උත්තරීතරයැයි හැඳින්වෙන පාර්ලිමේන්තුවේ මේ දිනවල පැවැත්වෙන වාද විවාද හුදු විනෝදාස්වාදය ගෙන දීමට අමතරව මහජන නියෝජිතයින් නිරුවත් කරන දෙයක් බවට පත්වීම සැබැවින්ම සංවේග ජනකය. වාද විවාදවලදී උක්ත කරුණ ගැන ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ප්‍රතිපත්ති ස්ථාවරය පැහැදිලි කිරීමට වඩා එකිනෙකාට චෝදනා කර ගැනීම බෙහෙවින් සිදු වන්නකි. ඔවුන් තර්ක විතර්ක කරන ආකාරයෙන් සහ හැසිරීමෙන් පෙනී යන්නේ ප්‍රතිපත්ති සම්පාදනය වාග් හුවමාරුවකට වැඩි දෙයක් නොවන්නේය යන්නයි. සමහර කරුණුවල තමන්ගේ මතයට ගැලපෙන කොටස පමණක් ඉදිරිපත් කර සම්පුර්ණ සත්‍යය පහදා ගැනීම වඩාත් දුෂ්කර තත්වයකට හෙළයි.
මේ බව හොඳින් නිරීක්ෂණය වන්නේ පසුගිය දා සමහර අය ලෝකයේ විශාලතම සමුද්‍රික ආපදාව වශයෙන් හඳුන්වන එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් පැවති විවාදයයි. ශ්‍රී ලංකාවේ සමුද්‍ර සීමාව තුළ සිදු වූ මෙම විනාශය ගැන කතා කරන විට පළමුවෙන්ම වැදගත් වන්නේ එය වළක්වා ගැනීමට නොහැකි වූයේ ඇයි ද යන්නයි. ඊට වගකිව යුත්තේ කවුරුන් ද, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවා ද යන කරුණු වැදගත් වුවත් මෙතෙක් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගෙන නැත. සාමාන්‍ය තොරතුරු අනුව නැවේ ගින්න පාලනය කළ නොහැකි මට්ටමට ඇවිලීයාමට පෙර ලංකාවේ සමුද්‍ර සීමාවෙන් ඈතට ඇද ගෙන යෑමට හැකියාව තිබිණ. එසේ වූයේ නම් වන්දි ඉල්ලීමට අවශ්‍යතාවයක් නොවන අතර ලංකාවේ වෙරළ සම්පත්වලට සිදුවන හානිය අවම වනු ඇත. එහෙත් එවැනි පියවරක් නොගැනීමට හේතු මෙතෙක් ජනතාවට පැහැදිලි කර නොතිබීමෙන් පෙනී යන්නේ ජනමතය ගැන පාලකයන් උනන්දුවක් නොදක්වීම ය.
හානිය සිදු වූ විට වැදගත් වූයේ ඒ සඳහා වන්දියක් ලබා ගන්නේ කෙසේද යන්නයි. එය එක්ස්ප්‍රස් පර්ල් නැවේ හට ගත් ගින්නටත් වඩා දැවෙන ප්‍රශ්නයක් විය. පළමුවෙන්ම මතු වූයේ නඩු පැවරීමට වසර දෙකකට ආසන්න කාලයත් ගත වූයේ ඇයිද යන්නයි. ඒ ගැන බලධාරීන්ගේ දූෂණ සහ වංචා ගැන කතාවෙන ජන සමාජයේ විවිධ මත පළ වූ අතර මුල්ම වෙඩි මුරය පත්තු කෙළේ විෂය භාර ඇමති විජේදාස රාජපක්ෂ ය. ඔහු පැහැදිලිවම කීවේ නඩුට ප්‍රමාද කිරීමට කිසියම් පුද්ගලයෙකු අල්ලසක් ලබා ගෙන තිබෙන්නේය යන්නයි. පසුව අල්ලස් මුදල එනම් ඩොලර් දශලක්ෂ 250ක් කිසියම් පුද්ගලයෙකු ලබා ගෙන ඇති බව ද ප්‍රසිද්ධියේම පැවසුවේය. ඒ ගැන විවිධ අයගේ නම් සඳහන් වන විට අදාල පුද්ගලයාගේ නම ද ඔහු එම මුදල් තැන්පත් කර ඇති බැංකුවේ නම ද සඳහන් කෙළේය. මෙම ප්‍රකාශ එක අතකින් ජනාධිපති නිතිඥයෙකු මෙන්ම අධිකරණ ඇමතිවරයා ද වන පුද්ගලයා විසින් කිරීම සැහැල්ලුවෙන් බැහැර කළ යුතු කරුණු නොවේ. පගාව වශයෙන් ලබා දී ඇති මුදලත් එය තැන්පත් කර ඇති බැංකුවත් හෙළිවීම නිසා අවශ්‍ය නීතිමය පියවර ගැනීමක් සිදුවනු ඇතැයි ජනතාව තුළ මහත් බලාපොරොත්තුවක් ඇති විය.
