දීමට සූදානම් ය. ජනාධිපති ජෝ බයිඩන් ඩොලර් බිලියන 35ක යුද ආධාර සඳහා කොංග‍්‍රස් අනුමැතිය ලබා ගැනීමට අදහස් කළ ද එක්සත් ජනපද නියෝජිත මංත‍්‍රී මණ්ඩලය එය තවත් ඩොලර් බිලියන පහකින් වැඩි කොට අනුමැතිය ලබා දී ඇත. මෙම මුදල ඇමරිකාවේ අනුග‍්‍රහයෙන් පවතින ඊශ‍්‍රායෙලයට දශක ගණනාවක් ලබා දී ඇති හමුදා ආධාරවලට සමානය. සෙනේට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ විට එය නීති ගත වනු ඇත.

එක්සත් ජනපදය දේශීය අවශ්‍යතා නොසලකා මෙවැනි මුදලක් යුක්‍රේන යුද්ධය සඳහා වෙන් කිරීමෙන් ඊට යුද්ධය දිගටම පවත්වා ගැනීමේ වැදගත්කම පැහැදිලිය. එක්සත් ජනපදයේ නිවාස සහ නාගරික සංවර්ධනය පිළිබඳ දෙපාර්තමේන්තුවට නිවාස ගැට‍ළුව විසඳීම සඳහා ඩොලර් බිලියන 20ක් අවශ්‍ය බව තක්සේරු කර ඇති නමුත් ධවල මන්දිරයෙන් ඊට අනුමැතිය ලැබී නැත. එමෙන්ම ලොව වැඩිම කොවිඩ් 19 මරණ අනුපාතය වන දශ ලක්ෂයකට අධික මරණ සංඛ්‍යාවක් එක්සත් ජනපදයෙන් වාර්තා වුවද ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අනතුරු හැඟවීම් නොසලකා රෝගය වැළැක්වීමේ පියවර සියල්ල දැන් ඉවත් කර ඇත්තේ සම්පත්වල හිඟකම නිසාය. දේශීය ප්‍රශ්නවලට වඩා වැදගත් වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ආරක්ෂා කර ගැනීම සඳහා යුක්‍රේනයේ යුද්ධයෙන් රුසියාව පැරදවීම ය.

එක් විශ්ලේෂකයෙකු පෙන්වා දෙන ආකාරයට ඇමරිකානු ආර්ථිකයෙන් සියයට 60කට වගකියන්නේ හමුදා කටයුතු පිළිබඳ ක්‍රියාකාරිත්වය යි. එම ක්ෂේත්‍රයේ යෙදී සිටින සමාගම්වලට විශාල ලාභ ලැබෙන්නේ අවි ආයුධ සහ යුද උපකරණ නිපදවීමෙනි. එමනිසා යුක්‍රේනයේ හෝ ලොව වෙනත් තැනක යුද්ධයක් පැවතීම එම සමාගම්වලට ආර්ථික අවස්ථා විවර වීමකි. එම විශ්ලේෂකයා සඳහන් කරන ආකාරයට වසර 246ක් වන ඇමරිකානු ඉතිහාසයේ එම රට යුද්ධයකට සම්බන්ධ නොවී ඇත්තේ වසර 15ක් පමණි. එක්සත් ජනපදය සෘජුවම මැදිහත් වූ ආසන්නම යුද්ධය ඇෆ්ගනිස්ථානයයි. ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගත් නමුත් අප්‍රකාශිතව සිරියාවේ කෙරෙන හමුදා මැදිහත්වීම්වල අඩුවක් නැත.

එක්සත් ජනපදය යුක්‍රේනයේ යුද්ධයකට පිඹුරුපත් සකස් කෙළේ 2014 මයිඩාන් අරගලයත් සමගය. එම අරගලය තුළින් රුසියාවට හිතවත් වික්ටර් යනුකොවිච් පලවා හැර බටහිරට හිතවත් පාලකයෙකු පත් කර ගත් අතර යුක්‍රේනයේ රුසියානු බස කතා කරන නැගෙනහිර කොටසේ වෙන්ව ගිය පළාත් අත් කර ගැනීම ඉලක්ක කර ගෙන හමුදා ශක්තිය තර කිරීමට අවශ්‍ය සියලු ආධාර ඇමරිකාවෙන් ලැබිණ.

2022may18[3]_loyd_austin
ආරක්ෂක ලේකම් ලොයිඩ් ජේ ඔස්ටින් [Lloyd J. Austin]

එක්සත් ජනපදයේ දීර්ඝ කාලීන උපාය මාර්ගික වැඩ සටහන අනුව මූලික ඉලක්කය වන්නේ රුසියාවේ පාලන ක්‍රමය වෙනස් කොට එය දුර්වල කිරීම බව පැහැදිලි ය. ඒ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ජේ ඔස්ටින් පසුගිය දා ප‍්‍රකාශ කෙළේය. ඔහුගේ ගණන් බැලීම අනුව යුක්‍රේන යුද්ධයෙන් රුසියාව පහසුවෙන් පරාජය කළ නොහැකි වුවද යුද්ධය දිගු කලක් පවත්වා ගැනීමෙන් රුසියාව දුර්වල කළ හැකිය. දුර්වල වූ රුසියානු පෙඩරේෂණයට 1991 දී සෝවියට් සංගමය මුහුණ දුන් ඉරණම අත්වනු ඇත. එවැනි තත්වයක දී රුසියාව න්‍යෂ්ටික අවි යොදා සතුරාට පහර දීමෙන් ඇතිවිය හැකි විනාශය ගැන එක්සත් ජනපදය හෝ නේටෝ රටවල් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ.

යුද්ධය දිගටම පවත්වා ගැනීමෙන් දුර්වල වන්නේ රුසියාව පමණක් නොවේ. රුසියාව දුර්වල කිරීමට පනවා ඇති සම්බාධකවලින් යුරෝපා සංගමය මෙන්ම ඇමරිකානු වැසියන් ද පීඩාවට පත්ව ඇත. යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියේ බල ශක්ති අවශ්‍යතාවලින් සියයට 40ක්ම සැපයෙන්නේ රුසියාවෙනි. රුසියානු ඉන්ධන සැපයුම නතර වුවහොත් ජර්මනියේ කර්මාන්ත රාශියක් බිඳ වැටීමේ අනතුරක් පවතින බව ව්‍යාපාරික සමාගම් පවසති. මෙම තත්වය නිසා යුරෝපා සංගමයට අයත් හංගේරියාව වැනි රටවල් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත. ලෝක වෙළඳ පොළට සැපයෙන රුසියානු ඉන්ධන ප්‍රමාණය පහත වැටීමෙන් එක්සත් ජනපදයේ පවා ඉන්ධන මිල දෙගුණයටත් වඩා වැඩි වී උද්ධමන අනුපාතය මෑත කාලයේ නොවු විරු ආකාරයට ඉහළ ගොස් ඇත.  

ඉන්ධන අර්බුදයටත් වඩා බරපතළ වන්නේ ආහාර සුරක්ෂිත භාවයට එල්ල වී ඇති තර්ජනයයි. යුදමය තත්වය නිසා ප්‍රධාන පෙළේ තිරිඟු අපනයනකරුවෙකු වූ යුක්‍රේනයට ලෝක වෙළඳ පොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදුවේ. ඒ කළු මුහුදේ යුක්‍රේන වරාය සියල්ල රුසියානු හමුදාව වටලා ගෙන සිටීම නිසාය. යුද තත්වය නිසා රුසියාවේ තිරිඟු අපනයනය ද සීමා වී ඇත. මේ තත්වය යටතේ ලෝක වෙළඳ පොළේ තිරිඟු මිල  සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉන් වැඩියෙන්ම බලපෑමට ලක් වන්නේ සංවර්ධනය වන අප්‍රිකානු රටවල් ය. පොහොර සැපයුම ද යුද්ධයේ බලපෑමට ලක්ව ඇති තවත් ක්ෂේත්‍රයකි. මේ සියල්ල යුද්ධයෙන් බැට කන යුක්‍රේන වැසියන්ගේ දුක් කම් කටොලූ වලට අමතරව ය.

පසුගිය මාර්තු මාසයේ රුසියාව සහ යුක්‍රේනය අතර පැවති සාකච්ඡාවල දී ඇති කර ගත් එකඟතා අනුව යුද්ධය නිම කිරීමට අගනා අවස්ථාවක් උදා වුවද ඇමරිකානු බලපෑම යටතේ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඉන් ඉවත් වූයේය. ඇති කර ගත් එකඟතාවය වූයේ යුක්‍රේනය මධ්‍යස්ථ රටක් වශයෙන් පැවතීම, නේටෝ සාමාජිකත්වය ලබා නොගැනීම සහ යුක්‍රේනයේ රුසියානු බස කතා කරන ප‍්‍රදේශවල අනාගතය පිළිබඳව අන්තර්ජාතික නිරීක්ෂණය යටතේ ජනමත විචාරණයත් පැවැත්වීම ය. මෙම එකඟතා 2015 දී ඇති කර ගත් මින්ස්ක් ගිවිසුමට බෙහෙවින් සමානය. මින්ස්ක් ගිවිසුමට ප්‍රංශයේ සහ ජර්මන්යේ සහාය පළ වුව ද ඇමරිකානු විරෝධය නිසා එය ක්‍රියාත්මක  වූයේ නැත. 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට යෝජනාවක් සම්මත කර ගැනීමට සති ගණනක් තිස්සේ උත්සාහ ගත් නමුත් එක්සත් ජනපදය සහ බටහිර රටවල විරෝධතාවය නිසා එය කළ නොහැකි විය. එහෙත් පසුගිය මැයි 6 වැනිදා සාකච්ඡාමය විසඳුමක් සඳහා යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත වුවද එය ක්‍රියාත්මකවීමට ඇති ඉඩ කඩ බෙහෙවින් සීමිත ය.