එවැනි බලාපොරොත්තුවකට හේතු වන්නේ රටේ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන ගෙන්වීමට හෝ විදේශ විනිමය නැතිව බංකොලොත් වී ඇති රටකට ඩොලර් දශලක්ෂ 250 සුළුපටු මුදලක් නොවන නිසා ය. ඉන් පසුව ඇමති විජේදාස රාජපක්ෂ නීතිමය පියවර ගැනීම වෙනුවට එම තොරතුර ලබා දුන් මංත්‍රීගේ නම ද හෙළි කෙළේය. ඒ එම මංත්‍රී ද මෙම වංචාවට අනියමින් සම්බන්ධව ඇතැයි ඇඟවෙන ආකාරයට ය. දින කීපයකට පසු අදාල මංත්‍රී පාර්ලිමේන්තුවේ දීම ප්‍රකාශයක් කරමින් තමා එම තොරතුරු ලබා දුන්නේ අධිකරණ ඇමතිට කේලමක් කීමට නොව නිසි ක්‍රියා මාර්ග ගැනීමට බව පෙන්වා දුන්නේය.
ඒ අතර මතු වූ තවත් කරුණක් වූයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන පමණක් කතා කරන්නේ ඇයිද යන්නයි. ලංකාවේ නැගෙනහිර මුහුදේ නිව් ඩයමන්ඩ් නෞකාවේ ද විශාල හානියක් සිදු වූයේ නැති වුවද මෙවැනිම සිද්ධියක් වු බවත් ඒ ගැන නඩු පැවරීමක් සිදුව නැති නිසාත් එය ද විවාදයට ලක් කළ යුතුයැයි ආණ්ඩු පක්ෂයේම ගරු මන්ත්‍රීහු පෙන්වා දුන්හ. එම නෞකාව ඉවත් කර ගැනීමට නියෝගය දී ඇත්තේ එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසා සිද්ධියේ සැර බාල වූ සේ පෙනිණ. වත්මන් අගමැති එවකට විදේශ ඇමති නිසා ඔහු ද ඊට වගකිව යුතුය යන අදහස මතු වුවද සිද්ධිය එතැනින් අවසන් විය.
මෙම වාග් සංග්‍රමයේ දී මතු වූ තවත් වැදගත්ම කාරණයක් වූයේ ප්‍රමාද වී හෝ නඩු පැවරීම ලංකාවේ අධිකරණයේ නොව අදාළ නෞකාව සතු සමාගමේ ලියා පදිංචි කාර්යාලය ඇති සිංගප්පූරුවේ උසාවියක සිදු කිරීමට ගත් තීරණයයි. ඊට හේතු දෙකක් බලධාරීන්ගෙන් ඉදිරිපත් කෙරිණ. එකක් මෙවැනි සංකීර්ණ නඩුවක් ඉදිරිපත් කිරීමට වඩාත් සුදුසුකම් ඇත්තේ සිංගප්පූරුව වෙළඳ සහ වානිජ කටයුතු පිළිබඳ කේන්ද්‍රස්ථානයක් වන රටක්වීම ය. සිංගප්පූරුවට මෙවැනි කරුණු පිළිබඳ සාධාරණ විනිශ්චයක් ලබා දීමේ මනා පරිචයක් ඇත යන්නද තර්කයකි.
දෙවැනි වැදගත්ම කාරණය විදේශ ඇමති මෙන්ම දක්ෂ නීතිවේදියෙකු සේ සැලකෙන අලි සබ්රි ඉදිරිපත් කළ තර්කයයි. ඔහුගේ පැහැදිලි කිරීම අනුව සිංගප්පූරුවේ උසාවියක නඩු පැවරීමට හේතුව සමුද්‍ර නීතිය පිළිබඳ පරිචයක් ඇති නීතිඥයන් ලංකාවේ නොසිටීම ය. දේශපාලනයට කඩා වැටීමට පෙර ලංකාවේ විවිධ උසාවිවල වැඩ කර ඇති අලි සබ්රි කරන මෙවැනි ප්‍රකාශයක් ආවාට ගියාට කරන එකක් විය නොහැකිය.