එම යෝජනාව සම්මත වීමට සමගාමීව පැවති ලොව ප්‍රබල ආර්ථිකයන් ඇතුළත් ජී 7 කණ්ඩායමේ රැස්වීමේ දී සහ නේටෝ යුද හවුලේ රැස්වීමේ දී සම්මත කර ගත් යෝජනා ඊට හාත්පසින්ම වෙනස් ය. පිටු 30කට අධික ජී 7 ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට ‘රුසියාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කර ඇත. එමනිසා එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් විය යුතුය.’ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කර ඇති බවට විවාදයක් නැත. එහෙත් තවත් රටක් ආක්‍රමණය කිරීම වළක්වන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය උල්ලංඝණය කර ඇත්තේ රුසියාව පමණක් නොවේ. එක්සත් ජනපදය ඉරාකය, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම ද එම ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමකි. පැරණි යුගොස්ලාවියාව, ලිබියාව වැනි රටවලට නේටෝ ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම ද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කඩ කිරීමකි. එහෙත් ඒ කිසි අවස්ථාවක ආක්‍රමණිකයාට එරෙහිව සම්බාධක පැනවීමට හෝ වෙනත් පියවර ගැනීමට ජගත් සමුළුවට හැකියාවක් තිබුණේ නැත. ගැටුම් පවතින රටවලට අවි සැපයීමට එක්සත් ජාතීන් පනවා ඇති තහනම නොතකා අවි ආයුධ සැපයීම එක්සත් ජනපදය සහ එහි හවුල්කාර රටවල් දිගටම සිදු කරයි.   

රුසියාව අසල්වැසි රටක් වන යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකිය යුතු පියවරක් වුවද රුසියාව එම තත්වයට පෙළඹවීමට එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය 2014 සිටම, සමහර විට ඊටත් පෙර සිටම ක්‍රියා කළ බවද අමතක නොකළ යුතුය. ජනාධිපති වික්ටර් යනුකොවිච් නිදහස් ඡන්දයකින් යුක්‍රේනයේ බලයට පත්වීමත් සමග ඔහුගේ පාලනය අස්ථාවර කිරීමට ජර්මනිය සහ එක්සත් ජනපදය පියවර ගත් ආකාරය මෑත ඉතිහාසයේ සිදුවීම් ය. යුක්‍රේනයේ නව නාසීන් මෙහෙයවන ලද මයිඩාන් විරෝධතාවලට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රසිද්ධියේම සහාය ලබා දුන්නේය. රුසියාවත් යුක්‍රේනයේ රුසියන් සම්භවයක් ඇති ජනතාවත් ඉලක්ක කර ගත් මෙම විරෝධතා නිසා රට කැබලිවලට කැඩී යෑමේ අනතුරක් පවතින බවට රුසියාව කළ අනතුරු හැඟවීම් යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය තම උපාය මාර්ගික අවශ්‍යතා නිසා සැලකිල්ලට ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුහු රුසියානු විරෝධී නව නාසී ඇසොව් සේනාංකය වැනි සන්නද්ධ කණ්ඩායම් ශක්තිමත් කළහ. මෙම තත්වය සාමකාමීව විසඳා ගැනීමට ප‍්‍රංශය සහ ජර්මනිය ඇතුළත්ව යුක්‍රේනය සහ රුසියාව අතර ඇති කර ගත් මින්ස්ක් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව දිගින් දිගටම විරුද්ධ වූයේය. පැහැදිලිවම ඇමරිකාවේ ඉලක්කය වන්නේ රුසියාව දුර්වල කොට විනාශ කිරීම බවට තවත් සාක්ෂි අවශ්‍ය නැත.

ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය නිසා ඇමරිකාවට එවැනි ක්‍රියා මාර්ගයකින් ඇතිවිය හැකි විනාශය ගැන කිසිදු හැඟීමක් නැත. රුසියාව යටපත් කර ගැනීමේ අරමුණෙන් ස්වීඩනය සහ පින්ලන්තය වැනි රටවල් ද නේටෝ යුද හවුලට ඇතූළත් කර ගෙන එම රටවලද හමුදා කඳවුරු පිහිටුවීමට පියවර ගනිමින් සිටී. රුසියාව නිහඬව පරාජය භාර ගැනීමට සූදානම් නොවන බව මෙම යුද සැලසුම්කරුවන් සැලකිල්ලට ගන්නේ නැත. රුසියාව අවසාන පියවර වශයෙන් න්‍යෂ්ටික අවි යොදා ගැනීමට පසුබට නොවන බවට කර ඇති අනතුරු හැඟවීම් තකන්නේ නැත. එමෙන්ම කවර පාර්ශ්වයකින් හෝ එල්ල කරන න්‍යෂ්ටික ප්‍රහාරයක් යනු මිහිතලයෙන් මිනිසා අතු ගෑ යෑමක් වන බවට විද්වතුන් කරන අනතුරු හැඟවීම් ද බලාධිපත්‍යයේ මෝහයෙන් මුළා වූ එක්සත් ජනපදය ඇතුළු බටහිර නායකයන්ට පෙනෙන්නේ නැත. 

Print Friendly, PDF & Email

Leave a Reply