එහෙත් අලි සබ්රි වැනි අය නීති ක්ෂේත්රයට පිවිසීමට පෙර ලංකාවේ ජාත්‍යන්තර කිර්තිය දිනා ගත් නීතිවේදීන් අපමණ සිටි බව අපට අමතක නැත. ඉන් වඩාත් ප්‍රකට පුද්ගලයෙකු වන්නේ අභාව ප්‍රාප්ත ෂර්ලි අමරසිංහ යි. ඇත්තෙන්ම ඔහු නීතිවේදියෙකුටත් වඩා ප්‍රකට පරිපාලකයෙතු ලෙසිනි. ඔහුගේ කෘතහස්ත භාවය නිසාම 1974 දී එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නිතිය පිළිබඳ සම්මේලනයේ සභාපති තනතුරට පත් කරන ලදී. බොහෝ විශ්ලේෂකයන් දක්වන ආකාරයට සමුද්‍ර නීතිය පිළිබඳ සන්ධානය ඔහුගේම අදහසකි. එවැනි බුද්ධිමතුන් සිටි රටක අද සමුද්‍ර හානියක් සම්බන්ධයෙන් උසාවියක නඩු කටයුත්තක් මෙහෙයවීමට තරම් නීතිඥයන් නැතැයි කීමෙන් අප කෙතරම් පිරිහීමකට පත්ව ඇත්ද ගෙනහැර පායි. නීතිවේදීන් ගැන කතා කිරීමේ දී අභාවප්රප්ත ජී සී වීරමන්ත්‍රි ද අමතක කළ නොහැකිය. ඔහු අන්තර්ජාතික යුක්ති අධිකරණයේ ( ICJ ) උපසභාපති වශයෙන් සිටිය දී ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වන ආකාරයට ක්‍රියා කළ බව ද සඳහන් කළ යුතුය.
මෙහිදී සිහිපත් කළ යුතු කවත් කරුණක් වන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවෙන් 2008 අංක 35 සමුදු දූෂණය වැලැක්වීමේ පනත යනුවෙන් නීතියක් සම්මත කර ඇති බවය. මෙම පනත මුහුදු වෙරළේ අනවසර ඉදි කිරීම් සහ ඒවායින් සිදුවන පරිසර හානියට අමතරව වෙරළාසන්න මුහුදු තිරයේ සිදුවන හානි සම්බන්ධයෙන් ද පියවර ගෙන ඇත. ඊට නිදසුනක් වන්නේ ඇම්වී ප්‍රින්සස් නම් නැවෙන් හික්කඩුව කොරල් උද්‍යානයට සිදු වු හානිය සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණය පියවර ගැනීමයි. එහිදී ආදාල පාර්ශ්වයන් වන්දියක් ගෙවීමට එකඟව ඇත. එමනිසා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය පිළිබඳව පියවර ගැනීමට ලංකාවේ නීතිය සහ නීතිඥයන්ට හැකියානක් නැතැයි කීම ගහ දන්නා අයට කොළ කඩා පැමකි.
ඇත්තෙන්ම මෙය පැහැදිලිවම අපේ දේශපාලනයේ පිරිහීම සංකේතවත් කරන තවත් සිද්ධියකි. වඩාත් සරලව නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වර්ගයේම තවත් කතා පුවතකි. මෙම හානිය වැළැක්වීමට අවස්ථාව තිබියදීත් එසේ නොකිරීමෙන් බලධාරීන් කර ඇත්තේ වගකීම් පැහැර හැරීමට අමතරව බටහිර වෙරළ තීරුවේ වෙසෙන දහස් ගණන් වූ ධීවරයන්ගේ ජීවන මාර්ගය අහිමි කිරීමට දායකවීමකි. එමනිසා කළ යුතු වැදගත්ම කාර්යක් වන්නේ ඊට වගකිව යුත්තන් සොයා බැලීම ය. එහෙත් එවැන්නකින් ජනතාවට කිසිදු සහනයක් අපේක්ෂා කළ නොහැකි වන්නේ මීට පෙර මෙවැනි අවස්ථා සම්බන්ධයෙන් ද බලධාරීන් ක්‍රියාකර ඇති ආකාරයෙනි. මීට දශක ගණනාවකට පෙර කන්තලේ වැව් බැම්ම බිඳීයෑම පිළිබඳව ද ක්‍රියා කෙළේ මෙවැනිම නොසැලකිල්ලෙන් සහ හිතුවක්කාර ආකාරයෙනි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියෙන් කියවෙන්නේ අපේ දේශපාලනයේ දුෂිත කතාවයි. දේශපාලනයේ දූෂිතභාවය නිසා ආර්ථිකයත් නිතියත් පිරිහීමට පත්වීමෙන් සිදුව ඇති හානිය ජනතාව ජීවිතය ගැට ගසා ගැනීමට ගන්නා අසාර්ථක උත්සාහයෙන්ම දැකිය හැකිය. ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ නීතියේ ආධිපත්‍යයේ කඩා වැටීමයි. නීතිය ක්‍රියාත්මක නොවන නිසා දූෂණය සහ වංචාව බියෙන් සැකෙන් තොරව කරගෙන යා හැකිය. නීති පනවන්නේ වැරදි නිවැරදි කිරීමටත් වැරදිකරුවන්ට දඬුවම් දීමටත් නොවේ. දූෂණය පිලිබඳ නිතිය ද එවැන්නකි. ඉදිරියට පනවන්නේයැයි කියන නීතිවලින් සිදු වන්නේද පාලකයාගේ සැබෑ වුවමනාව කඩතුරාවකින් වැසීමේ අවශ්‍යතාවයයි. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය ඒ සියල්ල කැටි කර දක්වන නිදර්ශනයකි.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024